අමාත්‍යංශ ගණනාවක විෂයයන් පසුගියදා වෙනස් කරනු ලැබීය. ඒ අතර සෞඛ්‍ය අමාත්‍යංශ භාරව කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පරිසර අමාත්‍යංශය භාරවිය. වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ධුරය හෙබවූ වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කෙහෙළියගෙන් හිස් වූ සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්කරනු ලැබ සිටී. අමාත්‍යංශවල විෂයයන් කිහිපයක්ද ඒකාබද්ධ කිරීමද ඒ සමඟ සිදුවිය. ඉදිරියේදී ද මෙවැනිම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවිය හැකි බවටත් අලුතින් ඇමැතිවරුන් පත් කෙරෙනු ඇති බවත් සඳහන් වෙයි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමාත්‍ය ධුර සඳහා යෝජනා කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මේ වනතුරු ඇමැතිකම් නොලැබීමත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයා තනි තීරණ ගැනීමත් හේතුවෙන් ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අර්බුදය උග්‍ර වී ඇතැයිද අපගේ ලංකාදීපය පසුගියදා වාර්තා කර තිබිණි. අමාත්‍ය ධුර සංශෝධනය සහ විෂයයන් ඒකාබද්ධ කිරීම ආණ්ඩුව අභ්‍යන්තරයේ උග්‍ර බෙදීම් ඇති කිරීමට හේතු වී ඇතැයිද මේ අනුව පෙනී යයි. එය දේශපාලන කාරණයකි. එහෙත් අපගේ අවධානයට වඩාත් යොමු වී ඇත්තේ මේ දේශපාලන කාරණා නොව අමාත්‍යංශ මාරු කිරීම සහ අලුතින් ඇමැතිවරුන් පත් කිරීමෙන් පමණක් මෙරට මුහුණදී සිටින උග්‍ර සංකීර්ණ ගැටලු විසඳිය හැකිවේද යන්න සම්බන්ධයෙනි. අමාත්‍යවරුන් මාරු කිරීම සහ අලුතින් අමාත්‍යවරුන් පත් කිරීම රටේ ආර්ථික වර්ධනයට සහ ජනතාව මුහුණදෙන ගැටලු විසඳීමට උපකාරී වූවා නම් අපේ රට මේ වනවිට ආර්ථික වශයෙන් බංකොළොත් වීමට ඉඩක් නැත. පසුගිය කාලය තුළදී විවිධ ආණ්ඩු මගින් අමාත්‍ය මණ්ඩල සංශෝධන සහ විෂයයන් මාරු කිරීම් ඒ තරමට සිදුකර ඇත. එහෙත් එයින් රටට අත්වූ සෙතක් නැත.
මෙහිදී අප මතුකර පෙන්වන්නේ මේ රටේ විවිධ අමාත්‍යවරුන්ටත් එම අමාත්‍යංශවල ඇතැම් ඉහළ නිලධාරීන්ටත් බරපතළ දූෂණ චෝදනා එල්ල වී තිබෙන බවය. ශ්‍රී ලංකාවේ නිර්මාණය කළයුතු ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අයි.එම්.එෆ්. මගින් ලබාදුන් වාර්තාවේ සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකාව දූෂණය ඉහවහා ගිය රටක් වශයෙන් බවද මෙහිදී සිහිපත් කළ යුතුය. රටේ ආර්ථිකය වර්ධනය කර ගැනීම සඳහා දූෂණය සහ වංචාව වැළැක්වීමට විධිමත් සහ ශක්තිමත් යාන්ත්‍රණයක් තිබීමේ අවශ්‍යතාවද එයින් දැඩිව අවධාරණය කර තිබේ. එහෙත් ඒ සඳහා අමාත්‍යවරුන් සංඛ්‍යාව ඉහළ දැමීම හෝ විෂයයන් මාරු කිරීම හෝ සිදුකළ යුතු බවත් එම වාර්තාවේ සඳහන්ව නැත.
අප මේ කරුණු සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙන් මෑත කාලීනව වාර්තා වූ බරපතළ දූෂණ චෝදනා සැලකිල්ලට ගනිමිනි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉහවහා ගොස් ඇති දූෂණයේ තරම කෙතරම්දැයි කිවහොත් 2019ත් 2022ත් අතර කාලය තුළදී ඇතැම් ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ සිදුකර ඇති ගනුදෙනු 286 ම දූෂිත බවද හෙළි වී තිබේ. මේ කරුණු හෙළිකරගෙන තිබුණේ වෛද්‍ය සැපයුම් සහ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයාබැලීම් සඳහා පත්කළ පාර්ලිමේන්තු අනුකමිටුව මගිනි. රුපියල් 400කට මිලදී ගත හැකි ඖෂධ හදිසි මිලදී ගැනීම යටතේ මිලදී ගෙන ඇත්තේ රුපියල් 4000ක් වැය කරමින් බවද එම වාර්තාවේ සඳහන්ය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණයේ තරම ගැන වෙනත් අටුවා ටීකා අවශ්‍ය නැත.
සියලුම අමාත්‍යංශවලට සිදුකෙරෙන මිලදී ගැනීම් සඳහා විනිවිදභාවයක් පවත්වාගෙන යන්නේ නම් දූෂණ ක්‍රියා බොහෝදුරට මැඩ පැවැත්විය හැකිය. එහෙත් මෙයින් ගැලවීම සඳහා බොහොමයක් බලධාරීන් සිදුකරන විවිධ ඇස්බැන්දුම් ක්‍රියා තිබෙන බවද සත්‍යයකි.
ලොකුම කරුමය නම් එම ක්‍රමය යටතේ මෙරටට ගෙන්වූ ඖෂධයක් ව්‍යාජ ඖෂධයක් බවට හෙළි වූ පසුත් ඊට වගකිවයුතු කිසිදු පුද්ගලයකු අධිකරණය හමුවට නොපැමිණවීමයි. මේ ඖෂධය ගෙන්වූ සමාගමද හෙළිදරව් විය. එහෙත් මේ වනතුරු මේ භයානක ගනුදෙනුවට අදාළ කිසිවකුටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක නැත.
අමාත්‍යවරුන් මාරුකිරීම් හෝ අමාත්‍යවරුන් වැඩි කිරීම දේශපාලකයන්ගේ ගැටලු විසඳා ගැනීමක් මිස ජනතාවගේ ගැටලු විසඳීමක් නොවේ.