ඊශ්‍රායල්-හමාස් යුද්ධය ලංකාවට කෙසේ බලපායිද?


ලෝකය තුළ සිදුවන සෑම සිදුවීමක්ම කවර ආකාරයකින් හෝ ශ්‍රී ලංකාව කෙරෙහි ද බලපෑමට ඉඩ ඇති බව ඊශ්‍රායල් - හමාස් ගැටුම හේතුවෙන් අද ඇතිව තිබෙන තත්ත්වය පරීක්ෂා කිරීමෙන් වටහා ගැනීමට හැකිවනු ඇත. ආසන්නතම ප්‍රතිඵලය විය හැක්කේ මෙම අර්බුදය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යෑමත් එහි බලපෑම ශ්‍රී ලංකාව කෙරෙහි ද දරුණු අන්දමට එල්ල වීමට ඉඩ තිබීමත් ය.

රුසියා - යුක්රේන යුද්ධය හේතුවෙන් බලශක්තිය සම්බන්ධයෙන් ඇති වූ ලෝක අර්බුදය තවමත් අවසන් වී නැත. යුරෝපා රටවල දැඩි ඉන්ධන හිඟයක් ඇති වීම නිසා ඉන්ධන, ගෑස් සහ අනෙකුත් බලශක්ති මිල ගණන් අඛණ්ඩව ඉහළ ගියේය. එහි බලපෑම තරමක් දුරට හෝ අඩු වූයේ රුසියානු ඉන්ධන මිල දී ගැනීම බටහිර රටවල් විසින් අත්හැරීමත් සමග රුසියානු තෙල් මිල අඩු වීම ය.

අඩු මිලට චීනය සහ ඉන්දියාව වැනි රටවල් රුසියානු ඉන්ධන මිලදී ගැනීම හේතුවෙන් ලෝක තෙල් මිල විශාල ලෙස ඉහළ යෑම තරමක් දුරට වැළකුණේය. එසේ වුවද, අද පවත්නා හමාස් - ඊශ්‍රායල් ගැටුම හමුවේ තෙල් මිල තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇති අතර, එය වැළැක්වෙන ආකාරයේ තත්ත්වයක් ක්ෂණිකව ඇති වේ යැයි අපේක්ෂා කළ නොහැකිය.

ඊශ්‍රායලය සහ පලස්තීන ජාතිකයන් අතර ඇති වූ අර්බුදයට අද වනවිට දිගු කලක් ගත වී තිබේ. පලස්තීන ජාතිකයන් ජීවත් වූ ප්‍රදේශ තුළ යුදෙව් ජාතිකයන් සඳහා භූමි ප්‍රදේශයක් වෙන් කිරීමට බ්‍රිතාන්‍යය රජය ගත් තීරණය හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය විය. මැද පෙරදිග රටවල් විශාල සංඛ්‍යාවක් ඉන් පසුව ඇති වූ ගැටුම්වලට සම්බන්ධ වීම හේතුවෙන් යුද්ධ කිහිපයක්ම ඇති විය. ඒවා හේතුකොට ගෙන විනාශ වූ මිනිස් ජීවිත, දේපළ සහ සම්පත් ප්‍රමාණය ගිනිය නොහැකි තරම් ය. ලෝක සාමය බිඳ වැටීම කෙරෙහිද රටවල් අතර විරසකභාවය වර්ධනය වීම සඳහා ද එය හේතු විය.

ඇමරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලෝකයේ බොහෝ රටවල් ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා දැඩි පියවර අනුගමනය කරනු ලැබීය. ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල් ත්‍රස්තවාදීන්ට ආධාර දෙන රටවල් සහ සංවිධාන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබූ අතර, එවැනි රටවලට විවිධ සම්බාධක පැනවීමට ද එවැනි ත්‍රස්ත සංවිධාන තහනම් කිරීමට ද කටයුතු කළේය.

ත්‍රස්තවාදී නායකයන් සහ මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගැනීමට නව තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් දැවැන්ත මෙහෙයුමක් දියත් කළ අතර, ප්‍රබල ත්‍රස්තවාදී නායකයන් කිහිප දෙනෙක්ම ඝාතනය කරනු ලැබූහ. එවැනි තත්ත්වයක් තුළ බොහෝ දෙනකු සිතුවේ ලොව ත්‍රස්තවාදයට යළිත් ඉඩක් නොලැබෙන ආකාරයේ පරිසරයක් දැන් බිහිව තිබෙන බවය.

එසේ වුවද ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පැහැදිලි වන්නේ ත්‍රස්තවාදය ද ඉතා දියුණු ස්වරූපයකින් යළිත් ගොඩ නැගෙමින් තිබෙන බවය. එවැනි ත්‍රස්ත ප්‍රහාරයක් ඇතිවෙන බවට කිසිදු බුද්ධි වාර්තාවක් ඇමරිකාවට, බටහිර රටවලට හෝ ඊශ්‍රායලයට නොලැබී නොතිබුණි. මෙම රටවල් ඉතා දියුණු බුද්ධි සේවා පවත්වාගෙන යනු ලබයි. ඒ අතර, පසුගිය කාලය තුළ ඊශ්‍රායලය ද ත්‍රස්තවාදීන් මැඩලීම සඳහාත් රට තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳාහාත් ඉතා දියුණු ශිල්පීය ක්‍රම භාවිත කළේය.

ඇමරිකාව ඇතුළු රටවලින් නවීන ආයුධ සහ උපකරණ මිලදී ගෙන තිබූ අතර ඊශ්‍රායලය විසින්ම බිහි කරන ලද නව තාක්ෂණික උපකරණ ද ඒ සඳහා යොදා ගනු ලැබීය. ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම සඳහා උපදේශක සේවා සහ උපකරණ සපයන රටක් බවට ඊශ්‍රායලය පත්ව තිබුණි. ඒත් ඒ සියල්ල අබිබවා යමින් ත්‍රස්තවාදය නැවත වරක් හිස ඔසවා තිබෙන බව පැහැදිලි වේ.

මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබුණු විගසම ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සහායට ඉදිරිපත් විය. ඊශ්‍රායලය සඳහා සෑම සහායක්ම ලබාදීමට සූදානම් බව ජනාධිපති ජෝ බයිඩින් ප්‍රකාශ කරද්දී බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් ප්‍රකාශ කළේ තම රට ද ඊශ්‍රායලයට සහාය වීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවයි. ඒ අතර ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබුණේ ගාසා තීරයේ ජීවත් වන පලස්තීනුවන් සියලු දෙනාම එම ප්‍රදේශවලින් ඉවත් විය යුතු බවයි. ඊශ්‍රායලය ලෝක සිතියමෙන් ගාසා තීරය ඉවත් කිරීම සඳහා සූදානමින් සිටින බව මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ තිබුණි.

හමාස් ත්‍රස්තවාදීන් විසින් අහිංසක පිරිස් ඝාතනය කරන ආකාරය මාධ්‍ය මගින් දැකගත හැකි විය. ත්‍රස්තවාදීන් අතින් මානව හිමිකම් ආරක්ෂා වෙතැයි අපේක්ෂා කළ නොහැකිය. එසේ වුවද ඊශ්‍රායල් රජය විසින් මෙම ගැටුමේ දී පලස්තීන ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කරන්නේ ද යන්න පිළිබඳව පරීක්ෂාවෙන් සිටීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමට ඉතා හොඳ අවස්ථාවක් ලැබී තිබෙන බව ප්‍රකාශ කළ හැකිය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ විවිධ ආකාරයේ කරුණු දැක්වූ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන මේ අවස්ථාවේදී කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනකුගේ අවධානය යොමුවනු ඇත. දෙපාර්ශ්වයේම අහිංසක පිරිස් වෙත දැඩි පීඩනයක් මෙම ගැටුම නිසා එල්ල වී තිබේ.

ඒවා වැළැක්වීමට ඊශ්‍රායලය ද එම රටට සහාය දෙන ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍ය වැනි රටවල් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත පිළිබඳව අධ්‍යයනයක යෙදීමට මානව හිමිකම් සංවිධානවලට හොඳ අවස්ථාවක් ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයන්ට ද ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සංසන්දනයකට හොඳ අවස්ථාවක් ලැබී තිබේ.

පසුගිය සඳුදා (09) පැවැති කැබිනට් රැස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පිළිබඳව ඉතා පැහැදිලි ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුණි. ශ්‍රී ලංකාව සෑම විටම ඊශ්‍රායලය සහ පලස්තීනය යන ද්විත්ව රාජ්‍ය සංකල්පය සඳහා සහාය දක්වනු ලබන බවත්, එම සහයෝගය දැක්වීම ස්ථාවර බවත්, ප්‍රකාශ කළේය. මීට පෙර සමහර අවස්ථාවලදී ශ්‍රී ලංකාව ඊශ්‍රායලයේ ක්‍රියා හෙළා දැක තිබේ. එසේ වුවත්, සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කරමින් ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සංවිධානයේ ප්‍රහාරය සාධාරණීය කළ නොහැකිය.

ශ්‍රී ලංකා රජය මෙම පෙර නොවූ විරූ ප්‍රහාරය තරයේ හෙළා දකින බව ද ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර තිබේ. ඊශ්‍රායලය වේවා හමාස් සංවිධානය වේවා මානව හිමිකම් කඩ කිරීමට හෝ ත්‍රස්තවාදී ක්‍රියා පැතිරවීමට කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාව එයට එරෙහි වන බව එම ප්‍රකාශය මගින් පැහැදිලි කර සිටී.

ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වී ඇත්තේ මෙම අර්බුදය තුළින් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන නව ආර්ථික ගැටලු‍ පිළිබඳව බව පෙනී යයි. එහිදී වැඩිම බලපෑමක් ඇති වීමට ඉඩ ඇත්තේ ඛනිජ තෙල් සම්බන්ධයෙන් බව ජනාධිපතිවරයා විසින් පෙන්වා දී ඇත.

බොහෝ විට තෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 100 දක්වා ඉහළ යෑමට ඉඩ ඇතැයි පෙන්වා දී තිබේ. ඉන්පසුව ලබන වසරේ පෙබරවාරි මාසයේ අග සිට තෙල් මිල අඩු වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවත්, ප්‍රකාශ කර ඇත. ඉන්ධන හිඟයක් මෙන්ම ඉන්ධන මිල ඉහළ යෑමක් ද සිදුවිය හැකි බවත්, එය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටවලට විශාල බලපෑමක් ඇති කරන බවත්, ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයාගේ මෙම තක්සේරුව සහ වහාම ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් පැහැදිලි වන්නේ ඇති විය හැකි තත්ත්වයට වහාම ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි. මැද පෙරදිග උණුසුම් තත්ත්වයක් හෝ යුද තත්ත්වයක් ඇති වූ සෑම අවස්ථාවකදීම ඛනිජ තෙල් මිල ගණන් ඉහළ යෑම සාමාන්‍ය ප්‍රවණතාව බව අතීත අත්දැකීම් නිරීක්ෂණය කළ විට පැහැදිලි වේ.

ලොව ඛනිජ තෙල් නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයක් බිහි වන්නේ මැද පෙරදිග රටවලිනි. එම රටවල් යුද උණුසුමට ලක් වෙද්දී නිෂ්පාදනය පහළ වැටී මිල ඉහළ යෑම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වේ. ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇත්තේ එය ශ්‍රී ලංකාවට තවත් පීඩනයක් එල්ල කිරීමට ඉඩ තිබෙන නිසා බව සිතාගත හැකිය.

මෑත කාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පලස්තීන ප්‍රශ්නය නොවිසඳීම පිළිබඳව ජාත්‍යන්තර සම්මේලන කිහිපයකදීම කරුණු දක්වා තිබුණි. උදාහරණයක් වශයෙන් පසුගියදා නිව්‌යෝර්ක් සංචාරයේදී ප්‍රකාශ කළේ පලස්තීන ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට ලෝකය අසමත් වී ඇති බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි සමුළුව අමතමින් ඔහු ප්‍රකාශ කළේ වත්මන් බහුජාතික යාන්ත්‍රණයට පලස්තීන ප්‍රශ්නයට පිළිතුරක් සැපයීමට නොහැකි වී ඇති බවත්, එබැවින් නව පිළිවෙතක් ඇතික ර ගැනීමේ අවශ්‍යතාව මතුව ඇති බවත් ය.

ජනාධිපතිවරයා මෑතකදී මෙවැනි ප්‍රකාශ ජාත්‍යන්තර සමුළුවලදී ඉදිරිපත් කරනු ලැබුවත් බොහෝ දෙනකුට පලස්තීන ප්‍රශ්නයක් තිබෙන බව හෝ අමතක වී ඇති බවක් පෙනෙන්නට තිබුණි. එසේ වුවද අද වනවිට නැවත වරක් පලස්තීනය නොවිසඳී ඇති ජාතික ප්‍රශ්නයක් බව නැවතත් මතක් කර දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ දැක්ම වඩාත් නිරවද්‍ය ස්වරූපයක පවත්නා බව ඉන් පැහැදිලි වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර