ආයෝජන නොතැකීමේ විපත්තිය


මූලික ආහාර වර්ග සහ තෙල් ආනයනය කරන්නට මුදල් හිඟ වී, ගත් යෝධ ණය කන්දරාවක් නුදුරු කාලයේදීම ආපසු ගෙවන්නට නියමව තිබියදී රට දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටී.

මෙම තත්ත්වය නිසා තෙල් ආනයනය කරන්නට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් ණයට ඉල්ලන්නට රජයට සිදුවිය. නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු සපයන ටෙන්ඩර් පියවා දමන විට ටෙන්ඩර හතරකින්, ලංසු ලැබී තිබුණේ දෙකකට පමණකි. ඩෙන්ඩර දෙකකට ලංසු ඉදිරිපත් නොවූයේ රටේ මූල්‍ය හැකියාව පිළිබඳව සැපයුම්කරුවන් සැක පහළ කළ නිසාය.

 

ශ්‍රී ලංකාව මෙන් දරිද්‍රතාවට ඇද වැටේදෝයි ඕස්ට්‍රේලියාවට දැනුණු බිය

ඉකුත්දා ඩොලර් බිලියන 31ක ධනයක් හිමි ඕස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව වූ ගිනා රයින්හාර්ට් ඕස්ට්‍රේලියාවත්, ශ්‍රී ලංකාව සහ ආර්ජන්ටිනාව ගිය පාරේ යමින් සශ්‍රීකත්වයෙන් දරිද්‍රතාවට ඇද වැටෙන්නට ඉඩ ඇතැයි ඉකුත්දා අනතුරු හැඟවූයේය. අධික ලෙස වියදම් කිරීමත් නියාමනවලින් පිරුණු පාලනයක් පැවතීමක් ඊට හේතු වේ යයි ඇය කීවාය. ඕස්ට්‍රේලියානුවන්ට රටේ ධනය ආරක්ෂා කරගනු වස් සමාජවාදී බලපෑම් මත කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එකඟ නොවී ආරක්ෂා වීමේ වගකීමක් ඇතැයි ඇය කියා සිටි බව ඩේලි මේල් පුවත්පත වාර්තා කළේය.

ඕස්ට්‍රේලියානු රජය පසුගිය වසරේ ඩොලර් බිලියන 167ක වාර්තාගත අයවැය හිඟයක් පවත්වා ගැනීම ගැන රයින්හාර්ට් කනස්සල්ල පළ කළාය. අරක, මේක හැමදේම නිකං දෙන බවට දෙඩූ මෝහනීය වදන් නිසා වරක් සශ්‍රීකව පැවැති ලංකාව (Ceylon) නොපිට පෙරළී ගියේය. 1948 නිදහස ලබාගත් සිරිලක තේ වගාවෙනුත් අනෙකුත් කෘෂි නිෂ්පාදනවලිනුත් සමෘද්ධිමත්ව සිටිය ද මේ වනවිට ආහාර සපයාගත නොහැකිව ජනයා කුසගින්නෙන් පෙළෙන, කතා කිරීමේ නිදහස අහිමිව ගිය, හානිකර කැරළි කෝලාහලවල ප්‍රතිඵල බුක්ති විඳින සමාජවාදී මාර්ගයේ රට ගමන් කිරීමේ ප්‍රතිඵල සමග අරගලයක යෙදී සිටින බව ඇය පැවැසුවාය.

දැනට පවතින තත්ත්වය

සහල්, සීනි, කිරි සහ වෙනත් මූලික අවශ්‍යතාවල මිල ඉහළ යාමේ තර්ජනයට රට වැසියෝ මුහුණ දෙමින් සිටිති. රජය උපරිම සිල්ලර මිල නියම කරමින් සැඟවූ තොග වැටලීම් සිදු කළ ද ඒ මුළු වෑයමම අසාර්ථක විය. වී අලෙවි මණ්‍ඩලය අකර්මණ්‍ය වී, සීනි සහ කිරි තොග ගණනින් ආනයනය කෙරිණි. ඊට අමතරව නැව් ගාස්තු ඉහළ යමින් පවතින අතර ආනයනය කළ තොග, මිල ගෙවා බේරා ගන්නට ඩොලර් නොමැතිකම හේතුවෙන් වරායේ ගොඩගැසී තිබේ. එම තොග වරායෙන් ඉවත් කර ගැනීම ප්‍රමාද වෙත්ම වරාය අධි භාරයන් ද දඩ මුදල් ද ගෙවිය යුතු වේ.

හේතු

මෙම මූල්‍ය තත්ත්වය උද්ගත වූයේ ඉහළ පොලියකට ගත් විදේශ ණය යොදවා ප්‍රතිලාභ නොලැබෙන අතිශය වියදම්කාරී යෝධ ව්‍යාපෘති කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. ඒවා බොහෝමයක් සිදු කළේ මහින්ද රාජපක්ෂ ආණ්‍ඩුවෙනි. 
2003 දී ලක්ෂ අටක් වූ රජයේ සේවක සංඛ්‍යාව පමණට වැඩි බව කල්පනා කළ රනිල් වික්‍රමසිංහ එම සංඛ්‍යාව 650,000 ට අඩු කිරීමේ හැකියාව සලකා බැලුවේය. අද වනවිට රජයේ සේවක සංඛ්‍යාව දහනව ලක්ෂයකි. යුද්ධය පවත්වා ගැනීම සඳහා යුදමය කාර්ය මණ්‍ඩලය වැඩි කිරීමට අවශ්‍ය වූ අතර ඇමැතිවරු රාජ්‍ය ආයතන ඔවුනගේ ආධාරකරුවන්ගෙන් පුරවා දැමුවෝය. දැන් එයින් ගැලවීම පහසු නැත.

පාර්ලිමේන්තුවේ කටයුතු අතිශය වියදම්කාරී වන අතර මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන කාලය තුළදී විදේශ චාරිකා 5000කට වඩා ගිය බවට ඔහුට චෝදනා එල්ල වූයේය. අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි වැටුප්, බාර දීමනා, කාර් පර්මිට්, බහුවිධ නිල රථ, නිල නිවෙස් ආදියෙන් පිනවා තිබේ. එහෙත් ඔවුන්ගේ නිල නිවාසවලින් සියයට 70ක ලැගුම් ගෙන සිටින්නේ පිටස්තර පුද්ගලයෝය. රජයේ කාර්ය මණ්‍ඩලවලට ද තීරු බද්දෙන් නිදහස් වාහන සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයන්ට මෝටර් සයිකල්, ස්කූටර් දී ඇත්තේ රජයෙන් දෙන අල්ලසක් පරිද්දෙනි. 

85,000ක පොලිස් බළකායක් ඇති රටකට ඉන් 40,000කට වඩා පොලිස් නිලධාරීන් ආරක්ෂාව සපයන්නේ දේශපාලකයන්ටය.

ගෙවන්නට උරුම වූ යෝධ විදේශ ණය සහ සේවක මණ්‍ඩල වැටුප් ගෙවා ගත නොහැකිව ලතවෙද්දී කොවිඩ් වසංගතය හා ආර්ථිකය වසා දැමීමත් නිසා තවත් අසීරුවට පත්වන අතරතුර එන්නත්කරණ වැඩපිළිවෙළ උදෙසා ද වියදම් දරන්නට සිදු වූයේය. සංචාරක කර්මාන්තයේ කඩා වැටීම නිසා ආර්ථිකයේ කොඳු නාරටිය බිඳී ගියේය.

නිදහස් අධ්‍යාපනය

ළදරු පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනය ලබාදීම පිළිබඳව රට පුරසාරම් දොඩන මුත් ඒ හරහා රැකියා සොයා ගැනීමට නොහැකියාවක් පවතින අතර එහි ගුණාත්මක භාවය ද ප්‍රශ්නකාරී වේ. දුර්වල විෂය කරුණු, අන්තර්ගත දෑ මතක තබාගෙන අවුත් එයම විභාගවලදී වැමෑරීම, අන් අය අබිබවා යෑමට උත්සාහ කිරීම ආදිය නිසා ආත්මාර්ථකාමී ජනකායක් නිර්මාණය වී තිබේ. විශ්වවිද්‍යාලවල සිදුවන්නේ ඒ දේමය.

අවුරුදු 70ක් තිස්සේ පැවැති නිදහස් අධ්‍යාපනයෙන් අනතුරුවත් ගුරුවරුන් නැවත පුහුණු කිරීමේ ක්‍රමයක් හෝ ප්‍රතිසංස්කරණ ඇති කිරීමට බලධාරීහු අසමත් වී සිටිති.

1990 ගණන්වල අගභාගයේදී සිරිමාවෝ බණ්‍ඩාරනායක විසින් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය හඳුන්වා දෙනු ලැබුවේය. එහෙත් ඉන් අනතුරුව එය වර්ධනය කිරීමට හෝ විධිමත්ව පවත්වාගෙන යාමට හෝ ආණ්‍ඩු අසමත් විය. එහි ප්‍රතිඵලය වූයේ පෞද්ගලික අංශය ඔවුන් භාර ගැනීමට නොකැමැති වූ නිසා ඔවුන් රජයේ රැකියා අපේක්ෂා කිරීමයි.

විදුලි අර්බුදය

1990 ගණන්වල අග භාගයේ රට විදුලි බල අර්බුදයකට මුහුණ දුන් අතර මහජනතාව පැය හයක විදුලි බල කප්පාදුවකට මුහුණ දුන්හ. ලංවිම විදුලි ඒකකයකට රුපියල් 28 සිට 40 දක්වා ගෙවමින් විදුලි බලාගාර පිහිටුවීම සඳහා පෞද්ගලික සමාගම් සමග අවුරුදු 15 සිට 20 දක්වා දීර්ඝ ගිවිසුම්වලට අත්සන් කළේය. බොහෝ කලකට පෙර එම ගිවිසුම් කල් ඉකුත් වුවද ඒවා අලුත් කරමින් කාලය දීර්ඝ කරන ලදී.

2006 දී ලංවිම මෙ.වො. 300ක් සඳහා ස්වභාවික ද්‍රව වායු (LNG) වලින් ධාවනය වන බලාගාරයක් උදෙසා ගිවිසුම්වලට අත්සන් තැබූ මුත් ස්වභාවික ද්‍රව වායු (LNG) ලැබෙන තෙක් එය ධාවනය විය යුතු වූයේ ඩීසල්වලිනි.
ඉන් අර්ථවත් වූයේ බලාගාරවලින් සියයට 75ක් පමණ ඩීසල්වලින් ධාවනය වනවිට රට වසරකට රුපියල් බිලියන 02 බැගින් පාඩු ලබන බවයි. ලංවිම ඉක්මනින්ම ස්වාභාවික ද්‍රව වායු (LNG) බෙදා හැරීමට පියවර ගත යුතුව තිබිණි. එහෙත් අවුරුදු 15කදී යෝජනා කිහිපයක් ඉදිරිපත් වූ මුත් ඒ සඳහා කිසිදු සාධනීය පියවරක් ගනු ලැබුවේ නැත. දෙවැනි මෙ.වො. බලාගාරය 2016 දී ටෙන්ඩර් කැඳවන ලද්දේ වුවද එය තවමත් සලකා බැලෙමින් පවතී.

මෑතදී ලංවීම මිල ගණන් කැඳවීම් දෙකක් සිදු කළේය. එකක් ස්වභාවික ද්‍රව වායු (LNG) සැපයුම උදෙසාය. අනෙක ඒ සඳහා නළ මාර්ග ඉදිකිරීම උදෙසාය. එහි අරුත ඒ සම්බන්ධයෙන් කුමන හෝ ගැටලුවක් පැන නැගෙන්නේ නම් ඒ සඳහා මෙරට වන්දි ගෙවිය යුතු බවය.

මෙම තත්ත්වය කෙරවලපිටිය බලාගාරයෙන් සියයට 40ක් ඇමෙරිකානු වෙස්ට් කෝස්ට් සමාගමට පවරා දෙන්නට ජනාධිපතිවරයාට බල කෙරිණි. එසේම LNG සැපයුම සම්බන්ධයෙන් ද රජය තුළ ඉන්නා දේශපාලන පක්ෂ නොසතුටට පත්වූ බැවින් ඊට හේතු පහදන්නට අවශ්‍ය විය.

සූර්ය සහ සුළං බලශක්තිය

පියසි මත විදුලි බල උත්පාදනය ඇරඹුණේ 2016 සූර්ය බල සංග්‍රාමය යටතේය. උත්පාදනය කරන විදුලි බලය උදෙසා කිලෝ වොට් පැයකට රු. 22 බැගින් ගෙවනු ලැබීය. ඒ අතරතුර සූර්ය බල තාක්ෂණය වර්ධනය වන්නට ගත්තේය. ලංවිම මෙ.වො. 1 සිට 10 දක්වා සූර්ය බලය උදෙසා ලංවිම ටෙන්ඩර කැඳවූ විට සඳහන් කළ මිල වූයේ ඒකකයකට රු. 10 සිට රු. 12 දක්වා මුදලකි. එහෙත් ලංවිමෙන් කිසිදු ටෙන්ඩරයක් පිරිනැමුණේ නැත. මො.වො. 100 පමණ විශාල සූර්ය බල ඒකක ස්ථාපිත කරන විට මිල රු. 8 දක්වා පමණ පහත වැටුණේය. මො.වො. 110ක් නිපදවන මන්නාරමේ සුළං බල ව්‍යාපෘතියේදී ඒකකයක මිල රු. 7ක් විය.

මේ ආකාරයට වඩාත් ලාභදායී විද්‍යුතය වූයේ සූර්ය හා සුළං බලයෙන් නිපදවන විදුලි බලයයි. එය ක්‍රමයෙන් වැඩි වීමක්ද සිදුවූයේ නැත. එසේ වුවද සුළං හා සූර්ය බල ව්‍යාපෘතිවලට දිගින් දිගටම පෞද්ගලික බලශක්ති නිෂ්පාදකයන් වෙතින් වාසි ලබන ලංවිම ඉංජිනේරුවෝ බාධා කළහ. ලංවිම ඉංජිනේරුවන් විසින් දිගින් දිගටම කරන මෙම බාධා කිරීම් නිසා එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිය අවස්ථාවේ ආයෝජකයන්ට ආරාධනා කරන්නට ජනාධිපතිවරයාට සිදු වූයේය.

තෙල් සහ ගෑස් මිල

ලෝකයේ බොර තෙල් මිල බැරලයකට ඩො. 40 සිට 80 දක්වා ඉහළ නැගුණු අතර වසර අවසානයේ එම මිල ඩො. 100 ක් දක්වා යතැයි පුරෝකථනය කෙරිණි. රජය සැබෑ මිල ඉහළ යාම පෙනී යන තුරු තෙල් මිල ඉහළ දැමීම අයවැය දක්වා පමා කරන්නට හැකි තරම් උත්සාහ දැරුවේය. ඒ අතරතුර තෙල් ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඩො.මි. 500ක ණයක් බලාපොරොත්තුවෙන් සිටී.

තෙල් පිරිපහදුව

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 40ක් පැරණි වූ අතර, වරායේ සිට පිරිපහදුව දක්වා කි.මී. 5.8 දක්වා දිගු වූ නළ මාර්ගය වැඩි දියුණු කිරීමේ හදිසි අවශ්‍යතාවක් පැන නැගී තිබේ. නව පිරිපහදුවක් සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් වුවද ඒ කිසිවක් ක්‍රියාත්මක වූයේ නැත.

ටොන් මිලියනයක ධාරිතාවක් ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය මෙරටට අයිති වී තිබේ. භාවිතයට නොගත් තෙල් ටැංකි 2003 දී අවුරුදු 99 ක කාලයක් උදෙසා ඉන්දියාවට භාර දෙන ලදී.

2015 දී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති මෝදි තෙල් ටැංකි ඒකාබද්ධව වැඩි දියුණු කිරීමේ යෝජනාවක් කළ ද එහි ප්‍රගතියක් සිදු වුණේ නැත. එහෙත් රජය මේ වනවිට ත්‍රිකුණාමලේ තෙල් ටැංකි, තෙල් පිරිපහදුව සහ ගබඩා කිරීම උදෙසා ඉන්දියාව සමග ඒකාබද්ධව වැඩි දියුණු කිරීමේ හැකියාව විමසා බලමින් සිටී.

කාබනික පොහොර වෙත යොමුවීම

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 39 වැනි පිටුවේ “පොහොර භාවිතයේ විප්ලවයක් සිදුකිරීම - සෞඛ්‍ය සම්පන්න වූ සහ ඵලදායී පුරවැසි ප්‍රජාවක් ගොඩනැගීම සඳහා අප හානිකර රසායනිකවලින් දූෂිත නොවූ ආහාර පරිභෝජනය කිරීමේ පුරුද්ද වර්ධනය කරගත යුතු වේ. එවැනි ආරක්ෂිත ආහාර ලබාගැනීමට ජනතාවට ඇති අයිතිය තහවුරු කරනු වස් ශ්‍රී ලංකාවේ සමස්ත කෘෂිකර්මයේ මීළඟ අවුරුදු 10 තුළ කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කෙරේ.” යනුවෙන් සඳහන් වේ.

ජනාධිපතිවරයා 2021 අප්‍රේල් මාසයේදී රසායනික පොහොර ආනයනය තහනම් කළේය. එහෙත් රජය එම කාර්ය ආරම්භ කරන විට බුද්ධිමතුන් හා කෘෂි කේන්ද්‍රයේ පර්​ෙ‌ය්ෂකයන් හවුල් කරගෙන කථිකාවක් ගොඩ නැගීම හෝ පර්යේෂණ  සැලසුමක් සකස් කිරීමක් සිදු වූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ගොවීන්, ජ.වි.පෙ. සහ විපක්ෂය විසින් ආරම්භ කරනු ලැබූ විරෝධතාවට එක් වී ඊට එරෙහිව හඬ නැගීමයි.

විවිධ පාර්ශ්ව විසින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කළ ද ඒවායේ රසායනික සංයුතිය හා ශාක පෝෂක හැකියාව දැන ගන්නට නැත. මේ වනවිට විවිධ සැපයුම්කරුවන් වෙතින් පොහොර ආනයනය කිරීමට බලාපොරොත්තු වේ. එහෙත් මාස් කන්නයේ වී වගා අස්වැන්න පහත වැටීමට ඉඩ තිබේ.

අපගේ ගොවීහු රසායනික පොහොර මෙන්ම පළිබෝධ හා වල් නාශක පමණට වඩා භාවිත කරති. කාබනික පොහොර වෙත යොමු වීම හොඳ අදහසකි. එහෙත් ගොවීන් ඒ ගැන දැනුවත් කරන අතරතුර නිසි පොහොර බෙදා හැරීමට ද කාලයක් ගත වනු ඇත.

අවුරුදු 10කට පෙර සියයට 40කට වඩා නයිට්‍රජන් අඩංගු කාබනික පොහොර අපගේ නැනෝ තාක්ෂණික පර්යේෂකයෝ හඳුන්වා දුන්හ. එහෙත් ඒවා නිෂ්පාදනයේ ප්‍රගතියක් සිදු වූයේ නැත. එහෙත් වර්තමානයේ පවතින උනන්දුව අනාගත කෘෂි කර්මාන්තයේ කොඳු නාරටිය බවට පත්විය හැකිය.

සීනි මිල සහ නිෂ්පාදනය

දේශීය සීනි මිල ගණන්, පාලන මිල නොසලකා හරිමින් ඉහළ නැගේ. ලෝක සීනි මිල ටොන් එකක් ඩොලර් 507 දක්වා ඉහළ නැග ඇත. එය 2017 ටොන් එකකට ඩොලර් 535 කට ඉහළ නැගීමෙන් පසු මිල වඩාත් ඉහළ නැගි අවස්ථාව මෙයයි. මෙම මිල ඉහළ යාම සිදු වූයේ ලෝකයේ විශාලතම නිෂ්පාදකයා වූ බ්‍රසීලයේ අස්වනු පහත වැටීම හේතු කොටගෙනයි.

වසර කිහිපයකට පෙර දේශීය උක් වගාව සහ කම්හල් පාඩු පිට පැවතුණේ පහත් මට්ටමින් ඒවායේ මෙහෙයුම් සිදු වෙද්දීය. මේ අතර දේශීය මද්‍යසාර නිෂ්පාදකයෝ මද්‍යසාර ආනයනය කරති. ඊට හේතුව ලෙස ඔවුන් පවසන්නේ දේශීය මද්‍යසාරවල ගුණාත්මක බව නිෂ්පාදන සඳහා සුදුසු නොවේය යන්නයි. උක් පැණි ස්පටිකකරණයට භාජන කිරීමෙන් අනතුරුව එහි අතුරු ඵලයක් ලෙස මොලෑසස් නිපද වේ. ඒවා පැසීමට භාජන කිරීමෙන් මද්‍යසාර නිපදවීම කෙරේ.

දේශීය සීනි කම්හල්වලට සීනි නිපදවීමෙන් අනතුරුව අතුරු ඵලයක් ලෙස නිපදවන මොලෑසස් කාණුවලට හලන්නට සිදු වූයේ ඒවායින් මද්‍යසාර නිපදවීම උදෙසා වූ ඉල්ලුම අඩුවීම නිසාය. එහෙත් රජය මද්‍යසාර ආනයනය නතර කිරීමෙන් පසුව සීනි කම්හල්වල නිෂ්පාදන ඉහළ ගොස් තිබෙන අතර ඒවා ලාබදායීව පවත්වාගෙන යාමට හැකි වී තිබේ.

කිරි මිල 

දේශීය වශයෙන් නිෂ්පාදනය වන්නේ රටේ කිරි අවශ්‍යතාවෙන් සියයට 40ක් පමණි. ඉතිරිය ආනයනය කෙරේ. විනිමය හිඟයත් සමග ආනයනකරුවන්ට ආනයනය කරන ලද කිරි පිටි තොග වරායෙන් ඉවත් කරගත නොහැකි විය. ඒ අතර සිදුවන පමාව නිසා වරාය අධි භාරයන් ගෙවීමට සිදුවිය. අපගේ පාරිභෝගිකයෝ ඇසුරුම්වල එන දියර කිරි පරිභෝජනයට අකැමැත්තෝය. එම ඇසුරුම්වල එන කිරි ලීටරයක් රු. 260කට අලෙවි කළ ද ගොවියාට ගෙවනු ලැබුවේ ලීටරයකට රු. 90 - 100 ක් පමණි. එය කෙතරම් දුරට සාධාරණ ද? කිරිපිටි හිඟයත් සමග දියර කිරි ලීටරයේ ඇසුරුමක මිල රු. 20කින් වැඩි වී 280ට අලෙවි කෙරුණද ගොවියාට අමතරව ලැබුණේ රුපියල් 7ක් පමණකි.

දියුණු රටවල එළදෙනුන්ගෙන් දිනකට කිරි ලීටර් 25-30 ක් පමණ දොවා ගැනේ. එහෙත් අපගේ ගම්බද කිරි ගොවීන් ලබන්නේ දෙනකුගෙන් කිරි ලීටර් 2.5 ක් පමණකි. ඒ ඇයි? පිටරට දෙනුන්ට එක් තැනක රඳවා තෘණ සහ වෙනත් පෝෂ්‍ය ලබාදීම කොට ඒවා කිරි බවට හරහා ගැනීම සිදුකෙරේ. අපගේ දෙනුන්ට තැන තැන ඇවිද තම ශක්තිය ද වැය කරමින් තෘණ උලා කෑමට සිදු වේ.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්‍ඩලය හෙක්ටයාර් 14,000 ඉඩම් පාලනය කරමින් රටේ විශාලතම ගව පට්ටි පාලනය කිරීම සිදු කරයි. එහෙත් එක් දෙනකගෙන් දොවා ගන්නා සාමාන්‍ය කිරි ප්‍රමාණය දිනකට ලීටර් 2.6 කි. ඒ අතර පෞද්ගලික ගොවිපොළක දියුණු රටවල කිරි අස්වැන්න ලබා ගනී.

උදාහරණයකට අඹේවෙල කිරි ගොවිපොළේ අක්කර 1500 පුරා විහිදි ලංකා මිල්ක් ෆුඩ් සමාගමට අයත් භූමියත් පාලනය කෙරෙන්නේ ආනයනය කරන ලද කිරි ගවයන් යොදාගෙනයි. එහි කෘතිම දෙවීම් ක්‍රමද භාවිත වේ. එහි සෑම එළදෙනකගෙන්ම දිනකට කිරි ලීටර් 22-24 පමණ දොවා ගැනේ. තේ වැවිලි සමාගමක් වන වටවල ප්ලාන්ටේෂන්ස් හෙක්ටයාර් 50ක කිරි ව්‍යාපෘතියක් පවත්වා ගනිමින් දෙනුන් 1600ක පට්ටියකින් දිනකට නැවුම් කිරි ලීටර් 18,000ක් පමණ නිෂ්පාදනය කරයි.

අපගේ දේශීය කිරි නිෂ්‍පාදන ඔස්සේ පිළිගත හැකි ගුණාත්මක බවෙන් යුතු චීස් සහ බටර් නිෂ්‍පාදන කරන අතර ඒවායේ මිල ද ආනයනික නිෂ්‍පාදනවලට වඩා අඩු වේ.

සහල්

දේශීය සහල් මිල ඉහළ නගින්නේ සහල් හිඟය නිසා නොව මහ මෝල් හිමියන් එය තම වාසිය උදෙසා හසුරුවන නිසාය. රජය සහල්වල මිල පාලනය ඉවත් කළ පසු මෝල් හිමියෝ නව මිල ක්‍රමයට අලෙවි කරන්නට එකඟ වූවෝය. එහෙත් අමාත්‍යවරයා මහජනතාවට ආනයනික සහල් කිලෝව 100ට අඩුවෙන් අලෙවි කරන්නට බලාපොරොත්තු වූයේය. වර්තමානයේ පවතින මිල ඉහළ දැමීම රජයේ සහල් ආනයන තීරණයට විරෝධය දැක්වීමක් සේ පෙනේ.

රජයට සහල් මිල පාලනය කිරීමේ හැකියාව අහිමි වූයේ මිලදී ගන්නා වී සහල් බවට පත් කිරීම වී මෝල් අත්හැර දැමීමෙන් පසුවය. 1970 දී රට පුරා යෝධ වී ගබඩා සහ වී මෝල් සංකීර්ණ අටක් ඉදිකිරීෙම් කොන්ත්‍රාත්තුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පැවරුණි. හසලක සහල් මෝල භාරව සිටියේ මා ය. වසර කිහිපයකට පෙර මා එම ස්ථානයට යන විට මෝලත් එම භූමියේ තිබූ නිවාසත් අත්හැර දමා තිබිණි. පොලොන්නරුවේ පිහිට වූ මෝලේ අද වනවිට ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වා ගැනේ.

රජයේ ක්‍රියා සහ ප්‍රතික්‍රියා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට භාරගත්තේ රට සංවර්ධනය කිරීමේ සැලසුම් සහ බලාපොරොත්තු සහිතවය. එහෙත් රට වෙන කවරදාකටවත් වඩා ණයෙන් බර විය. ඒ අතර කොවිඩ්-19 මුළු ලොවටම බලපාන විට සංචාරක කර්මාන්තය කඩා වැටුණේය.

සංචාරක ආදායම් අහිමිව යාමත්, එන්නත්කරණ වියදම් දැරීමට සිදු වීමත් සමග අතීත ණය ගෙවා දැමීමට සිදුවීම නිසා භාණ්‍ඩ ආනයනය කළ නොහැකි තරම් විය. බංග්ලාදේශය වැනි මිත්‍ර රටවලින් ණය ලබා ගැනීමට ආණ්‍ඩුවට සිදුවූයේය. රාජ්‍ය සේවක වැටුප් ගෙවාගත නොහැකි එකම රට ශ්‍රී ලංකාව විය හැකියි. සරු කාලවල දී පවා පමණට වැඩි සේවක පිරිස් නිකරුණේ කල් ගත කරනු පෙනුණි.

මෙම තත්ත්වය යටතේ සංවර්ධනය උදෙසා වෙනත් ප්‍රවේශයක් අනුගමනය කළ යුතු වේ. ණය ලබා කරන ආයෝජන වෙනුවට ව්‍යාපෘති සඳහා කරන විදේශ ආයෝජන ඉල්ලා සිටීමට රටට බල කෙරේ. එහෙත් ජ.වි.පෙ. හා විපක්ෂය රටේ දේපළ විකිණීමක් ලෙස එම ක්‍රියා හඳුන්වති.

බලශක්ති හිඟය

සුර්යාලෝකයේ සහ දැඩි සුළං ධාරාවන්හි ආශිර්වාදය මෙරටට ලැබී ඇත්තේ බලශක්ති උත්පාදනය උදෙසා බර වියදම් දරන අතරතුරේය. සමස්ත ලෝකයම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි බලශක්තිවලට යොමු වන විට ලංවිම අතීතයේ සිදුකළ එවැනි සෑම පියවරකටම බාධා ඇති කළේය. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිය අවස්ථාවේදී ඔහු සූර්ය සහ සුළං බලශක්ති ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ආයෝජකයන්ට ආරාධනා කළේය. 

වසර කිහිපයකට පෙර ඩොලර් මිලියන 800ක ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි බලශක්ති ව්‍යාපෘතියකට චීනය කැමැත්ත දැක්වූ බව ඩේලි එෆ්ටී පුවත්පත වාර්තා කළේය. ඊට අමතරව ඔමානි සමාගම සෝලාර් පාක්හි ආයෝජනය කිරීමට උනන්දු වූයේය. එහෙත් ලංවිමට ටෙන්ඩර් කැඳවන්නට අවශ්‍ය වූයේ, ඒ මගින් ටෙන්ඩර් ලේඛන සැකසීමටත් ප්‍රදානය කිරීමට පෙර ටෙන්ඩර් කැඳවීමට සහ ඇගයුම් කිරීමටත් අවම වශයෙන් තුන් අවුරුද්දක් වත් කල් මරන්නට ඔවුන්ට හැකියාව සාදාගනිමිනි. ඒ අතරවාරයේදී ඒකකයට රු. 35ක් පමණ ගෙවමින් දේශීය සමාගම්වලින් විදුලි බලය මිලදී ගැනීම ඔවුනට කරගෙන යන්නට හැකි විය.

සූර්ය සහ සුළං බලශක්ති ව්‍යාපෘතිවලට ආයෝජනය කරන විදේශ ආයෝජකයන් රාශියක් ඉන්දියාවේ සිටී. ඉන්දියාවේ විශාල බිම් පවතින අතර වර්ෂාපතය ද අඩු නිසා නිෂ්‍පාදන වියදම අඩුවෙන් පවත්වාගත හැකි වේ. ඒ හා සමාන ඕනෑම විදේශීය ආයෝජකයන්ට වඩා ඉන්දියාවේ ව්‍යාපෘති සාපේක්ෂව ලාබදායී වේ. එරට ඊළඟ ව්‍යාපෘති ද පළමු ව්‍යාපෘතියට සාපේක්ෂව ලාභදායී වේ. 2030 දී ප්‍රතිචක්‍රීයකරණය වෙත සම්පූර්ණයෙන් යොමු විය හැකි එකම මාර්ගය එයයි.

ස්වභාවික ද්‍රව වායු බලය (LNG) 

ඇමරිකානු වෙස්ට් කෝස්ට් පවර් සමාගම යුගදනවි බලාගාරයෙන් සියයට 40ක කොටස් ඩොලර් මිලියන 250කට මිලදී ගැනීමේ ගිවිසුමකට අත්සන් තැබුවේය. ඊට අමතරව එම සමාගම වසර 10කට ස්වභාවික ද්‍රව වායු (LNG) සැපයීමට උනන්දු වේ. අපේ (LNG) ස්වාභාවික ද්‍රව වායු අවශ්‍යතාව වසර 15ක් තිස්සේ පැවතුනද ලංවිම එම කාර්ය කිරීමට අසමත් වූයේ කල් මරණ අතරතුරේය. මාස කිහිපයකට පෙර ලංවිම LNG සැපයුමට සහ නළ මාර්ග ඉදිකිරීම උදෙසා ටෙන්ඩර් කැඳවූයේය. ඔවුන් කළේ පාර්ශ්ව දෙකක් ව්‍යාපෘතිය උදෙසා තරග කරන බැවින් හිතාමතාම LNG සැපයුම් ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමය.

ඇමරිකානු සමාගමකට එය පැවරීම හැර ජනාධිපතිවරයාට වෙනත් තේරීමක් ඉතිරි නොවීය. 

තරුණයන්ට රැකියා

සේවක සංඛ්‍යාව ලක්ෂ 19 කට ආසන්න රාජ්‍ය අංශය දැනටමත් පමණ ඉක්ම වූවකි. පෞද්ගලික අංශයෙන් රැකියා අවස්ථා බිහි වුවද ඒ සඳහා සුදුසු තරුණයන් බිහි කිරීමට පාසල් සහ විශ්වවිද්‍යාල අපොහොසත් වූයේය. එබැවින් පාසල් සහ විශ්වවිද්‍යාලවල ක්‍රියාකාරකම් ඒ අනුව සංශෝධනය කිරීමේ යෝධ කාර්ය භාරය රජයට පැවරී තිබේ.

පිබිදෙන ශ්‍රී ලංකා - 2022 සඳහා ආයෝජන අවස්ථා එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ජනාධිපතිතුමා ඉදිරිපත් කළේය. තරුණයන් සඳහා රැකියා උත්පාදනය වන විදේශ ආයෝජන උදෙසා ඉඩම් තිබේය යන්න එමගින් හුවා දක්වන ලදී. එහෙත් එම තරුණයන් ඉංග්‍රීසි භාවිතයෙන් මෙන්ම තොරතුරු තාක්ෂණයේ දක්ෂයන් විය යුතු වේ.

ජනාධිපතිවරයාගේ ඉලක්කය

රට බංකොළොත් භාවයට සමීප කොට ඇති විදේශ විනිමය අර්බුදය ජය ගැනීම දැවැන්ත අභියෝගයකි. ජනාධිපතිවරයා විදේශ ආයෝජකයන්ට ආරාධනා කිරීම දෙස විපක්ෂය හා වම බලන්නේ රටේ දේපළ විකුණා දැමීමක් ලෙසයි. සූර්ය සහ සුළං බල ව්‍යාපෘති උදෙසා ආයෝජනය කිරීමට ජනාධිපතිවරයා කළ ආරාධනය බොහෝ ආයෝජකයන් පිළිගෙන තිබේ. ඒ සඳහා චීන සහ ඕමානි සමාගම් ද ඉන්දියානු කෝටිපතිවරයකු වූ ගෞතම් ආදානි ද උනන්දුව දක්වන බව පෙනේ. සූර්ය සහ සුළං බලශක්ති බලාගාරයකින් මෙ.වො. 1000 වැඩි ප්‍රමාණයක් බලාපොරොත්තු විය හැකිය. දැනට දකුණු ඉන්දියාවේ ස්ථාපිත ඒවා සහ සසදා බැලූවිට ඒවායේ මිල ගණන් ද පිළිගත හැකි වේ.

කිරි හිඟය මගහරවා ගැනීමට ජනාධිපතිවරයා ජාතික පශු සම්පත් මණ්‍ඩලයෙන් ලබාගත් ඉඩම් පෞද්ගලික සමාගම්වලට වෙන් කළේය. ඔවුන් නිපදවන කිරි වසරක් තුළ වෙළෙඳපොළට එනු ඇත. එමගින් වසර තුනක් තුළ කිරිවලින් ස්වයං පෝෂිත බව ළඟා කරගත හැකි වේ.

විශ්වවිද්‍යාල හා පාසල්වල අධ්‍යාපනය කඩිනම් වෙනස්කම්වලට ලක් කළ යුතුය. කලා උපාධිධාරීන් 3500ක් සඳහා ජනාධිපතිවරයා දැනටමත් තොරතුරු තාක්ෂණ උපාධි යෝජනා කර තිබේ. ඒ මගින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇරඹෙනු ඇත.

ජනාධිපතිවරයා බලාපොරොත්තු වන වැඩසටහන් සාර්ථක වුවහොත් සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් වී වර්ධනය වන විට දැනට පවතින විදේශ විනිමය ගැටලු ලිහිල් වනු ඇත. විදේශ ආයෝජන මත බොහෝ අපේක්ෂා පවතින බැවින් ඒවා සාර්ථක වුවහොත් තරුණයන්ට තවදුරටත් පාස්පෝර්ට් පෝලිම්වල රස්තියාදු වන්නට අවශ්‍ය වන්නේ නැත.

රටේ මූල්‍ය ගැටලු මතුව ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ නොසලකා හරිනු ලැබූ කාරණා නිසාය. එම තත්ත්වය නිසා ජනාධිපතිවරයාට මූලික කාරණාවන්ට විසඳුම් සොයන්නට සිදුව තිබේ. ඒ මගින් ඊළඟ වසර කිහිපයකදී අර්බුද නිමාවේ යැයි බලාපොරොත්තු තැබිය හැකිය.

2021 Oct. 29 Daily FT පත්‍රයේ පළවූ Will financial problems force the President to resolve basic issues? නම් ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ

ටියුඩර් විජේනායක විසිනි