සයිටම් අර්බුදය, වෛද්‍ය වැඩ වැරුම, ඩෙංගු මර්දනය, ජාතිවාදී ප්‍රවණතා, නීතියේ ආධිපත්‍ය, දූෂණ මර්දන කාර්යාලය හා විකල්ප බලවේග ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතායි.
ප්‍රශ්නය:- සයිටම් ප්‍රශ්නය අවුලෙන් අවුලට යද්දී රජයේ වෛද්‍යවරු ආණ්ඩුවිරෝධී ආයුධය බවට වර්ජනය පත්කරගන්නවා. ජවිපෙ මේ ක්‍රියාමාර්ග ගැන දරන අදහස මොකකද්ද?
පිළිතුර :- මේ සයිටම් කියන්නේ කිසි ප්‍රමිතියක් නැති ආයතනයක් බව අපි කවුරුත් පිළිගන්නවා. ඒ වගේම ඒක මේ රටේ නිදහස් අධ්‍යාපනය නැතිකිරීමට යන ගමනේ ප්‍රබල පියවරක්. එනිසා කොන්දේසි විරහිතව සයිටම් නතර කළ යුතුයි. අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය, වෛද්‍යවරු, වෘත්තිය සමිති, ජවිපෙ ඇතුලු දේශපාලන පක්ෂ, මවුපියන් රට තුළ කලක් තිස්සේ විශාල විරෝධයක් තිබියදී ආණ්ඩුව මෙවැනි ආයතනයක් වෙනුවෙන් මුග්ධ ලෙස පෙනීසිටින්නේ ඇයි කියන ප්‍රශ්නය තමයි මුලින්ම තිබෙන්නේ. ආණ්ඩුවෙම ඇමැතිවරු සයිටම් එකට විරුද්ධ වෙද්දී අගමැතිවරයාටයි ඇමැතිවරු කීප දෙනෙකුටයි මේක රකින්න තියෙන රුදාව මොකද්ද? එනිසා මේ ප්‍රතිචාර ලෙස සිදුවෙන දේවල් ගැන කතාකිරීමට කලින් මේ වගේ ආයතනයක් ආරක්ෂා කිරීමට ආණ්ඩුවම මේ තරම් වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නය විසඳා ගත යුතුයි.
සමීර සේනාරත්න නමැත්තා තමන්ටම වෙඩි තියාගත් බවට කියන සිද්ධියෙන් ප්‍රශ්න ගණනාවක් ඇති කළැයි පැවසෙද්දිත් වෛද්‍ය සභාවට බෝම්බ ගැහුවත් ආණ්ඩුව කිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. දැන් සයිටම් වහන්න අරගල කරන අයගේ දෝස හොයන්න පටන් අරන් තියෙනවා.
ප්‍රශ්නය:- එවිට පොදු ජනතාව ලක්වන පීඩනය ගැන මොකද කියන්නේ? ජනතාව ඒවා දරාගත යුතුද?
පිළිතුර-:- අරගල කරද්දි එහෙම තමයි. ප්‍රශ්න මතුවෙනවා. හැබැයි සාමකාමීව විසඳාගත හැකි ප්‍රශ්නයක් ජනතා හඬට ඇහුම් කන් නොදී ඒවා මහා දැවැන්ත අර්බුද හා සටන් බවට පත්වෙන්න ඇරලා ඒකෙ වරද සටන් කරන බලවේගවලට පැවැරීම කිසිසේත් සාධාරණ නෑ. එනිසා මේ සිදුවන හැමදේකම වගකීම ආණ්ඩුව බාරගත යුතුයි.
ප්‍රශ්නය:- රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිදහස් අධ්‍යාපන සඳහා වර්ජනය ආයුධයක් හැටියට දිගින් දිගටම පාවිච්චි කරද්දී අහිමි වන්නේ ජනතාවගේ නිදහස් සෞඛ්‍යට ඇති අයිතිය නේද?
පිළිතුර-:- දිගින් දිගටම පාවිච්චි කිරීමක් අපි දකින්නේ නෑ. මෑත කාලයේ වැඩ වර්ජන සිදුවුණේ අවස්ථා දෙකකදියි. වැඩ වර්ජනයක් කරද්දි ඒක සෞඛ්‍යයෙ වුණත් තැපැල් වුණත් ගමනාගමනයෙ වුණත් අධ්‍යාපනයෙ වුණත් සේවා ලබන මිනිස්සුන්ට එයින් කිසියම් ගැටලුවක් මතුවෙනවා. අපහසුතාවයක් සිදුවෙනවා. ඒකෙන් සටන අතහරින්න බෑ. අපේ රටේ වෘත්තිය සමිති මෙන්ම වෘත්තිය ක්‍රියාමාර්ගත් නීතියෙන් පිළිගෙන තිබෙනවා.
දැන් ඒවාට බනින හැම කෙනාම තමන් විපක්ෂෙ ඉන්න කාලෙත් ඒවා කරලා තිබෙනවා. සටනක් වෙද්දි එහි සාධාරණ අසාධාරණ බව බලා විසඳුම් හොයනවා වෙනුවට ශිෂ්‍යන්ගේ හෝ වෛද්‍යවරුන්ගේ සදාචාරය ප්‍රශ්න කිරීමට යෑම සාධාරණ නෑ. කිසිදු සාධාරණ හේතුවකින් තොරව වැඩ වර්ජන, අරගල කරනවා නම් ඒක අපි පිළිගන්නේ නෑ. නමුත් වෛද්‍යවරුන් මේ වර්ජනය දියත් කළේ සිසුන්ට පහර දුන්නාට පසුව ඊට විරෝධය පළකිරීමක් හැටියටයි. ඒ පසුපස කිසියම් දේශපාලන හස්තයක් තිබෙනවා යැයි ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුව කළයුත්තේ ඔවුන්ට දේශපාලන වාසි ලබාගැනීමට ඉඩ නොතබා ප්‍රශ්නය විසඳීමයි.
ප්‍රශ්නය:- සයිටම් විරෝධී සිසු උද්ඝෝෂණ රටේ පොදු සාකච්ඡාවක් බවට පත්වෙද්දී පොලිසියේ ප්‍රහාරය වගේම පොදු දේපළවලට සිදු වූ අලාභ හානි ගැනත් විවේචන එල්ල වෙනවා. සමහරු ජවිපෙටත් පෙරටුගාමී පක්ෂයටත් බණිනවා. සිසු සටන සම්බන්ධයෙන් ජවිපෙ ඉන්නේ කොතැනද?
පිළිතුර-:- සටනක් ඉස්සරහට යන්නෙ පියවරෙන් පියවර. මේ ප්‍රශ්නයේදී ශිෂ්‍යයන් මුලින්ම ඇවිල්ලා අමාත්‍යංශය වැටලුවේ නෑ. පත්‍රිකා බෙදුවා. රැස්වීම් තිබ්බා. ජනතාව දැනුම්වත් කළා. පෙළපාලි ගණනාවක් ගියා.
කිසිදු පොදු දේපළක් හානි නොවුණු ඒ පෙළපාලිවලටත් ගැහුවනෙ. අවසානයේදි තමයි සෞඛ්‍ය අමාත්‍යංශය වටලන තැනට ආවේ. ඒ වටලන වෙලාවෙත් පොදු දේපළවලට හානි වෙනවා අපි දැක්කේ නෑ. මේක සිද්ධවෙලා තියෙන්නේ එස්.ටී.එෆ් දම්මලා පහර දෙන වෙලාවෙයි. ආණ්ඩුව පොදු දේපල ගැන කතා කරනවා. එතකොට මේ ආණ්ඩුවෙ ඇමැතිවරු ලක්ෂ ගණනින් පොදු දේපල නාස්ති කරනවා. ජනපතිට ගෙන් වූ ප්‍රකෝටි ගණනේ වටිනාකමින් යුත් වාහන ගරාජවල දිර දිරා යනවා. ඒවා පොදු දේපළ නෙවෙයිද? ඇත්තටම රටේ පොදු දේපළ කාබාසිනියා කරන අය ඇමැතිකම් දරද්දී උද්ඝෝෂණයකදී වූ සිදුවීමක් පස්සේ පැන්නීම අන්තිම වැරැදි තර්කනයක්. ඒ නිසා අපි කියන්නේ විරෝධතාවල දොස් හොයන්න කලින් හොයාගන්න ඕනෑ ඒවාට පාර කපපු ආණ්ඩුව දෝසෙයි. සටන්කාමී බලවේගවල ඇද කුද පෙන්නන්න යෑම ප්‍රශ්නය යට ගහන වෑයමක්. මේ මෝඩ ආණ්ඩුවෙ මෝඩ තීරණවලට උදවු කිරීමක්.
ප්‍රශ්නය:- ඩෙංගු අධිවසංගත තත්ත්වයක් බවට වේගයෙන් වර්ධනය වෙද්දී රට පුරා රෝහල්වල ඩෙංගු රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යනවා. ඇතැමුන් කියන්නේ මේක රටම ඒකරාශි වෙලා ජයගත යුතු තත්ත්වයක් කියලයි. මැලේරියාව ජය ගත්ත ලංකාවට ඩෙංගු මඩින්න බැරිද?
පිළිතුර-:- මේ වර්තමාන ආණ්ඩුවේ පණ්ඩිතයො කීප දෙනෙක් ඉන්නවා. කිසි කෙනෙක් කියන දෙයක් අහන්නේ නෑ. කිසියම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විශේෂඥයන් කියන කිසිවකට ඇහුම්කන් දෙන්නේ නෑ. විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමැතිතුමා වගේ අය තමන් සියල්ල දත් කියලා හිතන් ඉන්නවා. මේකට විසඳුම් හොයන්න ගත් වෑයම් ඔක්කෝටම වාගේ විරුද්ධ වුණා. ලෝකයේ ඩෙංගු සම්පූර්ණයෙන් අවසන් කළ රට කියුබාවයි. අපි වගේම දූපතක්. දූපතකදි මදුරු ප්‍රශ්නය විසඳන්න ලේසියි. මොකද මදුරුවෝ පිටින් එන්නේ නෑ. මදුරුවාගේ ජීවන චක්‍රය අවසන් කළ හැකි නම් ප්‍රශ්නය විසඳිය හැකියි. කියුබාව ඒක කළා. කියුබාව අපිට උදවු කිරීමටත් ලෑස්ති වුණා.
බැක්ටීරියාවක් ගේන්න හැදුවා. ඒත් මේ ආණ්ඩුවෙ වගේම කලින් ආණ්ඩුවෙත් හිටපු සමහර මෝඩ ඇමැතිවරු ඒවා ඉටු කළේ නෑ. අනෙක් අතට මේ රටේ ජනතාව සම්බන්ධ කරගත් පැහැදිලි වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවට නෑ. හැමදාම වෙන්නේ වැස්ස කාලෙට වඳුරො ගෙවල් ගැන කතා කරනව වගේ ඩෙංගු කාලෙට බළකා පත්කරනවා. සම්මන්ත්‍රණ තියනවා. දඩ ගහනවා. බොරුවට ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරනවා. දැන් සිදුවිය යුත්තේ විශේෂඥයන් සමඟ වැඩපිළිවෙලක් හදලා මේ රටේ ජනතාව, සමස් සේවා, පාසල් සිසුන් ඒකාබද්ධ කරගත් වැඩසටහනකට යෑමයි. හැබැයි මේ විපතත් තමන්ගෙ ප්‍රසිද්ධිය හදාගන්න සංදර්ශනයක් බවට පත්කරගැනීම නිසා දවසින් දවසම මිනිසුන් විශාල සංඛ්‍යාවක් මියැදෙමින් සිටිනවා.
ප්‍රශ්නය:- ගලගොඩඅත්තේ ඥානසාර හිමි සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය අවසානයේදී මහා සංඝ රත්නය මැදිහත් වන තත්ත්වයක් දක්වා වර්ධනය වුණා. අස්ගිරි ප්‍රකාශනයක් එක පැත්තකින් එද්දී රට ගිනි තියන අයට එරෙහිව නීතිමය පියවර ගන්නැයි කියමින් නිවේදන නිකුත් කරන්නට මානව හිමිකම් කොමිසමට සිදුවුණා. ජාතික සමගිය පිළිබඳ ප්‍රශ්නය ආණ්ඩුව නිවැරැදිව කළමනාකරණය කරගත්තාද?
පිළිතුර-:- ජාතිවාදය දේශපාලන පදනම කරගත් දේශපාලකයන් කණ්ඩායම් වගේම ආගමික අන්තවාදීනුත් අපේ රටේ සිටිනවා. ඒක සිංහල බෞද්ධ එකක් විතරක් නෙවෙයි. දෙමළ ජාතිවාදය මත යැපෙන දෙමළ දේශපාලකයන් වගේම මුස්ලිම් ජාතිවාදය මත යැපෙන මුස්ලිම් දේශපාලකයන් හා ඒ ආගම්වල කුඩා පිරිසක් ඉන්නවා. සිංහල ජාතිවාදයකුත් තිබෙනවා. ඒ මත යැපෙන දේශපාලකයන් පිරිසක් හා ව්‍යාපාරිකයන් පිරිසකුත් ඉන්නවා. අන්තවාදී කුඩා කණ්ඩායමකුත් ඉන්නවා. මේ පිරිස් තමයි ජාතිවාදය වපුරන්නේ. මේක පොදු ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මේ ජාතිවාදය වපුරන්න හේතු ටිකක් තියෙනවනෙ. අන්න ඒ හේතුවලට නිදහසේ වැඩෙන්න මේ ආණ්ඩුව ඉඩ දීලා තිබෙනවා. උදාහරණයකට රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා රක්ෂිතවල ගස් කපනවා කියලා ප්‍රශ්නයක් මතුවුණා.
විල්පත්තුවෙ වන විනාශයට ආණ්ඩුව නීත්‍යනුකූලව මැදිහත් නොවෙද්දී ජාතිවාදීන් ඒක අතට ගත්තා. අන්තිමේදී වන විනාශ වෙන්නෙත් ජාතිවාදයට අනුව. වළකින්නෙත් ජාතිවාදයට අනුව. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථානවල මුස්ලිම් ජනතාව ඉදිකිරීම් කරන බවට මතයක් තිබෙනවා. ආණ්ඩුව ඒ තැන්වලට පුරාවිද්‍යා නිලධාරින් යවලා එක්කෝ ඒවා ආරක්ෂා කරන්න ඕනෑ. නැත්නම් ඒ කතාව බොරු බව කියන්න ඕනෑ. ආණ්ඩුව ඒ දෙකම කරන්නේ නෑ. ඉතින් ඒකෙ විරෝධය ජාතිවාදින් සියතට ගන්නවා. මුස්ලිම් කඩවලට පල්ලිවලට ගහද්දි ගිනි තියද්දිත් ඒ විදියමයි.
ප්‍රශ්නය:- ගලගොඩඅත්තේ හිමියන් අත්අඩංගුවට ගැනීමට තමන් අසමත් වූ බව පොලිසියම කියනවා. මේ ප්‍රශ්නයේදී පොලිසිය සුවිශේෂී අයුරින් කටයුතු කරන්නේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ඇහුවා. නීතිය හා සාමය විෂයෙහි පොලිසියේ කාර්යභාරය ජවිපෙ දකින්නෙ කොහොමද?
පිළිතුර-:- ආණ්ඩුව ජාතිවාදින්ට බයවෙලයි ඉන්නේ. ඒ නිසා ඥානසාර හිමි සම්බන්ධයෙන් කටයුතු කරද්දී ආණ්ඩුව නීතිය අතට ගෙන උපක්‍රමිකව කටයුතු කළා. අනෙකුත් ජාතිවාදී කණ්ඩායම් සම්බන්ධයෙනුත් එහෙමයි. සිංහල ජාතිවාදය බලයට එන්න මේ ආණ්ඩුව ඇතුළෙත් ඉන්න සමහර දේශපාලකයො හීන මවමින් ඉන්නවා. ඒ මත ජනාධිපතිකම් කරන්නත් හිතන කට්ටිය මේකෙ ඇතුලෙ ඉන්නවා. මුස්ලිම් හා දෙමළ දේශපාලනයත් එහෙමයි. මේක වර්ධනය වී ගැටුමක් හටගත්තොත් විදේශ බලපෑම් පවා එල්ලවීමට පු`ඵවන්. මේකෙ කිසිම දේශප්‍රේමී අර්ථයක් නෑ. මේ කරන්නෙ මෝඩ වැඩක්.
ප්‍රශ්නය:- දූෂණ මර්දනය මෙන්ම අපරාධ විමර්ශනය මේ ආණ්ඩුව බලයට පත්වීමේදී උද්‍යෝගී සටන් පාඨ වුණා. එහෙත් දූෂණ මර්දන කාර්යාලයේ ආයු කාලය ගැන පවා මේ වනවිට විවිධ මත පළවෙනවා. ආණ්ඩුව නම් කියන්නේ නීතියට අනුව සියල්ල වෙන බවයි. කතාව ඇත්තද?
පිළිතුර-:- ඇත්තවශයෙන්ම ධනපති ක්‍රමය තුළ ධනපති ආණ්ඩු පවතින්නේ වංචාවෙන්, දූෂණයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන්. ඕක තමයි ඇත්ත. මැතිවරණයකදි ජනතා ඡන්දය ගැනීමට තමන් දූෂණයට වංචාවට විරුද්ධයි. ඒවා නවත්වනවාය වැරැදිකරුවන්ට දඬුවම් දෙනවාය කිව්වාට හැම ධනපති ආණ්ඩුවකටම ක්‍රමය පවත්වාගෙනයෑමට සිදුවන්නේ ඒවා මතයි. ඒ නිසා ඒ ගොල්ලෝ තමනුත් ඒවායේ නියැලෙනවා. පරණ ආණ්ඩුවේ ඒවා හොයන්නේ නෑ. පෝද්දල ජයන්ත මහත්තයගෙ ප්‍රශ්නෙ හොඳ උදාහරණයක්. තාම නඩු නෑනෙ.
තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කළා කියලා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගත්තා. හැබැයි අපරාධෙ කරපු අය එළියෙ. නීතිය ඒ ගොල්ලො ගාවට යන්න බයයි. ඒක තමයි ඇත්ත. රතුපස්වල වෙඩි තිබ්බා. කොකා ගස්සපු නිලධාරින් කීප දෙනෙක් ගත්තා. කොකා ගස්සන්න අණ දීපු අය එලියෙ. පහළ කොස්තාපල්ගේ සොල්දාදුවගෙ පිටින් ගියාට ඒවාට අණ දීපු අය ප්‍රශ්නයක් නැතිව ඉන්නවා. මොකද ඒ අය තමන්ගේ පංතියේ මිනිස්සු. නෑදැයො. පවුල්වල කට්ටිය. එක ඉස්කෝලෙ එක පංතිවල ඉගෙනගත්ත කට්ටිය. මේ නිසා මහින්ද රාජපක්ෂ කාලෙ අපරාධ කළ හැමෝටම නිදැල්ලේ හැසිරෙන්න අවස්ථාව ලැබිලා තිබෙනවා.
ප්‍රශ්නය:- පුවත් මැවෙන හැටියට අගෝස්තුවේදී ජාතික ආණ්ඩුවේ සම්මුතියෙන් ශ්‍රීලනිප ඇමැතිවරු පිරිසක් හෝ ඉවත්වුවහොත් දේශපාලන බල තුලනය කොහොම වේවි කියලද ඔබ හිතන්නේ?
පිළිතුර-:- කවුරුවත් ඉවත් වේවි කියලා අපි හිතන්නේ නෑ. ඉවත් වුණත් මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න කොහෙන් හරි තව කීප දෙනෙක් හොයාගනීවි. මේක හවුල් ආණ්ඩුවක් වුණේ සමගිය බලය වේ කියලා හිතාගෙන නෙවෙයි. එකතු වෙලා වැඩ කරන එක හොඳයි කියලා නෙවෙයි. ශ්‍රීලනිපයටවත් එජාපයටවත් තනියම ආණ්ඩු කිරීමේ බලයක් ජනතාව නොදුන් නිසයි. වසර දෙකින් දෙකට ආණ්ඩුවෙන් අපි ඉවත් වෙනවාය ආදී කතාවලින් කරන්නේ කේවල් කිරීමක්. මෙවැනි කතා කියන්නේ ආණ්ඩුවෙන් තමා ලබාගන්නා තනතුරු, වරප්‍රසාද හා බලය ටිකක් වැඩිපුර ගන්න මිස මේක අත්හැරලා යන්න නෙවෙයි. එනිසා මේ ආණ්ඩුවේ සිටින අය මේ ආණ්ඩුව වැටෙනතුරුම මේක අත්හැරලා යන්නේ නෑ.
ප්‍රශ්නය:- මේ ආණ්ඩුවේ වැටීම බොහෝවිට පාර කපන්නේ පැරැණි පාලනයටම බවට ඇතැමුන් විශ්වාසය පළ කරනවා. ඒක ඇත්ත වෙන්න බැරිද?
පිළිතුර-:- මම නම් හිතන්නේ නෑ. මේ ආණ්ඩුව මේ විදියටම ඊළඟ වාරයේ බලයට ඒ යැයි මම හිතන්නේ නෑ. මේ ආණ්ඩුවෙ ශ්‍රීලනිප පාර්ශ්වය ඊළඟට ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා යැයි කියනවා නම් එජාප පාර්ශ්වය එජාප ආණ්ඩුවක් හදනවා යැයි කියනවා නම් මේ ආණ්ඩුව එන්නේ නෑනෙ. සයිටම්විරෝධයට ගොවියන්ගෙ විරෝධයට ලක්වෙලා මහ බැංකු බැඳුම්කර වංචාවට ලක්වෙච්ච ආණ්ඩුවකට ඊළඟ ඡන්දෙන් ආණ්ඩු හදන්න පුඵවන්ද? බෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් පක්ෂයක් නෙවෙයි. කණ්ඩායමක්. මෛත්‍රිපාල මහත්තයයි මහින්ද මහත්තයයි එකතු වෙලත් ශ්‍රීලනිපයට ආණ්ඩුවක් හදන්න බැරිවුණා. දැන් දෙන්නා කැඩිලා දෙපැත්තට ගිහින් වංචා දූෂණ එලි වෙලා නඩු වැටිලා තිබෙද්දි කොහොමද බලයට එන්නේ? පහුගිය කාලෙ මහින්දට අලුතින් බලවේග එකතු වුණේ නෑ. අඩු ගානේ ආණ්ඩු විරෝධී සටනට නායකත්වය දෙන්නවත් ඔහුට හැකිවුණේ නෑ. ගොවියන්ගේ සටනක් තිබුණත් එතැන මහින්දට අයිති නෑ. සයිටම්විරෝධයට මහින්දට කිට්ටු කරන්නවත් බෑ. ජාතික දේපල විකිණීමට එරෙහි අරගලවලට සම්බන්ධවෙන්නවත් බෑ. අපේ රටේ ධනපති පක්ෂ දෙකම ඉතිහාසයේ දුර්වලම තැනකයි අද තියෙන්නේ. දැන් අවස්ථාව තිබෙන්නේ මේ ආණ්ඩුව වැටිලා මහින්දට එන්න නෙවෙයි. විකල්ප බලවේගයකටයි. ඒ බලවේගය නිර්මාණය අපේ වගකීමයි. මහින්දට නැවත ඒමට හැකි සංඥාවක්වත් මේ දේශපාලනයේ නෑ.
(සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)