ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් තුනෙන් එකකට වඩා උග්‍ර ආහාර අනාරක්ෂිතතාවෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ පවුල් දහයෙන් අටක් ආහාරවේල් මගහැරීම සහ ණයට ආහාර ගැනීමට යොමු වී ඇති බවද එම වාර්තාවේ දැක්වේ. ලෝක බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වන්නේ ලෝකයේ ඉහළ යන ආහාර උද්ධමනය ඇති රටවල් අතර තවත් ඉදිරියට යමින් ශ්‍රී ලංකාව 4 වැනි ස්ථානයට පත්ව ඇති බවය.
මේවා හිතළු නොවේ. අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තිවලින් ඒ බව මනාව පසක් වේ. එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ කැලණිය ප්‍රදේශයේ පාසල්වල සිසුන්ගෙන් හතරෙන් පංගුවක් පමණ ආහාර නොමැතිකම හේතුවෙන් දෛනිකව පාසල් නොපැමිණෙන බව තහවුරුවී ඇතැයි කැලණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සජීව් ලියනගේ මහත්මිය පැවසූ බවය.
උදේ ආහාරය හෝ පාසලට රැගෙන එන්නට නොමැතිනම් දරුවන් එදින පාසල් නොපැමිණෙන බවද එවැනි තත්ත්වයක් උද්ගතවී තිබීම බරපතළ ගැටලුවක් බවද කැලණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකාව වැඩිදුරටත් පවසා තිබිණි.
පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අනුරාධපුර විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් තුනක ආහාර නොගෙන පැමිණි දරුවන් විසිදෙනකු පමණ එම පාසල්වලදී සිහිසුන්ව ඇදවැටී ඇති බවය. මන්ත්‍රීවරයා අදාළ පාසල් ද අනාවරණය කර තිබිණි. දරුවන්ගේ ආහාර අර්බුදය අද බරපතළ තැනක පවතින බව පවසන මන්ත්‍රීවරයා ආහාරයට කුරුම්බා ලොඳ ගෙන ආ මිනුවන්ගොඩ පාසල් සිසුවියක සම්බන්ධයෙන් මාධ්‍යවලින් තොරතුරු අනාවරණය වූ බවද හෙළි කර තිබිණි.
මෙම සිදුවීම් වාර්තාවන්නේ අප ඉපදුණ අප ජීවත්වන මේ රටින් දැයි ප්‍රශ්නයක් පැනනැගීම ස්වභාවිකය. බත බුලතින් සරුසාර වූ යස ඉසුරින් සපිරුණ නයන පිනවන මේ රන් දිවයිනට අත්ව ඇති ඉරණම බෙහෙවින්ම සංවේගජනකය. මෙම තත්ත්වය මානව ආපදා තත්ත්වයෙන් කිසිලෙසකින් හෝ වෙනස් නොවන්නකි.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය ඉකුත්දා වාර්තා කළේ ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ලොව 6 වැනි තැනට මෙන්ම දකුණු ආසියාවේ දෙවැනි තැනට පත්ව ඇති බවය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉකුත් අගෝස්තු මාසයට අදාළව නිකුත් කරන ලද උද්ධමන වාර්තා අනුව මෙරට උද්ධමනය සියයට 70 සීමාව ඉක්මවා ඇත. එමෙන්ම ආහාර උද්ධමනය සියයට 84.6 ක් බවය.
අපට දැනට ඉතිරිව ඇත්තේ එකම එක සතුටක් පමණි. එනම් මෙම සටහන තබන මොහොත වනවිට බඩගින්නෙන් පුරවැසියකු මියගිය බව වාර්තා නොවීමය. එහෙත් මේ යන ආකාරයට මොනවායින් මොනවා වේවිදැයි කිව නොහැක. සියල්ල පසෙකලා මෙම ආහාර අර්බුදයට කල් පවත්නා විසඳුමක් නොපමාව නිර්මාණය කළ යුතුය.
අප මේ ගෙවා දමමින් සිටින්නේ ඉතිහාසයේ මෙතෙක් හමුනොවූ දවස් බව මෙම තීරුවේ ලියා තැබුවේ කොවිඩ් මාරක වසංගතයේ ආරම්භයේදීමය. එම කියමනට තවමත් වලංගුභාවයක් තිබීම කිසි ලෙසකින් හෝ ඛේදවාචකයකින් වෙනස් නොවන්නකි. එය එසේවීමට එක් හේතුවක් වන්නේ අර්බුදයේ දිග පළල එයට හිමි නිසි බරින් හඳුනාගෙන නිවැරැදි විසඳුම් නිර්මාණය නොකිරීමය.
රටේ අනාගතය බාර ගැනීමට සිටින්නේ දරුවාය. එම දරුවාට නිදහසේ මෙන්ම සෞඛ්‍යාරක්ෂිතවත් මෙන්ම පෝෂණීය ලෙස වැඩෙන්නට නිර්බාධක පරිසරයක් තිබිය යුතුය. නිදහසේ අධ්‍යාපනය ලැබීමට මෙන්ම ළමා කාලය විඳිමින් කාලය ගත කිරීමට සුදුසු වාතාවරණයක් තිබිය යුතුය. ඒවා දරුවාගේ අයිතිවාසිකම්ය. කොවිඩ් වසංගතය පැමිණිදා පටන් ඒ සියල්ලම දරුවාට අහිමි විය. ඛේදවාචකය කෙතරම් බරපතළ ද යන්න පැහැදිලි වන්නේ පළමු වසරේ පන්තියට එකම දිනයක්වත් පාසල් නොයා වසරකින් පසුව එම දරුවන්ට දෙවැනි වසරට යාමට සිදුවීමෙනි.
මෙම තත්ත්වය ගැඹුරින් වටහාගත යුතුය. මේ සා විශාල දුක් කන්දරාවක් විඳිමින් ජනයා හැමදාමත් ජීවත්වනු ඇතැයි සිතිය නොහැක. මෙමගින් කියැවෙන්නේ මෙම අවාසනාවන්ත තත්ත්වය මුළු රටේම පැවැත්ම සමග තදින් ගැටගැසී ඇති බවය.
‘‘ඇත්තෝ කති බොති නැත්තෝ ලෙවකති.’’ මේ සමාජය තුළින් තදින් පැළපදියම් වී ඇති මතයකි. පොදු සමාජ විඥානය එපරිදිය. එසේ සිතන පුරවැසියාගේ ක්‍රියාමාර්ග තීරණය වන්නේ ද එම සිතීමට අනුවය. ඒ අනුව සියල්ලන්ම මේ මොහොතේ කැපකිරීම් කළ යුතුය. වරප්‍රසාද අත්හළ යුතුය. රට මේ විපතින් ගලවාගනු පිණිස අවංකවම මැදිහත් විය යුතුය. එබඳු බලගතු ආදර්ශ සැපයෙන්නේ නම් අප නොවිඳිනා සැපතක් ඔවුන් විඳිනවා යැයි ජනතාව නොසිතනු ඇත. මේ මොහොතට වඩාත් වැදගත් වන්නේ එබඳු සිතිවිලිය.
(***)