මේ වසරේ මාර්තු මස 31 වැනි දින උඩවලව වම් ඇළ, උඩවලව දකුණු ඇළ යන ප්‍රදේශවල යල කන්නයේ භෝග වගාව පිළිබඳව තීරණ ගැනීම සඳහා කන්න රැස්වීම පැවැත්වුණි. මෙය සෑම කන්නයකම ආරම්භයට පෙර පවත්වන රැස්වීමකි. රැස්වීමට මහවැලි, කෘෂිකර්ම, වාර්මාර්ග ආදී කන්න වගාවට සම්බන්ධ වන සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීහු ද ගොවීහු ද සහභාගී වූහ.
වාරිමාර්ග සහ කාලගුණ අංශවල පුරෝකථන අනුව මෙම කන්නයේ ජල සැපයුම අඩු වීමට ඉඩ ඇති නිසා තීරණය වූයේ උඩවලව දකුණු ඇළ ප්‍රදේශයේ මුළු වගා බිම් ප්‍රමාණය වූ හෙක්ටයාර 12094න් හෙක්ටයාර 6047ක වී වගා කිරීමට ද හෙක්ටයාර 6047ක වෙනත් භෝග ද වගා කිරීමටය.
එහෙත් සමහරක් ගොවීහු එම තීරණයට වෙනස්ව කටයුතු කළහ. හෙක්ටයාර 9777ක වී වගා කර තිබුණි. කන්න රැස්වීමේ දී තීරණය වූයේ සියයට 50ක් වී සහ සියයට 50ක් වෙනත් භෝග වගා කිරීමට වුවත් වී වගා කරන ගොවීන්ගේ ප්‍රමාණය සියයට 67 දක්වා වැඩි වී වෙනත් භෝග වගා කරන ප්‍රමාණය සියයට 33 දක්වා අඩු විය.
උඩවලව වම් ඇළ ප්‍රදේශයේ වී වගා කිරීමට හෙක්ටයාර 4897ක් ද වෙනත් භෝග සඳහා හෙක්ටයාර 4897ක් ද උක් වගාව සඳහා හෙක්ටයාර 1368ක් ද යොදා ගැනීමට තීරණය විය. එහෙත් ගොවීහු හෙක්ටයාර 5317ක වී වගාවද හෙක්ටයාර 5603ක වෙනත් භෝග ද වගා කළ අතර උක් වගාවේ යෙදුණේ හෙක්ටයාර 242ක පමණි.
කන්න රැස්වීමේ දී තීරණ ගනු ලැබූයේ ඉහත සඳහන් ආකාරයට වුවද ගොවීන් විශාල පිරිසක් එම තීරණයට පිටුපා වී වගා කිරීම නිසාත් උක් වගාව අතහැර දැමීම නිසාත් ජල අවශ්‍යතාව බලාපොරොත්තු වූවාට වඩා විශාල ලෙස ඉහළ ගියේය.
ඒ අතරම උඩවලව ප්‍රදේශයට බලාපොරොත්තු වූ පරිදි වර්ෂාව නොලැබීම නිසා ජල හිඟය උග්‍ර තත්ත්වයකට පත්විය. සමහරු යෝජනා කරන්නේ සමනල වැවෙන් උඩවලවට ජලය ගෙන ගොස් ඒවා ගොවීන්ට ලබා දී වී වගාව සහ අනෙකුත් භෝග වගා ආරක්ෂා කර ගත යුතු බවය. එහෙත් විදුලි බල අමාත්‍යංශයෙන් ප්‍රකාශ වන්නේ ඒ ආකාරයට සමනල වැවේ ජලය භාවිත කළහොත් විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ජලය ප්‍රමාණවත් නොවී දකුණු පළාතට බලපාන ලෙස විදුලිය කපා හැරීම සිදුවන බවයි.
සමනල වැවේ ජලය උඩවලවට දීම නිසා දකුණේ විදුලිය කැපීමට සිදු වන්නේ කුමක් නිසාද යන්න ඊළඟට මතුවන ප්‍රශ්නයයි. එසේම දකුණට පමණක් එය සීමා වන්නේ කෙසේද යන්න ද ප්‍රශ්නයකි. එසේ වුවද මෑත දී මාධ්‍ය මගින් හෙළි කර තිබුණේ ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියෙන් දකුණු පළාතට සහ සබරගමු පළාතට විදුලිය සැපයීම සඳහා ආරම්භ කර ඇති ව්‍යපෘතියකට එක් තේ වතු හිමියකු විසින් බාධා පැමිණවීම නිසා එම ව්‍යාපෘතිය නිම කිරීමට නොහැකි වී ඇති බවයි. එම තේ වත්ත මැදින් සම්ප්‍රේෂණ රැහැන් ගෙන යෑම වෙනුවෙන් රජය විසින් රුපියල් ලක්ෂ 17ක මුදලක් ගෙවීමට සූදානම් වන නමුදු එම පුද්ගලයා ඒ සඳහා රුපියල් ලක්ෂ 90ක් ඉල්ලා සිටී.
රජයට එරෙහිව උද්ඝෝෂණ පවත්වා රටෙහි ක්‍රියාකාරීත්වය අඩපණ කර දැමීම සඳහා විපක්ෂය කවර හෝ අවස්ථාවක් ප්‍රයෝජනයට ගැනීමට සූදානම්ව සිටී. මිහින්තලේට පැමිණෙන වන්දනාකරුවන්ගෙන් විදුලි බිල සඳහා ආධාර ලබා ගනී. එසේම පොසොන් සමයේ පොසොන් උත්සවයට රජයේ ආධාර නොලැබෙන බව ප්‍රකාශ කරමින් මිහින්තලා නාහිමියෝ පිංඩපාතයේ ගොස් මහජනතාවගෙන් මුදල් ලබාගෙන රජයේ ආධාර අනවශ්‍ය යැයි ප්‍රකාශ කළහ.
මිහින්තලයේ මාස 10කට රුපියල් ලක්ෂ 41කට වැඩි විදුලි බිල නොගෙවා තිබීම නිසා විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කර තිබුණි. සජිත් ප්‍රේමදාස මහතා විසින් ඒවා ගෙවා දැමූ බව වාර්තා විය. මහජනතාවගෙන් මිහින්තලයේ විදුලි බිල ගෙවීමට මුදල් ලබාගෙන නිකුත් කළ ලදුපත් සමාජ මාධ්‍යයේ ප්‍රකාශයට පත්කර තිබුණි.
විදුලිය කැපූ විට මහජනතාව උද්ඝෝෂණ සඳහා පොලු මුගුරු රැගෙන පාරට බසිනු ඇතැයි අපේක්ෂා කිරීම හැඳින්විය හැක්කේ මෝඩකමක් ලෙස පමණි. සජිත් ප්‍රේමදාස මහතා එබදු බිල් ගෙවීමෙන් ලබා ගත හැක්කේ ජනතා අප්‍රසාදය මිස ජනතා ප්‍රසාදය නොවන බව කිසිවකුත් ඔහුට වටහා නොදීම කනගාටුවට කරුණකි. දිවයින පුරා හිඟ විදුලි බිල්පත් ඇති විහාරස්ථානවල ද අනෙකුත් ආගමික් මධ්‍යස්ථානවල ද විදුලි බිල් ගෙවා දැමීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කිරීමට ද ඉඩ ඇත.
දැන් විපක්ෂයේ සෑම කණ්ඩායමකටම අවශ්‍ය වී ඇත්තේ කවර හෝ ක්‍රමයකින් රට ගිනි තැබීමට අවශ්‍ය කුමන හෝ කරුණක් සම්පාදනය කර ගැනීමයි. අර්ථසාධක අරමුදල පිළිබඳව ඇතැම් විට බොරු මත පවා ප්‍රචාරය කරවා කම්කරුවන් පාරට බැස්සීමට ගත් උත්සාහය අසාර්ථක විය. තව ටික දවසකින් ස්ථාවර තැන්පතු පොලී අනුපාතය ඉතා අඩු මට්ටමකට පත්වනු ඇත. එවිට අර්ථසාධක අරමුදලට රජය පොරොන්දු වී ඇති සියයට 9ක පොලී අනුපාතය ඉතා ආකර්ශනීය දෙයක් ලෙස පිළි ගැනීමට සිදුවනවා ඇත.
පසුගිය සතියේ සෞඛ්‍ය අංශයේ වැඩවර්ජනයක් පැවැත්වීමට සූදානම් කර තිබුණද එයට සෞඛ්‍ය සේවා අංශවල සහාය නොලැබීම නිසා අත්හැර දැමීමට සිදුවිය. විපක්ෂයේ නායකයන් සිතා සිටින්නේ දැන් ඉතා පහසුවෙන්ම මහජනතාව පාරට ගෙන්වා ගැනීමට සුදුසුම අංශය ලෙස සෞඛ්‍ය අංශය සැලකිය හැකි බවයි. එසේ වුවද සමහර රෝහල්වල බෙහෙත් හිඟයක් පවතිද්දී පවා, සායනවල රෝගීන්ට බෙහෙත් නොලැබෙද්දී පවා සෞඛ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් මහජනතාව පාරට බැස්සවීමට නොහැකි වීමෙන් පැහැදිලි වන්නේ ඕනෑම අර්බුදයක දී එහි සැබෑ තත්ත්වය පිළිබඳව හොඳින් සොයා බැලීමට මහජනතාව සූදානම්ව සිටින ආකාරයයි.
ප්‍රශ්න සහ ගැටලු උග්‍ර වෙමින් තිබිය දී ආවාට ගියාට නැගෙන ප්‍රකාශවලින් ද සමාජ මාධ්‍ය ජාලාවලින් ඉදිරිපත් කරන ප්‍රකෝප කිරීම් සහ ආවේගාත්මක ප්‍රකාශවලින් නොමග ගොස් සිදු කරගත් විනාශය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් මහජනතාවට ඇත. අරගලය මුවාවෙන් රට ගිනිබත් කළ ආකාරය ද මංකොල්ල කෑ ආකාරය ද විරුද්ධවාදීන් පීඩාවට පත්කළ ආකාරය ද මහජනතාවට මතකය. එබැවින් තවදුරටත් එවැනි අරමුණක් නැති සටන්වලට මැදිහත් වීමට ඔවුන්ට අවශ්‍යතාවක් නැත.
උඩවලවේ ප්‍රශ්නය වැනි ඉතා තාවකාලික සිදුවීම් ඔස්සේ පවා විපක්ෂය, ඇතැම් මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ජාලා මහජනතාව පාරට බැස්සවීමේ උත්සාහයක නිරතව සිටින බව පෙනේ. නියඟය කාටවත් ඇති කළ හැකි හෝ නැතිකළ හැකි දෙයක් නොවෙයි. කලින් කලට ස්වභාවික විපත්වලට මුහුණ දීමට රටට සිදුවන අතර ඉදිරි මාස කිහිපය තුළ වර්ෂාව නොලැබුණහොත් රට පුරාම විදුලි කප්පාදුවක් හෝ සිදුවිය හැකිය.
කාබනික පොහොර යොදා කෘෂිකර්මය පවත්වාගෙන යෑමට ගත් උත්සාහය පිළිබඳව සිදුවීම් මතක් කරන විට උඩවලව සිදුවීම කිසිදු වටිනාකමක් ඇත්දැයි සිතන තරමට එහි බලපෑම පහළ මට්ටමක පවතී. 2022 වසරේදී වාර්ෂික වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 5.4 දක්වා පහත වැටුණි. එය සියයට 34.1කින් පහළ වැටීමකි. 2021 වසරේ හෙක්ටයාර එකකට වී කිලෝග්‍රෑම් 4571ක් ලැබුණි. 2022 වසරේදී එය කිලෝග්‍රෑම් 3045 දක්වා පහත වැටුණි. එවැනි රටක උඩවලවේ හෙක්ටයාර 7000ක් නියඟයට හසුවීම තුළ රටක් පාරට බැස්සවීම සඳහා එය හේතුවක් කර ගැනීමට හැකි ද යන්න සිතා බැලිය යුතුව ඇත.
කැබිනට් මණ්ඩලයේ පෙරේදා පැවැති රැස්වීමේ දී සමනල වැවෙන් ජලය මුදාහැර උඩවලව ජල ප්‍රශ්නය විසඳීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ඒ හේතුවෙන් සමනල වැව ජලාශය 16 වැනිදා සිට වසා දැමීමට සිදුවනු ඇත. පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය ලබාගෙන විදුලි හිඟය පිළිබඳ ගැටලුවට විසඳුම් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ සඳහා රුපියල් බිලියන 4ක මුදලක් අතිරේකව වැය කිරීමට සිදුවේ. වගා හානි සිදුවන ගොවීන්ට වන්දි ගෙවීමට කටයුතු කරන්නේ නම් මෙවැනි පාඩුවක් දැරීමට සිදු නොවනු ඇත. එසේ වුව ද කුඩා ප්‍රදේශයකට සීමා වන මෙම ගැටලුව මහා විනාශයක් සිදුවන ආකාරයේ ජාතික ප්‍රශ්නයක් බවට පත්කර ගන්නා විට ඊට වන්දි ගෙවීමට සිදු වන්නේ මහජනතාවට බව මේ සිදුවීමෙන් පැහැදිලි වේ.
රටේ ඉදිරි ගමන පිළිබඳව දේශපාලන ස්ථාවරභාවය ඉතා වැදගත් වන අවස්ථාවක මෙම සියලු සිදුවීම් වඩාත් හොඳින් කළමනාකරණය කර ගැනීමට රජයට සිදුවේ. එක අතකින් ණය ප්‍රතිව්‍යූහගතකරණය සිදුවන මෙම අවස්ථාවේ රට තුළ සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යා යුතුව ඇත. අනෙක් අතට සංචාරක ව්‍යාපාරය ඉතා වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. පාස්කු ප්‍රහාරයෙන් පසු එක් මසක පැමිණි වැඩිම සංචාරක පිරිස වාර්තා වූයේ ජූලි මාසයේදීය.
විපක්ෂයට සහ ඇතැම් නාලිකාවලට අවශ්‍ය වී ඇත්තේ රටේ සාමකාමී පැවැත්ම විනාශ කර දමා ජනතාව මහමගට බස්සවා රජය විසින් ගොඩනගමින් තිබෙන ආර්ථික ස්ථාවරත්වය විනාශ කර දැමීමටය. සියලු දෙනාම පරෙස්සම් විය යුත්තේ කවර හේතුවක් නිසා හෝ එවැනි තත්ත්වයක් රට තුළ ඇතිවීම වළක්වා ගැනීමටය.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර