ඉදිරි තෙවසරේ රටේ ගමන කෙබඳු වේද?


වත්මන් පාර්ලිමේන්තුවේ බහුතර බලය හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආශ්‍රිත දේශපාලන බලවේගයට එවක තිබූ චිරප්‍රසිද්ධ චෝදනාවක් නම්, ඡන්ද එපාවෙන ලෙස ඡන්ද පවත්වන බවටය. විපක්ෂයට මැතිවරණ එපා වෙන තැනට ඔවුහු ඡන්ද පැවැත්වූහ.

මාර්තු 9 වැනිදාට නියමකර තිබෙන මුත් මේ වන විට අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇති පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද යට කී ස්ථාවරය නිවැරැදි දැයි දැනගැනීමට මෙම ලියුම්කරු පොදුජන පෙරමුණු මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සම්බන්ධ කරගත් විට ඔහු ප්‍රකාශ කළේ නියමිත කාලයට මැතිවරණ තැබීම පිළිබඳ තම චිරකාලීන ස්ථාවරයේ කිසිදු වෙනසක් නැති බව ය.

කෙසේ වෙතත්, මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුවේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් තමන්ට තිබෙන බවත්, එම තත්ත්වය සැලකිල්ලට ගෙන යම් නිශ්චිත කාලයක් මැතිවරණය ප්‍රමාද කිරීම ආණ්ඩුව පැත්තෙන් සාධරණ වුවද, මැතිවරණය පැවැත්වීමට හැකි පළමු අවස්ථාවේ දීම එය නිසැකයෙන් ම පැවැත්වීමට අවශ්‍ය මැදිහත්වීම කිරීමට ද සූදානම් බවයි. 

අප සිටින්නේ ගැඹුරු ආර්ථික අර්බුදයක බව රටක් ලෙස වටහාගත යුතු ය. එහි ගැඹුර තාමත් ඇතැමුන්ට වැටහී නැති සෙයකි. පසුගිය සති කිහිපය පුරා ද රුපියල් ලක්ෂය ඉක්මවා වැටුප් ලබන රටේ වෘත්තිකයන්ගෙන් බදු අයකර ගැනීම පිළිබඳ මහත් කතාබහක් රට තුළ ඇති විය. ආණ්ඩුවක් කිසිදා බදු වැඩිකිරීම වැනි ජනප්‍රිය නොවන තීන්දුවලට පහසුවෙන් යන්නේ නැති බව අපි දනිමු. මන්ද ඒවාට මැතිවරණවල දී වන්දි ගෙවීමට සිදුවන නිසාය.

එහෙත් රට තිබෙන තැනින් ඔසවා තැබීමට යම් දුෂ්කර පියවර ගත යුතු වේ ද එය නොපසුබටව ගත යුත්තේ ය. එසේ නොකිරීම අපට දිගුකාලීන නරක ප්‍රතිඵල ගෙනදිය හැකිය. කොටින් ම අප අද සිටින අර්බුදයේ මූල හේතුව වන්නේ ද 50 දශකයේ මුල් භාගයේ සිට ම අප මෙරට වෙළඳ ශේෂය පිරිමසා නොගැනීම මෙන්ම වියදමට සරිලන ජාතික ආදායම සකසා නොගැනීමය.

 මීට පෙර ද මෙම කොලම්වල ලියා ඇති පරිදි බදු වැඩිකිරීම ඇතුළු අත්ථකිලමථානු පියවර අප අනුමත කරන්නේ නැත. තමන්ට පිටතින් හුස්ම ගන්නා සමාජයක් පවතින බව මහබැංකුව කල්පනා කළ යුතුය. කෙසේ වෙතත්, අකැමැත්තෙන් වුව දැන් රට මෙවන් විකල්ප දෙසට තල්ලු‍ කර ඇති බව ද සත්‍යකි.

ගෝඨාභය ආණ්ඩුව බදු ද අඩු කොට, පැමිණි වසංගතය ද ලෝක වාර්තා තබමින් ජයගෙන ජීවිත රැකගෙන දුෂ්කර මාවතක් ඔස්සේ රට මෙහෙයවමින් තිබූ අවස්ථාවක පැමිණි “අරගල වසන්තය” විසින් බල කරන ලද්දේ ලංකාව වහා විදේශ ණය ගෙවීම් නවතා ඉන් ඉතිරි වන මුදල්වලින් ඉන්ධන ගෑස් ගෙන්වා මදිපාඩුව අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන්ද  ලබාගෙන ප්‍රශ්නය විසඳිය යුතු බවය. මූල්‍ය අරමුදලට යෑම රෝස මල් මාවතක් ලෙස එහි දී පරිකල්පනය විය.

ණය පැහැර හැරීම හෙවත් වෙනත් වචනවලින් කිවහොත් බංකොලොත් බව ප්‍රකාශයට පත්කිරීම රටක කොතරම් බරපතළ කාරණක් ද යන්න වග එවක උගතුන් පවා පෙන්වා දුන්නේ නැත. එවන් පසුබිමක එම බොළඳ මතය ප්‍රමුඛ සමාජ මතය බවට පත්විය.

 ඒ අනුව, හිටපු මුදල් අමාත්‍ය ධුරයේ බැසිල් රාජපක්ෂ සිටින තුරු කරගත නොහැකි වූ දෙය ඔහු ඉවත් කිරීමෙන් සතියකට පමණ පසු අවාසනාවන්ත ලෙස මෙරට සිදුවේ. 2022 අප්‍රේල් 12 වැනි දින ලංකාව විදේශ ණය ගෙවීම් නවතාලීමේ බරපතළ තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන අතර, ඉන්පසු සිදුවන්නේ අප නිරායාසයෙන් ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් ග්‍රහණයට නතුවීමයි. මන්ද ණය පැහැර හැරි රටකට අන් කිසිදු රටක් ණය නොදෙන අතර, ණය දියහැකි එකම ආයතනය අයි එම් එෆ් ආයතනය පමණි. දැන් එය සිදුවී හමාරව ඇති අතර කුමන ආණ්ඩුවක් බලයේ සිටිය ද මේ තත්ත්වයට අන් විසඳුමක් නැති බව අප යථාර්ථවාදීව තේරුම ගැනීම අත්‍යාවශ්‍ය ය. 

 බදු වැඩිකිරීම්, විදුලි බිල් වැඩිකිරීම් ආදිය කිරීමට සිදුව ඇත්තේ අපට ඉදිරියේ දී දෙනු ලබන ණයට කොන්දේසි වශයෙනි. කටුක නමුත් මේ ප්‍රායෝගික ඇත්තට අප මුහුණ දිය යුතු අතර, මැතිවරණ පවත්වා කුමන පක්ෂය ජයගත්ත ද, වේදිකාවලින් කුමක් ඇසුණ ද මේ සත්‍ය හැර අන් එකක් නැත. 

මෙවන් බැරෑරුම් තත්ත්වයක සිටින ආණ්ඩුව තම මූල්‍ය තත්ත්වය පිළිබඳ බෙහෙවින් විචක්ෂණශීලී විය යුතු වේ. ජනතාවට ද රටේ වියදම් පක්ෂය ගැන සැලකියයුතු අවදියෙන් සිටින බව පසක් කරමින් පසුගිය දා රජය නිදහස් උත්සවය සැමරීම සඳහා සූදානම් වන විට සමාජජාලාවලින් විශාල හඬක් නැගුණේ වෙඩි උණ්ඩ 21ක් මුහුදට එල්ල කිරීම සඳහා වියදම් කිරීමේ තේරුම කුමක්දැයි අසමිනි. කුමන නිදහසක් තමන්ට තිබේදැයි ද ප්‍රශ්න කළහ. මෙහි වියදම් පක්ෂය ගැන අප ද යම් තරමක් එකඟ මුත් එම උළෙලේ ජාතික වැදගත්කම එම වියදම ඉක්මවා යන බව නම් කිව යුතුය. 

මේ අතර, නිදහස හා ස්වාධිපත්‍ය යන සංකල්ප දෙක අපගේ බොහෝ දෙනා වරදවා වටහාගෙන ඇති බව ද උක්ත ප්‍රකාශවලින් ගම්‍ය විය. Independence යන්න නිදහස ලෙස මුල සිටම සිංහලට පරිවර්තනය කර තිබීම ද මේ තත්ත්වයට හේතු වන්නට ඇත. අප ලැබුවේ “නිදහස” නොව, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ස්වාධිපත්‍යයයි. එනම් අපගේ ම පාලනයකි. එය ඊනියා පුද්ගල නිදහස ලෙස සිතමින් උගත්තු පවා “අපට නිදහස කෝ” යැයි අසති.

 මේ සංකල්ප ගැන නව සංවාදයක් අවශ්‍ය වේ. ඒ කුමක් වුවත්, පුරවැසියා පවා රටේ මූල්‍ය අපහසුතා හා අරපිරිමැස්ම ගැන කතා කරන විට එම ජනතාව විසින්ම අසීරුවෙන් ගෙවන බදු මුදල් කෝටි ගණන් ප්‍රාදේශීය මැතිවරණයකට දියකර හැරිය යුතු ද? එසේ දියකරන මුදල් නැවතත් ජනතාවගෙන්ම අයකරගත යුතු නොවේ ද? මේ දුෂ්කර අවස්ථාවේ එය කොතරම් සාධාරණ ද?

පවත්වන්නට යෙදී ඇත්තේ ජාතික වශයෙන් කොළඹ ආණ්ඩු බලය වෙනස් කරන මැතිවරණයක් නොවේ. ප්‍රාදේශීය හා නගර සභා මැතිවරණයකි. එමගින් සිදු කරන්නේ ප්‍රාදේශීය වශයෙන් ජනතාව මුහුණ දෙන එදිනෙදා ගැටලුවලට විසඳුම් ලබාදීමයි. ඉන් ආණ්ඩු වෙනසක් සිදුවන්නේ නැත. එවන් මැතිවරණයක් හරහා කිසියම් පක්ෂයකට ජනතා බලය කුමන තරමින් තිබේ ද යන්න යම් තරමකින් පැහැදිලි කරගත හැකි බව කරුණකි.

එසේ කළ පමණින් ද රටට හා ජනතාවට ලැ‌බෙන සහනය කුමක්ද? යට සඳහන් කළ පරිදි කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද අපට ඉදිරි තෙවසර තුළ ගමන් කිරීමට තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන මාර්ගයේ ය. ආණ්ඩුව කරන දේශපාලන පක්ෂය කුමක් වුව ද ඊට අනුගත විය යුතු ය. 

නීරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් ජීවමානව පවත්වාගෙන යාම සඳහා මැතිවරණ අත්‍යවශ්‍ය බව අපි කිසිසේත් බැහැර නොකරමු. එහෙත් මෑත ඉතිහාසය තුළින් ම උදාහරණයක් ගෙන බලන කල එහි ප්‍රතිපක්ෂය භාවිතය වී ඇත. 69 ලක්ෂයක ජනවරමකින් වසර 5කට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා හරින විට කිසිවකු මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළේ නැත.  ප්‍රාදේශීය මැතිවරණයක් යම් නිශ්චිත කාලයක් යථාර්ථවාදී හේතු මත කල් යන විට රටක ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් වන්නේ නම්, වසර පහකට රට පත්කරගත් ජනාධිපතිවරයකු, වසර 75ක සිට පැමිණි බව කියන ආර්ථික කළමනාකරණයක වැරදි මත පන්නා දැමූයේ කුමන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනුවද? 

ඒ මතු ද නොවේ, 2016 පවත්වන්නට යෙදී තිබූ පළාත් පාලන මැතිවරණය වසර දෙකක් පුරා කල්දමනු ලැබූයේ කිසිදු හේතුවක් නොමැතිවය. එහි දී ජනතා විමුක්ති පෙරමුණේ නායකයකු කියා තිබුණේ “රුවන්වැලිසෑයේ හුණුගාන ලෙස මැතිවරණ පැවැත්විය නොහැකි” බවයි. අපි දු එම අදහස පිළිගන්නෙමු. ඇත්ත වශයෙන් ම ජාතික නොවන මැතිවරණ පැවැත්වීමේ දී යම් ප්‍රමාදයක් සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. අනෙක නම් අවස්ථාවෝචිත ව පැන නැගෙන ප්‍රමුඛතා හඳුනා ගැනීම ද පාලකයන් විසින් කළ යුතු ය. ඉහත ප්‍රකාශය කරන ජවිපෙ ඉන් අදහස් කළේ එකී ප්‍රමුඛතාව පිළිබඳ කරුණයි.

2016 දී රට තිබුණ සාමාන්‍ය තත්ත්වයට වඩා බෙහෙවින් වෙනස් තත්ත්වයක් අද පැවතීම හේතුකොට ගෙන, විශේෂයෙන් ජනතාව ආර්ථික අර්බුදය නිසා පීඩාවට පත්ව තිබෙන පසුබිමක ප්‍රමුඛතාව ලැබිය යුත්තේ ජනතාවගේ ජීවන ප්‍රශ්න විසඳීමට බව අමුතුවෙන් අවධාරණය කළ යුතු නැත. මැතිවරණයක අවසාන ප්‍රතිඵලය එම ගැටලු විසඳීමට ද කිසිසේත්ම බල නොපාන්නේ නම්, එවන් මැතිවරණයක් ප්‍රමාද වීම ජනතාවගේ පැත්තෙන් සාධනීය තත්ත්වයකි. 

රටේ අනාගතය තීරණය කරන බැරෑරුම් ප්‍රශ්නයක් අප සියලු‍ දෙනා හමුවේ තිබේ. එවන් අවස්ථාවක රටේ දේශපාලන තන්ත්‍රය වැඩ කළ යුත්තේ ඉතා විමසුම්සහගත වගකීමකින් යුතුව ය. මන්ද සියලු‍ දේශපාලන සීමාවලට එපිටින් ජාතික අභිලාෂ පවතින හෙයිනි. එම අභිලාෂ මගනොහැර ඉටුකර ගැනීමෙන් පමණක් අපට දේශපාලනය කිරීමට පවා රටක් රාජ්‍යක් ඉතිරි වේ. එසේ හෙයින්, මේ අති විශේෂ අවස්ථාවේ දී අපගේ මූලික ප්‍රශ්නය විසඳා ගැනීමට අවශ්‍ය සහාය පවතින ආණ්ඩුවට ලබා දී ඒවා ජයගැනීමෙන් පසු අපගේ බල හරඹය පටන්ගත හැකිය. 

සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ