(තරිදු ජයවර්ධන සහ බිගුන් මේනක ගමගේ)
‘කරුණාකරලා උදව් කරන්න. කළුතර හොරණ පාරේ ගල්පාත කුරුඳුවත්ත ගමේ පවුල් 80ක් 100ක් පමණ අවතැන් වෙලා. තවමත් කිසිවකු එහි පැමිණ නෑ. මගේ අම්මා තාත්තා ඇතුළු ගොඩක් කට්ටිය ඉන්නවා. ගෙවල් ඔක්කොම යටවෙලා. ඔයාලට ගොඩක් පිං උදව් කරන්න.‘
මේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ එසේ නැතිනම් මුහුණු පොතේ දමා තිබූ සටහනකි. මෙම සටහන දුටු බොහෝ දෙනකු එය තවත් පිරිසකට බැලීමට හැකි වන පරිදි ප්‍රචාරය කර තිබිණි. වැඩි වේලාවක් යන්නට මත්තෙන් දැනගන්නට ලැබුණේ ප්‍රශ්නගත ප්‍රදේශයට අවශ්‍ය ද්‍රව්‍ය බෝට්ටු මගින් යැවූ බවයි.
පත්තර, ගුවන් විදුලි, රූපවාහිනීවලට අමතරව තරුණ තරුණියන් වැඩිමනක් පිරිසක් පරිශීලනය කරන්නේ සමාජ මාධ්‍යයි. ‘ෆේස්බුක්‘ ඒ අතර ප්‍රධාන තැනක් ගනී.
අරණායක ආපදාව අවස්ථාවේ බොහෝ පිරිසක් ෆේස්බුක් මගින් ගොඩනගා ගත් හිතවත්කම් මත එම ප්‍රදේශවලට විවිධ උපකාර කළහ. පසුගිය වසරේ ගංවතුර අවස්ථාවේ ද එසේම විය. එතැනින් තවත් දුරට ගොස් මෙවර බොහෝ ප්‍රදේශවලට බලපෑ අපදා සම්බන්ධයෙන් මුලින්ම විස්තර ප්‍රචාරය වූයේ සමාජ ජාලා ඔස්සේය.
එය එතැනින් නැවතුණේ නැත. රටේ තැන තැන කොටුවී සිටින්නෝ ෆේස්බුක් හරහා තමන් සිටිනා ස්ථානය හා පත්වී සිටින ඉරණම දැන්වූහ. එය දුටු බොහෝ දෙනෙක් අදාළ රාජ්‍ය ආයතනවලට ඒ ගැන දැනුම් දුන්හ. තවත් පිරිසක් එම ස්ථානවලට අවශ්‍ය ආහාරපාන ආදිය ලබා දීමට උත්සුක වූහ. තවත් සමහරු වෙනත් විවිධ ක්‍රමවලින් මුදවාගැනීමේ මෙහෙයුම්වලට හා සහන සැලසීමේ මෙහෙයුම්වලට දායක වූහ.
චමල් අකලංක පොල්ගහවත්ත 20 හැවිරිදි තරුණයෙකි. ඔහු මෙම කටයුත්ත උපරිමයෙන් සිදු කරන බව දැක ගත හැකි විය. මේ ඔහු කියන කතාවයි.
‘‘මම රත්නපුරට ගිහින් එහෙ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ක කතා කරලා සෝෂල් මීඩියා හරහා ඒ ගැන දැනුම්වත් කිරීම නිසා ඒ ප්‍රදේශ වලට වතුර ආහාර හා සහන සේවා ආධාර යවන්න පුලුවන් වුණා. තවමත් යවනවා. ගාල්ල මාතර ආදී ප්‍රදේශවල සිදුවීමුත් සමාජ මාධ්‍ය හරහා පළ කිරීමෙන් ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ලැබී තිබුණා. අපදා කළමානාකරණ මධ්‍යස්ථානයත් නව තාක්ෂණය උපයෝගී කරගෙන ප්‍රතිසංවධානය කළා නම් මීට වඩා ගොඩක් පහසු වෙයි.‘‘
කසුන් පුස්සවෙල ඇතුළු තවත් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් මේ කටයුත්ත හා සම්බන්ධ වී සිටියහ. කාලයක් පුවත්පත් කිහිපයක මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ පුස්සවෙල මෙවර ආපදාවේදී කටයුතු කළේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු ලෙසයි. අපදා ස්ථානවලටම ගොස් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරනු අයුරු මෙන්ම අවශ්‍ය දෑ ගැන දැනුම්වත් කරන අයුරුද දැක ගත හැකි විය.
සමාජය මාධ්‍ය හරහා මඩ ගසනවා යැයි කියමින් එය නියාමනය කළ යුතු බවට පිරිසක් කෑ මොර දෙද්දී මෙවැනි තරුණ තරුණියන් රැසක් ඉන් ප්‍රයෝජන ගැනීම පැසසිය යුතුය. සාමාන්‍ය මාධ්‍ය හරහා කළ නොහැකි බොහෝ දේ එමගින් සිදු කර ගත හැකි වූ බව පසුගිය දින කිහිපයේ අත්දැකීම්වලින්ම තහවුරු විය.
අපදා වලක්වන්න සමාජ මාධ්‍ය දායක කර ගන්නේ කෙසේද? එම ලිපිය පසුව