ශ්‍රී ලංකන් ගුවන් සේවය රටේ ආර්ථිකය කාබාසිනියා කරන සුදු අලියකු බවට චෝදනා නැගෙනුයේ හේතු විරහිතව නොව සහේතුකවය. ශ්‍රී ලංකන් ගුවන් සේවය එක් කලෙක පක්ෂ කාර්යාලයකින් වෙනස් නොවීය. පාලකයන්ගේ නෑදෑ හිතවතුන්ගේ මනදොළ සපුරන නින්දගමක් බවට එය පත්ව තිබිණි. සියවස් ගණනාවකින් හෝ මෙම ආයතනය ගොඩ නැගිය නොහැකි බවට සමාජ මතයක් නිර්මාණය වී තිබෙන්නේ ද එම පරිසරය තුළ ය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඇස් අරවන ප්‍රකාශයක් ඉකුත් දා කළේය. ඒ පාර්ලිමේන්තුවේදීය. ‘‘ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බත් පැකට්ටුවේ සිට තිබෙන්නේ ගැහිල්ල’’ යැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
‘‘ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ලබාදෙන කජු මිනිසුන්ට තබා බල්ලන්ටවත් කන්න බෑ’’ මීට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ධුරය හෙබවූ අවධියේදී ය. එය එකල මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය.
එම මතකය යළිත් අලුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ‘‘ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කජු මිනිසුන්ට තබා බල්ලන්ටවත් කෑ නොහැකි බව තමා කලකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමෙන් පසු ඒ ගැන සොයා බැලීමේදී කජු ගෙනැවිත් තිබුණේ ඩුබායි රාජ්‍යයෙන් බව අනාවරණය වූ බවය. එහෙත් ඩුබායි රාජ්‍ය යනු කජු සෑදෙන රටක් නොවේ’’ යනුවෙනි.
මෙම අනාවරණය කිරීම සුළුකොට තැකිය යුතු නැත. කජු නොසෑදෙන රටකින් කජු ආනයනය කිරීමේදී යන වියදම කොපමණද යන්න වටහා ගැනීම අසීරු නැත. විශේෂයෙන්ම කජු බහුලව වැවෙන රටක් වන ශ්‍රී ලංකාව ඩුබායි රාජ්‍යයෙන් කජු ආනයනය කිරීම සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනය කළ යුතු තරමේ දෙයකි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරය ඉසිලු එම අවධියේ දී ඒ සම්බන්ධයෙන් ගත් පියවරක් අනාවරණය වූයේ ද නැත.
යම් තැනෙකින් ජල කාන්දුවක් සිදුවන්නේනම් එය එම මොහොතේදීම පිළිසකර කළ යුතුය. නැතහොත් ජල කාන්දුව ප්‍රසාරණය වී මහා විනාශයක් සිදුවේ. ඕනෑම ආයතනයක වංචා දූෂණ සම්බන්ධයෙන් මෙම ධර්මතාව පොදුය. කුඩාවට පටන් ගන්නා වංචාව දූෂණ අවසානයේදී එම ආයතනයම බිමට සමතලා කර දැමීමට හේතුවේ. හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ කරුණුවලින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අත්වී තිබෙන්නේද එම ඉරණමම බව පැහැදිලිය.
ගුවන් යානා මිලදී ගැනීම ඇතුළු සියලු කොන්ත්‍රාත්වලින් මුදල් ගසා කන බව ප්‍රකාශ කර ඇති හිටපු ජනාධිපතිවරයා සෑම ඇමැතිවරයකුම මෙම ගුවන් සේවාවට අසීමිතව සේවකයන් රිංගවූ බවද සඳහන් කර ඇත. එමෙන්ම රජය කිසිම වෘත්තීය සමිතියකට ගුවන් සේවාව ගැන කිසිම සාකච්ඡාවක් දී නැතැයි ද වෘත්තිය සමිතිවලට කාලය දීම වැදගත් බවද ප්‍රකාශ කර තිබේ.
රාජ්‍ය ආයතන සංස්ථා මණ්ඩල පවතින රජයේ දේශපාලන පක්ෂයේ ශාඛා සමිති බවට පත්වීම කාලාන්තරයක් මුළුල්ලේ මේ රටේ සිදුවන්නකි. ඇතැම් අමාත්‍යංශ මේ සම්බන්ධයෙන් කදිම උදාහරණ සපයයි. ඇමැතිවරයා පත්වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් නම් එම ආයතනයේ බහුතර සේවක පිරිස බවට පත්වන්නේ එම දිස්ත්‍රික්කයෙන් අලුතින් පත්වීම් ලැබූවන්ය. එම අමාත්‍යංශය කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමැතිවරයකුට බාර දුනහොත් එතැන් සිට එහි බහුතර සේවක පිරිස බවට පත්වන්නේ එම දිස්ත්‍රික්කයෙන් අලුතෙන් එක්වූ සේවක පිරිසය.
දේශපාලනඥයා දේශපාලනය කළ යුතුය. මැතිවරණවලට ඉදිරිපත් විය යුතුය. ඒ සඳහා තමන්ගේම වූ බළඇණියක් නිර්මාණය කරගත යුතුය. එහෙත් ඒ වෙනුවෙන් රාජ්‍ය බිල්ලට දිය යුතු නැත. ආර්ථිකයට හෝ තමාට හිතවත් පිරිස්වලට නොව සුදුසුකම් සහිත ඕනෑම අයකුට නියමිත ක්‍රමවේදයකට යටත්ව රැකියාවකට ඒමේ අයිතිය තිබේ.
එහෙත් එසේ නොවී දේශපාලනඥයාගේ ‘ලිස්ට්’ එකට අනුව එම ආයතන පුරවන්නේනම් එහි නියත ප්‍රතිඵලයක් වන්නේ එම ආයතන බිඳ වැටීමය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදාළව හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වලංගු වන්නේ මෙම පරිසරය තුළය. ඔහු පවසන්නේ සෑම ඇමැතිවරයකුම මෙම ගුවන් සේවයට සේවකයන් අසීමිතව දැමූ බවය.
අරගලය නමින් ප්‍රකාශයට පත් වූයේ මෙම දේශපාලන තක්කඩිකම්වලට එරෙහිව ජනතාවගේ හදවතේ ගැඹුරුම තැනින් ප්‍රකාශයට පත්වූ විරෝධය විනා අන් යමක් නොවේ. එය එයට හිමි අරුතෙන්ම තේරුම් ගැනීමට තවත් අරගල ගොඩනැගෙන තුරු තක්කඩි දේශපාලනඥයන් බලා සිටින්නේනම් එය මුළු මහත් ජාතියේ ම අවාසනාවකි.
(***)