ආර්ථිකය කඩාවැටීමේ යථාර්ථය


ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2022 වසරේ තුන්වැනි කාර්තුවට අදාළ ආර්ථික කටයුතු පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කරනු ලැබ තිබේ. මෙම වර්ෂයේ කාර්තු තුනෙහිදී ආර්ථිකය කවර දිශාවකට ගමන් කර ඇත්ද යන්න ගැන එම වාර්තාවෙන් අදහසක් ලබා ගත හැකිය.

කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන අංශත්‍රයෙන් සමස්ත දළ දේශීය නිෂ්පාදිතය සැකසේ. 2022 වසරේ පළමු කාර්තුවේ දී කෘෂිකාර්මික සහ කාර්මික අංශවල වාර්තා වූයේ ඍණ වර්ධන වේගයකි. එම වසරේ තෙවැනි කාර්තුව වන විට කෘෂිකාර්මික සහ කාර්මික අංශවලට අමතරව සේවා අංශය ද ඍණ ආර්ථික වර්ධන වේගයක් වාර්තා කර තිබේ.

නාමික දළ දේශීය නිෂ්පාදිතය යම් ආකාරයක ඉහළ යෑමක් පෙන්නුම් කරයි. එහෙත් මූර්ත දළ දේශීය නිෂ්පාදිතයෙහි පහළ යෑමක් දක්නට ලැබේ. 2021 වසරේ තෙවැනි කාර්තුවට සාපේක්ෂව 2022 වර්ෂයේ තෙවැනි කාර්තුවේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යෑම සටහන් වන්නේ සියයට 45.2 ක් වශයෙනි.

මූර්ත දළ දේශීය නිෂ්පාදිතය සියයට 11.1 කින් පහළ ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන් වේ. නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යෑම සහ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ පහළ යෑම මගින් අදහස් වන්නේ මිල මට්ටම වේගයෙන් ඉහළ ගොස් ඇති බවය. උද්ධමනය වැඩි වී ඇති බවය.

2022 වර්ෂයේ තෙවැනි කාර්තුවේ එක් එක් අංශ සම්බන්ධයෙන් සලකා බලන විට කෘෂිකාර්මික අංශයේ වර්ධන වේගය ඍණ සියයට 8.7 කි. කාර්මික අංශයේ වර්ධනය සටහන් වන්නේ ඍණ සියයට 21.2 ක් ලෙසය. සේවා අංශයෙහි වර්ධනය වාර්තා වන්නේ ඍණ සියයට 2.6 ක් වශයෙනි. මෙයින් පැහැදිලි වන්නේ මෙම කාර්තුවේ දී ආර්ථික කටයුතුවල විශාල පසුබෑමක් සිදුව ඇති බවය. එම පසුබෑම ඍණ සියයට 11.1 ක් වශයෙන් අදාළ වාර්තාවෙහි දැක්වේ.

2022 පළමු කාර්තුවේ දී කෘෂිකාර්මික අංශයේ වර්ධනය සටහන් වූයේ ඍණ සියයට 6.8 ක් වශයෙනි. කාර්මික අංශයේ ඍණ සියයට 4.7 ක වර්ධනයක් ද සේවා අංශයේ දශම 7 ක ධන වර්ධනයක් ද එම කාර්තුවේ දී වාර්තා විණි. එම කාර්තුවේ සමස්ත ආර්ථික වර්ධනය සටහන් වූයේ සෘණ සියයට 1.6 ක් ලෙසය. අදාළ වර්ෂයේ දෙවැනි කාර්තුවේ දී කෘෂිකාර්මික අංශය ඍණ සියයට 8.4 කින් ද කාර්මික අංශය ඍණ සියයට 10 කින් ද සේවා අංශය ඍණ සියයට 2.2 කින්ද අවවර්ධනය වී තිබිණි. ඒ අනුව එම කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සටහන් වූයේ සෘණ සියයට 8.4 ක් හැටියටය.

මෙම සංඛ්‍යා දත්ත පිරික්සීමේදී පැහැදිලි වන්නේ කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන අංශත්‍රයෙන් වඩාත්ම පරිහානියට පත්ව තිබෙන්නේ කාර්මික අංශය බවය. 2022 වර්ෂයේ තෙවැනි කාර්තුවේ එම අංශයේ පසුබෑම වාර්තා වන්නේ ඍණ සියයට 21.2 ක් ලෙසය. එය බරපතළ කඩා වැටීමකි. කෘෂිකාර්මික අංශයේ වඩාත් පසුබෑමට ලක්ව ඇති අංශ අතර කරදිය ධීවර කටයුතු පෙරමුණේ පසුවේ. එම අංශයේ කටයුතු සියයට 33.5 කින් අවවර්ධනය වී තිබේ. ධාන්‍ය වගාව සියයට 26.1 කින්ද වී වගාව සියයට 19.8 කින්ද සත්ව නිෂ්පාදනය සියයට 19.5 කින්ද තේ වගාව සියයට 18.9 කින්ද පසුබෑමට ලක්ව ඇත. එකී වාර්තාව අනුව පලතුරු, එළවළු සහ රබර් යන කෘෂිකාර්මික කටයුතුවල ද බිඳවැටීමක් දැකිය හැකිය.

කර්මාන්ත අංශයේ බිඳවැටීම කවර ක්ෂේත්‍රවල සිදුව තිබෙන්නේ ද යන්න විමසුමට ලක් කිරීම වැදගත්ය. ඒ අනුව ඉදිකිරීම් කර්මාන්තය සියයට 33.2 කින්ද පතල් හා කැණීම් කර්මාන්තය සියයට 45.9 කින් ද නිමවුම් කර්මාන්ත කටයුතු සියයට 14.8 කින්ද පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදනය සියයට 56.3 කින් ද අවවර්ධනයක් වාර්තා කර ඇත.

ලෝහ නොවන ඛනිජ නිෂ්පාදන සියයට 42.2 කින්ද මූලික ලෝහ හා ව්‍යුහාත්මක ලෝහ වර්ග සියයට 42.1 කින්ද ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සියයට 37.9 කින්ද රබර් හා ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය සියයට 32.4 කින්ද වශයෙන් පසුබැස තිබේ. එසේම යන්ත්‍ර සූත්‍ර උපකරණ නිෂ්පාදනය සියයට 21.3 ක ද ආහාර පාන වර්ග හා දුම්කොළ සියයට 20.5 කද රසායනික ද්‍රව්‍ය හා මූලික ඖෂධ වර්ග සියයට 11.3 කද බිඳවැටීමක් වාර්තා වී ඇත. ඊට අමතරව දැව ආශ්‍රිත නිෂ්පාදන, කඩදාසි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශවලද පසුබැසීමක් සිදුව ඇති බව එම වාර්තාවෙහි සඳහන් වේ.

රටක ආර්ථිකයෙහි ප්‍රධාන පදනම ලෙස ගැනෙන්නේ කාර්මික අංශයයි. කෘෂිකාර්මික හා සේවා අංශ අන්තර් සබඳතා පවත්වා ගනිමින් වර්ධනය වන්නේ කාර්මික අංශය අත් කරගන්නා වර්ධනයේ ප්‍රමාණය අනුවය. එහෙත් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ කර ඇති තොරතුරුවලට අනුව 2022 වසරේ දී කාර්මික අංශයේ දැවැන්ත කඩාවැටීමක් දක්නට ලැබේ. එය හිතකර තත්ත්වයක් නොවේ. මෙම වාර්තාවට අනුව රෙදි පිළි හා නිමි ඇඳුම් අංශයේ දී ඉතා සුළු අගයකින් ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබේ.

සේවා අංශයේ දැඩි බලපෑමට ලක්ව ඇති අංශ අතර රක්ෂණ සේවා සියයට 32.8 කින්ද මූල්‍ය සේවා සියයට 31.1 කින්ද වැඩසටහන් සම්පාදනය සහ රූපවාහිනී ගුවන්විදුලි විකාශන කටයුතු සියයට 8.8 කින්ද වෘත්තීය සේවා සියයට 7 කින්ද සෞඛ්‍ය සේවා සියයට 6.6 කින්ද දේපළ වෙළඳාම් කටයුතු සහ නිවාස අයිතිය පිළිබඳ කටයුතු සියයට 4.8 කින්ද තොග හා සිල්ලර වෙළෙඳාම සියයට 2.3 කින්ද වශයෙන් පසුබෑම් වාර්තා කර තිබේ.

මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන අංශවල ආර්ථික කටයුතු මෙම වර්ෂයේ පළමු කාර්තුවේ වාර්තා කරන ලද අවවර්ධනයට වඩා වැඩි අගයකින් දෙවැනි කාර්තුවේදී ද එම කාර්තුවේ සටහන් වූ පසුබැසීමට වඩා වැඩි අගයකින් තෙවැනි කාර්තුවේදී ද කඩා වැටී ඇති බවය. ආර්ථිකයේ බිඳවැටීම තීව්‍ර වෙමින් පවතිනවාය යන පණිවුඩය එමගින් ලබා දේ.

ආර්ථිකයේ මෙවැනි කඩාවැටීමක් ඇති වීමට බලපෑ හේතු කවරේද යන්න ගැන සුපරික්ෂාකාරී වීම ද වැදගත්ය. රටේ පැවති ඉහළ උද්ධමනය එක් හේතුවකි. මෙම වසරේ මුල පටන් ක්‍රමයෙන් වර්ධනය වූ උද්ධමනය ඔක්තෝබර් මාසය වන විට ඉහළ ප්‍රතිශතයකින් වැඩි වූ බව අපි දනිමු. කෙසේ වෙතත් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල උද්ධමන අනුපාතය අඩු අගයක් වාර්තා කළ ද එය සැලකිය යුතු මට්ටමේ එකක් නොවන බව මගේ අදහසයි.

ආර්ථිකයේ මේ ආකාරයේ පසුබෑමක් හට ගැනීමට බලපෑ දෙවැනි හේතුව හැටියට මා හඳුනා ගන්නේ තවමත් ක්‍රියාත්මක වන බලශක්ති අර්බුදයයි. පවතින ඉහළ පොලී අනුපාතිකය තෙවැන්නයි. මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට පොලී අනුපාත ඉහළ අගයකින් ඉහළ නංවන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස විශාල පිරිවැයක් ආර්ථිකයේ ජනනය වී තිබේ. ආර්ථිකයේ විවිධ අංශවල බිඳවැටීමට එය ද හේතුවකි.

යෙදවුම් මිල ගණන්වල සිදු වූ මිල ඉහළ යෑම තවත් හේතුවකි. ඒ යටතේ අමුද්‍රව්‍ය, ප්‍රවාහන, පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍යවල මිල ගණන් වේගයෙන් ඉහළ යෑමක් දක්නට ලැබිණි.

මීළඟට විමසා බැලිය යුතතේ ආර්ථිකයේ උද්ගතව ඇති මේ අවවර්ධනය සමනය කිරීම වෙනුවෙන් ආණ්ඩුව සහ මහ බැංකුව සුදුසු ප්‍රතිපත්තිමය තීන්දු ගෙන තිබෙන්නේ ද යන්නය. මා දකින ආකාරයට එවැනි තන්දු තීරණ මෙතෙක් ගෙන නොමැත. වැරදි උපකල්පනයක් මත සිට මහ බැංකුව ආර්ථික කටයුතු හසුරුවන බව මගේ නිරීක්ෂණයයි. ඉල්ලුම ඉහළ යෑම නිසා රටේ ඉහළ උද්ධමනයක් ඇති වූවාය යන උපකල්පනය මත මහ බැංකුව ක්‍රියා කරන බව පෙනේ. එබැවින් උද්ධමනය පාලනය කිරීම පිණිස පොලී අනුපාත ද වැඩි කෙරිණි. එය සම්පූර්ණයෙන්ම වැරදි උපකල්පනයකි.

සරල නිදසුනකින් මේ තත්ත්වය පැහැදිලි කරන්නේ නම්, පාන්වල මිල ගණන් වැඩි වූයේ පාන් පාරිභෝජනය හෝ ඉල්ලුම හෝ ඉහළ ගිය නිසා නොව එහි නිෂ්පාදන පිරිවැය වැඩි වූ හෙයිනි. එසේම මාළු මිල ගණන් ඉහළ ගියේ ධීවරයන්ගේ සහ ප්‍රවාහනය කරන්නන්ගේ පිරිවැය වැඩි වූ නිසා මිස මාළු පාරිභෝජනය වැඩි වූ නිසා නොවේ. මහ බැංකුව මේ තත්ත්වය නිවැරදිව අවබෝධ කර නොගතහොත් රට තවදුරටත් අගාධය කරා ගමන් කරනු ඇත.

උද්ධමනය පාලනය කිරීමේ අදහසින් මහ බැංකුව විසින් පොලී අනුපාත වැඩි කරනු ලැබුව ද සැලකිය යුතු අගයකින් උද්ධමනය පහළ ගියේ නැත. පවතින ඉහළ උද්ධමනය එලෙසින්ම පැවතීමට මේ වැඩි කරන ලද පොලී අනුපාත හේතු වී ඇති බව මගේ අදහසයි. ඒ බව තේරුම් ගෙන පොලී අනුපාත වෙනස් කිරීමට මහ බැංකුව පියවර ගත යුතුය. එසේ නොකළ හොත් 2023 වර්ෂයේදී ද ආර්ථිකයේ පසුබෑමක් අපේක්ෂා කළ හැකිය.

2022 ඔක්තෝබර් වන විට එක් පුද්ගලයකුට ජීවත් වීම සඳහා අවශ්‍ය අවම මාසික මුදල් ප්‍රමාණය රුපියල් 13810 දක්වා වැඩිවී තිබිණි. එයින් පැහැදිලි වන්නේ රටේ උද්ධමනය ප්‍රමාණවත් පරිදි පසුගිය කාලයේ දී පාලනය වී නොමැති බවය. ඒ වෙනුවට සිදුව ඇත්තේ අනවශ්‍ය පිරිවැයක් ජනිත වීමය.

මේ වන විට භාණ්ඩාගාර බිල්පත් සඳහා සියයට 33 ක ඉහළ පොලී අනුපාතිකයක් ක්‍රියාත්මක වේ. එවැනි පසුබිමක ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යෑමට අවශ්‍ය ණය ගැනීම දුෂ්කර කටයුත්තක් බවට පත්ව ඇත. නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් දක්නට ලැබෙන්නේ ද නැත. මේ වසරේ කාර්තු තුනෙහිදීම රටේ නිෂ්පාදනය සෑම අංශයකදීම කඩා වැටී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවේ දත්ත මගින් පැහැදිලි වේ.

රටට අවශ්‍ය භාණ්ඩ දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් රට ඇතුළත නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තිබේ. එහෙත් ඒ සඳහා අවධානය යොමුව ඇති බවක් පෙනෙන්නට නොලැබේ. ආනයන මත යැපෙන ආර්ථිකය අඛණ්ඩව නඩත්තු කිරීම රජයේ ප්‍රවේශය වී තිබෙන බවක් පෙනේ. කෙසේවෙතත් රටට අවශ්‍ය වන්නේ එවැනි ආර්ථිකයක් වෙනුවට දේශීය අමුද්‍රව්‍ය මත පදනම් වන කර්මාන්ත ආර්ථිකයකි. එබැවින් රජය සහ මහ බැංකුව සිදු කළ යුත්තේ ආනයන ආදේශන කර්මාන්ත ඇති කිරීම අරබයා ක්‍රියා කිරීමය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ

සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ

(***)