ආචාර්යවරුන්ගෙන් තොර විශ්වවිද්‍යාල කුමකට ද?


බුද්ධි ගලනය අපේ රටට කවදත් තිබූ ගැටලු‍වක් විය. එහෙත්, මේ තරමට බරපතළ තත්ත්වයකට පත් බුද්ධි ගලනයක් පිළිබඳ මීට පෙර කිසි කලෙකත් වාර්තා වී නැත. උගත් තරුණ තරුණියන් පමණක් නොව ආචාර්ය, මහාචාර්යවරු ද වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු ද මේ හේතුවෙන් රටට දිනපතා අහිමි වෙමින් සිටින ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානයක සිටිති.

එය කොතරම් සංකීර්ණ අර්බුදයක් බවට පත්වීදැයි කිවහොත්, රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ද රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවා පද්ධතිය ද මේ හේතුවෙන් දැඩි අවදානමකට මුහුණ දෙමින් සිටී.

මේ පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු එළි කොතරම් දැල්වුණ ද තවමත් ඒ සම්බන්ධයෙන් නිසි බලධාරීන් සිටින්නේ තමන්ගේ මධ්‍යම ස්නායු පද්ධතියම හිරිවැටුණු තත්ත්වයකිනි. මේ නිසාදෝ ඒ ගැන ඔවුන්ගේ අවධානය යොමු වී නැත.

අපගේ ලංකාදීප පුවත්පත පසුගියදා තම ප්‍රධාන සිරස්තලයෙන් මේ බැරෑරුම් තත්ත්වය රටේම අවධානයට යොමු කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන්, මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාම ගැටලු‍වක් බවට පත්වී ඇති බවය.

උද්ගතව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කළ විමසීමකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක, මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කර තිබුණේ, 2022 ජනවාරි මාසයේ සිට මේ වසරේ මැයි මාසය දක්වා කාලය තුළදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛ පෙළේ ආචාර්ය මහාචාර්යවරුන් 70 දෙනකු විශ්වවිද්‍යාල සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී, විදේශගත වී සිටින බවය.

ඒ අතර තවත් විශාල පිරිසක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී සිටින බව ද මහාචාර්යවරයා කියා තිබිණි. වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා සහ දන්ත වෛද්‍ය යන පීඨවලට මේ හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ද එය එම සිසුන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යාම ගැටලු‍ සහගත තත්ත්වයකට ඇද දමා තිබෙන බව ද නියෝජ්‍ය උපකුලපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.

මෙවැනිම අවදානම් තත්ත්වයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ද කාලයක සිට බුබුළු දමමින් තිබේ. වෛද්‍යවරුන් 500ක පිරිසක් කෙටි කාලයක් තුළදී විදෙස්ගත වීමත්, ඒ සමග විශේෂඥ වෛද්‍යවරුන් ද වරින් වර සේවයෙන් ඉවත් වී, රට හැර යාමත් සිදුව තිබේ. ඇතැම් දුර බැහැර රෝහල්වල ළමා වාට්ටු සහ මහාචාර්ය ඒකක පවා තාවකාලිකව වසා දැමීමට එම තත්ත්වය හේතු වී ඇත. එහෙත්, බරපතළම ඛේදවාචකය, මේ අර්බුදය විසඳා දීමේ වගකීම බාරව සිටින බලධරයන් සියලු‍ දෙනා කනේ ඇඟිලි ගසාගෙන, දෑස් වසාගෙන සහ මුව ඇරීමකින් තොරවම කල් මරමින් සිටීමය. එයින් ගැටලු‍ව විසඳෙන්නේ නැත. සිදුවන්නේ, පවතින තත්ත්වය තවදුරටත් අසාධ්‍ය තත්ත්වයට පත්වීම පමණි.

විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ පුරප්පාඩුවලට පිටතින් ආචාර්යවරුන් ගෙන්වාගෙන, අධ්‍යයන කටයුතු අඩාල වීමට ඉඩ නොදී, පවත්වාගෙන යාමට හැකියාව තිබේ. එය සුදුසුම විසඳුම නොවුණත්, වෙලාවේ හැටියට හොඳ තාවකාලික විසඳුමකි. මේ වන විට පේරාදෙණියේ එය සිදු වෙමින් පවතින බව ද සඳහන්ය. එහෙත්, මේ අවනඩුවෙන් සිසුන්ට සිදුවන හානිය වළක්වා ගැනීමට එම විසඳුම ප්‍රමාණවත් නොවේ. පුරප්පාඩු වී ඇති තනතුරුවලට සුදුසුකම් ඇති ආචාර්ය, මහාචාර්යවරුන් බඳවා ගැනීම ද එකවරම කළ නොහැකිය. එහෙත්, විධිමත් සැලැස්මක් යටතේ ආචාර්යවරුන් බඳවා ගැනීම තවදුරටත් ප්‍රමාද කළ යුතු නැත.

අපේ රටේ උගත් බුද්ධිමත් කාර්යශූර බුද්ධිමතුන් මේ ආකාරයට රට හැර යන්නේ ඇයි? මේ ප්‍රශ්නය පසුගිය කාලය තුළ කොපමණ වරක් රටේ සාමාන්‍ය ජනතාව විමසන්නට ඇද්ද? එයට උත්තරයක් සැපැයීම ප්‍රමාද වන විට රටේ ජනතාව තේරුම් ගන්නේ ප්‍රශ්නයට උත්තරයක් නොමැති බවය. එහෙත්, එසේ කියමින් රටේ නම ඉහළටම ඔසවා තබන විශ්වවිද්‍යාලයක් වන පේරාදෙණියේ වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා පීඨ හෝදාපාළුවට යාමට ඉඩ දිය නොහැක. එසේ වීමට ඉඩ හැරීම ජාතික අපරාධයකි. උසස් අධ්‍යාපනය භාර අමාත්‍යවරයාගේ අවධානය මේ සඳහා වහාම යොමු විය යුතුය.

අපේ බුද්ධිමතුන් මෙසේ රට හැර යාමට හේතු ගණනාවක් බලපා තිබෙන බව නොරහසකි. ඒ අතුරින් වඩාත්ම බලපෑ හේතුව, රජය මගින් මාසික ආදායම රුපියල් ලක්ෂයට වැඩි සියලු‍ දෙනාට ක්‍රියාත්මක කළ මහා පරිමාණ බදු ගැසීම බව පිළිගත යුතු වෙයි. මේ බදු ගැසීම වඩාත් පීඩනයට පත් කර ඇත්තේ උගත් බුද්ධිමත් ප්‍රජාවය. අද විශ්වවිද්‍යාල සහ සෞඛ්‍ය සේවාව එම පීඩනයේ හානිකර ප්‍රතිඵල විඳිමින් සිටී. මේ ප්‍රතිඵල ඊළඟට වදින්නේ රටේ හදවතටමය. එවිට වැරැද්ද හදාගැනීමට තරම් කාලයක් ඉතිරි නොවන බව සහතිකය.

(***)