ආර්ථික අර්බුදයට බේත් නැද්ද?


ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදයේ තත්කාලීන වටපිටාව පිළිබඳ විමසීමට ප්‍රථම පසුගිය වසරවල ආර්ථික වර්ධන වේගය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. 2020 වසරට පෙර වසරවල ආර්ථික වර්ධන වේගය ධන අගයක්ව පැවතුණි. 2020 වසරේ ආර්ථික වර්ධන වේගය සියයට ඍණ 3.6ක අගයක් බවට පරිවර්තනය විය. ඒ සමගම උද්ධමන අනුපාතය සියයට5.4 ක් දක්වා ඉහළ ගියේය. 2022 වසර වන විට රටේ ආර්ථික වර්ධන වේගය සියයට 8.8 දක්වා ඉහළ ගිය අතර උද්ධමන අනුපාතය සියයට 67ක් දක්වා විශාල ප්‍රමාණයකින් ඉහළ ගියේය. එය අති උද්ධමන තත්ත්වයකි.

2022 වසරේ ඇති වූ මෙම අති උද්ධමන තත්ත්වය ඇති වීමට පසුගිය වසර තුළ ඇති වූ ආර්ථික අවපාත හේතුවිය. ඒවායෙහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික අර්බුදය නිර්මාණය විය.

1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මෙරට නිර්මාණය වී තිබෙන ආර්ථික අර්බුදයට බලපෑම් කර තිබේ යැයි පැවසීම සාවද්‍ය වේ. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මෙරටට හඳුන්වා දීම 1977ටත් පෙර සිදුවිය යුතුව තිබුණකි. ලෝකයට ආර්ථිකය විවෘත කිරීම රටක සංවර්ධන ප්‍රවණතාවකි.

විවෘත ආර්ථිකය හඳුවන්වාදීම නොව ආර්ථිකය නිසි ආකාරයෙන් කළමනාකරණය නොවීම ආර්ථික අර්බුදයට හේතුවයි. ලෝකයට ආර්ථිකය විවෘත වීමත් සමග කළ විශාල වශයෙන් ණය ලබා ගැනීම සහ එසේ ලබාගත් ණය තිරසාර ආකාරයට භාවිතා නොකිරීම ආර්ථික අර්බුදයක් ඇති වීමට මුලපිරුවේය.

මෙරට තිස් වසරක් පුරාවට පැවති යුදමය වාතාවරණයත් යම් ආකාරයකට ආර්ථිකය අස්ථාවර කිරීමට හේතු විය. 2020 වසරේ දී  ඇති වූ කෝවිඩ් 19 ගෝලීය වසංගතය නිසා ගෝලීය වශයෙන් ආර්ථිකය ඇණ හිටීමකට ලක්විය. එහෙත් මේ වනවිට බොහෝ රටවල් යථා තත්ත්වයට පත් වී හමාරය. ශ්‍රී ලංකාව තවමත් ආර්ථික අර්බුදයේ ගිලෙමින් පවතී.

2022 ඇති වූ දේශපාලන අර්බුදය ද මෙම ආර්ථික අර්බුදය නිර්මාණය වීමට ප්‍රබලව බලපාන ලදී. ආර්ථික බංකොලොත්භාවයට ගෝලීය කොරෝනා වසංගතය සහ මෙරට තුළ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය යන හේතූ ද්විත්වය ඍජුවම බලපෑමක් එල්ල කෙළේ යැයි පැවසීම වැරදිය. 2020 වසරේ වසංගත තත්ත්වය ඇති වීමට පෙර සිටම ආර්ථික කළමනාකරණ ගැටලු‍ පැන නැගී තිබුණි. මේ සියල්ලටම හේතුව වන්නේ මෙරට අදූරදර්ශී, අකාර්යක්ෂම සහ මමත්වය පදනම් කරගත් රාජ්‍ය පාලනයයි.

ආර්ථික අර්බුදය නිර්මාණය වීමට බලපෑ එක් හේතුවක් ලෙස විදේශ සංචිත පහළ යාම හඳුනාගත හැකිය. 2017 වසරේ දී ඩොලර් මිලියන 7000 ක් ව පැවැති විදේශ සංචිත ප්‍රමාණය 2022 වසර වනවිට ඩොලර් මිලියන 3.5 ක් දක්වා අඩු විය. මේ තුළින් රටේ ආර්ථිකය අවදානම් තත්ත්වයට පත්විය. මේ හේතුවෙන් රට තුළ භාණ්ඩ ආනයන ක්‍රියාවලිය බිඳ වැටුණි. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය ඇතිවීමට ප්‍රමුඛතම හේතුව ලෙස මෙය දැක්විය හැකිය. තවත් හේතුවක් ලෙස නිෂ්පාදන අංශය කඩාවැටීම පෙන්වාදිය හැකිය. ණය තිරසාර නොවීම ද අර්බුදය නිර්මාණය වීමට බලපෑවේය.

ශ්‍රී ලංකාවේ සමස්ත ණය සංයුතියෙන් සියයට 47ක ප්‍රමාණයක් ස්වෛරී බැඳුම්කර වේ. ඉහළ පොලී අනුපාතය යටතේ ලබාගත් වාණිජ ණය විශාල ප්‍රමාණයක් ඇත. මෙම ණය බොහෝ ප්‍රමාණයක් යොදවා ඇත්තේ රට තුළ සිදුකළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු සඳහා වන අතර එම ඉදිකිරීම් තුළින් වියදමට සරිලන පරිදි ආදායමක් නොලැබීම රට ණය උගුලක සිර වීමට හේතුවයි. එමෙන්ම කොරෝනා වසංගතයත් සමග සිදු වූ බලපෑමෙන් සංචාරක හා විදේශ ප්‍රේෂණ කඩා වැටීම සිදු වූ අතර ඒ තුළින් ලැබූ විදේශ විනිමය පහළ වැටුණි. මේ හේතුවලින් වාර්ෂිකව ඩොලර් බිලියන 7ක පමණ ණය වාරික ගෙවීමට සිදු වුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පෙබරවාරි මසයේ දී ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවේ යන්න ප්‍රකාශ කළේය. මේ හේතුව මත සමස්ත ආර්ථික කටයුතු කෙරෙහි ගෝලීය වශයෙන් නැවත ණය ලබාදීම සඳහා කිසිදු සංවිධානයක්, රටක් හෝ බැංකුවක් කැමැත්ත පළ නොකළේය. එමනිසා රට තුළ උද්ගත වූ ආර්ථික අර්බුදය හේතු කොටගෙන අත්‍යවශ්‍ය ආනයනික ද්‍රව්‍ය පාරිභෝගිකයන්ට හා නිෂ්පාදකයන්ට අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කිරීමට නොහැකි විය.

දූෂණ හා වංචා හේතුවෙන් ලබාගත් ණය මුදල් නිසි පරිදි ආයෝජනය නොවීම නිසා දූෂණ හා වංචා නැවැත්වීමට නීති ස්ථාපිත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළේය. මෙරට නූතන සංජානන දර්ශකයට අනුව 2022 ට වඩා 2023 වසරේ ඉහළ යාමක් ඇත. මෙම දර්ශකය ඉහළ යාමට හේතු වන්නේ ලංකාවේ ණය තිරසාර නොවීම සහ වංචා දූෂණ වැඩි වශයෙන් සිදු වී තිබීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ලබාදෙන බවට 2023 මාර්තු 22වැනි දින ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයට නිල වශයෙන් ප්‍රකාශ කළේය. මෙය රටට ලැබුණු යහපත් ප්‍රවණතාවකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ණය ලැබීමත් සමඟ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව පිළිගැනීමට ලක්විය. ජාත්‍යන්තර සංවිධාන හා විදේශ රටවලින් ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාවත් ඒ සමග ඇති විය. ශ්‍රී ලංකාව බංකොලොත් නොවන රටක් ලෙස ජාත්‍යන්තරය තුළ පිළිගැනීමට ලක්වීමද මේ සමග ඇති විය.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා වන්නේ රටේ ආදායම් වැඩි කළ යුතු බවයි. ආදායම වැඩි කළ යුත්තේ කෙලෙස ද යන ගැටලු පවතී. මේ වනවිට බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ තුළ සියයට තිස් හයක් දක්වා වැඩි වූ බදු ක්‍රමයක් හඳුන්වා දී ඇත. එහෙත් මෙයට විරෝධතා ගොඩනැගී තිබේ. එම විරෝධතා සාධාරණ වේ.

මන්ද මෙම බදු ප්‍රතිපත්තිය සමස්තයටම සර්ව සාධාරණ නොවීම හේතුවෙනි. ශ්‍රී ලංකාවේ රුපියල් ලක්ෂයකට වැඩියෙන් වැටුප් ලබන සේවකයන් හට මෙම බදු මුදල ගෙවීමට සිදුවී තිබේ. එහෙත් මාසික ආදායම වාර්තාගත නොවන පුද්ගලයන් මෙම බදු ප්‍රතිපත්තියට හසුනොවීම සධාරණ නොවේ. ඉදිරි මාස හය තුළ දී ප්‍රගති සමාලෝචන රැස්වීම තුළ මේ පිළිබඳ සාකච්ඡාවට ගෙන සාධාරණ බදු ප්‍රතිපත්තියක් ස්ථපිත කිරීමට කටයුතු කරන බව පැවසෙයි. 

රාජ්‍ය ආදායම වැඩි කිරීම සඳහා රජය සතු ආයතන ඉවක් බවක් නොමැතිව විකිණීම සිදුකළ යුත්තක් නොවේ. මෙය ආර්ථික සංවර්ධනයක් නොවන අතර තවත් ගැටලු‍ ගණනාවකට අතවැනීමකි. ලබන වසරේ ගෙවීමට ඇති ණය වාරික හේතුවෙන් ඒ සඳහා පැහැදිලි ක්‍රමවේදයක් නොමැතිව රාජ්‍ය ආයතන විකිණීම හෝ පෞද්ගලීකරණය කිරීම ඉතාම භයානකය. රටක මූලික වශයෙන් රාජ්‍ය ආයතන ත්‍රිත්වයක් යටතේ කාණ්ඩ කළ හැකිය. එනම් උපාය මාර්ගික රාජ්‍ය ආයතන, සුබ සාධනය අරමුණු කරගත් රාජ්‍ය ආයතන සහ ලාබය අරමුණු කරගත් රාජ්‍ය ආයතන ලෙසිනි.

අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි සුබසාධන රාජ්‍ය ආයතන විකිණීම හෝ පෞද්ගලීකරණය කිරීම සිදුකළ නොහැකිය. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වභාවයට අනුව එම ආයතන රාජ්‍ය සතුවිය යුතුය. උපාය මාර්ගික රාජ්‍ය ආයතන යනු ආර්ථික සංවර්ධනය සඳහා ඍජුවම දායකත්වය සපයන ආයතන වේ. එනම් බලශක්ති, සන්නිවේදන, ඛනිජ තෙල්, ඉදිකිරීම් හා ප්‍රවාහන වේ. චීනය වැනි සංවර්ධිත රටවල තවමත් මේ උපාය මාර්ගික රාජ්‍ය ආයතන රාජ්‍ය පාලනය සතුව පවතී. මේ තුළ පෞද්ගලික ආයෝජන තිබිය හැකි නමුත් රාජ්‍ය පාලනය නිදහස් වීම භයානකය.

මෙම උපාය මාර්ගික රාජ්‍ය ආයතන මේ ආර්ථික අවපාතය හේතුවෙන් පාඩු ලබන ආයතන බවට පත් වී ඇත. මෙලෙස පාඩු ලැබීමට අකාර්යක්ෂම ක්‍රමවේද බලපා ඇත. සේවකයන් බඳවා ගැනීම, සේවකයන්ගෙන් කාර්යක්ෂම සේවාවක් ලබා නොගැනීම, අයුතු ලෙස සම්පත් පරිහරණය, වැටුප් ගෙවීම් සහ අතිකාල දීමනා ආදිය ගෙවීම ආදියෙහි පවතින ගැටලු මෙයට බලපා ඇත. දේශපාලනඥයන් සහ පරිපාලන අධිකාරිය මෙම ගැටලු සඳහා වගකිව යුතු පාර්ශ්වයෝය.  කළ යුත්තේ පවතින ගැටලු නිරාකරණය සඳහා ක්‍රමවේද මොනවාදැයි සියුම්ව අධ්‍යයනය කොට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම වන අතර රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම නොවේ.
මෙරට දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවේ.

ආයෝජන දිරි ගැන්වෙන ආකාරයෙන් වැඩපිළිවෙළක් සකස් විය යුත්තේ කෙසේ ද සහ විනිමය අනුපාත සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර යම්කිසි ණය ප්‍රමාණයක් ලබා ගැනීමට කටයුතු කළ යුතුය. විදේශ විනිමය සැපයුම පහළ යාම සමග රුපියලෙහි වටිනාකම පහළ ගොස් තිබේ. ශක්තිමත් අපනයන ක්‍රියාවලියක් නැවත ස්ථාපිත කිරීම සඳහා රුපියල ස්ථාවර කර ගැනීම වැදගත් වේ. එමෙන්ම වෙළඳපොළ තුළ අවිධිමත් ගෙවීම් ඉහළ ගොස් ඇත. එම ගෙවීම් ඉහළ යෑමෙන් නිෂ්පාදන වියදම ඉහළ යනු ඇත. ඒ තුළ කඩා වැටුණු ආර්ථිකය සුරක්ෂිත කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට නම් වර්තමානයේ පවතින අභියෝග ජය ගැනීම අවශ්‍ය වේ. එක් අභියෝගයක් ලෙස ණය තිරසාර නොවීම හඳුනාගත හැකිය. ණය ගෙවීමේ ක්‍රමවේද පිළිබඳ යම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් සැලසුම් කළ යුතුය. ආර්ථික ප්‍රතිපත්තිවල පවත්නා අඩුපාඩු මෙන්ම ක්‍රියාත්මක කිරීමේ දී පවතින අඩුපාඩු මඟහරවා ගත යුතුය. රට තුළ පවතින යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුය.

ආයතනවල අනවශ්‍ය වියදම් මඟ හරවා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුය. එමෙන්ම ලංකාවේ කාර්මීකරණය සඳහා වැඩි අවධානයක් ලබා දිය යුතුය. කාර්මීකරණයට අමතරව කෘෂිකර්මාන්තය පිළිබඳව ලබාදෙන අවධානය අපනයන ආර්ථිකය දියුණු කිරීමට වැදගත්ය. නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම ද කළ යුතුය. ජාත්‍යන්තර සහ දේශීය වෙළෙඳපොළ තුළ ඵලදායිතාව අඩු වීමට නිෂ්පාදන පිරිවැය ඉහළ යාම බලපාන්නේය. මෙය ගැටලු‍වකි. එලෙසම ගෝලීය ප්‍රවාහයන් සමග එකතු විය යුතුය.

තවත් අභියෝගයක් ලෙස ශ්‍රම වෙළඳපොළ තුළ පවතින ගැටලුව වන්නේ පුහුණු ශ්‍රමිකයන්ට සාපේක්ෂව නොපුහුණු ශ්‍රමිකයන් වැඩි වීමයි. ශ්‍රමය යනු සම්පතකි. එබැවින් ශ්‍රම වෙළඳපොළට හැකියාව, කුසලතා හා දැනුම සහිත ශ්‍රම බළකායක් අවශ්‍ය වේ. තවත් කරුණක් ලෙස රට තුළ නවෝත්පාදන ඇති කළ යුතුය. එමෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ නව නිෂ්පාදකයන් දිරි ගැන්වීම ද වැදගත් වේ. මේ අයුරින් පවතින අභියෝග ජයගැනීමට හැකි නම් නැවත ස්ථාවර වූ ආර්ථිකයක් ගොඩනැගිය හැකිය.

බංකොලොත් වූ රටක් තිරසාර ආර්ථික සංවර්ධනය කරා ළඟා වීම දවසින් දෙකෙන් කළ හැක්කක් නොවේ. මේ වෙනුවෙන් ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව ඇත. සිස්ටම් චේන්ජ් යන වචනය පමණක් ප්‍රමාණවත් නොවේ. එය සිදුවිය යුත්තේ කෙසේද යන්න ව්‍යූහගත ආකෘතියක් පැවැතිය යුතුය. සමාජ, ආර්ථික, දේශපාලන සහ සමාජීය ආදී ක්ෂේත්‍ර සියල්ල තුළම ව්‍යූහාතමක වෙනස්කම් සිදු වී නොමැති නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස්කම් සිදු වෙමින් පැවතීම සතුටට කරුණකි.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ගීතානි බුලන්කුලම

සටහන - ශෂිකා අබේරත්න