මෙවර අයවැය, නිදහසින් පසු මෙරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ අයවැයකි. නිදහස ලැබූ දා පටන් මේ දක්වා කාලයේදී ආර්ථිකය නිසි මාර්ගයේ ගෙන නොගිය බව ප්‍රථම වතාවට සමාජය ඉදිරියේ පිළිගෙන තිබීම එයට ප්‍රධාන හේතුවයි. අයවැය කතාව කරමින් මුදල් ඇමැති හැටියට ජනාධිපතිවරයා ඒ කාරණය පැහැදිලිව කියා සිටියේය.
අනුගමනය කළ ක්‍රමවේදය, අපේ අපේක්‍ෂා, කළ යුතුව තිබූ දේ ඇතුළු කිසිවක් නොකළ බව ද එහිදී පෙන්වා දුන්නේය. කලාපීය රටවල් සමග සැසඳීමේදී එදා රට තිබූ තැනත්, අද රට තිබෙන තැනත් උදාහරණ සහිතව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. නිදහස ලබා වසර 74කට පසුව හෝ මෙවැනි ස්වයං විවේචනයකට යාමට හැකි වීම ගැන සතුටු විය යුතුය. ඒ වගේම පරස්පර විරෝධී කරුණු ද සාධනීය යෝජනා ද මෙහි ඇතුළත්ය. එනිසා මෙය මිශ්‍ර අයවැයකි.
රුපියලේ අගය ශක්තිමත් වී ඇති බව අයවැයෙන් කියා තිබුණ ද එය පිළිගත හැකි කරුණක් නොවේ. ලෝකයේ සෑම මුදල් ඒකකයක්ම පාහේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අගය අඩු වී තිබීම එයට හේතුවයි. ඇමෙරිකාවේ පොලී අනුපාත ඉහළ නංවනු ලැබ තිබීම මෙහි රහසයි. මේ නිසා මුළු ලෝකයේම තිබෙන මුදල් ආයෝජනය කෙරෙන්නේ ඇමෙරිකාවේය. ඒ, ඉහළ පොලියක් ලබා ගැනීමටය. ලංකාවේ රුපියල තිබූ තත්ත්වයට සාපේක්‍ෂව යම් තරමකින් ශක්තිමත් වී ඇත්නම්, ඒ දරුණු ලෙස ආනයන පාලනයේ ප්‍රතිඵලයක් වශයෙනි.
එළියේ සිට බලන අයකුට ලංකාව පෙනෙන්නේ සම්බාධක වැටී ඇති රටක් හැටියටය. මේ හේතුවෙන් රට ඇතුළේ ඩොලරයට ඉල්ලුමක් නැති තරම්ය. පනවා ඇති ආනයන සීමා ඉවත් කළොත් ඩොලරයේ අගය රුපියල් 400 ඉක්මවා යනු ඇත. ඉදිරි කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් කෝටි 290 ක මුදල නොලැබුණොත් අපේ විනිමය අනුපාතය නැවතත් අර්බුදයකට ලක්විය හැකිය. 2023 මාර්තු පමණ වන විට ඇතැම් විට මේ කාරණා ඉස්මතු වන්නට පුළුවන.
පවතින අර්බුදය හමුවේ ඩොලර් කෝටි 290 ක් යනු ලොකු මුදලක් නොවේ. එහෙත්, මේ මුදල හෝ ලැබීමේ යම් වාසියක් තිබේ. එනම්, විදෙස් ආයෝජකයන්, වෙනත් අරමුදල් ලංකාව කෙරෙහි විශ්වාසයක් ඇති කරගැනීමය. මූල්‍ය අරමුදල යම් රටකට ණය දෙන්නේ ඒ රට ඉදිරිපත් කරන වැඩපිළිවෙළ එම අරමුදලෙන් අනුමත වීමෙන් පසුවය.
වැඩපිළිවෙළක්, දැක්මක් තිබේ නම්, අනෙක් ආයෝජන හා අරමුදල් හෝ මූල්‍ය ආයතනවලින් ණය ආධාර ලැබීම අනිවාර්ය සාධකයකි. එවිට පවත්නා අර්බුදයට යම් විසඳුමක් සපයාගත හැකි තත්ත්වයක් නිර්මාණය වනු ඇත. එසේ නොවුණහොත්, අර්බුදය තවත් උග්‍ර වී බරපතළ තත්ත්වයක් දක්වා ගමන් කරනු ඇත.
ආර්ථික වර්ධන වේගය ලබන වසරේ සියයට හත අට දක්වා ඉහළ නංවා ගැනීම අයවැයේ ඉලක්කය වී තිබේ. පවත්නා ආර්ථික වාතාවරණය හමුවේ මෙය ඉතාම අපහසු කාර්යයකි. ලංකාවේ ආර්ථිකය ඍණ 9කින් සංකෝචනය වී ඇති බව ලෝකයේ පිළිගත් ආර්ථික විශේෂඥයන් පවා පෙන්වා දී තිබෙන කාරණයකි. මේ ඍණ 9 ධන 7ක් දක්වා වර්ධනය කිරීමට නම්, මෙරට ආයෝජන සියයට පනහකට වඩා වැඩි විය යුතුය.
ගෙවී ගිය මෑත කාලය දෙස බලන විට ආයෝජන එවන් ඉලක්කයක අහලකටවත් පැමිණ නැත. එවන් පසුබිමක මෙවැනි ආයෝජන ඉලක්කයක් ළඟා කරගැනීම සිතන තරම් පහසු කාරණයක් නොවේ. පවතින අර්බුදය හමුවේ මෙවැන්නක් කළ නොහැකි බව මගේ අදහසයි.
ඉදිරි සෑම වසරකදීම ඇමෙරිකන් ඩොලර් බිලියන තුනකින් ජාතික නිෂ්පාදිතය ඉහළ නැංවීම තවත් කරුණකි. එලෙස ජාතික නිෂ්පාදිතය නැංවීමට කරුණු ගණනාවක් සපුරාලිය යුතුය. එහෙත් ඒවා පවතින්නේ අපට හිතකර ආකාරයෙන් නොවේ. මෙරට ජනයාගේ ක්‍රය ශක්තිය නැති නම් මිලදී ගැනීමේ හැකියාව අන්තයටම පිරිහී තිබේ. රජයේ වියදම් ද වැඩි වෙමින් තිබේ.
ආයෝජන තිබෙන්නේ ද සුළු ප්‍රමාණයකි. අපනයනවල වැඩි වීමක් තිබුණ ද ඒ සුළු ප්‍රමාණයකි. ජාතික නිෂ්පාදනය වැඩි වීමක් ගැන කතා කිරීමට වන්නේ මේ කාරණා සමගය. මේ අනුව බලන විට ජාතික නිෂ්පාදනය නැංවීමට තබා ඇති බලාපොරොත්තු කොතරම් දුරකට ඉටු කරගත හැකි ද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ද අයවැයෙන් අවධානය යොමුව තිබේ. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කතා කළ ද ප්‍රතිව්‍යුහගතකරණයට මුලින්ම යෝජනා කර ඇත්තේ හොඳින්ම ලාබ ලබන ආයතන දෙකකි. එනම්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවය. ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යටින් දිවෙන්නේ එම ආයතන විකුණා දැමීමය. මෙසේ විකිණීමෙන් ලැබෙන මුදලින් අයවැය පරතරය පියවා ගැනීම අපේක්‍ෂාවය. එය එතරම් හොඳ ක්‍රමයක් නොවේ. අද චීන ආර්ථිකය ලෝකයේ ප්‍රධාන ආර්ථිකයකි.
එරට ඇති මෙවැනි ව්‍යවසාය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව බවට පත්කර තිබේ. ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකළ සමාගම්වල සියයට 51ක අයිතිය ඇත්තේ චීන මහජන සමූහාණ්ඩුවටය. ඉතිරිය පෞද්ගලික අංශයේය. එයින් පෙනෙන්නේ රාජ්‍ය ව්‍යවසාය සම්පූර්ණයෙන් විකුණා දැමීමට චීනය කටයුතු කර නොමැති බවය. එහෙත් ලාබ ලබන ආයතන විකුණා දැමුවහොත්, ඒවා තවදුරටත් සාර්ථක විය හැකිය. එහෙත් අලාබ ලබන ආයතන විකුණූ විට, ඒවායේ සම්පත් සියල්ල විකුණා භූමිය පවා අදාළ නොවන කටයුතුවලට යොදාගත් ඉතිහාසයක් අපට තිබේ. එනිසා ලාබ ලබන සියලු ආයතන විකුණා දැමීම ප්‍රශ්නයට විසඳුම නොවේ.
අලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය ආර්ථිකයට බරක් බව අමුතුවෙන් කිව යුතු නැත. ප්‍රතිව්‍යුහගතකරණය යටතේ පෞද්ගලික ආයතන සමග එක් වී මේ ආයතන ලාබ ලබන තත්ත්වයට පත් කළ හැකිය. එහිදී රජයට පාලනය තබාගෙන මේ කටයුත්ත කළ හැකිය. වියට්නාමය, චීනය යනාදී රටවල් මේ ක්‍රමය ඉතා සාර්ථකව කරගෙන යන රටවල් වශයෙන් පෙන්වා දිය හැකිය. එනිසා ආණ්ඩුව යෝජනා කරන ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මතුවන්නේ ප්‍රශ්නාර්ථයකි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පසෙක තබා ලාබ ලබන ව්‍යවසාය නම් කර තිබීමට එකී ප්‍රශ්නාර්ථය තහවුරු කරන්නකි.
ඇතැම් අංශවලට කර ඇති මුදල් වෙන් කිරීම පුදුමය උපදවන්නකි. වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කර තිබේ. අද වන විට නවීන ශල්‍යාගාරයක්වත් මෙවන් මුදලකට ගත නොහැකිය. මෙවන් සාධනීය කාරණාවලට සැලකිය යුතු මුදලක් වෙන් කළ යුතුව තිබුණි.
පෞද්ගලික අධ්‍යාපනය නැංවීමට අවශ්‍ය පසුබිම සැකැසීම බෙහෙවින්ම සාධනීය වන්නකි. අසල්වැසි ඉන්දියාවට අධ්‍යාපනය ලැබීමට විශාල පිරිසක් පැමිණෙති. ඒ හරහා විදෙස් විනිමය උපයති. කලාපයේ අනෙක් රටවල ද මේ ප්‍රවණතාව දැකගත හැකිය.
එහෙත් මේ දක්වා එයට අවශ්‍ය පසුබිම මෙරට නැත. අනෙක් රටවලට වඩා වැඩි පහසුකම් මෙරට තිබුණ ද ඒවායෙන් ප්‍රයෝජන ගෙන නැත. එනිසා ඒ සම්පත් නිසි ලෙස උපයෝජනය කරන්නේ නම්, අධ්‍යාපනයට මෙරටින් පිටරට යන පිරිස අඩු කරගත හැකිය. විදේශයට ගලා යන මුදල් ලංකාවේම ඉතිරි කරගැනීමට පුළුවන. ඒ වගේම විදෙස් සිසුන්ට අධ්‍යාපනයට දොරටු විවර කිරීමෙන් රටට විදෙස් විනිමය උපදවාගත හැකිය. එනිසා මේ කාරණය සම්බන්ධයෙන් යළි සිතා බැලීමක් අවශ්‍ය බව මාගේ අදහසයි.
සාම්ප්‍රදායික අපනයන සම්බන්ධව තවදුරටත් කතා කිරීම අවශ්‍ය නැත. ඒවා රැකගන්නා අතරම නව ආදායම් උත්පාදන මාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
තොරතුරු තාක්‍ෂණ කර්මාන්තය දියුණු කිරීමේ විශාල විභවයක් මේ රටේ තිබේ. ඉන්දියාවේ විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් වී ඇත්තේ මේ කර්මාන්තයයි.
එනිසා අපට ද එම ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමේ අවස්ථාව උදා කරගැනීම අපහසු නොවේ. එහෙත් පසුගිය කාලයේ කෙරුණු බදු පැනවීම් ආදිය හමුවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියුතුවූවන් රට හැර යන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මේ කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව තිබේ.
මැණික් කර්මාන්තය තවත් අංශයකි. සංචාරක කර්මාන්තයේ ද වෙනසකට ලක්විය යුතු කාරණා බොහෝය. මේවා ඔස්සේ වසරකට ඩොලර් කෝටි පන්සීයක හයසීයක මුදලක් ඉපැයීම ලංකාවට අපහසු නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වරින් වර ලබාගෙන තිබෙන්නේ ඩොලර් බිලියන දෙක තුනක මුදලකි. වෙනත් මාර්ගවලින් ණය හැටියට ගන්නේ එවැනි මුදලකි. අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ නිසි පරිදි කරන්නේ නම්, වසර පහ හයක් ඇතුළත රට තුළදීම මේ මුදල් උපද්දවා ගැනීමේ හැකියාව අපට තිබේ.
ආයෝජකයන් මුහුණ දෙන ඉඩම්, බදු යනාදී ප්‍රශ්න රැසකි. ආයෝජකයන් වෙනුවෙන් එක කවුළුවක් නිර්මාණයට අවධානය යොමු කර තිබීම ඉතාමත් සාධනීය කාරණයකි. සිංගප්පූරුව, ඩුබායි ආදී රටවල ඇත්තේ එවැනි ක්‍රමයකි. අයවැයේදී ආයෝජනයට වැඩි බරක් තබා තිබීම සුබදායකය. ලංකාවට විදේශ මුදල් ලබා ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ ආයෝජනයයි. ඒ වගේම වැටී ඇති ආර්ථිකය නැංවීමට ඇති මාර්ගය වන්නේ ද එයයි. පහසු ආයෝජන වටපිටාවක් අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසාය. ඒ වගේම පුහුණු ශ්‍රමිකයන් වැඩි වැඩියෙන් විදෙස් රැකියාවලට යොමු කිරීම අවශ්‍යය. එයින් වැඩි විදෙස් විනිමයක් උපයා ගන්නට පුළුවන.
මේවාට අවශ්‍ය නීති රීති සකස් වීමේ අවශ්‍යතාවක් තිබේ. මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුමක් මේ අයට ලබා දිය යුතුය. අගය එකතු කළ නිෂ්පාදන අපනයනය, ආයෝජන සම්බන්ධ යෝජනා ක්‍රියාත්මක වුවහොත්, සැලකිය යුතු විදෙස් විනිමය ප්‍රමාණයක් උපයා ගන්නට පුළුවන. එහෙත්, රාජ්‍ය විදයම් අඩු කිරීමට කෙරෙන යෝජනා බෙහෙවින් අඩුය. මේ රාජ්‍ය වියදම ක්‍රමයෙන් නැංවෙන පිළිවෙතක් ඔස්සේ අපේක්‍ෂිත ඉලක්ක වෙත ළඟා වීම කිසිසේත්ම පහසු කාරණයක් වන්නේ නැත.
අද අප මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ නිසි විදේශ ප්‍රතිපත්තියක් නොමැති නිසාය. ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී චීනය යම් ස්ථාවරයකට ගෙන ඒමට නොහැකි වී ඇත්තේ එහි ප්‍රතිපලයක් වශයෙනි. ඉන්දියාව නිහඬව සිටින තත්ත්වයක් තිබේ. ජපානයේ ප්‍රතිචාරය සුබද අසුබද පැහැදිලි නැත. ජපානය ප්‍රකාශ කළැයි කියමින් ඇතැම් අදහස් ඉදිරිපත් කිරීමට සිදුව තිබේ. එහෙත් ඔවුන් එවැනි අදහස් ප්‍රකාශ කර නැත. යුරෝපා සංගමයෙන් ඇත්තේද නිශ්චල ප්‍රතිචාරයකි. සැලකිය යුතු කිසිවක් සිදුව නැත. ජාත්‍යන්තරව මෙවන් තත්ත්වයක් නිර්මාණය වුණේ නිකම්ම නොවේ.
මේ රටවලින් යමක් ලබාගැනීමක් ඉන්පසුව එම රටවල් සමඟ පවත්නා ද්විපාර්ශික සම්බන්ධතා පවත්වාගෙන යාම සම්බන්ධ ප්‍රශ්නයක් අපට තිබේ ඉතිසාහය පුරා අපට උදව් කළ ජපානය ආදී රටවල් මේ මොහොතේ බොහොම නිහඬ ස්වභාවයකින් පසුවන්නේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඔවුන්ගේ සිත් රිදවන ආකාරයෙන් අවස්ථා ගණනාවකදී ලංකාව කටයුතු කර ඇති නිසාය. මේවා නිවැරදි කරගත යුතුය. යළි ඔවුන් සමග සාකච්ඡාවකට ගොස් ආර්ථික වශයෙන් අවශ්‍ය සහයෝගය අපට ලබාගත හැක්කේ ඉන් පසුවය.
ජපානය සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා නම් ඩොලර් බිලියන දෙකක පමණ ණයක් ඉතා අඩු පොලියකට වසර 25ක් වැනි කාලයකට ලබාගත හැකිව තිබුණි. දැන් එවැන්නකට අවකාශයක් නැත්තේ ඇතිවී තිබෙන සිත් රිදවීම් හේතුවෙනි. ජාත්‍යන්තර වශයෙන් ලංකාව කොන්වී ඇති බව කවුරුත් පිළිගත යුතු කරුණකි. එනිසා ජාත්‍යන්තරව හොඳ හිත වර්ධනය වන වැඩ පිළිවෙළක් අවශ්‍යය. ඒවා නොකර මෙරට ගැලරියට කතා කිරීමෙන් අපේ සැබෑ ප්‍රශ්න විසඳෙන්නේ නැත. සිදුවන්නේ අර්බුදය තවත් තීව්‍ර වීමය.
රටේ මන්දපෝෂණය වර්ධනය වෙමින් තිබේ. රැකියා අහිමි වීම් බහුලය. කර්මාන්ත, ව්‍යාපාර අභියෝග රාශියක හිරවී තිබේ. සමස්තයම අවුල් ස්වභාවයක් පෙන්නා අවසන්ය. එනිසා ඉදිරි වසර කීපයේදී අපේ දේවල් නිවැරදි කරගන්නා ආකාරය පිළිබඳ මීට වඩා බර තැබීමක් කළ යුතුය. අද පවතින තත්ත්වයෙන් හෝ යම් යම් ක්‍රියා මාර්ග ගතහොත් ඉදිරි වසරකදී යම් ස්ථාවරත්වයක් ළඟා කර ගැනීමට පුළුවන. ජෝන් ෙහාප්කින්ස් විශ්වවිද්‍යාලය ලංකාවේ පවතින අවදානම් තත්ත්වය පෙන්නා දී තිබේ. මෙරට මුදල් ඒකකය ලෝකයේ අවදානම්ම මුදල් ඒකකයක් බවට පත්ව තිබේ.
මේ කාරණා ඔස්සේ මෙරට බැංකු පද්ධතියට පවා ප්‍රශ්න ඇතිවිය හැකිය. මේ ප්‍රශ්න විසඳා ගැනීමට නම් අයවැයේ ඇති සාධනීය කාරණා ක්‍රියාවට නැංවීමට හැකි විය යුතුය. එසේ නොවන තැනක ඇත්තේ තවදුරටත් කඩා වැටීම පමණි. දේශපාලන ස්ථාවරත්වය ඇතිකර එය වළක්වා ගැනීමේ අභියෝගය තිබෙන බවද අමතක නොකළ යුතුය. කැබිනට් සාමූහික තීන්දුවකින් ඌන සංවර්ධිත යැයි ප්‍රකාශ කළ රටක ඇති අභියෝගවල තරම තේරුම් නොගෙන අනාගත ගමනක් නැත.
රුසියානු සමූහාණ්ඩුවේ හිටපු ශ්‍රී ලංකා තානාපති, වෛද්‍ය සමන් වීරසිංහ
සටහන චමින්ද මුණසිංහ
(***)