දිය සිඳී වියළී ඉරි තැලී ගිය වැව් පතුල් හාරා බීමට දිය පොදක් සොයන සාපිපාසිත ලක්ෂ ගණනක් ජනයා නිරා දුක් විඳිති. ගොවිබිම් ගිනිබත් වෙමින් තිබේ. අභය භූමිවල වෙසෙන සතා සීපාවන්ටද මරණ බය දැනෙමින් තිබේ. අඛණ්ඩව ජල සැපයුම සිදුවන හෙයින් කොළඹට ඒ වගක් නොදැනෙන සෙයකි. ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ ක්‍රිකට් ගැන දිනක විවාදයක් පැවතුණේ එහෙයින් විය යුතුය. රටේ දැවෙන ප්‍රශ්නය එය නිසා විය හැකිය.
අර්බුද පොකුරක රට පැටලී තිබුණද රට ගැන සිතා ගත් වැදගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ බීම බට හා කලතන ආහාර බහලුම් ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු ඇතුළු අයිතම 9 ක් තහනම් කිරීමට පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පියවර ගෙන ඇති බවය.
යකාගේ හැටියට විමානේ යැයි කීවද අපේ රටේ වැඩ කෙරැණේ යකාගේ හැටියට නොවේ. එහෙයින් අපි අතිපරිභෝජනවාදී ජීවන රටාවකට යොමු වීමු. එහි බරපතළකම දැනුණේ රැපියල මස්ත බාල්දු වී භාණ්ඩාගාරය හිස්වී ජීවිතය තිත්ත කසායක් බවට පත්වීමෙන් පසුවය. ඒ වනවිට අශ්වයා පැන ගොස් බොහෝ කල්ය.
අපගේ සංස්කෘතිය හා බැඳුණු අපගේ සංස්කෘතිය වර්ණවත් කළ සරැංගලය ආවේ පිටරටිනි. බෞද්ධ කොඩියද චීනයෙනි. අපේ රටේ පොල් ගසට අපමණ අගයක් රුගෙන ආ කොස්ස – ඉදල පවා චීනයෙන් ආනයනය කරන තරමට අපගේ මානසිකත්වය පරාධීන විය. රටට ලැබුණු සොච්චම් ඩොලර් ප්‍රමාණය පවා නැවත ආ පයින්ම යළිත් රටින් පිටව ගියේ එසේය.
රටේ සංවර්ධනය අත්‍යන්තයෙන්ම පරිසර හිතකාමී විය යුතු වුවද ඒ සම්බන්ධයෙන් තිබිය යුතු බලපෑම අවශ්‍ය මට්ටමින් සිදු නොවීය. පුරවැසියාගේ ජීවන දර්ශනය, ජීවන විලාශය හා විලාසිතාව තුළද පරිසර හිතකාමී බව නොවීය. එහෙයින්ම පරිසරයට අහිතකර අපද්‍රව්‍ය කිසිඳු බාධාවකින් තොරව පරිසරයට එකතු විය. රටේ පුරවැසියා ඒ වෙනුවෙන් ජීවිතවලින් වන්දි ගෙවමින් සිටින පරිසරයක පරිසර අමාත්‍යවරයාගේ තීරණය අතිශයින්ම වැදගත් වන්නේ එහෙයිනි.
පරිසර අමාත්‍යවරයාගේ තීරණය ක්‍රියාත්මක වන්නේ ලබන ඔක්තෝබර් 01 වැනිදා සිටය. තහනම් කරන ලද භාණ්ඩ අතරට ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරැප්පු, පිහි, මල්මාලා ආදිය ද ඇතුළත් බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ආහාර බහලුම් ලෙස තහනම් කර ඇත්තේ ගුවන් ගමන්වලදී භාවිත කරන බහලුම් හැර සෙසු ඒවා බවය.
පරිසර අමාත්‍යාංශය පවසන්නේ මෙම ප්ලාස්ටික් අයිතම රට තුළ භාවිතය සඳහා නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, නොමිලයේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර තහනම කඩ කළහොත් ජාතික පරිසර පනතේ විධි විධාන ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවය.
පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ පරිසර හිතකාමී විකල්ප ආශ්‍රිත දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ද විදේශ විනිමය වැයවීම අඩුකර ගැනීමටද මෙම තහනමින් පිටිවහලක් ලැබෙන බවය.
ප්ලාස්ටික් තහනම අතිශයින්ම වැදගත්ය. එහෙත් එම වැදගත්කම රුකෙන්නේ එය ක්‍රියාත්මක වන ආකාරය අනුවය. අප රටේ සිදුවන එක් දෙයක්නම් කෙතරම් වැදගත් ඵලදායී තීන්දු තීරණ ගත්තද ඒවා අවශ්‍ය මට්ටමින් ක්‍රියාත්මක නොවීමය. එමෙන්ම ගනු ලබන තීන්දු තීරණ නියමාකාරයෙන් ක්‍රියාත්මක වන්නේදැයි සොයා බලන යාන්ත්‍රණයක් නොවීමය. මෙම අඩුපාඩු සකසා ගන්නේනම් ප්ලාස්ටික් තහනම අපේක්ෂිත අරමුණු කරා පහසුවෙන් ගමන් කළ හැකිවනු ඇත.
(***)