ආර්ථීකයේ යථාර්ථයේ ඇත්ත - නැත්ත


මේ වසරේ ජනවාරි මස 22 වැනි දින වන විට ශ්‍රී ලංකාවට පැමිණි විදේශ සංචාරකයන්ගේ සංඛ්‍යාව 72,000කට වඩා වැඩි විය. ඒ අනුව බලන විට කිසිදු කරදරයක් නොතිබුණොත් මේ වසරේ  ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව බොහෝ විට දොළොස් ලක්ෂය ඉක්මවා යාමට ඉඩ තිබේ. එය අවම ගණනය කිරීම අනුවය.

වඩාත් හොඳ තත්ත්වයක් පැවතුණහොත් රටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.5ක ඉලක්කය ඉක්මවා යෑමට ඉඩ තිබේ. 2022 වසරේ නොවැම්බර් මාසයේ රටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 384ක් විය. එහෙත් ඊට පෙර මාසයේ එය ඩොලර් මිලියන 355ක් විය. විදේශවල සේවය කරන පිරිස් විසින් රටට එවනු ලබන මුදල් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවන බව ඉන් පැහැදිලි වේ. 

රටේ ආර්ථිකයට ඉතා වැදගත් වන එම අංශ දෙකේ ප්‍රගතිය මඟින් පමණක් වුව ද පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයේ සමහරක් අංශ දැන් යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන බවත් පසුගිය වර්ෂ කිහිපයේදීම රට විසින් අත්දකින ලද ආර්ථික පසුබෑම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් ඇති බවත්ය. ඒ අතරම පසුගිය මාස තුනේම රටේ උද්ධමන අනුපාතය මෙන්ම ආහාර උද්ධමන අනුපාතය ද පහළ වැටී තිබේ. එවැනි හොඳ තත්ත්වයක් පෙනෙන්නට තිබුණ ද ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම සාමාන්‍ය ජනතාව ද කිසියම් හෝ අභාග්‍යයක් හේතුවෙන් මෙම තත්ත්වය වෙනස් වී යළි රට අර්බුදකාරී තත්ත්වයකට පත්වේදෝ යන සැකයෙන් පසුවන බව පෙනේ.

බදු වැඩි කිරීම, විදුලි බිල ඉහළ දැමීම, උසස්පෙළ විභාග අවස්ථාවේදී විදුලිය කැපීම නැවැත්වීමට රජයට නොහැකි වීම ආදිය පිළිබඳව මෙන්ම නිදහස් උත්සවයට රුපියල් මිලියන 200ක් වැය කිරීම ආදිය පිළිබඳව ද බොහෝ දෙනා කතා කරති. විපක්ෂය ඉතා දැඩිව හා තදබල ලෙස චෝදනා කරන්නේ එවැනි තත්ත්වයට හේතුව රජයේ දුර්වල පාලනය බවයි. මෙවර රජය මහජනතාවට සත්‍ය වසන් කිරීමට සූදානම් නැති බව පෙනේ.

උසස්පෙළ පැවතෙන කාලය තුළ විදුලිය නොකපා අඛණ්ඩව විදුලිය සැපයීමට නම් රුපියල් බිලියන 4.1ක් අතිරේකව වැය කිරීමට සිදු වන බවත් එවන් ශක්තියක් විදුලිබල මණ්ඩලයට නොමැති බවත් අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී. පවතින යථාර්ථයට මුහුණ දීමත් සත්‍ය තත්ත්ව පිළිබඳව තොරතුරු මහජනතාව අතට පත් කිරීමත් ඉතා වැදගත්ය. එම තොරතුරු දැන ගැනීමෙන් පසු රටට මෙන්ම තමන්ට ද මුහුණ දීමට සිදුව ඇති තත්ත්වය පිළිබඳව නිවැරදිව  කරුණු අවබෝධ කර ගැනීමට මහජනතාවට හැකියාව ලැබේ. 

මේ දිනවල පළාත් පාලන මැතිවරණ උණුසුම වර්ධනය වෙද්දී රටේ ආර්ථික අර්බුදය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල නායකයන් සහ විවිධ පාර්ශ්ව දක්වන අදහස් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. දැනට පවත්වා ඇති ප්‍රචාරක රැස්වීම්වල දී ප්‍රකාශ කර ඇති අදහස්වලින් ද විවිධ මාධ්‍ය සාකච්ඡා ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇති අදහස් වලින් ද ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ද ඉන් රට ගොඩ ගත හැකි ආකාරය සම්බන්ධයෙන් ද එම නායකයන්ගේ අදහස් පිළිබඳ තරමක අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

සමහරු රටින් පිට කර ඇති මුදල් ආපසු ගෙනවිත් ආර්ථික අර්බුදය විසඳන බව ප්‍රකාශ කරති. තවත් සමහරු වංචා කර ඇති මුදල් ආපසු ලබාගෙන රට සංවර්ධනය කරන බව ප්‍රකාශ කරති. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ මීට පෙර මෙවැනි හරයක් නැති ප්‍රකාශවලට වැඩි වැදගත්කමක් නොලැබුණේ ආර්ථික අර්බුදය මෙතරම් දුරට උග්‍ර වූ අවස්ථාවක් නොතිබූ නිසාය. එහෙත් දැන් ආර්ථික අර්බුදය ඔඩු දුවා ඇති අවස්ථාවක බොහෝ දේශපාලන නායකයන්ට අර්බුදය විසඳන ආකාරය පිළිබඳව ඍජු පිළිතුරක් දීමට නොහැකි වී ඇති බව එම ප්‍රකාශ තුළින් පැහැදිලිව පෙනෙන්නට තිබේ. 

ගෝඨාභය රජය 2022 වසරේදී ඩොලර් මිලියන 500ක විදේශ ණය මුදලක් ගෙවා දැමූ විට විපක්ෂයේ බොහෝ අය මෙන්ම ඇතැම් ආර්ථික විද්‍යාඥයන් ද ප්‍රකාශ කළේ එම මුදල් නොගෙවා රට මුහුණ දී සිටින ඉන්ධන හිඟය, කිරිපිටි හිඟය වැනි ප්‍රශ්න විසඳා ගැනීම සඳහා එම මුදල යොදා ගත යුතුව තිබූ බවය. එම රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට පැකිළීමක් දැක්වූ අතර ඒ අවස්ථාවේදී ද බොහෝ අය ප්‍රකාශ කළේ වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුතු බවය. විපක්ෂය විසින් රජයට බල කර සිටි කරුණු දෙකම දැන් ඉටු වී තිබේ. රජය විසින් තාවකාලිකව විදේශීය ණය ගෙවීම අත්හිටුවන බව ප්‍රකාශයට පත් කර ඇත. ඒ අතරම ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහාත්, ආධාර ලබා ගැනීම සඳහාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගත් මෙම ක්‍රියාමාර්ග හැරෙන්නට වෙනත් කිසිදු යෝජනාවක් මේ වන විටත් කිසිදු නායකයකුගෙන් හෝ ආර්ථික විද්‍යාඥයකුගෙන් ඉදිරිපත් වී නැත. රජයේ පිළිවෙත පිළිබඳව විවේචන කරන අපමණ පිරිසක් සිටිති. එහෙත් සම්ප්‍රප්පලාප ඇද බෑම සහ සුරංගනා කතා මැවීම හෝ හැර තමන්ට බලය ලැබුණොත් යොදා ගත හැකි විකල්ප විසඳුමක් පිළිබඳව කිසිදු අදහසක් ඔවුන්ට නැති බව පෙනේ. 
නව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වෙත සන්නස්පත්‍ර පිළිගැන්වීම නිමිත්තෙන් පසුගියදා පැවැති උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව අපූර්ව පැහැදිලි කිරීමක් කළේය.

“2019 වර්ෂයේ දී සම්පූර්ණයෙන්ම ආදායම් බදු ගෙවන ලිපි ගොනු ලක්ෂ 15ක් තිබුණා. ඊළඟට වැට් බදු, ජාතිය සංවර්ධනය කිරීමේ බදු ගෙවන අය ගත්තොත් ලිපි ගොනු 122,000ක් තිබුණා. පසුව සිදු වූ මේ බදු ඉවත් කිරීමත් සමඟ 2021 දෙසැම්බර් මාසය වන විට අපට ආදායම් බදු ගෙවන ලිපි ගොනු ලක්ෂ 04යි තිබු‍ණේ. ලක්ෂ 16 සිට ලක්ෂ 04 දක්වා අඩු වුණා. 2019දී අපේ සම්පූර්ණ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15යි. බදු අඩු කිරීමත් සමඟ 2022 වන විට සම්පූර්ණ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.4කට අඩු වුණා.”

මෙම විස්තර කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ලබා දීමට නම් ශ්‍රී ලංකාව විසින් පිළිපැදිය යුතු කරුණු දෙකක් ඇති බව පෙන්වා දෙනු ලැබීය. පළමුවැන්න නම් ශ්‍රී ලංකාවට තම ණය ගෙවා ගැනීමට බදු මඟින් මුදල් රැස් කිරීමට නොහැකි නම් අනෙක් රටවල ජනතාවගේ බදු මුදල්වලින් ඒවා පියවීමට කටයුතු කළ නොහැකි බවයි. අනෙක් කරුණ නම් ආධාර ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා රජයේ ආදායම 2019දී තිබූ මට්ටමට, එනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක මට්ටමට  ඉහළ නැංවිය යුතු බවයි. එසේ නැතිනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ණය මුදල ලබා දීමට නොහැකි වනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති මෙම ප්‍රධාන කොන්දේසි දෙක කැඩීමට හෝ සංශෝධනය කිරිමට ශ්‍රී ලංකාවට කිසිදු හැකියාවක් නැත. මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙක් මේ සතියේ ප්‍රකාශ කර තිබුණේ කවර තත්ත්වයක් පැමිණිය ද හඳුන්වා දී ඇති බදු ක්‍රමය සංශෝධනය කළ නොහැකි බවය. එබැවින් එම ක්‍රමයේ කිසිදු වෙනසක් නොකර එය ක්‍රියාත්මක කරන බව ද ඔහු අවධාරණය කර තිබුණි. 

ශ්‍රී ලංකාවේ බදු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ වක්‍ර බදු මඟිනි. මුළු බදු ආදායමෙන් සියයට 24කට ආසන්න ප්‍රමාණයක් ඍජු බදු මඟින් ලැබෙන අතර සියයට 76 කට ආසන්න ප්‍රමාණයක් වක්‍ර බදු මඟින් ලැබේ. ඉන් අදහස් වන්නේ රටේ අඩු ආදායම් ලබන බහුතරයක් ජනතාව වැඩි ආදායමක් ලබන පිරිසට වඩා බදු ගෙවන බවය.

ඉන්දියාවේ තීරු බදු ප්‍රමාණය මුළු බදු ආදායමෙන් සියයට 4.5ක් වන අතර ආදායම් බදු සියයට 45.6කි. එහෙත් ශ්‍රී ලංකාවේ තීරු බදු ආදායම සියයට 26.3ක් වන අතර ආදායම් බදු සියයට 17.7කි. රටේ බඩු මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රටට ගෙන්වන භාණ්ඩ වෙනුවෙන් ඉහළ තීරු බදු අය කිරීමයි. ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවකයන්ගෙන් ලක්ෂ තුනක් පමණ සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන්ගෙන් යුක්ත වේ. ඒ අතරම උපාධිධාරී ගුරුවරු ද වෙති. එහෙත් ඒ කිසිම උපාධිධාරියෙක් බදුවලට විරුද්ධව උද්ඝෝෂණ කරන්නේ නැත.

එයට හේතුව සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරී රාජ්‍ය නිලධාරීන්ගෙන් බහුතරයක් රුපියල් ලක්ෂයක් කෙසේ වෙතත් රුපියල් පනස් දහසක වැටුපක් හෝ ලබන්නේ නැති නිසාය. එහෙත් වරායේ අතිවිශාල සේවක පිරිසක් උද්ඝෝෂණයේය. ඒ ඔවුන් රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ලබන බැවිනි. රජය, බදු ගෙවීමට සිදුව ඇති රාජ්‍ය සේවකයන්ගේ සියලු‍ දීමනා ඇතුළු ඒකාබද්ධ වැටුප ප්‍රසිද්ධ කළ යුතුව ඇත. 

මේ අසීරු අවස්ථාවේ මහජනතාවගේ වගකීම වන්නේ එකතුව මුහුණ දී අභියෝගය ජය ගැනීමයි . එහෙත් ඇතැම් අයට අවශ්‍ය වී ඇත්තේ ජනතාවගේ පීඩනය  සහ කඳුළු තුළින් දේශපාලනය වෙනස් කර තමන්ට ඔටුන්න ලබා ගැනීමටය. මේ පිළිබඳව ජනතාවට හොඳ අවබෝධයක් ඇතැයි සිතමි.

අනුරාධපුර කතාව අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “මේ ඇත්ත කතා කිරීම දේශපාලනඥයකු ලෙස අසීරු කාර්යයක්. ඒත් මම පැරදුණත් දිනුවත් ඇත්ත තත්ත්වය හැම විටම පෙන්වා දෙනවා. ජනතාවට මේ අසීරු තත්ත්වයෙන් ගොඩ ඒමට පාර්ලිමේන්තුවේ සහාය ලබා දෙන්න කියල මම සියලු‍ දෙනාගෙන් ඉල්ලනවා.”

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර