උසස් පෙළ විභාග සමයේ විදුලිය කැපීම අත්හිටුවීම


කාලසටහනට අනුව 2022 (2023) අපොස උසස් පෙළ විභාගය ජනවාරි මස 23දා සිට පෙබරවාරි මස 17 දක්වා පැවැත්වීමට නියමිතය. දැනට කරගෙන යන විදුලි කප්පාදුව මෙම විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ සුබසිද්ධිය තකා නවතා දමන ලෙස විපක්ෂනායකවරයා ඉල්ලා සිටි බව ඉකුත්දා වාර්තා වූයේ ය.

මීට අමතරව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිබලය කපා හැරීම නවතා ලිය යුතු බවට නිර්දේශ කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිර්දේශයකින්ද කියා සිටින්නේ විදුලි කප්පාදුව නවතා දැමිය යුතු බවයි. එහෙත් ඇත්තටම සිදු වුයේ විදුලිය කපා හැරීම අඩු කිරීම නොව 24වැනිදා පැය දෙකකට සීමා කරනු ලැබූ විදුලි කප්පාදුව නැවත 25 ,26 දින වල තවත් විනාඩි 20 කින් වැඩි කිරීමට තීරණය වීම ය.

මෙරට පැවැත්වෙන අපොස විභාග ක්‍රම එංගලන්තයේ පොදු සහතික පත්‍ර විභාග වල ප්‍රමිතිය පදනම්කොට සැකසුණු ඒවාය. විශේෂයෙන් අපොස උසස් පෙළ විභාගය මෙරට පොදු ශිෂ්‍යයා මුහුණ දෙන විභාග වලින් සමත් වීමට අසීරුතම කඩඉම් විභාගය සේ සැලකේ. සාමාන්‍යයෙන් වර්තමානයේ වසරකට ලක්ෂ තුනකට අධික සිසුහු උසස් පෙළ විභාගයට පෙනී සිටිති. එඩෙක්සෙල් හා කේම්බ්‍රිජ් උසස් පෙළටත් වඩා මෙරට අපොස උසස් පෙළ විභාගය සමත් වීම අසීරු බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.

ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති සමානාත්මතාව සුරක්ෂිතව පැවතීමේ අයිතිය මෙම විදුලි කප්පාදුව හේතුකොටගෙන සිසු දරුවන්ට අහිමි වන බව මානව හිමිකම් කොමිසමේ නිර්දේශයේ පැහැදිලිවම සඳහන් වේ. විදුලි කප්පාදුව අධ්‍යාපනය ලැබීමට දරුවන්ට ඇති අයිතියට බාධා කරන්නක් බව ද මානව හිමිකම් කොමිසමේ එම නිර්දේශයේ තවදුරටත් සඳහන් වේ.

විශේෂ ආරක්ෂාවක් දරුවන්ට අවශ්‍ය වන බැවින් මානව අයිතීන් වල උප කුලකයක් ලෙස ළමා අයිතීන් විශේෂයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. ළමා අයිතීන්වල වඩාත් වැදගත් අංග පහක් වේ. සෞඛ්‍ය, අධ්‍යාපනය, පවුල් ජීවිතය, සෙල්ලම් කිරීම සහ විනෝදාස්වාදය ලැබීම යන අයිතීන් පහ ළමා අයිතිවාසිකම්වල ප්‍රධාන අංග වේ.මෙරට සිසුවා අධ්‍යාපනය උදෙසා කැප වන්නේ සෙල්ලම් කිරීමේ අයිතිය සහ විනෝදාස්වාදය ලැබීමේ අයිතිය ද කැප කරමින් යන කාරණය සනාථ කිරීමට ඕනෑ තරම් සාක්ෂි ඇත.

දරුවාගේ අධ්‍යාපනය යනු රටේ අනාගතය උදෙසා ඉතිරි වන මානව සම්පතකි. රට භාරගන්නා අනාගත බුද්ධිමතුන් කවුරුන්ද යන්න බොහෝ දුරට තීරණය වන්නේ එම විභාගයේ ප්‍රතිඵල මතය.

විදුලි කප්පාදුවෙන් සිදුවන ආර්ථික හානිය මුදලින් තක්සේරු කළ හැක්කකි. එහෙත් අනාගතය භාරගැනීමට නියමිත මානව සම්පත, විභාගයට බලපාන ලෙස විදුලිය කප්පාදු කිරීමෙන් කෙතරම් රටට අහිමි වේද යන්න තක්සේරු කළහැකි මිනිත ක්‍රමයක් නැත. එය තක්සේරු කළ හැකි ඒකකයක් ද නොමැත. මානව සම්පත රටක ව්‍යවහාර මුදලින් තක්සේරු කළ නොහැක්කකි. එම නිසා සිසු දරුවන් පාඩම්කරන කාලය තුළ විදුලිය උත්පාදනය කිරීමට වැය වෙන මිල ගණන් බැලීම ළදරුවකුට මිලි ලීටර් ගානේ මැන මැන මව්කිරි පෙවීමක් හා සමානය.

උසස් පෙළ විභාග කාලය තුළ සිසුනට අඛණ්ඩව විදුලි බලය ලබා දීමේ වගකීම සෘජුවම ඇත්තේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට බව කිව යුතුය. එහෙත් බලශක්ති අර්බුදයක් කරා රට තල්ලු‍ කිරීමට දිගු කාලීනව හා කෙටි කාලීනව තීරණ ගත් සැවොම මීට වගකිව යුතුය. රටේ විදුලිබල ඉල්ලු‍මට සාපේක්ෂව උත්පාදනය වැඩි කිරීම භාරව කටයුතු කළ සෑම ආණ්ඩුවක්ම මීට වගකිව යුතුය. විදුලි උත්පාදනයට අදාළ විදේශ ආයෝජන පිළිබඳ තොරතුරු මහ ජනයාගෙන් වසන් කොට ඒවා විනිවිදභාවයකින් තොරව ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත් අයද ඊට වගකිව යුතුය.

අප සතුව නැති තාක්ෂණය ප්‍රධාන වන උත්පාදනයට අදාළ විදේශ ආයෝජන සිදුවෙද්දී අවිචාරයෙන් ඊට විරුද්ධ වූ වෘත්තීය සමිති ද මීට වගකිව යුතුය. හිරුගෙන් ලැබෙන සූර්ය බලශක්තිය ගොනු කර ගන්නා පැනල උපයෝගී කර ගැනීමේ ව්‍යාපෘති නිසි කලට භාවිතයට ගැනීම වැළැක්වූ විදුලි ඉංජිනේරුවරු ද මෙම අර්බුදයට වගකිව යුත්තෝ වෙති.

(***)