අහේනියට මුවාවී ඡන්දයට උගුල් ඇටවීම


පළාත් පාලන ආයතන මැතිවරණය සම්බන්ධ කතිකාවේදී ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික ස්ථාවරත්වය කේන්ද්‍රීය තේමා බවට පත්ව තිබේ. මෙය අලුත් තත්ත්වයක් ද නොවේ. රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් බලගතු විධායකයක් අවශ්‍යය යන්නත් ඒ අරබයා ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවා දැමිය යුතුය යන්නත් මුල් කොට ගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙන ලදී.

ජේ.ආර්. ජයවර්ධන මහතා 1966 දී විද්‍යාභිවර්ධන සංගමයේ 22 වැනි සැසිවාරය අමතමින් ප්‍රකාශ කළේ එවකට පැවති කැබිනට් ආණ්ඩු ක්‍රමය නිසා රට සංවර්ධනය කිරීම අපහසු බවත් ශ්‍රී ලංකාව දියුණු කිරීමට නම් කඩිනම් තීන්දු ගත හැකි ව්‍යවස්ථාදායකයේ බලපෑමට යටත් නොවන ස්ථිර විධායකයක් අවශ්‍ය බවත්ය.

ඒ අනුව යමින් ජයවර්ධන මහතා යෝජනා කළේ මෙරටට විධායක ජනාධිපති ක්‍රමයක් අවැසි බවය. ලංකාවේ පවතින්නේ සුඛෝපභෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් බවත් ආර්ථික සංවර්ධනයේ නාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදය කැප කළ යුතු බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

එයින් පැහැදිලි වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගොඩ නගන ලද්දේ ආර්ථික සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන තේමා ද්විත්වය මුල් කරගෙන බවය.

ආර්ථික සංවර්ධනය උදෙසා ප්‍රජාතන්ත්‍රවාදය යම් පමණකට කැප කළ යුතුය යන අදහස එහි හරයයි. මේ වන විට මතභේදයට තුඩු දී තිබෙන පළාත් පාලන ආයතන මැතිවරණයේදී ද සාකච්ඡාවට බඳුන්ව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික ස්ථාවරත්වය යන්නයි. ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා මේ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය කැප කළ යුතුය යන අදහස මතු වී තිබෙන්නේ එම පසුබිමේය. 

වත්මන් ජනාධිපතිවරයා පවතින ආර්ථික තත්ත්වය ඉතාම දුර්වල බැවින් ඒ හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම දීමනා ගෙවිය නොහැකි බවත් ආර්ථිකය යම් ස්ථාවරත්වයකට පැමිණෙන තුරු මැතිවරණ පැවැත්විය නොහැකි බවත් ව්‍යංගයෙන් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් අවධාරණය කරමින් සිටියි.

ආර්ථික ස්ථාවරත්වය සහ ජනතා පරමාධිපත්‍යය අතර අන්‍යෝන්‍ය සබඳතාවක් ගොඩනැගීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටියි. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියෙහි ජනතා පරමාධිපත්‍යය ගැන සඳහන් වේ. “ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වන්නේය” යනුවෙන් එය විස්තර වේ.

ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර අඩුපාඩු තිබුණද මෙම 3 වැනි වගන්තිය ඉතා වැදගත්ය. ජනතා පරමාධිපත්‍යය බලය ඇත්තේ ජනතාවටය යන්න එහි හරයයි. එම ජනතා පරමාධිපත්‍යයට ඡන්ද බලය අයත් වේ. ඒ අනුව ජනතා පරමාධිපත්‍යය ඍජුව ක්‍රියාවට නංවන්නේ ඡන්ද බලය මගිනි. දැන් තර්ජනය එල්ල වී තිබෙන්නේ එම ඡන්ද බලයටය.

ව්‍යවස්ථාවේ තුන් වැනි වගන්තිය මගින් ජනතාවට ලබා දී තිබෙන ඡන්ද බලයට කිසියම් අයකු බාධා කරන්නේ නම් හෝ අහිමි කරන්නේ නම් හෝ එය ප්‍රජාතන්ත්‍ර විරෝධී වේ. ජනතා පරමාධිපත්‍යයට විරුද්ධය. ව්‍යවස්ථානුකූල පාලනයට ද පටහැණිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියට අනුව ජනතා පරමාධිපත්‍ය බලය අහිමි කළ හැක්කේ ජනමත විචාරණයක් මගින් පමණි. ජනමත විචාරණය ක්‍රියාවට නංවනු ලබන්නේ ද ජනතාව විසිනි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ පළමු ධුර කාලය (1994-1999) අතරතුර වයඹ පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල්දැමීමට එම ආණ්ඩුව අවස්ථා කිහිපයකදී උත්සාහ කළේය. ඊට අදාළ නඩු විභාගයකදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ එය කළ හැක්කේ ජනතා කැමැත්ත ලබා ගැනීමෙන් පමණක් බවය. එනම් ජනතාව සතු ඡන්ද බලය පැහැර ගැනීමට කිසිවකුට අයිතියක් නැත.

විධායකය සහ ව්‍යවස්ථාදායකය වනාහී ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවීමේ ඍජු ආයතන නොව වක්‍ර ආයතනය. ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නංවන්නේ ජනතාවය. එය ක්‍රියාවට නංවන්නේ ඡන්ද බලයෙනි. එසේම ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාවට නංවන මූලික ආයතනය වන්නේ මැතිවරණ කොමිෂන් සභාවයි.

එම කොමිෂන් සභාවට පැවරී ඇති ව්‍යවස්ථාපිත වගකීම වන්නේ මැතිවරණ නිදහස් හා සාමකාමීව පැවැත්වීමයි. නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම අරබයා ජනාධිපතිවරයා විසින් සියලු සහාය ලබා දෙනු ලැබිය යුතු බවද ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙහි සඳහන් වේ.

රාජ්‍ය සේවය ක්‍රියාත්මක විය යුත්තේ ද ජනතාව වෙනුවෙන් මිස කිසියම් දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක හෝ අභිලාෂ වෙනුවෙන් නොවේ. ඒ අනුව ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් රාජ්‍ය සේවකයෝ ද බැඳී සිටිති. ඒ සඳහා ඔවුහු මැතිවරණ කොමිෂන් සභාවට සහාය දිය යුත්තාහ.

එහෙත් මෙම පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව වර්ධනය වෙමින් තිබෙන තත්ත්ව අනුව පැහැදිලි වන්නේ ව්‍යවස්ථාවේ තුන් වැනි වගන්තියෙන් සහතික කොට ඇති ජනතා පරමාධිපත්‍ය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් රාජ්‍ය සේවකයන් හා ජනාධිපතිවරයා විසින් ලබා දෙනු ලැබිය යුතු සහයෝගය ලබා නොදෙන බවය.

ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉදිරිපත් කරන තර්කය වන්නේ රට ආර්ථික වශයෙන් අස්ථාවර හෙයින් මේ වේලාවේ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රටේ නොමැති බවය. ආර්ථික ස්ථාවරත්වය ගොඩනගන තෙක් මැතිවරණය ලබන වසර තෙක් කල්දැමිය යුතු බවද ඔවුහු පවසති.

ආණ්ඩුව ගොඩනගන මෙම තර්කයෙහි බැලූ බැල්මට සත්‍යතාවක් ඇති බව පෙනේ. ඒ, අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යෑම, රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇති බැවිනි. එහෙත් ජනතා පරමාධිපත්‍ය ක්‍රියාවට නැංවීමෙහිලා පවතින අභියෝග ගැන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවේ.

එනම්, රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුව සහ රාජ්‍ය සේවය කලින් කලට පැවැත්වෙන මැතිවරණ නිසි පරිදි පවත්වමින් ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටියි. දැනටමත් මෙම පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීම කල් ගොස් තිබේ.

මැතිවරණ කල්දැමීම මෙරටට ආගන්තුක නොවේ. 1970 බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුවට හිමි වූ ධුර කාලය වසර 5 ක් වුවද එම ආණ්ඩුව 1972 දී පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවමින් ඒ යටතේ ක්‍රියාත්මක වන ආණ්ඩුව වසර පහක කාලයක් ක්‍රියාත්මක වන බව දැක්වීය. ව්‍යවස්ථා සම්පාදනයට මුවා වී අවුරුදු දෙකක කාලයක් සඳහා එම ආණ්ඩුව මැතිවරණය කල් දැමීය. එහි අනිටු ඵල විපාක 1977 මහ මැතිවරණයේදී අත්විඳීමට එම ආණ්ඩුවට සිදු විය.

1977 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට එවකට පැවති ජාතික රාජ්‍ය සභාවේ හයෙන් පහක බහුතර බලයක් ලැබුණු අතර එම බලය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට 1983 දී ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තුවේ ධුර කාලය තවත් වසර හයකින් දීර්ඝ කර ගන්නා ලදී. එය මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි ක්‍රියාවකි. 

එසේම 1988/89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණත් එල්.ටී.ටී.ඊ. සංවිධානයත් එවකදී පවත්වන්නට යෙදුණු මැතිවරණ කිහිපයකට එරෙහිව විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බවද අප අමතක නොකළ යුතුය. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ සහායකයෝ 2019 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය 2020 දී පැවැත්වීම සඳහා යෝජනාවක් ගෙනාවෝය.

තවද 2015 වසරේ සිට පළාත් සභා මැතිවරණ පැවැත්වීම අඛණ්ඩව කල් දමා තිබේ. මේ සියලු දෑ සැලකිය හැක්කේ ජනතා පරමාධිපත්‍යයට සහ එයින් විස්තර වන ජනතාවගේ ඡන්ද බලයට අහිතකර බලපෑම් එල්ල කරන ලද ඒවා හැටියටය.

පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් මුදල් නොමැති බව ආණ්ඩුව ප්‍රකාශ කළද විවිධ පාර්ශවවල විරෝධතා මධ්‍යයේ රුපියල් බිලියන ගණනින් වියදම් කොට ඉකුත් පෙබරවාරි 4 වැනි දින නිදහස් උත්සවය පවත්වනු ලැබීය. ඉතාම චාම්ව අඩු වියදමින් එම උත්සවය පැවැත්විය යුතුව තිබුණද ආණ්ඩුව මහත් උජාරුවෙන් එය සැමරුවේය. මීට පෙර බලයේ සිටි ආණ්ඩුද එපරිදි කටයුතු කළේය. එසේම පසුගිය දිනෙක ජනරජ පෙරහරක් ද පවත්වන ලදී. ඒ වෙනුවෙන් ද විශාල මුදලක් වැය වන්නට ඇත. ජනරජ පෙරහරක් පැවැත්වීමම හාස්‍යජනක සිද්ධියකි.

මන්ද, ජනරජ ආණ්ඩුවක ජනතාවගේ ඡන්ද බලයෙන් පත් වෙන මහජන නියෝජිතයන් ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා කිරීමට නෛතිකවම බැඳී සිටින බැවිනි. එහෙත් දැන් ලංකාවේ පවතින තත්ත්වය විමසීමේදී පැහැදිලි වන්නේ ආණ්ඩුවේ සුජාතභාවය ගිලිහී ඇති තත්ත්වයක ජනතාවගේ පරමාධිපත්‍ය බලයට අහිතකර බලපෑම් කරමින් සිටින බවය. එනම්, තමන් ජනතා ඡන්දයෙන් පත්වූවන්ය යන්න අමතක කර ඡන්ද පැවැත්වීම කල්දමමින් සිටීමය. 

මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ සියලු පාර්ශව සමග සාකච්ඡා කර මැතිවරණය පැවැත්වීම අරබයා උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය කෙසේ හෝ නිරාකරණය කර ගැනීම ආණ්ඩුවේ වගකීමයි. ඒ අනුව, ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ අංක එකට පැමිණිය යුත්තේ මෙම පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ කල් දැමීම නොව කෙසේ හෝ පැවැත්වීමයි. ආණ්ඩුව එවැනි ස්ථාවරයක සිට කටයුතු කරන්නේ නම්, දේශපාලනඥයන් ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි ව්‍යවස්ථානුකූල පාලනයකට කැමැති පිරිසක්ය යන විශ්වාසය ජනයා අතර ඇති වේ.

ශ්‍රී ලංකාව මේ මොහොතේ පසුවන්නේ විදේශ ණය ආධාර අත්‍යවශ්‍ය තත්ත්වයකය. බටහිර ලෝකයේ රටවල් සහ සංවිධාන ණය හෝ ආධාර හෝ ලබා දීමේදී මූලිකව සලකා බලන දේවල් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, ජාතීන් අතර සුහදතාව යනාදියයි. ජනතාවගේ ඡන්ද බලය උදුරා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින තත්ත්වයක ශ්‍රී ලංකාවට ණය හෝ ආධාර හෝ ලබා දීම නුසුදුසුය යන නිගමනයට එවැනි රටවල් හෝ සංවිධාන හෝ එළැඹීමට ඇති ඉඩ ඉහළය. එහි ප්‍රතිඵල අපට ඉදිරි කාලයේදී අත්විඳීමට සිදු වනු ඇත. එසේම මෙම මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන තෙක් අධිකරණයෙන් කිසිදු තහනමක් පනවා නොමැත.

ආණ්ඩුව ජනතාවට වගකියන්නේ නම් සහ ජනතා පරමාධිපත්‍යයට ගරු කරන්නේ නම් මේ මැතිවරණය පැවැත්වීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන කැපවීම පෙන්විය යුතුය. ප්‍රමුඛ විය යුත්තේ මිනිසුන්ට හිමි ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම මිස ආර්ථික ස්ථාවරත්වය නොවේ. ආර්ථිකය ඉදිරියට ගැනීම නරක පූර්වාදර්ශයකි. මන්ද, ඉදිරියේදී පාලකයන්ට දුර්වල ආර්ථික කළමනාකාරීත්වයක් පවත්වා ගෙන යමින් හෝ එසේ යන බව පෙන්වමින් හෝ ඡන්ද කල් දැමීමටත් ඒ ඔස්සේ ඒකාධිපති පාලනයක් ගෙන යෑමටත් අවස්ථාව උදා වන හෙයිනි.

බදු අය කරන ආණ්ඩුවක් කලට වේලාවට මැතිවරණ පවත්වමින් බදු අය කිරීමට අදාළ නීති සම්පාදනය කරන ව්‍යවස්ථාදායකයෙහි සංයුතිය සුදුසු පරිදි සකස් කළ යුතුය. එය ලිබරල් දේශපාලන චින්තකයන් ඉදිරිපත් කරන අදහසකි. ඇමෙරිකානු නිදහස් සටනේදී ඉදිරියට පැමිණියේද එකී අදහසයි.

එම නිදහස් සටනේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ “මහජන නියෝජනයකින් තොරව ආණ්ඩුවක් බදු අය නොකළ යුතුය” (No taxation without represntation) යන්නයි. එහි හරය වන්නේ ආණ්ඩුව බදු අය කරන්නේ නම් මහජන නියෝජිතායතනවලට නිසි වේලාවට නියෝජිතයන් පත් කිරීම සඳහා ඉඩ සැලසිය යුතුය යන්නය.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය අතුල විතානවසම්

සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ