ආණ්ඩුවේ වර්තමාන අභියෝග


රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සිතන විට මතක් වෙන්නේ ප්‍රසිද්ධ බෞද්ධ කියමනක්ය. ඒ කියන්නේ රටේ අභ්‍යන්තර දේශපාලනික හා ආර්ථික කටයුතු එක පැත්තකින් ගමන් කරමින් තිබෙන්නේ අවුල් සහගත තත්ත්වයකටය. තවත් පැත්තකින් රට සහ බාහිර ලෝකයේ පාර්ශ්ව අතර ගොඩනැගෙමින් තිබෙන තත්ත්වයද අවුල් සහගතය. බෞද්ධ සාහිත්‍යයේ මෙවැනි තත්ත්වයන් හදුන්වන්නේ අන්තෝ ජටා - බහි ජටා කියා ය. ඒ කියන්නේ ඇතුළත් අවුල් - පිටතත් අවුල් යන අදහස ය.

මෙවර කිවිදා දැක්මෙන් මා ලියන්නේ මේ කාරණය සම්බන්ධයෙන්ය.  රටේ අභ්‍යන්තරයෙන් සහ බාහිරින් මතුවෙමින් පවතින තත්ත්වය සම්බන්ධයෙන්ය.

අභ්‍යන්තර දේශපාලනය (ඇතුළත අවුල්)
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වශයෙන් පත් වූයේ 2022 ජූලි 20 දාය. ඒ අනුව ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට වසරක් පිරී හමාරය. රටේ තත්ත්වය සම්බන්ධයෙන් සමහරුන් කියන එක දෙයක් ඇත්තය. ඒ කියන්නේ 2022 ගෝඨාභය රාජපක්ෂ මහතා හැසුරුවාට වඩා විධිමත්ව රනිල් තමන් සතු රාජ්‍ය උපකරණ (State instruments) හසුරුවනවා කියාය. මෙතැන මම රාජ්‍ය උපකරණ යැයි කීවේ රජයේ ආයතන සහ ඒ ආයතනවලට පත්කර ඇති අය ය. එසේම විධිමත්ව හසුරුවනවා කියන්නේ බුද්ධිමත්ව හසුරුවනවා කියා නොවන බව ද මෙහිදී සඳහන් කළ යුතුය.

රටේ පෝලිම් හැදුණේ ගෝඨාභයගේ කාලයේ සමහර ආයතන හා සමහර ආර්ථික මර්මස්ථාන වැරදියට කළමනාකරණය කළ නිසාය. ඔහු ගත් සමහර තීරණ පුංචිම බුද්ධියක් තිබූ අයවත් නොගත යුතු ඒවාය. වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ පැත්තෙන් ඉතාමත් පරිස්සම් බව පැහැදිලිය. එහෙත් වික්‍රමසිංහ මහතා රාජ්‍ය දේපොළ සම්බන්ධව සිතන ආකාරයේ තිබෙන වැරදි සහගත තත්ත්වය නිසා ගෝඨාභය මහතාට වඩා වැඩි අර්බුදයකට රට තල්ලු වීම අනිවාර්ය බව මගේ මතයයි.

රාජ්‍ය දේපොළ විකිණීම
රට අභ්‍යන්තරයේ ප්‍රශ්න වර්ධනය වන එක ගැටලුවක් වන්නේ මේ ආණ්ඩුව රාජ්‍ය දේපොළ විකිණීමට දරන උත්සාහය සමගය. එක් ඇමැතිවරයෙක් හදන්නේ විදුලිබල මණ්ඩලය කෑලි 14 කට කඩා පෞද්ගලිකරණය කිරීමටය. තෙල් සංස්ථාවට කරමින් තිබෙන දේ තේරුම් ගැනීමත් ඉතාමත් සංකීර්ණය. තෙල් ගෙන්වන්නට ඩොලර් යන නිසා පිටරට කොම්පැනි 03 කට හෝ 04 කට පැට්රල් ෂෙඩ් ටික බෙදා දුන් විට ප්‍රශ්නය නිරාකරණය වෙන බව කියන අය ද මේ අතර සිටිති.

තෙල් බෙදා හරින්නට පිටරට කොම්පැණි කීපයකට දුන් විට තෙල් ගෙන ඒමට ඩොලර් වැය වෙන්නේ නැත. එහෙත් මාසේ අන්තිමට මේ කොම්පැනි 04 ටම ගෙනියන්න ඩොලර් ගෙවිය යුතුව ඇත. ඒ කියන්නේ දැන් පිටරටින් තෙල් ගෙන්වන්නට මාසයේ මුලදී ගෙවන්න වෙන ඩොලර් මිලියන 400 (මෙය ඒ ඒ මාසවලට අනුව වෙනස් වේ.) හැම මාසයකම අවසානයේ ෂෙඩ් ටික කළමනාකරණය කරන පිටරට කොම්පැණි 04 ට ගෙවන්නට සිදුවනවා කියාය. මේ තෙල් සංස්ථා පෞද්ගලිකරණය කියන්නේ රටට කිසිදු ප්‍රයෝජනයක් නැති, ඒ ඒ විදේශ කොම්පැණිවලට සහ ඒවායේ මෙරට සිටින ඒජන්තලාට වාසි සහගත ඩීල් එකක් ය.

13 වැනි සංශෝධනය
මේ අතර ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළු කැඳවමින් උත්සාහ ගත්තේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නට යැයි සමහරු සිතති. ඒ සර්ව පාක්ෂික සමුළුවෙන් සිදුවූ කිසිදු ධනාත්මක දෙයක් නැතැයි එයට සහභාගි වූ නායකයෝම කියති. 13 වැනි සංශෝධන කථා පැමිණියේ මීළඟ ජනාධිපතිවරණයට උතුරේ ඡන්ද ටික බිලිබා ගැනීමේ උපක්‍රමයක් ලෙසින් මිස වෙන කාරණයක් නිසා නොවන බව ඉතාමත් පැහැදිලිය. ඒ කෙසේ වෙතත් මේ ප්‍රශ්නය නැවතත් මතුකිරීම හේතුවෙන් රට අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් ඇතිවීමට නියමිතය.

ජනාධිපතිවරණය
මීළඟට අභ්‍යන්තර දේශපාලනයේ මතුවෙමින් පවතින ගැටලුවක් වන්නේ ‘ජනාධිපතිවරණයක් සඳහා රට සූදානම් කිරීමේ’ කාරණය ය. කොහොමටත් 2024 නොවැම්බර් මාසය වන විට මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ කාලය නිමාවන නිසා ජනාධිපතිවරණයක් පැවැත්වීම ව්‍යවස්ථාවෙන්ම කියැවෙන අවශ්‍යතාවකි. ඒ සඳහා කාගේවත් විශේෂ ‘හොඳ හිතක්’ අවශ්‍ය නැත. එහෙත් දැන් ආණ්ඩුවේ සමහරුන් කියන්නට හදන්නේ ‘අහවලාගේ හොඳ හිත නිසා ජනාධිපති ඡන්දයක් එනවා’ කියා ය. මේ කථාවල කිසිදු පදනමක් නැත.

ජනාධිපතිවරණයක් සඳහා ආණ්ඩුවේ සූදානම පැති දෙකකින් පෙනෙන්නට පටන් ගෙන තිබේ. එක පැත්තකින් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් එජාප + ලංසා කණ්ඩායම +  ප්‍රසන්න, මහින්දානන්ද, කංචන කණ්ඩායම දැනටමත් කථා කරන්නට පටන් ගෙන තිබේ. ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වය වන පොහොට්ටුවේ රාජපක්ෂ පාර්ශ්වය ද තමන් වෙනමම අපේක්ෂකයකු ගෙනෙන බව දැනටමත් ප්‍රසිද්ධියට පත්කර ඇත. ඒ අයගේ තර්කය පැහැදිලිය.

තමන්ට අගමැතිකම නොලැබෙනවා නම් රනිල්ට උදව් කිරීමේ කිසිදු වාසියක් ඒ අයට නැත. එවැනි තත්ත්වයක අනාගත දේශපාලන ඉඩක් නැතිවීමේ අනතුරක් ද ඒ සමග ඇත. ඒ නිසා අගමැතිකමවත් නොලැබෙන ආකෘතියක රනිල්ට උදව් කරනවා වෙනුවට පරදින්නට හරි අපේක්ෂකයෙක් දමා ඊළඟ විපක්ෂයට යාම දේශපාලන වශයෙන් නිවැරිදි තීරණයක් යැයි  ඒ අය සිතනවා විය හැකිය. එහි උපක්‍රමික වාසියක් තිබෙන බව පැහැදිලිය.

මේ තත්ත්වය විපක්ෂයේ අය තේරුම් කරගන්නේ කෙසේද යන්න ද සිතා බැලිය යුතුය. විපක්ෂයේ බලවේග සියල්ලම හෝ එසේ නැතහොත් ප්‍රධාන ධාරාව පළල් සන්ධානයක් ලෙසින් ගොඩනැගීමක් හරහා මිස මේ තත්ත්වයට තනිව මුහුණ දෙන්නට කාටවත් හැකියාවක් නැත. මෙවර ජනාධිපතිවරණය තුළ ජනාධිපති ධුරය දරන්නට ඉදිරිපත් වෙන පුද්ගලයා දෙස පමණක් බලා ඡන්දය දෙනු ඇතැයි මා සිතන්නේ නැත.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන පුද්ගලයාට අමතරව තමන්ගේ ‘ටීම් එක’ රටට නිවැරැදිව කියන්නේ නැතිව තරුණ ඡන්ද මිලියන 04 ක් පමණ ලබා ගැනීම ඉතාමත් දුෂ්කරය. ගෝඨාභයට පමණක් ඡන්දය දී පරණ ටීම් එකටම රට භාරදීමේ විපාකයෙන් ජනතාව ඉගෙනගෙන ඇත්තේ මේ පාඩමය. මේ අභියෝගය ජය ගැනීමට සමගි ජන බලවේගය, ජාතික ජනබලවේගය ඇතුළු විපක්ෂයේ පාර්ශ්ව කොපමණකට සූදානම් ද යන පදනම මත ජයග්‍රහණය පවතින බව පැහැදිලිය. දැනට වික්‍රමසිංහ මහතා සතුව ඇති ‘ආයුධය’ වන්නේ ‘ජාතික සම්පත් විකුණන්නට හරි හොඳ ටීම් එකක්’ තමන්ට සිටිනවා යන්නය.

බාහිර දේශපාලනය (පිටත අවුල්)
මා මුලින් කීවාක් මෙන් රටේ  අභ්‍යන්තරයේ අවුල් ඇතිවෙනවා මෙන්ම පිටතින් එන බලපෑම ද දිනෙන් දින වැඩිවෙමින් පවතී. මාරුවෙන් මාරුවට ඒ ඒ ආණ්ඩු නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයෝ රටට එන්නට පටන් ගෙන ඇත. මුලින්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ නායකයෙක් පැමිණියේය. ඊට පසු ඉන්දීය විදේශ ලේකම් ය. ඊට පසු ජපානයේ විදේශ ඇමති හයාෂි යොෂිමාසාය. ඊළඟට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්ය.

මේ අය එකිනෙකා රටට කීවේ වෙන වෙනම කථාය. එහෙත් මේ හැමදෙනාගේම ප්‍රකාශවල යටි අදහස වූයේ ඉන්දියානු සාගර කලාපයේ වැදගත්කම සහ පැසිෆික් කලාපයේ ස්ථායිතාවට එහි ඇති සම්බන්ධතාව කෙතරම් ද යන්නය.

ඉන්දියානු - ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරීත්වය
මේ අතරින් රටේ අවධානය යොමුවිය යුතු ප්‍රධාන කාරණයක් වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දිනවල සිදුවෙමින් පවතින ද්විපාක්ෂික දේශපාලන මැදිහත්වීම් පිළිබඳවය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සහ ඉන්දීය අගමැතිතුමා අතර සිදුවූ සාකච්ඡාවෙන් පසු නිල මාධ්‍ය නිවේදනයෙන් කීවේ ද ‘පොදු සහ තිරසාර ආර්ථික සෞභාග්‍යයක් සඳහා පවතින සහක්‍රියාවන් සහ අනුපූරකතා සවිමත් කිර‌ීමට එකඟවූ බවය.

මේ වචන දෙකෙන් (‘පවතින සහක්‍රියාවන්’ සහ ‘අනුපූරකතා’) අදහස් කරන්නේ කුමක්ද යන්න ද ඒ ප්‍රවෘත්ති නිවේදනය තුළ ඇතුළත්ව ඇත. මුලින්ම සමුද්‍රිය සම්බන්ධතා ශක්තිමත් කිරීමට එකඟ වන අතර ඊට අමතරව ගුවන් සම්බන්ධතාව වැඩි කිරීමට කටයුතු යොදන බව එහි සඳහන්ය. දෙවනුව විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයේ ඒකාබද්ධ සංවර්ධනයක් සඳහා එකඟ වී ඇත.

එක් පැත්තකින් මන්නාරම, සාම්පූර් සහ පූනරින් වැනි කලාපවල විදුලි බලාගාර ගොඩනැගීමත් LNG යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත් එකඟ වී ඇත. ඊට අමතරව ත්‍රිකුණාමලයේ තෙල් සහ බලශක්ති ‘මධ්‍යස්ථානයක් ලෙසින් රටවල් දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතා මත ගොඩනැගීමට එකඟ වී ඇත එපමණක් ද නොවේ ‘ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ලංකාවට බහු නිෂ්පාදන පෙට්‍රෝලියම් නළයක් ඉදිකිරීමට ද’ එකඟ වී ඇත.

මේ සියල්ලටමත් වඩා බලපෑමක් ඇති කරණ මූල්‍ය අංශයට සම්බන්ධ තීරණ කීපයක් ද මේ සමග ඇත. එයින් එකක් වන්නේ UPI පදනම මත ඩිජිටල් ගෙවීම් භාවිත කිරීමට දෙරට අතර එකඟවීමය. මේ තීරණ ගෙන ඇත්තේ බලශක්ති ක්ෂේත්‍රයේ සහ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුකරන ලද ශක්‍යතා අධ්‍යයනයකින් පසුවදැයි මා දන්නේ නැත. 

ජපන් සහ ප්‍රංශ කථා
මීට අමතරව ජපානයේ විදේශ ඇමැතිවරයාගේ නිල නිවේදනයේ සඳහන් වන්නේ ජයිකා (JICA) ආයතනය යටතේ ආරම්භ කර නැවැත්වූ ව්‍යාපෘති සියල්ල ගැන තීරණයක් මෙරට ආර්ථිකයේ බංකොළොත්භාවය නිමාවීමෙන් පසුව ගන්නා බවයි. එසේම ඔවුන්ගේ අදහස වන්නේ FOIP වැඩසටහන හෙවත් Free and Open indo – Pacific වැඩසටහන ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය ලැබිය යුතු බවය. 

ප්‍රංශ ජනාධිපතිවරයාගේ කෙටි සංචාරය මගින් ඔහු සෘජුවේ මෙරටට සම්බන්ධ ව්‍යාපෘති පිළිබඳව බරපතළ සාකච්ඡාවක් සිදු නොකළ බව පැහැදිලිය. ප්‍රංශ සංවර්ධන ඒජන්සිය (AFD) මගින් සිදුකරන යම් මැදිහත්වීම් ගැන එහිදී අදහස් කීපයක් මතුකර ඇත.
විදේශ ප්‍රතිපත්තිය කොයිබටද?

මේ බාහිර පාර්ශ්වල මැදිහත්වීම් කළමනාකරණය කළ හැක්කේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි ස්ථාවරයක් ගැනීමෙන්ය. මගේ තේරුම් ගැනීමට අනුව දැන් රටේ අවධානය ආර්ථික ක්ෂේත්‍රය ළඟට යා යුත්තේ විදේශ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයටය. එසේ නොමැති වුවහොත් කලාපයේ හා ලෝකයේ තෙරපුම හමුවේ රට බරපතළ අනතුරුවලට ලක්වීමේ ඉඩක් පවතින බව මගේ අදහසය.

ඇතුළතින් හා පිටතින් අවුල් වෙමින් පවතින රටක මීළඟ දේශපාලන ගමන් මාර්ගය කුමක් විය යුතු ද යන්න වැදගත් ප්‍රශ්නයකි. එය මෙහි සාකච්ඡා කිරීමේ ඉඩක් නැත.


මහාචාර්ය චරිත හේරත්