ආර්ථිකය වනසන උද්ධමනය


උද්ධමනය අද මුළු රටම වෙළාගත් ආර්ථික ව්‍යාධිය බවට පත්ව තිබේ. සාමාන්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම උද්ධමනයයි. ඒ අනුව උද්ධමනකාරී තත්ත්වයකදී සිදුවන්නේ, භාණ්ඩ හා සේවා මිල දිගින් දිගටම ඉහළ යාමත්, අදාළ රට භාවිත කරන මුදල් ඒකකයේ වටිනාකම අඛණ්ඩව පරිහානියට ලක්වීමත්ය. මේ උද්ධමනය මැනීමට ලංකාවේ භාවිත වන ප්‍රධාන දර්ශක දෙකකි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඉන් එකකි. කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම නාගරික කලාප ආවරණය වන ලෙස භාණ්ඩ හා සේවා මිල ගණන් එකතු කර මෙම දර්ශකය සකස් කරයි. භාණ්ඩ වර්ග 392ක් ඊට ඇතුළත්ය. මෙයින් 181ක් ආහාරමය ද්‍රව්‍ය ලෙස සටහන් වන අතර, 211ක් ආහාර නොවන භාණ්ඩ හා සේවා වශයෙන් සඳහන්ය. මෙම භාණ්ඩ හා සේවා මිල ගණන් එකතු කරන්නේ කොළඹ ස්ථාපිත කර ඇති මධ්‍යස්ථාන 14කිනි.

මීට අමතරව උද්ධමනය ගණනය කිරීමට ජාතික පාරිභෝගික මිල දර්ශකය යොදාගනී. මෙම දර්ශකය සැකසීමේදී මුළු රටම ආවරණය වන පරිදි භාණ්ඩ හා සේවා මිල ගණන් එකතු කරයි. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම මධ්‍යස්ථාන තුන බැගින් පිහිටුවා තිබේ.

මිල සම්බන්ධ තොරතුරු ලබාගන්නේ එම මධ්‍යස්ථානවලිනි. භාණ්ඩ වර්ග 407ක් ආහාර සහ ආහාර නොවන වශයෙන් කොටස් දෙකකට බෙදා, අදාළ මිල ගණන් එකතු කර මෙම දර්ශකය ගණනය කරයි. මේ දර්ශක දෙක අතර යම් යම් වෙනස්කම් පැවැතිය ද අපට වඩා වැදගත් වන්නේ, ජාතික පාරිභෝගික මිල දර්ශකයයි. ලංකාවම ආවරණය වන පරිදි භාණ්ඩ හා සේවා මිල ගණන් එකතු කිරීම එයට හේතුවය.

ගෙවුණු අගෝස්තු මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අගය සියයට 70.2කි. මෙය ඉතා ඉහළ අගයකි. එය ඉකුත් ජුලි මාසයේදී සියයට 66.7කි. මෙයින් පෙන්නුම් කරන්නේ, ගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මෙම වසරේ අගෝස්තු වන විට භාණ්ඩ හා සේවා මිල ගණන් සියයට 70.2කින් වැඩි වී ඇති බවය. එදා රුපියලකට තිබූ වටිනාකම මෙකී කාලය තුළ සියයට 70කින් පහළ ගොස් ඇති බව මෙයින් කියැවෙන කතාවය.

නැති නම් රුපියලකින් මිලදීගත හැකි භාණ්ඩ ප්‍රමාණය සියයට හැත්තෑවකින් පහළ ගොස් ඇති බවය. කෙසේ වෙතත් අගෝස්තු මාසයේ ආහාර උද්ධමනය සියයට 84.6කි. ජුලි මාසයේ එම අගය දැක්වුණේ සියයට 82.5ක් වශයෙනි. අගෝස්තු මාසයේදී ආහාර නොවන උද්ධමනය සියයට 57.1කි. ජුලි මාසයේදී එම අගය සියයට 52.4කි. ආහාර උද්ධමනය ආර්ථිකයක ඉතා වැදගත් සාධකයකි. රටක ජනතාවට එදිනෙදා අවශ්‍ය ආහාර මිලදී ගැනීමේ හැකියාව මෙමගින් පෙන්නුම් කිරීම එයට හේතුවය.

යම් රටක ආහාර උද්ධමනය ඉතා ඉහළ අගයක් ගැනීම යනු, එම රටේ ජනතාවට තමන්ට ලැබෙන මුදලින් ආහාර මිලදී ගැනීමේ හැකියාව විශාල වශයෙන් පහළ යන බවය. මෙවන් පසුබිමකදී ආහාර මිලදී ගැනීමට නොහැකි තත්ත්වයකට ජනතාව පත්වන්නට පුළුවන. කෑම කන වේල් ගණන අඩු කරන්නට යොමු විය හැකිය. එමෙන්ම ගුණත්වයෙන් අඩු ආහාර මිලදී ගන්නට යොමු වන තත්ත්වයක් ඇති වන්නට පුළුවන. ආහාර උද්ධමනය ඉහළ අගයක පවතින විට ජනතාව මෙවන් අභියෝග රාශියකට මුහුණදීම වැළැක්විය නොහැක.

දැඩි උද්ධමනකාරී තත්ත්වයකදී සමාජයේ විවිධ කොටස්වලට එය විවිධාකාරයෙන් බලපාන්නට පුළුවන. ජනතාවගේ ආදායම් මාර්ග වර්ධනය නොවී රට තුළ දැඩි උද්ධමනයක් පවතින විට එයින් එල්ල වන්නේ දැඩි බලපෑමකි. උද්ධමනයට සාපේක්ෂව වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි වෙනවා නම්, ඔවුන්ගේ ආදායම් වැඩි වෙනවා නම්, අනෙක් ජන කොටස්වල ආදායම් වර්ධනය වේ නම්, ඔවුන් සතු මුදල් ජීවත් වීමට ප්‍රමාණවත්ය.

එහෙත් ජනතාවගේ ආදායම් වැඩි නොවී, රටේ උද්ධමනයක් පවතින විට සිදුවන්නේ, මිලදී ගැනීමේ හැකියාව අඩු වීමකි. පිරිහීමකි. මෙවන් පසුබිමක රටේම ආහාර සුරක්ෂිතතාව පහළ යයි. විශේෂයෙන්ම ළමයින්ගේ ආහාර සුරස්ෂිතතාව පහළ ගිය විට සිදුවන්නේ, මන්දපෝෂණයෙන් පෙළෙන ළමා පරපුරක් නිර්මාණය වීමය. බුද්ධිමත් නොවූ, සෞඛ්‍ය සම්පන්න නොවූ ජනතා කොටසක් රට තුළ බිහි වන්නට පුළුවන. මෙවැන්නක ප්‍රතිවිපාක බෙහෙවින්ම දරුණුය.

අද මෙරට ඇත්තේ ඉතා ඉහළ උද්ධමනයකි. මෙවන් තත්ත්වයක් ආර්ථික විද්‍යාත්මකව දක්වන්නේ, හඳුනා ගැනීමට නොහැකි වූ පිළිකාවක් වශයෙනි. පිළිකා විවිධය. ඇතැම් පිළිකා වැළඳුණු පසු කලින් හඳුනාගත හැකිය. එවිට යම් ප්‍රතිකාර කළ හැකිය. සුව කළ හැකිය. එහෙත් ඇතැම් පිළිකා වැළඳුණු පසු ඒවා සොයාගත නොහැක. ඒවා හඳුනා ගැනීමට ලැබන්නේ රෝගියා මියගිය පසුවය. ඒ ආකාරයට රටක ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ වූ විට එය සිදු වූයේ උද්ධමනය හේතුවෙන් යැයි සිතන්නට පුළුවන. දැඩි උද්ධමනයක ප්‍රතිවිපාක එතරම්ම දරුණු විය හැකිය.

න්‍යායාත්මකව ගත් විට උද්ධමනයට බලපාන ප්‍රධාන හේතු දෙකකි. භාණ්ඩ හා සේවාවලට ඇති ඉල්ලුම වැඩි වීම ඉන් එකකි. ඉල්ලුම වැඩි වීමට නම්, රට තුළ මුදල් සංසරණය වැඩි විය යුතුය. ජනතාව අතට මුදල් වැඩි වැඩියෙන් ලැබෙන විට සිදුවන්නේ, ඒවා වියදම් කර වැඩි වැඩියෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමය. මේ නිසා සිදුවන්නේ උද්ධමනකාරී තත්ත්වයක් ඇති වීමය.

රජය දිගින් දිගටම මුදල් අච්චු ගැසීම සහ රට තුළ අඩු පොලී අනුපාතයක් ක්‍රියාත්මක වන විට ඉල්ලුම නිසා ඇති වන උද්ධමනය රට තුළ දැඩිව ක්‍රියාත්මක විය හැකිය. ගෙවුණු අවුරුදු කිහිපයේදී රජයේ වියදම් පියවා ගැනීමට ආදායම් ප්‍රමාණවත් වූයේ නැත. දිගින් දිගටම ණය ගත්තේය. අවසානයේ ණය ගැනීමට තිබූ අවස්ථා ද අහිමිව ගියේය. මුදල් අච්චු ගසන තත්ත්වයට පත්වූයේ මේ නිසාය. මෙයින් සිදු වූයේ, රටේ මුදල් සැපැයුම විශාල ලෙස වර්ධනය වී ඉල්ලුම වැඩි වීමට හේතු වීමය.

එහෙත් ලංකාවේ උද්ධමනයට සියයට සියයක්ම ඉල්ලුම බලපෑ බවට මම තර්ක නොකරමි. යම් පමණකට බලපා තිබේ. පසුගිය කාලයේ පොලී අනුපාත පවත්වාගෙන ගියේ පහළ මට්ටමකය. පොලී අනුපාත අඩු අගයක සහ ආර්ථිකයේ අවදානමක් නොමැති විට ජනතාව කරන්නේ, බැංකුවල ඇති මුදල් ගෙන ආයෝජනයට යෙදවීමය. එහෙත් ඉහළ අවදානම් තත්ත්වයක් තුළ අඩු පොලී අනුපාතයක් පවත්වාගෙන යාමේ ප්‍රතිඵලය වූයේ, බැංකුවල ඇති මුදල් ගෙන පාරිභෝජනයට පෙළඹීමය. යාන වාහන, විදුලි උපකරණ ආදිය මිලදී ගැනීමට යොමු වීම උදාහරණයකි. ආනයනික භාණ්ඩවලට ඇති ඉල්ලුම ඉහළ යාමට ද මේ සාධකය බලපෑවේය.

ලංකාවේ උද්ධමනයට බලපෑ ඇනෙක් ප්‍රධාන සාධකය, පිරිවැය ඉහළ යාමය. ඒ සමගම සැපැයුම අඩු වීමය. ගෙවුණු වසර එක හමාරක පමණ කාලයේදී ලංකාවේ කෘෂි නිෂ්පාදනවල විශාල අඩු වීමක් පෙන්නුම් කළේය. මේ නිසා එකී නිෂ්පාදන හිඟයක් නිර්මාණය වූයේය. ඒ වගේම ආනයන පාලනයේ ප්‍රතිඵලයක් ලෙස ආනයනික භාණ්ඩ ද දේශීයව හිඟ වූයේය. මෙරට විනිමය අනුපාතිකය ද දිගින් දිගටම පිරිහීමක් ද සිදු වූයේ මෙවන් පසුබිමකය.

මේ නිසා ආනයනික භාණ්ඩ මිල ද දිගින් දිගටම ඉහළ ගියේය. ලංකාවේ පාරිභෝජනය වැඩි වශයෙන් ආනයනික භාණ්ඩවලට යොමුව තිබුණි. ඒ වගේම මෙරට බොහෝ කර්මාන්ත ආනයනික අමුද්‍රව්‍ය මත යැපුණු ඒවාය. විනිමය අනුපාතිකයේ වූ දැවැන්ත පිරිහීම, නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ආනයනික ආහාර ද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළ යාමට බලපෑවේය. නිෂ්පාදනය අඩාල වීම, විනිමය අනුපාතය පිරිහීම ලංකාවේ උද්ධමනය ඉහළ යාමට සැපැයුම් පාර්ශ්වයෙන් බලපෑ කරුණු බව ඒ අනුව පැහැදිලිය.

මීට අමතරව සැපැයුම් පාර්ශ්වයෙන් උද්ධමනය ඉහළ යාමට බලපෑ තවත් ප්‍රධාන සාධකයක් තිබේ. එනම්, වක්‍ර බදුය. රජය විසින් පනවනු ලැබ ඇති වක්‍ර බදු ඉතා ඉහළය. මෙරට මුළු බදු ආදායමෙන් සියයට හැත්තෑවක් වක්‍ර බදුය. 2022 වසරේ වක්‍ර බදුවලින් ඉපැයීමට රජය අපේක්ෂා කරන ආදායම රුපියල් බිලියන 1,250ක් පමණය. වක්‍ර බදු යනු, සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයන් මත පැටවෙන බදුය. වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමේ හැකියාවක් තිබේ. මේ අනුව බලන විට කලක සිට පැවැතෙන සහ අදත් පවතින, අනාගතයේදී තවත් වැඩි වීමට නියමිත මෙරට උද්ධමනයට බලපෑවේ ඉල්ලුම් පාර්ශ්වයේ සාධකවලට වඩා සැපැයුම් පාර්ශ්වයේ සාධකයි. එනම්, පිරිවැය ඉහළ යාම, විනිමය අනුපාතයේ පිරිහීම, වක්‍ර බදු නිසා බඩු මිල ඉහළ යාමය.

අකාර්යක්ෂම සහ දූෂිත රාජ්‍ය ආයතනවලින් ලබාදෙන භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ නැංවීමට රජය කටයුතු කළේ ද මෙවන් පසුබිමකය. විදුලි බිල, ජල බිල ඉහළ දැමීම ආසන්නතම උදාහරණයි. ඉන්ධන මිල ද විශාල වශයෙන් වැඩි කළේය. මෙයින් වූයේ, එකී ආයතනවල අකාර්යක්ෂමතාවේ බර ජනතාව මතට, රටේ ආර්ථිකය මතට පැටවීමකි. මේ මිල ගණන් ඉහළ යාම උද්ධමනය ඉහළ යාමට ඍජු බලපෑමක් කළේය. නැවතත් මේ මිල ගණන් ඉහළ දැමුවහොත් උද්ධමනය තවත් වැඩි වීම වැළැක්විය නොහැක.

මේ උද්ධමනය තව කොතෙක් කල් පවතී ද? අනාගතයේදී මෙරට ආර්ථිකය කෙසේ වේවි ද යන්න තීරණය වන්නේ සාධක දෙකක් මතය. උද්ධමනය පාලනයට වැඩපිළිවෙළක් ආණ්ඩුවට තිබෙනවා ද යන්න ඉන් එකකි. ණය කළමනාකරණයට කුමන වැඩපිළිවෙළක් සැලැසුම් කරයි ද එවන් හැකියාවක් අපට ලැබේ ද යන්න අනෙක් කරුණය. පොලී අනුපාත ඉහළ නැංවීම උද්ධමනය පාලනයට රජය මේ වන විට ගෙන ඇති පියවරකි.

එය මුදල් ප්‍රතිපත්තිය යටතේ සාධනීය පියවරකි. එහෙත්, මුදල් අච්චු ගැසීම දිගින් දිගටම සිදු වෙමින් තිබේ. ඒ වගේම දිගින් දිගටම වක්‍ර බදු වැඩි කිරීමට රජය කටයුතු කරන ආකාරයක් ද දැකගත හැකිය. උද්ධමනය පාලනයට ෆිස්කල් ප්‍රතිපත්ති යටතේ විය යුතු බොහෝ දේ මේ දක්වාම සිදුව නැත. රටේ නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කිරීම, රජයේ අනවශ්‍ය වියදම් පාලනය යනාදී කිසිවක් සිදුව නැත. මේවා පාලනය නොකරනතාක් කල් මේ රට තුළ උද්ධමනය පාලනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත.

පොලී අනුපාත යම් ආකාරයකට පාලනය කළ ද මුදල් සැපැයුම පාලනය නොකිරීමෙන් පෙන්නුම් කරන්නේ, උද්ධමනය පාලනයට මුදල් ප්‍රතිපත්තිය පැත්තෙන් ගෙන ඇති උත්සාහය ද මේ වන විට අසාර්ථක වී ඇති බවය. රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීමට, අත්‍යවශ්‍ය වියදම් පමණක් කිරීමට, නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ වක්‍ර බදු අඩු කිරීමට ෆිස්කල් ප්‍රතිපත්තියේදී උද්ධමනය පාලනය වෙනුවෙන් කළ යුතු වුව ද ඒ කිසිවක් සිදුවන බවක් පෙනෙන්නට නැත. මැති ඇමැතිවරු වැඩි කිරීම, ඔවුන්ගේ පහසුකම් වැඩි කරගැනීම යනාදියෙන් මේ බව වඩාත් තහවුරු වනු ඇත.

නිෂ්පාදනය ඉහළ නැංවීමට ග්‍රාමීය මට්ටමෙන් යම් සානුබල සැපැයීම් කළ හැකිය. යම් ප්‍රදේශයක වගා නොකරන ඉඩම්වලට යම් බද්දක් අය කිරීමට රජයට පුළුවන. මෙවන් ක්‍රමයකදී එකී ඉඩම් වගා නොකර සිටියහොත්, රජයට බදු ආදායමක් ලැබෙන අතර, එම ඉඩම් වගා කළොත් සමාජයට අවශ්‍ය ආහාර නිපදවනු ඇත. මෙවන් සරළ ප්‍රතිපත්ති හරහා රටේ නිෂ්පාදනය නැංවීමේ හැකියාව රජයට තිබිය යුතුය. එසේ කළොත් උද්ධමනය යම් ආකාරයකට පහත හෙළීමට පුළුවන.

ඒ වගේම පාඩු ලබන රාජ්‍ය ආයතන ඇතුළු සියලුම රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම විධිමත්ව සිදු විය යුතුය. මේ කිසිවක් නොකර අකාර්යක්ෂමතාවම නඩත්තු කරමින් ඒවායේ බර ජනතාව පිට පැටවීම පමණක් සිදු වෙමින් තිබේ. එසේ නම්, රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව පාලනය නොකළහොත් උද්ධමනය පාලනය කරන්නට ලැබෙන්නේ නැත. මේ දක්වා අනුගමනය කර ඇති කිසිදු ෆිස්කල් ප්‍රතිපත්තියක් උද්ධමනය පාලනයට හෝ අඩු කිරීමට හේතු වී නැති බව මෙයින් පැහැදිලිය. ඇත්තටම එවන් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවාදැයි ප්‍රශ්නයකි.

උද්ධමනය මේ රට තුළ ක්‍රමක්‍රමයෙන් දිනෙන් දින පිරිවැයක් හැටියට, පිළිකාවක් හැටියට වර්ධනය වෙමින් පවතින බව මේ පසුබිම අනුව පැහැදිලිය. ඒ තත්ත්වය යටතේ ජනයා අතර ඇති මුදලේ අගය දිගින් දිගටම පිරිහීමට පත්වෙයි. මුදලේ වටිනාකම විනාශ වූ විට ආර්ථිකයට සිදුවන දේ සිතාගත හැකිය.

මුදලේ වටිනාකම හීන කරමින් උද්ධමනය අපේ මූල්‍ය පද්ධතිය විනාශ කරමින් සිටී. අප දකිනවාටත් වඩා බැරෑරුම් තත්ත්වයක් නිර්මාණය වන්නේ ප්‍රධාන පැති දෙයක් ඔස්සේය. මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ලක්ෂ දහයකට වඩා තිබුණි. දළ දේශීය නිෂ්පාදිතයට සියයට 55කට වැඩි දායකත්වයක් සැපැයුවේ එම අංශයයි. දැඩි උද්ධමනකාරී වාතාවරණයක මේවා ක්‍රමයෙන් වැසී යාමේ අවදානමකට ලක් වෙමින් තිබේ. ඒවායේ ප්‍රතිවිපාක බරපතළය. තවත් පැත්තකින් අධ්‍යාපනයට, පෝෂණයට කරන වියදම් අඩු කිරීම හරහා ළමා පරපුර ද අවදානමකට පත්විය හැකිය. එනම්, අනාගතය අඳුරු වීමය.

උද්ධමනය මේ පැතිකඩ දෙක ඔස්සේ අපේ සමාජය වෙළාගෙන ක්‍රමයෙන් ඉහළ නගිමින් තිබේ. එහි අනාගත ප්‍රතිවිපාක බෙහෙවින්ම භයානකය. දැන් රජය අනුගමනය කරන ප්‍රතිපත්ති මේ ආකාරයටම ඉදිරියට ගෙනගියහොත් ලෙබනනයට, සිම්බාබ්වේට අත්වූ ඉරණම ලංකාවට ද අත්වීම පිළිබඳ කිසිදු තර්කයක් නැත. මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණු පමණින් මේ සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැත. කවුරුන් හෝ එසේ සිතා සිටින්නේ නම්, ලොකුම මුළාව වන්නේ ද එයයි. එනිසා රජය මේ ගැන මීට වඩා උනන්දුවකින්, කැපවීමකින්, අවධානයකින් කටයුතු කළ යුතුය. ආර්ථිකයේ පාලනය දැනටම අදාළ අංශවලින් ගිලිහී ඇති බව වටහාගත යුතුය.


සටහන – චමින්ද මුණසිංහ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය වසන්ත අතුකෝරල