උතුරේ ජනතා ගැටලුවලට දෙමළ පක්ෂවල ඉල්ලීම්


ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් ලබන ජූලි මාසය තෙක් ඉවසීමෙන් සිටින ලෙස ජනාධිපතිවරයා තමිල් අරසු කච්චි පක්ෂයට දැනුම් දුන් පුවත නොබෝදා අප පුවත්පතේ පළවූයේ ය.

අවුරුදු හැත්තෑවකට වඩා කාලයක් ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් පරම්පරා ගණනක් කැප කළ දමිළ ජාතිකයන්ට ජූලි මාසය තෙක් ඉවසා සිටීම කජ්ජක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ මෙරට ආර්ථික ප්‍රශ්නයටත් වඩා අපූරුවට මෙරට පාලකයෝ ජනවාර්ගික ගැටලුව අනාගත්තෝය. එයින්ම නාගත්තෝය. එහි දරුණු අඳුරු ප්‍රතිඵල භුක්ති විඳින්නට ඔවුහු ජනතාවට ඉඩ හැරියෝය.

ආර්ථික ප්‍රශ්න අනාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාවට කුසගින්නේ සිටින්නටත් විරැකියාවෙන් පෙලෙන්නටත් සිදුවිය. ජනවාර්ගික ගැටලුව අනාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස උතුරේත් දකුණේත් ජනතාවට අතපය හතර රැකගෙන ජීවිතය පවත්වා ගැනීමේ අයිතිය පවා අහිමි වූයේය. එයින් නැවත සංහිඳියාවට පත්කිරීම අසීරු වෙන තරමට සිංහල ජාතිකයන්ගේත් දමිළ ජාතිකයන්ගේත් සිත් විරසක විය. මෙම විරසකයටත් සිදු වූ සියලු විනාශයන්ටත් මෙරට පාලකයෝ සේම ජාතිවාදියෝ ද වගකිවයුත්තා හ. සියලු විරසක අති දරුණු තිස් අවුරුදු යුද්ධයකින් උච්ච අවස්ථාවට පත්විය.

රටේ සංවර්ධනයත් සියලු ආධ්‍යාත්මික කාරණාවලටත් සෑම අතින්ම එම යුද්ධය ඍණාත්මකව බලපෑවේය. රටේ ආර්ථික හා සමාජීය ප්‍රගතිය ඉන් අවුරුදු ගණනාවක් ආපස්සට ඇද දැමුවේය.

ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් පිටව ආ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, 1926 දී, උතුරේ තරුණයන් අමතා උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට ෆෙඩරල් විසඳුමක් දිය යුතු බව කියා සිටියේය. එවිට මේ යෝජනාව උතුරේ තරුණයෝ එකහෙළා ප්‍රතික්ෂේප කළෝය. දකුණෙන් ඒ තරමට ඈත් වූ විසඳුමක් අවශ්‍ය තැනක එවකට උතුරේ ජනතාව සිටියේ නැති බව ඊට එවකට උතුරේ තරුණයා දැක්වූ විරෝධතාවෙන් පෙනී යයි.

ඒ තරම් අව්‍යාජ ලෙස උතුරේ ප්‍රශ්නයට විසඳුම් යෝජනා කළ බණ්ඩාරනායක ශ්‍රීමතාණෝ එජාපය තුළ තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් පැවති නොපැහැදිලි ස්වරූපය දැක ඉන් ඉවත්ව ශ්‍රීලනිපය පිහිටුවා ගත්තෝය. 1956 මැතිවරණ ව්‍යාපාරයේ බණ්ඩාරනායක මහතාගේ ප්‍රධාන පොරොන්දුව වූයේ පැය විසිහතරක් ඇතුළත සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරන්නේය යන්නයි.

දකුණේ ජනතාවගේ වාර්ගික හැඟීම අවුස්සා එජාපය පැරදවීමේ මට්ටමට ඡන්ද ඒකරාශි කර ගත හැකි අලුත් අවිය වූයේ එයයි.
පැය විසි හතරක් තුළ සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ උද්‍යෝග පාඨය නිසා සිදු වූ විරසකයත් හානියත් තක්සේරු කර ගන්නට ගැඹුරෙන් තතු සොයා බැලීමක් අවශ්‍ය නොවේ. 

වැඩිකල් නොගොස් බණ්ඩාරනායක මහතාට, 1957 දී චෙල්වනායගම් සමඟ ගිවිසුමකට එළඹෙන්නට සිදුවිය. එවිට ජාතිවාදී අවිය අතට ගත්තේ විරුද්ධ පක්ෂයේ සිටි එජාපයයි. ජේ.ආර්. ජයවර්ධන ඊට එල්ල කළ ප්‍රධානම විරෝධතාව නම් 1956 බණ්ඩාරනායක මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති සහ පොරොන්දුවලට එය හාත්පසින් වෙනස්ය යන්නයි. නැවත උතුරට දෙන විසඳුමත් දකුණේ ජාතිවාදයත් එක ගැටෙන්නට ගත්තේ දේශපාලන උසිගැන්වීම් නිසාමය.

1965 බලයට පත් වූ ඩඩ්ලි සේනානායක, ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුමට එළඹෙන්නට උත්සාහ කරන විට බලයේ නොසිටි පක්ෂ ඊට එරෙහි විය. ‘‘ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ’’ යයි එවිට හඬ නැගුවෝ වාමාංශිකයෝ ය. උතුරේ ජනතාවට එකී ගිවිසුම කෙරෙහි තැබූ බලාපොරොත්තු ද අතහැර ගන්නට සිදුවිය.

බණ්ඩාරනායක ශ්‍රීමතාණන් දිවංගතවීමෙන් අනතුරුව සිරිමාවෝ මැතිනියගේ නායකත්වයට පත් ශ්‍රීලනිපය තුළ ද සිංහල බෞද්ධ ආධිපත්‍යය ක්‍රියාත්මක කරන්නට නීල් ක්වින්ටස් ඩයස් වැන්නන් නොදැරූ උත්සාහයක් නැත.

අවුරුදු කිහිපයකට වරක් හෝ දකුණේ බලයට එන ආණ්ඩුවකට බැලමෙහෙවර කොට රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව දකුණේ තරුණයන්ට තිබිණි. උතුරේ තරුණයන්ට එවැනි අවස්ථාවක් තිබුණේ නැත. රැකියා ලබා ගැනීමට ඔවුනට ඉහළටම අධ්‍යාපන ලැබීමට සිදු විය.

දිස්ත්‍රික් පදනම අනුව සරසවි වරම් දීමේදී එම අවස්ථාව උතුරේ තරුණයන්ට අහිමිව ගියේය. උතුරේ සටන්කාමී තරුණ කණ්ඩායම් බිහි වුණේ මෙම පසුබිම තුළයි.

1926 ෆෙඩරල් විසඳුම ප්‍රතික්ෂේප කළ දමිළ තරුණයා, සන්නද්ධ කල්ලිවලට රොක් වී වෙනම රාජ්‍යයක් ඉල්ලන තැනට පත් වූයේ ඇයිද යන්න පැහැදිලි ය. උතුරේ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසඳුමක් දීම තවදුරටත් පමා කළ යුත්තක් නොවේ.

(***)