ඉන්ධන හිඟයට උත්තරය කළ වැරැදි හරිගස්සා ගැනීමයි


එල්.අයි.ඕ.සී. හෙවත් ලංකා ඉන්දියානු තෙල් සමාගමට, මෙරට තවත් පිරවුම්හල් 50ක් ඉදිකිරීමට අවසර ලැබෙන බව නොබෝදා  වාර්තා විය. මේ වනවිට එම සමාගම සතු පිරවුම්හල් 210ක් මෙරට ක්‍රියාකාරීව පවතී. අවුරුදු 40ක් තිස්සේ මෙරට ඉන්ධන, බෙදාහැරීම හා අලෙවි කිරීම උදෙසා ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවත්වාගෙන පැමිණි ඒකාධිකාරිය ද්වාධිකාරියක් බවට පත්වූයේ 2002 වසරේ ඉන්දියානු තෙල් සමාගම එකී වෙළඳපොළට පිවිසීමත් සමගය. මේ වසරේ උත්සන්නවූ විදේශ විනිමය අර්බුදය හමුවේ  මෙරට ඉන්ධන ඉල්ලුමට සරිලන පරිදි සැපයුම පවත්වා ගන්නට මෙකී අයතන දෙකම අසමත් විය.

මෙම තෙල් අර්බුදයට පිළියමක් ලෙස රජය මෙරට ඉන්ධන ආනයනය, අලෙවිය හා බෙදා හැරීමේ වෙළඳපොළ විවෘත කොට ඊට තව තවත් අලෙවිකරුවන්ට පිවිසීමේ අවස්ථාව සළසන්නට තීරණය කළ බවද දැනගන්නට ලැබිණි. ඒ අනුව චීන සයිනොපෙක් සමාගමද මෙම වෙළඳපොළට අවතීර්ණවීමට නියමිත බව නොබෝදා අසන්නට ලැබිණි. 2002  ඉන්දීය තෙල් සමාගමට මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසීමේ අවස්ථාව ලබා දෙනවිට සයිනොපෙක් සමාගම වෙළඳපොළ කොටසක් ඉල්ලා සිටියේය. චයිනා පෙට්‍රෝලියම් ඇන්ඩ් කෙමිකල්  කෝපරේෂන් හි අනුග්‍රාහක සමාගමක් වූ සයිනොපෙක් සමාගමට එකල ඒ අවසරය නොලැබිණි. එම අවසරය එම සමාගමට ලබාදී තිබුණේ නම් වර්තමාන ඉන්ධන අර්බුදය මෙතරම් තීව්‍ර ලෙස නොදැනෙන්නට ඉඩ තිබිණි.

ඉන්ධන සැපයුම්කරුවන් අතර  තරගයක් ඇතිවෙන්නට නම් ප්‍රමාණවත් තරගකරුවන් සංඛ්‍යාවක් සිටිය යුතුය. එවිට ඉහළ ගුණාත්මක බවින් යුතු නිෂ්පාදන ඉල්ලුම්කරුවන් (පාරිභෝගිකයන්) හට ලබා දෙන්නටත් ඒවා බෙදා හැරීම කාර්යක්ෂම ලෙස කරන්නටත් සැපයුම්කරුවන් අතර තරගයක් ඇතිවේ. එහි වාසිය සැළසෙන්නේ පාරිභෝගිකයාටයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඒකාධිකාරියට නිසි අභියෝග එල්ල කරන්නට ඉන්දියානු තෙල් සමාගමට නොහැකි විය. එම නිසා වර්තමාන ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස  සැපයුම්කරුවන් වැඩි සංඛ්‍යාවකට එම වෙළෙඳපොළ විවර කිරීම ඥානාන්විත ක්‍රියාවකි.

1961 පාර්ලිමේන්තු පනතකින් ඛනිජ තෙල් සංස්ථාව පිහිටුවීමට පෙර තිබුණේ එවැනි තත්ත්වයකි. එවකට මෙරට ඉන්ධන සැපයුම් කාර්යය ඉටු කළේ ඛනිජ තෙල් වෙළඳාමේ යෙදී සිටි යෝධ බහු ජාතික සමාගම් තුනක් වන, ෂෙල්, එසෝ සහ කැල්ටෙක්ස් අතුළු තෙල් සමාගම් කිහිපයක් විසිනි.

ෂෙල් යනු රෝයල් ඩව් ෂෙල් සමාගමයි. සමහර ජනසතු කිරීම්වලදී ජනතාව සතු වූ දේට වඩා ජනාවට අහිමි වූ දේ බොහෝය. මෙරට ඉන්ධන සැපයුම හා බෙදා හැරීම ජනසතු කිරීමද එවැන්නකි.

තෙල් ජනසතු කිරීමේදී අමෙරිකානු සමාගම්වලට අයත් ඉන්ධන හල් 83ක් සහ ඇමෙරිකානු නොවන සමාගම්ද ජනසතු කෙරිණි. අමෙරිකානු සමාගම්වලට වන්දි ගෙවීම් සිදු  නොකළ නිසා 1964 අවුරුද්දේ ඇමෙරිකා එක්සත්  ජනපද ආණ්ඩුව (1962 විදේශ සහයෝගිතා පනතට) ගෙන ආ හිකන්ලපර් සංශෝධන අනුව ශ්‍රී ලංකාවට සපයනු ලැබූ අර්ථික හා තාක්ෂණික සහයෝගිතා නවතා දැමිනි.

අප පළවා හරිනු ලැබූ තෙල් සමාගම් සිංගප්පූරුව වෙත ගෙන්වා ගන්නට ලීක්වාන් යූ උත්සුක වූයේය. එහි ප්‍රතිඵලයක් ලෙස තෙල් කඳුළක් හෝ අයත් නොවන සිංගප්පූරුව ලෝකයේ ඛනිජ තෙල් වෙළඳාමේ කප්පිත්තකු බවට පත්ව සිටී. (කොළඹ වරාය ජනසතු කිරීමේ වාසියද අත්පත් කර ගත්තේ සිංගප්පූරුවය) අමෙරිකානු තෙල් සමාගම් සිංගප්පූරුව තුළ දැවැන්ත ආයෝජන සිදු කළේය.

ඒ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව අධික ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතනවලින් එකක් බවට පත්විය. තෙල් වෙළඳාම ජනසතු කළද ලංකා ඛනිජ තෙල් සංස්ථාව කඩා නොවැටී පවත්වාගන්නට සිදුවූයේ ජනතා මුදලිනි.

වර්තමාන විදේශ විනිමය අර්බුදය මූලික කරගත් ඉන්ධන  හිඟයට පිළියම් යෙදීම අතීත වැරදි නිවැරදි කර ගන්නට කදිම අවස්ථාවකි. කාර්යක්ෂම ලෙස ඉන්ධන සැපයුම පවත්වා ගැනීමට හා ගුණාත්මක භාවයෙන් යුතු ඉන්ධන පාරිභෝගිකයාට ලබාදීමට ඉන්ධන වෙළෙඳ පොළේ සියලු ඒකාධිකාරීන් බිඳ දැමීම අත්‍යවශ්‍යය.

(***)