කම්කරු පංතිය බිහි වන්නේද ධනවාදී ක්‍රමය අනුවය. කාර්මික විප්ලවය අනුව එක වැඩ පළක කම්කරුවන් විශාල ගණනින් බිහිවීම සිදුවිය. ඊට පෙර එක වැඩපළක සිටියේ කම්කරුවන් හතර පස් දෙනෙකි. ඉන්පසු යන්ත්‍ර සූත්‍ර වැඩි වීම සමග කාර්මීකරණය වැඩිපුර පැතිර ගියේය. 1886 මැයි අරගලය යනු තීරණාත්මක කාල වකවානුවකි.
ඒ වනවිට ධනවාදය තීව්‍රතාවට පත්විය. ඒ කාලය යනු මුළු ලෝකයම රටවල් හතක් විසින් පාලනය කරනු ලැබූ කාල වකවානුවකි. එකල අපේ රටද පාලනය කළේ බ්‍රිතාන්‍යයන් විසිනි. ධනවාදයේ තවත් ඉහළ තත්ත්වයක් වන අධිරාජ්‍යවාදය එකල පැතිර ගියේය.එකල කම්කරුවන්ට දිනකට පැය 18-20 දක්වා වැඩ කිරීමට සිදුවිය.
කාල් මාක්ස් ඊට එරෙහිව ශ්‍රමය සූරාකෑම පිළිබඳ න්‍යායක්ද ඉදිරිපත් කළේය. කම්කරුවා එකල පැය 18 ක් 20 ක් වැඩ කළත් ඊට සුදුසු මුදලක් ලැබුණේ නැත. එම කම්කරුවා වැඩ කරන්නේ ඔහු වෙනුවෙන් නොව සිය හාම්පුතා වෙනුවෙනි. මුල් පැය 08 න් පසුව තවත් පැය 08 ක් යම් සේවකයකු වැඩ කරන්නේ හාම්තුන්ගේ මනදොළ පිනවීමටය. කාල් මාක්ස්ගේ එම න්‍යාය සමගම වෘත්තීය සමිති ව්‍යාපාර ක්‍රමයෙන් ගොඩ නැගෙන්නට විය. මුලින්ම මැයි දින අරගලය ආරම්භ වන්නේ ඇමෙරිකාවේ චිකාගෝ නුවර ආශ්‍රයෙනි. පසුව එය ලැව්ගින්නක් සේ මුළු ඇමරිකාව පුරාම පැතිර යන්නට විය.
කම්කරුවෝ පැය අටේ වැඩමුර ඉල්ලා පෙළපාළි යෑමටත් උද්ඝෝෂණය කිරීමටත් පටන් ගත්හ. එය මුලින්ම සිදුවූයේ 1886 මැයි 01 වැනිදාය. එහිදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පැවැති අතර නාඳුනන පුද්ගලයකු එම රැස්වීමට බෝම්බ පහරක් එල්ල කර ඇත. එම ප්‍රහාරයෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වුණු අතර තවත් කිහිප දෙනෙක් තුවාල ලැබූහ. මරණයට පත්වූයේ පොලිස් නිධාරියෙකි. එම සිද්ධියෙන් පසුව එය තමන්ට සිදුවූ දෙයක් ලෙස සලකා පොලිස් නිලධාරීහු හතර අතට වෙඩි තැබීමට පටන් ගත්හ. එහිදී කම්කරුවන් අට දෙනකුට ජීවිතය අහිමි විය.
මෙම රැස්වීමට කොඩි අරන් ගිය පිරිසගේ කොඩි රතුපාටට හැරවිණි. ඉන් පසු වසර කීපයක් ගතව ගිය අතර 1890 මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස නම් කිරීමට සිදුවිය. ඉන් පසු එංගලන්තය, ප්‍රංශය යන රටවලද එම දිනය සැමරීමට පටන් ගත්හ. පැය 08 වැඩ ඉල්ලීම ජයග්‍රහණය කළේය. එය මුළු ලෝකයේම ජයග්‍රහණයක් බවට පත්විය. පැය 08 න් පසු අතිරේකව වැඩ කරන සෑම පැයක් සඳහාම අතිකාල ගෙවිය යුතු බවට තීරණය කෙරුණේ ඒ අනුවය. මැයි දිනය කම්කරු දිනය බවට මුළු ලෝකයේම සැමරීම ඉන්පසුව සිදුවිය.
ශ්‍රී ලංකාවේ පළමු වරට මැයි දිනයක් සමරනු ලබන්නේ 1933 දීය.
1934 දී දොස්තර වික්‍රමසිංහ, කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, එන්.එම්. වැනි අය බ්‍රිතාන්‍ය, ප්‍රංශය ඇමෙරිකානු විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලබා මෙරටට පැමිණ මාක්ස්වාදීන්ගේ සංගමයක් වශයෙන් මැයි දිනය පැවැත්වූවේය. 1935 දී ලංකා සම සමාජ පක්ෂය පිහිටුවා දිගටම මැයි දිනය සැමරීම සිදුවිය. 1956 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මැයි දිනය සැමරීමට එක්විය. 1968 දී එක්සත් ජාතික පක්ෂය ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් මැයි දින සැමරුමට එක්විය. ඒ අනුව අද වන විට වාමාංශික මෙන්ම දක්ෂිණාංශික දේශපාලන පක්ෂද මැයි දින සැමරුමට එක්වී ඇත.
එදා කම්කරුවන් එකතු වී ලබා ගත් ජයග්‍රහණ අද ද කම්කරුවන් භුක්ති විඳින්නේ එය සමස්ත කම්කරුවන්ගේම ජයග්‍රහණයක් බවට රටට ඒත්තු ගන්වමිනි. පැය 08 ක් වැඩ කිරීම, නිවාඩු ලබාගැනීම, අතිකාල ලබා ගැනීම, අර්ථසාධක අරමුදල්, විශ්‍රාම වැටුප් වැනි ජයග්‍රහණ රාශියක් මේ කාලවකවානුව තුළ කම්කරුවාට දිනාගැනීමට හැකි වී තිබේ. කිසිම දෙයක් බන්දේසියක තබා කම්කරුවාට ලබාදී නැත. ඒවා සියල්ල කම්කරුවා දිනාගෙන තිබෙන්නේ අතිමහත් උත්සාහයෙනි. ඒවා රැකගනිමින් ඉදිරියට යෑම සමස්ත කම්කරු ජනතාවගේම වගකීමය.
කම්කරුවන් සිය ඉල්ලීම් එදා දිනා ගත්තා සේම අද ද තමන්ට ඇති අවශ්‍යතා පිළිබඳ ඉල්ලීම් ඉදිරිපත් කිරීම වරදක් නොවේ. ඒවා දිනාගත යුත්තේ මස් රාත්තලම ඉල්ලන ක්‍රමවේදයට නොව සියලු පාර්ශ්වවලට සාධාරණය ඇති වන පරිදිය.
වෘත්තිය සමිති ව්‍යාපාර රට තුළ ව්‍යාප්ත වූයේ මෙම ඉල්ලීම් ජයග්‍රහණය කළ නිසාය. 1946/ 47 කාල වකවානුවල රජයේ සේවකයන්ට කිසිම අයිතිවාසිකමක් තිබුණේ නැත. 46 කම්කරු වැඩ වර්ජනයත් මධ්‍යම පාංතික වැඩ වර්ජනයත් රජයේ සේවකයන්ට ඉල්ලීම් දිනා ගැනීමට හැකි වූ අවස්ථා විය. එහිදී ජීවිතයක් පවා අහිමිවීම සිදු වුවත් ඉතිහාසයේ සිදුවූ එම සටන් පිළිබඳ සමහරු දන්නේද නැත. වෘත්තිය සමිති වලින් ජයග්‍රහණ හිමිවීම නිසා රජයේ සේවයට එක්වන සියල්ලෝම වෘත්තිය සමිති ව්‍යාපාරයට අකාර්ශනය වීම ආරම්භයේදීම සිදුවේ.
එදා වාත්තීය සමිති සඳහා තිබූ ආකර්ශනය එලෙසම අද ලැබෙන්නේ නැත. 1970 වන විට අප රටේ ලියාපදිංචි වෘත්තීය සමිති සාමාජිකයෝ ලක්ෂ 20 ක් සිටියහ. එහෙත් අද වන විට සිටින්නේ ලක්ෂ දෙකකටත් අඩු ගණනකි. එතනින් අපට ප්‍රත්‍යක්ෂ වන කාරණාව වන්නේ රජයේ සේවයේ සිටින සියල්ලෝම වෘත්තිය සමිතියක සාමාජිකයන් නොවන බවය.
1977 – සිට 2023 දක්වා බැලූ විට වෘත්තිය සමිති ව්‍යාපාරය ගුණාත්මක හා සංඛ්‍යාත්මක වශයෙන් පිරිහීමට ලක්ව ඇත. එසේම සටන්කාමී බව අතින්ද වෘත්තිය සමිති පසුබෑමකට ලක්ව ඇත. සෞඛ්‍ය සේවාවේ වැඩ වර්ජනයක් 77 වනතෙක් තිබුණේ නැත. එදා සිටි නායකයන් සෞඛ්‍ය සේවාවේ වර්ජනයක් කිරීමට ඉඩ ලබාදුන්නේ නැත. ඔවුන් වෙනුවෙන් අනෙක් වෘත්තිය සමිති අරගල කළ යුතු විය. කම්කරුවන්ගේම සහෝදර සහෝදරියන් රෝගීන් වශයෙන් රෝහල්වල සිටින බව ඔවුහු අවබෝධ කොටගෙන සිටියහ.
කිසිම විටක එම වෘත්තීය සමිති රෝගීන්ගේ ජීවිත උගසට තබා තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට ගියේ නැත. අප දන්නා ඉතිහාසය අනුව වෛද්‍යවරු, හෙදියෝ වැඩ වර්ජනය කරන්නේ මෑත කාලයේය. ආණ්ඩුවලට බල කිරීම් කළ වැඩ වර්ජනවලට ගියේ නැත. රාජ්‍ය සේවාව ගුණාත්මක බවින් වෙනස්වන විට වෘත්තිය සමිති සේවාවද වෙනස්වේ. එසේ නොවන විට එහි ප්‍රතිවිරුද්ධ දේ සිදු වේ. රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වන විට වාත්තීය සමිති ව්‍යාපාරයද ඒ ආකාරයටම කටයුතු සිද්ධ වේ.
අවුරුදු පහෙන් පහට ආණ්ඩු වෙනස් වන විට වෘත්තීය සමිති ව්‍යාපාරයටද එහි බලපෑම් ඇතිවේ. අතීතයේදී වෘත්තිය සමිති පක්ෂවල වලිග ලෙස ක්‍රියා කළේ නැත. පක්ෂ වෙනම තිබුණු අතර වෘත්තිය සමිති වෙනම තිබිණි. සමහරවිට වෘත්තිය සමිති නායකයන් පක්ෂවල සාමාජිකත්වය ලබාගෙන ඇත. දැන් තිබෙන්නේ පොහොට්ටුව, සජබෙ, ජවිපෙ යටතේ වෘත්තිය සමිති බිහි වී ඒවා පක්ෂ අතකොලු බවට පත්වීමය. රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වූ විටම බෙදීම් ඇතිවේ. එසේ වූ විට වෘත්තිය සමිති ව්‍යාපාරයක තිබෙන සමගිය බිඳ වැටේ. දුම්රිය සේවය ගත් විට ශ්‍රේණි ඇත.
එම සෑම ශ්‍රේණියකටම වෘත්තීය සමිතියක් ඇත. ඒ හරහා හෙට්ටු කිරීමේ බලය ඒ අය නැති කරගෙන ඇත. සියලු පාර්ශව එකට සිටින විට වැඩ වර්ජන නොකළත් ආණ්ඩු හෙල්ලීමට ලක්වේ. එහෙත් අද එවැනි සමගියක් එම වෘත්තිය සමිති අතර දකින්නට නැත. වෘත්තිය සමිති අද මුල් ප්‍රතිපත්ති වලින් බැහැර වී ඇති අතර තව අවස්ථාවක වලිග බවට පත්ව ඇත. රාජ්‍ය සේවය දේශපාලනීකරණයවීම නිසා ඒ අයට මන්ත්‍රීවරුන් පසුපස බඩගෑමට සිදුව ඇත. උසස්වීම්වලට හා පඩි වැඩි කර ගැනීමට දේශපාලනය අවශ්‍ය වී ඇත.
අතීතයේ තිබූ සම්ප්‍රදායන් බිඳවැටීම වන ලොකුම හෙනය සිදුවී තිබෙන්නේ කම්කරුවාටය. මේ සඳහා බලපා තිබෙන කාරණාවක් වන්නේ නව ලිබරල් ආර්ථික උපායමාර්ගය හෙවත් විවෘත ආර්ථිකය හඳුන්වා දීමයි. විධායක ජනපතිවරයා සිය බලතල අසීමිතව යොදාගැනීම වෘත්තිය සමිති ව්‍යාපාරය බිඳවැටීමට තව හේතුවක් විය. මෙහි අවාසිය සිදු වන්නේ කම්කරු පංතියටමය. කවුරු පිළිගත්තත් නැතත් වෘත්තිය සමිති ව්‍යාපාරය පිරිහීමට ලක්ව තිබෙන බව අප පිළිගතයුතු සත්‍යයකි.
ආර්ථික විද්‍යාඥයන් මත පළ කරන්නේ අප රටද කාර්මීකරණයට යායුතු බවයි. කෘෂිකර්මයෙන් පමණක් රටක් දියුණු කළ නොහැකි බව අප තේරුම් ගත යුතුය. වෘත්තිය සමිති නායකයන් පසුව දේශපාලන නායකයන් බවට පත්වුණත් කම්කරුවාට සිදුවූ යහපතක් නැත.
අද රටේ අප මුහුණ දෙන අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ මේ ආර්ථික ක්‍රියාදාමයය. ඒවා වෙනස් කර ගන්නවා වගේම කම්කරුවා ඊට දායක කර ගැනීමටද ආණ්ඩුව පියවර ගත යුතුය. ආනයන-අපනයන පරතරය පියවා ගැනීමටද රටක් ලෙස අපට මේ මොහොතේ පැවරී ඇති වගකීමකි. කම්කරු පංතියේ නැගිටීමට රටේ මේ ප්‍රශ්නද බලපා ඇත. ඒවා අභියෝගයක්කොට ගනිමින් රටක් ලෙස ඉදිරියට යෑමට අප කටයුතු කළ යුතුය.
අද වනවිට ප්‍රංශ කම්කරුවෝ විශ්‍රාම වැටුප ලබා ගැනීමට අරගල කරමින් සිටිති. ලෝකයේම කම්කරුවෝ තමන්ගේ අයිතීන් දිනා ගැනීමට ඉදිරියට පැමිණෙමින් සිටිති. රටේ වෙනස්විය යුතු දේ පිළිබඳ කම්කරු අයිතීන් පිළිබඳ ආණ්ඩුවලට මෙන්ම දේශපාලනඥයන්ටද අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. වහාම ඒ අය කම්කරුවාගේ වටිනාකම තේරුම් ගෙන මෙවර මැයි දිනයේ සිටවත් කටයුතු කිරීමට වගබලා ගතයුතුය. මෙවර මැයි දිනයේ කළ යුතුම දේ ලෙස විශ්වාස කරන්නේ අනවබෝධයෙන් අවබෝධය කරා ගමන් කිරීමය.
රට මුහුණදී සිටින්නේ බරපතළ ආර්ථික, සමාජ අර්බුදයකටය. මේ පසුබිමේ වැඩියෙන්ම පීඩාවට පත්ව සිටින්නේ වැඩ කරන ජනතාව බව අමුතුවෙන් කිවයුතු නැත. ආර්ථික පීඩනයෙන් මිරිකී සිටින වැඩ කරන ජනතාව සම්බන්ධව මනා වැටහීමකින් යුතුව කටයුතු කළ යුතු කාලයකට සියලු දෙනා පැමිණ සිටින බව පැහැදිලිය. රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩනොගෙන මේ කිසිවකට විසඳුම් සෙවිය හැකියැයි සිතිය නොහැක.
එනිසා වැඩ කරන ජනතාව තම අයිතිවාසිකම් දිනාගැනීමට හැකියාව ඇති රටක් ගොඩනගා ගැනීමට පළමුව ක්‍රියා කළ යුතුව තිබේ. මේ කාරණය වාත්තිය සමිතිවලටද අදාළය. වාත්තිය සමිතිද රටේ පවත්නා යථාර්ථය අවබෝධ කරගෙන තම ක්‍රියාමාර්ග තේරීම සුදුසු බව මගේ හැඟීමය. රටේ නිෂ්පාදනය ඉහළ නංවා ලබාගන්නා ආර්ථික වර්ධනය ඔස්සේ තම අයිතීන් තහවුරු කරන පරිසරයක් සකසාගත හැකිය.
ඒ වගේම හාම්පුතුන්ටද වගකීමක් පැවැරී ඇති බව අමතක නොකළ යුතුය. තම ආයතනවල වැඩ කරන ජනතාව වෙනුවෙන් පහසු ජීවන වටපිටාවක් ගොඩනැගීම ඔවුන් සතු වගකීමය. ශ්‍රමයට සරිලන වේතනයක් වැඩ කරන ජනතාවට ලබාදීම කෙරෙහි හාම්පුතුන් උනන්දු විය යුතුය. හාම්පුතුන් වැඩ කරන ජනතාවට යුතුකම් ඉටුකරන්නේ නම් ඔවුන්ගෙන් වඩා වැඩි සේවාවක් ලබාගත හැකිය. ඒ ඔස්සේ හාම්පුතුන්ටද රටේ ආර්ථිකය නංවාලීමට වඩා වැඩි දායකත්වයක් ලබාදීමට පුළුවන. එනිසා රට පත්ව ඇති අසීරු අවස්ථාව සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව නිවැරැදි අවබෝධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව තිබේ.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර
සටහන – අමිල චින්තක ගමගේ