ආයෝජන භූතානයෙන් නේපාලයෙන් පාඩමක්


ආර්ථීක අගාධයෙන් රට ඉතා ඉක්මනින් ගොඩ එන බවක් නොපෙනෙයි. ඒ සඳහා කළ යුතු පිළියම් දහස් ගණනක් පෞද්ගලික අංශයෙන්, ව්‍යාපාරික ප්‍රජාව වෙතින් සහ විද්වතුන් අතරින් යෝජනා වී තිබේ. ඒ අතරට අද අප එක්කර ගන්නේ පෞද්ගලික අංශයේ ප්‍රබල සමාගම් රැසක ප්‍රධාන විධායක නිලධාරි, ප්‍රධාන  විධායක අධ්‍යක්‍ෂ සහ සභාපති වැනි ඉහළ කළමනාකරණ තනතුරු දැරූ වරලත් ගණකාධිකාරිවරයෙකි. 

නමින් සුරේෂා ෂා නමැති හෙතෙම වරලත් ගණකාධිකාරිවරයකු ලෙස සේවය කර තිබෙන්නේ අවුරුදු පහකි. අවුරුදු 30 කට අධික කාලයක් හොබවා තිබෙන්නේ ඉහළ කළමනාකරණ තනතුරුය. ලයන් බෲවරි සහ සිලෝන් බෲවරි ඒ සමාගම් අතරින් දෙකකි. ෂා මහතා ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ද වෙයි. මේ ඔහුගේ හඬයි.

මෑත කාලයේ රටේ සිදුවූ ලොකුම සහ දැවැන්තම මිනිස් ක්‍රියාවලිය අරගලයයි. අරගලයෙන් සමාජයට දුන් ලොකුම පණිවිඩය ‘‘සිස්ටම් චේන්ජ්’’ හෙවත් පුද්ගලයන් නොව ක්‍රමය වෙනස් කළ යුතු බවය. තමන් අපේක්‍ෂා කරන ‘‘සිස්ටම් චේන්ජ්’’ කුමක්දැයි සමාජය දැනුවත් කිරීමට අරගලකරුවන්ට නොහැකි විය. අරගලකරුවන් අපේක්‍ෂා කළ ‘‘සිස්ටම් චේන්ජ්’’ කුමක්දැයි මමද නොදනිමි. 

‘‘සිස්ටම් චේන්ජ්’’ විය යුතු බව මගේද අවබෝධයයි, විශ්වාසයයි, ඇදහීමයි.

මා අපේක්‍ෂා කරන පළමුවැනි සිස්ටම් චේන්ජ් එක විය යුත්තේ දූෂණයෙන් තොර පාලනයයි. මා අපේක්‍ෂා කරන දෙවැනි සිස්ටම් චේන්ජ් එක ජාති, ආගම්, භාෂා, කුල මල වශයෙන් තවදුරටත් නොබෙදී කවුරුත් එකතුවීමයි. ඉහළ පැලැන්තියට පමණක් නොව රටේ සියලු දෙනාටම සෙතක් සැලසෙන අයුරින් ආර්ථිකය දියුණුවීම සහ සංවර්ධනයේ ප්‍රතිලාභ කාටත් හිමිවීම මා අපේක්‍ෂා කරන තුන්වැනි ‘‘සිස්ටම් චේන්ජ්’’ එකයි. ‘‘සිස්ටම් චේන්ජ්’’ යන වචන දෙකට අර්ථ නිරූපණයක් දෙන්නැයි මට යමකු කිව්වොත් මා දෙන අර්ථ නිරූපණය එයයි. 

දූෂණයෙන් තොර පාලනයක් ඇති කළ හැක්කේ බලයේ සිටින ජනාධිපතිගේ, අගමැතිගේ හෝ දේශපාලන පක්‍ෂයේ පෞද්ගලික මතාන්තර මත රට පාලනය කිරීමෙන් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියෙන්ම ඇතිකළ නියාමන රාමුවක් හෙවත් ව්‍යුහයක් (Regulatory frame work) තිබිය යුතු අතර කවුරු බලයට ආවත් රට පාලනය කළ යුත්තේ ඒ ‘‘නියාමන රාමුව’’ ඇතුළේය.

ව්‍යවස්ථා නීතියෙන් සුරක්‍ෂිත කළ එවැනි ව්‍යුහයක් නැති වුණොත් බලයට එන ඕනෑම පුද්ගලයකුට අත්තනෝමතිකව කටයුතු කළ හැකිය. රටට විනාශය කැඳවිය හැකිය. මෙතෙක් කල් සිදුවූයේ එයයි. ඒ නිසා පළමුව කළ යුත්තේ ඒ සිස්ටම් චේන්ජ් එකය. එමගින් දූෂණයෙන් තොර පාලනක් ගොඩ නගා ගත හැකිය. 

ජාති, ආගම්, භාෂා, කුලමල යනාදී වශයෙන් බෙදී කටයුතු කිරීම නැවැත්විය යුත්තේද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙනි. කිසිවකුට විශේෂ වරප්‍රසාද නොදෙන කවුරුත් එක සමාන පුද්ගලයන් ලෙස පිළිගන්නා ක්‍රමයක් ව්‍යවස්ථාවෙන්ම ගොඩනැගිය යුතුය. ඡන්ද බලය සම්බන්ධයෙන් ඇත්තේ කාටත් සමාන බලයකි. අගමැතිගේ, ජනාධිපතිගේ සේම හිඟන්නාගේ ඡන්දයට ද තිබෙන වටිනාකම එක සමාන ය. රටේ ජනතාවට ද හිමිවිය යුත්තේ එවැනි සමාන තත්ත්වයකි. හිමිකම්ය. මා අපේක්‍ෂා කරන දෙවැනි ‘‘සිස්ටම් චේන්ජ්’’ එක එයයි. 

ඇතැම් රටවල් ඒ තත්ත්වය අයිතිවාසිකම් පනත් (Bill of Rights) මගින් තහවුරු කර තිබේ. නිදහස ලබා අවුරුදු 74 ක් ගත වුණත් අපේ රටේ තවමත් පුරවැසි අයිතිවාසිකම් පනතක් සම්මත කරගෙන නැත. 

ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ කාටත් හිමිවීම, බෙදීයාම මා අපේක්‍ෂා කරන තුන්වැනි සිස්ටම් චේන්ජ් එකයි. 1948 න් පසු අපේ රටේ විවිධ ආර්ථීක ක්‍රම සහ ප්‍රතිපත්ති සේම උපාය මාර්ග ක්‍රියාවට නගා තිබේ. මාගේ විශ්වාසය පිළිගැනීම සහ ඇදහීම වන්නේ වෙළෙඳපොළ මත පදනම් වූ අපනයන අභිමුඛ, ආයෝජන ප්‍රවර්ධන සහ රැකියා උත්පාදනය කරන, නිසිලෙස නියාමනය වන ආර්ථීක ක්‍රමයක් සහ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතු බවය.

1948 දී ලංකාව නිදහස ලබද්දී සමස්ත ආසියාවේ රටවල් අතරින් ආර්ථීක වශයෙන් අප දෙවැනි වූයේ ජපානයට පමණකි. ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය, තායිලන්තය, පිලිපීනය, දකුණු කොරියාව, හොංකොං වැනි රටවල් සියල්ල ආර්ථික වශයෙන් එදා සිටියේ ලංකාවට පිටුපසිනි. එහෙත් අද ඉහත කී රටවල් සියල්ල සිටින්නේ අපට ඉහළිනි. අතීත ලංකාවට වඩා වර්තමාන ලංකාව දියුණු බව සත්‍යයකි. එහෙත් අපේ තරගකාරී රටවල් සමග සසඳද්දී අප සිටින්නේ ඒ රටවලට පිටුපසිනි. ඒ රටවල් ඉදිරියට යද්දී අප ගියේ පසුපසටය. 

එසේ වූයේ ඇයි? ඕනෑම රටක් තම ආර්ථීකය හැසිරිවිය යුත්තේ රටේ ජනතාවට යහපත් ජීවන රටාවක් ලබාදීමටය. එය ‘‘මිනිමම් ස්ටෑන්ඩ් ඔෆ් ලිවින්’’ නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වයි. ආර්ථික කළමනාකරණයේ මූලධර්මය විය යුත්තේ එයයි. ලොව අනෙක් රටවල් විශේෂයෙන් සිංගප්පූරුව, හොංකොං, දකුණු කොරියාව වැනි රටවල් තම ජනතාවට ජීවත්වීමට පහසු තත්ත්වයක් (Minimum Stand of Living) ගොඩ නගා තිබෙන්නේ ඒ ජනතාව සඳහා හොඳ රැකියා බිහිකිරීමෙනි.

ඉහළ මාසික වැටුපක් ලැබෙන ස්ථාවර, හොඳ රැකියා බිහි කිරීම ඒ රටවල ආර්ථීක කළමනාකරණයේ මූලධර්මයයි. කුලී වැඩ, තැඹිලි විකිණීම, බුලත් විට විකිණීම, බත් පැකට් විකිණීම වැනි රැකියා කර ජීවත්වීමට සිදුවන අයුරින් ඒ රටවල ආණ්ඩු තම ආර්ථීකය කළමනාකරණය නොකරයි. ලංකාව තම ජනතාවට අවම ජීවන තත්ත්වය දීමට උත්සාහ කර තිබෙන්නේ සහනාධාරවලිනි. ජල, විදුලි හා ප්‍රවාහන ගාස්තු සේම පොහොර, සමෘද්ධි යනාදී සියල්ල සහනාධාර ක්‍රමයට ලබාදීම ලංකාවේ ප්‍රතිපත්තිය වෙයි. 

අධ්‍යාපනයට හා සෞඛ්‍යයට රජය කරන වියදම සහනාධාරයක් නොව ආයෝජනයකි. අනෙක් රටවල් තම ජනතාවට රැකියා ලබාදෙද්දී ලංකාව ජනතාවට දී තිබෙන්නේ සහනාධාර ය. ඒ සහනාධාර දීමට අපට ආදායමක් අවශ්‍ය ය. එහෙත් අපේ ආදායමට වඩා වියදම වැඩි ය. සහනාධාර දීම සඳහා වැය වන මුදල ද ඉතා විශාල ය. ලංකාවේ රාජ්‍ය සේවය ම නැතහොත් රාජ්‍ය සේවකයන් යැපෙන්නේ සහනාධාර මතය. 

දැනට මෙරට සිටින රාජ්‍ය සේවකයන් ගණන ලක්‍ෂ 14 ක් පමණ වෙයි. එහෙත් රටට අවශ්‍ය වන්නේ 60,000සිට 70,000 අතර රාජ්‍ය සේවකයන් පිරිසකි. 

රජයේ රැකියා දීමද සහනාධාරයකි. ඒ බොහෝ රැකියා රටට අනවශ්‍යය. මේ දහසකුත් එකක් සහනාධාර නිසා ලංකාවේ වියදම ආදායමට වඩා ඉතා විශාල ය. 

ආදායමට වඩා වියදම වැඩිනම් එක පැත්තකින් ආදායම වැඩි කරගත යුතුය. අනෙක් පැත්තෙන් වියදම අඩුකර ගත යුතුය. එදාමෙදාතුර ලංකාව කර තිබෙන්නේ ඒ දෙකෙන් එකක්වත් නොව වැඩිවන වියදම පියවා ගැනීමට ණය ගැනීමය. රට ඇතුළෙන් සේම පිටරටවලින්ද ණය ගෙන තිබේ. ආණ්ඩුවක් රට ඇතුළෙන් ණය ගැනීමෙන් ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට ණය ගැනීමට තිබෙන සල්ලි ක්‍ෂය වෙයි.

ණය ගැනීමට තිබෙන ඉල්ලුම එසේ ඉහළ යන නිසා ණය පොලියද වැඩි වෙයි. ආණ්ඩු විදෙස් රටවලින් ණය ගන්නේ එය වළක්වා ගැනීමටය. රජය පිටරටවලින් ණය ගත්තොත් රට ඇතුළේ ණය ගැනීමට තිබෙන ඉල්ලුම ඉහළ නොයයි. එමගින් ණය පොලියද වැඩි නොවෙයි. එහෙත් විදෙස් ණය ඩොලර්වලින් ගැනීම නිසා ඩොලර්වලින්ම ගෙවීමට ද සිදුවෙයි. එසේ නම් අප රටක් ලෙස රටින් පිටට ගෙවන ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් ඉපයිය යුතුය. වියදමට වඩා ඩොලර් ඉපයිය හැකිනම් ඉතිරි ඩොලර්වලින් ණය ගෙවිය හැකිය.

නිදහසින් පසු ගෙවුණු අවුරුදු 74 න් අවුරුදු 72 කම අපේ ඩොලර් ආදායමට වඩා වියදම වැඩිය. ඒ නිසා ගත් විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව සිටියි. ප්‍රශ්නය එයනම් ඊට තිබෙන විසඳුම කුමක්ද? 

පළමුව රට ඇතුළේ වියදමට වඩා ආදායම වැඩිකර ගත යුතුය. එසේම ඩොලර් ආදායමද ඩොලර් වියදමට වඩා වැඩිකරගත යුතුය. 

රට ඇතුළේ ආදායම ඉහළ නංවා ගැනීමට කළ හැකි පහසුම පිළියම බදු අනුපාත ඉහළ දැමීමය. නැතිනම් බදු අයකරන ආදායම් සීමාව (Threshold) පහළ දමා වැඩි පිරිසකගෙන් බදු අයකරගත යුතුය. ඒ කොයික කළත් රටේ ජනතාව මත වැඩි බරක් පැටවෙයි. 

එහෙයින් කළ යුත්තේ බදු ආදායම වැඩිකර ගැනීම සඳහා දැනට තිබෙන ව්‍යාපාර සංඛ්‍යාව ඉහළ නැංවීමය. දැනට බදු ගෙවන ව්‍යාපාර 100 ක් තිබේ නම් එය 150 ක් කළ යුතුය. එමගින් රජයේ බදු ආදායම ඉහළ යයි. 

රජයේ ආදායම වැඩිකර ගැනීමට කළයුතු හොඳම දෙය ආයෝජන වැඩි කිරීමය. එමගින් රටේ දළ ජාතික නිෂ්පාදනය වැඩිවෙයි. ඉන් රටේ හා රජයේ ආදායම ඉහළ යයි. ආයෝජන ඉහළ යනවිට රැකියා උත්පාදනය ද ඉහළ යයි.  රැකියා කරන පිරිස ඉහළ යන විට සහනාධාර දීමට සිදුවන පිරිස පහළ යයි. එමගින් රජයේ වියදම ද පහළ බසියි. 

එපමණක් නොව ජනතාවට හොඳ රැකියා තිබෙන විට ඔවුන්ගෙන් අය කරගත හැකි බදු ප්‍රමාණයද ඉහළ යයි. ආයෝජන ඉහළ යාමෙන් බිහිවන සමාගම්වලින්ද රැකියා වැඩිවීමෙන් ඒ රැකියා කරන අයගෙන්ද බදු අයකර ගැනීමෙන් දෙපැත්තකින් රටේ ආදායම ඉහළ යයි. අනෙක් පැත්තෙන් සහනාධාර ද අඩුවන නිසා රජයේ වියදම පහළ බසියි. එසේ කරගත හැකිනම් ආදායම හා වියදම තුලනය කර ගැනීමට රජයට හැකිවෙයි. 

ආයෝජකයන් කැඳවාගත යුත්තේ අපනයන වර්ධනය කරන ව්‍යාපාර සඳහා මිස ආනයන ඉහළ නංවන ව්‍යාපාර සඳහා නොවේ. 

මා මේ කියන්නේ දැනට පවතින ආනයනය ප්‍රමුඛ ආර්ථිකය අපනයන ප්‍රමුඛ ආර්ථිකයන් බවට පත් කළ යුතු බවය. 
ආර්ථීකයේ කළ යුතු ‘‘සිස්ටම් චේන්ජ්’’ එක එයයි. අපනයන වර්ධනය කෙරෙන ආයෝජන මගින් රටේ රැකියා උත්පාදනයද ඉහළ යයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගැනීමෙන් තාවකාලික සහනයක් සැලසෙයි. එහෙත් මා ඉහත කී ලෙස ආර්ථික ක්‍රමය වෙනස් නොකළොත් අප වැටී සිටින වළෙන් ගොඩ පැමිණීමට නොහැකි වෙයි.

දැනට රටේ පවතින අස්ථාවර ආර්ථීක තත්ත්වය සහ ණය පොලිය ඉහළ අගයක පැවැතීම නිසා ලංකාවේ ආයෝජනයට කිසිවකු ඉදිරිපත් නොවන බවට රටේ මතයක් පවතී. ඉහළ පොලිය ආයෝජකයකුට ලොකු ප්‍රශ්නයක් නොවේ. ව්‍යාපාරයකට ඉල්ලුමක් තිබේ නම් ඉහළ පොලියට හෝ ණය ගෙන ආයෝජන කරයි. මට මතක හැටියට 1986 දීත් ණය පොලිය 20% කි. ඒ නිසා ණය පොලී අනුපාතය ඉහළ අගයක පැවැතීම ආයෝජකයකුට ලොකු ප්‍රශ්නයක් නොවේ. 

ආයෝජකයන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට පහසු වාතාවරණයක් ලංකාවේ නැතිකමය. 

ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉදිකිරීමට රජයේ ආයතනවලින් අනුමැතිය ගන්නට පමණක් අවුරුද්දකකට වැඩි කාලයක් ගත වෙයි. ඒ නිසා ආයෝජනවලට සුදුසු වාතාවරණයක් ගොඩනැගීම සඳහා ප්‍රතිසංස්කරණ ගණනාවක් කළ යුතුව තිබේ. 

කම්කරු නීති රීති සහ වෙළෙඳ නීති ප්‍රතිසංශෝධනය කළ යුතුය. රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිව්‍යුහගත කළ යුතුය. නීති පද්ධතිය වෙනස් කිරීමද කාලීන අවශ්‍යතාවකි. 

අද යමකු යම් නඩුවක් පැවරුවොත් එහි තීන්දුව ලබාගැනීමට අවුරුදු 20ක් පමණ ගත වෙයි. රාජ්‍ය සේවයෙහි ද බරපතළ සහ පුළුල් ප්‍රතිසංස්කරණ විය යුතුය. 

ඒ ප්‍රතිසංස්කරණ කරන තුරු ලංකාව ව්‍යාපාර කිරීමේ පහසුව මනින දර්ශකයෙහි (Ease of Doing Business Index – EODB) පහළට යයි. 2020 දී ඒ දර්ශකයට අදාළ කරගත් රටවල් ගණන 190 කි. ඒ රටවල් 190 අතරින් 2020 දී ලංකාවට හිමි වූයේ 99 වැනි ස්ථානයයි. එහෙත් 2012 දී ලංකාවට හිමිවූයේ 83 වැනි ස්ථානයයි.

ලංකාවේ ව්‍යාපාර කිරීම දිගින් දිගටම අමාරු සහ අපහසුවීමට ප්‍රබල බාධකය අකාර්යක්‍ෂම සහ දූෂිත රාජ්‍ය සේවය බව බහුතරයේ මතයයි. 2020 දී ඒ දර්ශකයෙහි 94 වැනි ස්ථානය නේපාලයටත් 89 වැනි තැන භූතානයටත් හිමිවූයේ ඇයිදැයි ලංකාවේ රාජ්‍ය සේවකයෝ සිහිබුද්ධියෙන් යුතුව ජාතිමාමකව කල්පනා කළ යුත්තෝය. 

සමාජාර්ථික වශයෙන් ලංකාවට වඩා පහළ රටවල පවා ව්‍යාපාර කිරීමට ඇත්තේ ලංකාවට වඩා පහසු තත්ත්වයකි. එය රටක් ලෙස අප කනගාටුවිය යුතු තත්ත්වයකි. ඒ දර්ශකයෙහි ඉහළ ස්ථානයක් හිමිකර ගැනීම අපේ වගකීමකි. ඒ වගකීම ඉටුකළ යුත්තේ අවශ්‍ය නීති රීති සහ රෙගුලාසි ප්‍රතිසංස්කරණයෙන් සහ අදූෂීත සහ කාර්යක්‍ෂම සේම ඵලදායිතාව අතින් ඉහළ රාජ්‍ය සේවයක් ගොඩනැගීමෙනි. 

ආයෝජකයන් ගෙන්වා ගැනීමට අද ලෝකයේ තිබෙන්නේ තරගයකි. ඉන්දියාව, චීනය, තායිලන්තය, වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවල් රාශියක් ඒ තරගයේ දුවයි. 

ව්‍යාපාර කිරීමේ පහසුව අතින් නේපාලය සහ භූතානයත් ලංකාවට ඉහළින් සිටින්නේ නම් අපට දර්ශකයෙහි ඉතා ඉහළ තැනක් හිමිකර ගැනීම අපහසු නොවේ. ඒ සඳහා කළ යුත්තේ කුමක්දැයි ඉහත කීවෙමි. ව්‍යාපාර කිරීමේ පහසුව මනින දර්ශකයෙහි ඉන්දියාවට හිමිවී තිබුණේ 63 වැනි ස්ථානයයි. එසේ නම් දකුණු ආසියාවේ රටක ආයෝජනය කිරීමට කැමැති විදේශිකයකු ලංකාවට වඩා ඉන්දියාව, භූතානය සහ නේපාලය දෙසට හැරෙන්නට තිබෙන ඉඩ ඉතා ඉහළ බව ආයෝජනවලට සහ ආයෝජකයන්ට වළකපන නොමිනිස්සු අවබෝධ කරගත යුත්තෝ ය.

ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති  සුරේෂ් ෂා

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්