ආර්ථික අර්බුදයෙන් මිරිකෙන ශ්‍රී ලංකා ජනතාව


ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ විවිධ අර්ථකථන ඉදිරිපත් වෙමින් තිබේ. ඇතැම්විට දේශීය වශයෙන් ද ඊළඟට ජාත්‍යන්තර වශයෙන් ද මේ අදහස් ඉදිරිපත් වෙයි. කොටින්ම ලංකාවේ ආර්ථික අර්බුදයත් එහි ප්‍රතිඵල වශයෙන් රටේ ජනතාවට මුහුණ දීමට සිදුව තිබෙන දැඩි පීඩාකාරී තත්ත්වයත් දැන් ජාත්‍යන්තරයේ මාතෘකාවක් බවට හැරවී තිබේ.

මෙවැනි තත්ත්වයකට රටක් ඇදවැටෙන විට ඒ පිළිබඳ ජාත්‍යන්තරය දැනුම්වත් කරන ප්‍රධානම ආයතනය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. එහි විවිධ අනුබද්ධ ආයතන රටේ ප්‍රධාන ගැටලු‍ පිළිබඳ ලොව දැනුම්වත් කරමින් සිටී.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් පසුගිය දිනවල මෙරට ළමා පරපුර මුහුණපා සිටින උග්‍ර ආහාර හිඟයත් එයින් මතුවන මන්දපෝෂණ තත්ත්වයේ බරපතළ ප්‍රතිවිපාක ගැනත් වාර්තා නිකුත් කර තිබිණි. එහි ඇතැම් සංඛ්‍යා ලේඛන නිවැරදි නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

එම වාර්තාවේ සත්‍ය තත්ත්වය කුමක් වුවද මතුව තිබෙන ආහාර අර්බුදයේ කම්පනය දරුවන්ගේ පෝෂණයට ඇතිකර තිබෙන දැඩි බලපෑම සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළ පමණින් අහෝසි වන්නේ නැත. දිළිඳුම මට්ටමේ සිටින පවුල්වල දරුවන්ට මේ වනවිට එක වේලක් හෝ පෝෂ්‍යදායී මට්ටමින් ලබාගැනීමේ දුෂ්කරතාව අවබෝධ කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකි විය යුතුය.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පසුගියදා අලු‍තින්ම නිකුත් කළ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආහාර අර්බුදය පිළිබඳ වාර්තාව ද පෙන්වා දෙන්නේ රටේ සමස්ත ජනතාව මුහුණ දී සිටින අර්බුදයේ බරපතළකමය. ඔවුන්ගේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය බලපෑමෙන් ඇතිව තිබෙන දුෂ්කරතා හේතුවෙන් ලක්ෂ 63ක ජනතාවක් දැඩි ආහාර අර්බුදයක ගිලී සිටිති. සෑම පවුල් 05කින් 04ක්ම සිටින්නේ ආහාර වේලක් මගහරින තත්ත්වයකය. එසේම ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීමට ද ඔවුහු පුරුදු වී සිටිති.

මෙය රටේ අර්බුදයේ බරපතළකම පිළිබඳ ප්‍රබල සාක්ෂියකි. අර්බුදයේ දිග පළල හඳුනා ගැනීමට නොහැකිව සිටින ඇතැම් දේශපාලනඥයන්ට මේ වාර්තා වහ කදුරු විය හැකි වුවද මෙය යථාර්ථයට බෙහෙවින් ආසන්න වාර්තාවක් බව හඳුනා ගැනීම අපහසු නොවේ.

ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ එම අලු‍ත්ම වාර්තාවට අනුව කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් තවමත් පවතින්නේ ඉහළ මට්ටමකය. මේ බව සනථ කිරීමට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත. ජනතාව ප්‍රධාන ආහාර වේල් සඳහා සහල් හැරුණුවිට වැඩි වශයෙන් පරිභෝජනය කරන පාන් පිටි මිල ඉහළ නැග තිබෙන ප්‍රමාණය සලකා බැලීම පමණක් ප්‍රමාණවත්ය.

මාස කිහිපයකට පෙර රුපියල් 185ක්ව තිබූ පාන් පිටි කිලෝවක මිල මේ වනවිට රුපියල් 420 සිට 485 දක්වා ඉහළ නැග තිබේ. මේ හේතුවෙන් පාන් ගෙඩියක මිල රුපියල් 300 දක්වා වැඩි විය හැකි බවට බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ. පාන් පිටි ආශ්‍රිත ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරන්නේ තම ව්‍යාපාරය මේ මිල ගණන් යටතේ පවත්වාගෙන යාම අසීරු බවය.

එහෙත් වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ පාන් පිටි මිල එතරම් ඉහළ නැගීමට හේතුවක් නැති බවත් වැඩි මිලට පාන් පිටි අලෙවි කරන සමාගම් පිළිබඳ සොයා බලන බවත්ය. එය අමාත්‍යවරයාගේ නිලධාරීන් විසින් දුන් ලණුවක් දැයි අප දන්නේ නැත. එහෙත් සැබෑ පාන් පිටි මිල දැන ගැනීමට අමාත්‍යවරයාට අවශ්‍ය නම් කළ යුත්තේ යන එන අතරමග වෙළෙඳසලකට ගොඩවීම පමණි. පාන් පිටි පමණක් නොව වෙනත් අත්‍යාවශ්‍ය ආහාරවල තරු පෙනෙන මිල ගණන් ද එවිට අමාත්‍යවරයාටම බලාගත හැකිවනු ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශනයට අනුව ජූලි මාසයේ සියයට 60.8ක් වූ උද්ධමනය අගෝස්තු මාසයේ දී සියයට 64.3ක් දක්වා ඉහළ නැග තිබෙන්නේ ශීඝ්‍රයෙන් වැඩිවන අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන් හේතුවෙන් බව පැහැදිලිය.

සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන වැට් බදු ඉහළ දැමීමත් සමඟ මේ මිල ගණන් වැඩි වී උද්ධමනය තවදුරටත් ඉහළ යනු ඇති බවත් එයින් ජනතාව දැනට ද මුහුණදෙන පීඩාකාරී තත්ත්වය උග්‍ර වනු ඇති බවත් පෙන්වා දිය යුතුය.

ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තවත් නරක අතට පත්වේ යැයි බියක් තිබෙන බවකි. එම බිය යථාර්ථයක් බවට පත්වීමෙන් වළක්වා ආහාර සංචිත ගොඩනංවා ගැනීම ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යයක් වීම අවශ්‍යය.

ආණ්ඩුවේ මැති ඇමැතිවරු තම තමන්ගේ වරප්‍රසාද සහ වරදාන ලබාගැනීමට දරන උත්සාහය අතරේ ලක්ෂ 63ක් ජනතාව කුසගින්නෙන් ගලවා ගැනීම කෙරෙහි ද යන්තමින් හෝ අවධානය යොමු කරන්නැයි අපි ඉල්ලා සිටිමු.

(***)