ආර්ථික අර්බුදයෙන් රට මුදාගන්න මුලින්ම සිතමු


රටක ආර්ථික ස්ථාවරය ඇතිවීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ දේශපාලන ස්ථාවරයයි. ආකූල ව්‍යාකූල දේශපාලන පසුබිමක් සහිත රටක ආර්ථිකය ස්ථාවර වන්නේ නැත. මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින්නේද එබඳු සංක්‍රාන්ති සමයකි.

මෙතෙක් පැවැති පාලන තන්ත්‍රය ජන අරගලයකින් වෙනස් කර තිබේ. අරගලයක් මගින් මෙරට ආණ්ඩු වෙනසක් සිදුකළ මුල්ම අවස්ථාව මෙයයි. එබැවින් මේ සම්බන්ධව අපට පූර්වාදර්ශ නැත. එහෙත් මෙම ආණ්ඩු වෙනසට බලපෑ ප්‍රධාන සාධක අතර ජනතාවට දරාගත නොහැකි වූ ආර්ථික පීඩනයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මාස ගණනාවක් තිස්සේ නොවිසඳුණු ආර්ථික අර්බුදය විසින් රටේ උද්ධමනය සියයට 54‌ ක් දක්වා ඉහළ දමනු ලැබීය.

තවත් මසකින් උද්ධමනය සියයට 75 ඉක්මවනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා අනාවැකි පළකර තිබුණි. කෙසේ හෝ පීඩිත සමාජය විශාල අරගලයක් කොට පැවති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයෙන් පහකර ඇත. අලු‍ත් ආණ්ඩුවක් වෙත බලය හුවමාරු කෙරෙන තාක්කල් සමාජය ගෙවන්නේ නොනගත කාලයකි. මේ ආකාරයට දේශපාලන අස්ථාවර තත්ත්වයක් පැවතුණහොත් ඉදිරි කාලයේ මුදුන්පත් කරන්නට අදහස් කරන ආර්ථික අපේක්ෂා සිහිනයක් විය හැකි බවට දැනටමත් අනතුරු ඇඟවීම් නිකුත් වී තිබේ.

ඉන් ප්‍රධානම අනතුරු ඇඟවීම නිකුත් වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවෙනි. මෙබඳු අස්ථාවර තත්ත්වයක් පැවතීම දැනට රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර දිගුකාලීන ණය වැඩසටහනක් සඳහා කෙරෙන සාකච්ඡාවලට අනතුරුදායක ලෙස බලපාන බව මහබැංකු අධිපතිවරයා සඳහන් කළේය. එසේම ඉන්දීය රජයෙන් ඉන්ධන ලබාගැනීමට ඉල්ලා ඇති ඩොලර් මිලියන 500ක ණය මුදල සහ ඩොලර් බිලියනයක විනිමය හුවමාරු පහසුකමට ද මෙම තත්ත්වය හානිකර බව මහ බැංකු ප්‍රධානියාගේ මතයයි. මේ ප්‍රශ්නය දැන් කිසිවකුට විසඳිය නොහැකි උභතෝකෝටික අර්බුදයක් බවට පත්වෙමින් තිබෙන බව නිසැකය.

ආණ්ඩු බලය මැතිවරණයකින් තොරව මාරු වනවිට රාජ්‍ය නායක ධුරයට සුදුසු අනුප්‍රාප්තිකයකු තෝරා ගැනීම පහසු නැත. රාජ්‍ය නායකත්වය අපේක්ෂා කරන සංඛ්‍යාව වැඩිවන තරමට අර්බුදයේ වපසරිය ද පුළුල් වේ. රට ගැන සිතා හෝ සමගිය, සම්මුතිය, එකඟතාවකින් යුතුව නව පාලන තන්ත්‍රයක් ස්ථාපිත කරගන්නට හැකියාවක් නැතුවා සේ ය. මේ නිසා සමාජය අන්දුන්කුන්දුන් වී සිටින අතර ආර්ථිකය තව තවත් සසල වෙමින් තිබේ. බලන බලන සැම අතකම ස්ථාවරය වෙනුවට දක්නට ඇත්තේ අස්ථාවරයයි. නව පාලන තන්ත්‍රයක් නිර්මාණය කිරීම අරගලකරුවන්ට ද පහසු කරුණක් නොවන බව පෙනේ.

ජනාධිපතිවරයා ඉවත් කිරීමෙන් පසු රට තුළ බල කේන්ද්‍ර ගණනාවක් සක්‍රිය වී ඇති බව පැහැදිලිය. අරගලකරුවන්, ප්‍රධාන විපක්ෂය, ආණ්ඩු පක්ෂය, ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම්, ආගමික නායකයන් සහ නීතීඥයන් ප්‍රමුඛ සිවිල් සංවිධාන මෙම බල කේන්ද්‍රවලට අරක්ගෙන සිටිති. එහෙත් මේ කිසිම කෙනකුට තවමත් පිළිගත හැකි යුක්ති සහගත ප්‍රවේශයක් ඔස්සේ නව පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීම අපහසු වී ඇත.

හැමෝම බලන්නේ තමන් රජවීමටය. එනිසා රට තුළ දේශපාලන හා ආර්ථික අස්ථාවරභාවය ව්‍යාධියක් වන තැනට කරුණු යෙදී ඇත. එය හරියට ලෙඩේට වඩා බෙහෙත නරක් වූවා වැනි තත්ත්වයකි. ඒ නිසා මෙම ව්‍යාධිය විසින් සමාජ දේහය ගිලගන්නට පෙර විසඳුමක් ලබාදිය යුතුය. ස්ථාවර ආණ්ඩුවක් බිහිකොට ඔවුන්ගේ නව ආර්ථික පිළිවෙත අනුව අනාගත ප්‍රවේශය සංවිධානය කිරීමට මහ බැංකුව ඇතුළු ආර්ථික මර්මස්ථානවලට මඟපෙන්විය යුත්තේ නව පාලන තන්ත්‍රය විසිනි.

ඉදිරි කාලයේ පත්වන රජය ක්‍රියාත්මක කරන දේශපාලන පිළිවෙත ද රටේ ආර්ථික ස්ථාවරයට ඍජුවම බලපාන බව සඳහන් කරනු වටී. නව රජය අනුගමනය කරන්නේ සුබසාධන ආර්ථික ප්‍රතිපත්තියක් ද වෙළඳපොළ ආර්ථික ප්‍රතිපත්තියක් ද මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්තියක් ද යන්න මෙහිදී ඉතා වැදගත් වෙයි.

විශේෂයෙන් ඉදිරි කාලයේ විසඳිය යුතු ප්‍රධාන ප්‍රශ්න අතර මෙරට දැන් හටගෙන තිබෙන බලශක්ති අර්බුදය මුල් තැන ගන්නා බව නොරහසකි. ඉන්ධන සහ විදුලිය සැපයුම උදෙසා දරන්නට වන ප්‍රාග්ධනය විශාලය. ඒ අතර මහ බැංකුව මූල්‍ය සංචිතය ස්ථාවර කර ගැනීම විදේශ විනිමය අනුපාතය සාධාරණ මට්ටමකට පත් කිරීම, උද්ධමනය පාලනය, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම ආදිය ද මෙහිදී ඉතා වැදගත්ය.

අප රට කෙරෙහි ජාත්‍යන්තර ප්‍රසාදය තවදුරටත් තහවුරු කර ගැනීමට දැනට අත්හිටුවා තිබෙන විදේශ ණය ගෙවීම ද අත්‍යවශ්‍ය කරුණකි. විදේශ රටවලින් ණය හා ආධාර ලබා ගැනීමේ දී ණය පැහැර හැර තිබෙන රටක් බංකොළොත් රටක් ලෙස ඇතැමුන් අර්ථකථනය කරන නිසා හැකි ලෙස විදේශ ණය පියවීමට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතුය.

මේ සියලු‍ ආර්ථික අපේක්ෂා සාක්ෂාත් වන්නේ රටේ දේශපාලන ස්ථාවරය රැකුණොත් පමණි. ඒ නිසා රටට සහ ජනතාවට සේවය කිරීම තමන්ගේ ඒකායන අරමුණ බව ප්‍රකාශ කරන දේශපාලන නායකයන් රට ගැන සිතිය යුතු හෝරාව එළඹ ඇති බව සඳහන් කළ යුතුය.

තවදුරටත් රට අගාධයට තල්ලු‍ නොකොට රටේ ව්‍යවස්ථාව අනුව ක්‍රියාකර කඩිනමින් ස්ථාවර පාලන තන්ත්‍රයක් ස්ථාපිත කළ යුතුය. එසේ නොකළොත් රටක් හා ජාතියක් ලෙස අපට ගෙවන්නට සිදුවන වන්දිය අප්‍රමාණ බව සඳහන් කරනු වටී.

(***)