උතුරේ ජනතාවගේ භාෂා අයිතියට ගරු කරමු


මේ රටේ භාෂාව පරිහරණය පිළිබඳ ගැටලු‍ව සම්බන්ධව තවමත් බොහෝ දෙනකුට අවබෝධයක් නැත. එසේත් නැත්නම් ඒ පිළිබඳ සොයාබැලීමට කිසිදු ඕනෑකමක් නැත. අධිකරණය මගින් යවනු ලබන ලිපියකට පවා භාෂාව ගැටලු‍වක්වීමට මේ තත්ත්වය මග පාදා තිබෙන බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පසුගියදා මුහුණ දුන් සිද්ධියක දී මනාව පැහැදිලි විය.

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතාට යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා එවා තිබූ ලිපිය ලියා තිබුණේ සිංහල භාෂාවෙන් පමණක් වීමෙන් මේ ගැටලු‍ව මාධ්‍යයේ සිරස්තල මැවී ය. තමන්ට ලැබුණු ලිපිය සිංහල  භාෂාවෙන් පමණක් තිබීම හේතුවෙන් මන්ත්‍රීවරයා පොලීසියට දැනුම් දී තිබුණේ එම ලිපිය බාර ගැනීමට නොහැකි බවය.

මෙම ලියැවිල්ල බාරදීමට මන්ත්‍රීවරයා හමුවට ගොස් තිබුණේ පොලිස් නිලධාරීන් දෙදෙනකු බවද සඳහන්ය. මන්ත්‍රීවරයා එම ලිපිය බාරදීමට පැමිණි පොලිස් නිලධාරියාට ප්‍රකාශ කර තිබුණේ තමාට සිංහල කියවීමට නොහැකි බැවින් එම ලිපිය බාරගැනීම ප්‍රතික්ෂේප කරන බවය. තමන්ට දමිළ භාෂාවෙන් යුත් සිතාසියක් අධිකරණය මගින් ලියාපදිංචි  තැපෑලෙන් ලැබෙන්නේ නම් පමණක් එය පිළිගන්නා බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.

මේ රටේ භාෂා ප්‍රශ්නයට ශත වර්ෂයකට අධික ඉතිහාසයක් තිබේ. එහි අවසානයක් තවමත් දකින්නට නොලැබීම රටේම අවාසනාවක් බව සඳහන් කළ යුතුය. මේ භාෂා ප්‍රශ්නය වසර 30කට ආසන්න කාලයක් දික්ඇදුණු භයානක යුද්ධයක් දක්වා ඔඩුදිව්වේ ය. එයින් සිදුවූ ජීවිත හානිය ඉතා විශාල ය. දේපළ හානිය සහ රටේ ආර්ථිකයට, සමාජයට සිදුවූ හානිය ගිණිය නොහැකි තරම් ය. එම ගැටලු‍වේ අපිකේන්ද්‍රය වූයේ තමන්ගේ භාෂාවෙන් තමන්ට වැඩකර ගැනීමට සියලු‍ ජාතීන්ට තිබෙන අයිතිය රැකගැනීමයි. එය කිසිවකුටත් පැහැරගැනීමට ඉඩදිය යුතු නැති බවට වන අදහස පිළිගැනීමට මේ රටේ ඇතැම් පිරිස් තවමත් සූදානම් නැති බව ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ සිද්ධියෙන් පැහැදිලි වෙයි.

භාෂා ප්‍රශ්නය ජනවාර්ගික ගැටලු‍වක් දක්වා ඇදී ගොස් යුද්ධයක් බවට පරිවර්තනය වන විට එය ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් බවට පත්විය. 13 වැනි ව්‍යවස්ථාව එහි ප්‍රතිඵලය වූ අතර එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව මගින් සම්මත කරනු ලැබීය. එම ව්‍යවස්ථාව ශ්‍රී ලාංකික ජනතාව මතට බලෙන් පැටවූවක් බවට ප්‍රබල විවේචනය එල්ල වුවද එහි ඇතැම් කොටස් ක්‍රියාවට නංවනු ලැබ තිබේ. පළාත් සභා පිහිටුවීම එහි එක් මූලික කාරණාවකි. එසේම සිංහල සහ දෙමළ භාෂා දෙකම රජයේ නිල භාෂා වශයෙන් පිළිගැනීම ද තවත් මූලික කාරණාවකි. ඉංග්‍රීසි භාෂාව සම්බන්ධීකරණ භාෂාව වශයෙන් ක්‍රියාත්මකය.

මේ යථාර්ථය පිටුදකිමින් කටයුතු කිරීම යළිත් නැති අර්බුදවලට අත වැනීමකි. දකුණේ සිංහල ජාතිකයන්ට තමන්ගේ සිංහල භාෂාවෙන් වැඩ කිරීමට තිබෙන අයිතියම උතුරේත් නැගෙනහිරත් දමිළ ජාතිකයන්ට තමන්ගේ දමිළ භාෂාවෙන් වැඩ කිරීමටද තිබිය යුතුය. එම අයිතියට ගරු කළ යුතුය. එය එසේ නම් යාපනය අධිකරණය මගින් උතුරේ දමිළ මන්ත්‍රීවරයකුට සිංහල භාෂාවෙන් ලිපියක් යැවීමට හේතුව කුමක්දැයි සොයාබැලිය යුතු නොවේද?

යුද්ධය නිමවීමෙන් පසුව ජාතික ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ යටතේ භාෂාමය ගැටලු‍ හඳුනාගෙන ඒවා හැකි තරම් දුරු කෙරෙන අදහස් සහ යෝජනා ගණනාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මේ පිළිබඳ විස්තරාත්මකව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබේ. 2010 වසරේ මැයි මාසයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද එම කොමිෂන් සභාව එම වසරේ සැප්තැම්බර් මාසයේදී සිය ප්‍රථම අතුරු වාර්තාව ප්‍රකාශයට පත්කර තිබිණි. එහි හත්වැනි නිර්දේශය වශයෙන් සඳහන් කර ඇත්තේ රටේ මහජනතාවට නිලධාරීන් සමග කටයුතු කරගෙන යාමේදී තමන්ට තේරුම්ගත හැකි භාෂාවකින් සංවාදයක් පවත්වා ගැනීමටත් ලිපි ලේඛන ලබා ගැනීමටත් අයිතිය ලැබෙන පියවර වහාම ගත යුතු බවය.

රට යළිත් භාෂාමය ගැටලු‍වලට මැදි නොවන සේ ඉදිරියට ගෙනයාමට අවශ්‍ය නිර්දේශ සියල්ල සඳහන් එහි සම්පූර්ණ වාර්තාව 2011 වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත්කර තිබිණි. එයින් වසර 12ක් ඉක්මවන මේ වර්ෂයේදීත් යාපනය අධිකරණයෙන් උතුරේ මන්ත්‍රීවරයකුට සිංහල භාෂාවෙන් ලියුමක් යැවීම විහිලු‍වකි.

එයින් පෙන්නුම් කරන්නේ තවමත් එම නිර්දේශවලට අනුකූලව කටයුතු නොකරන පිරිස් මේ රටේ සිටින බවය. නැතහොත් සිතා මතා අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීමට කැසකවන පිරිසකගේ ගොදුරක් බවට පොලීසියේ නිලධාරීන් පත්ව සිටින බවය.

උතුරේ ජනතාවට තමන්ගේ භාෂාවෙන් රාජකාරි ඉටුකර ගැනීමට තිබෙන අයිතියට සියලු‍ නිලධාරීන් ගරු කළ යුතුය. එය පැහැර ගැනීමට කිසිවකුටත් ඉඩදිය යුතු නැත.

(***)