‘අලුත්, අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී’ කුමාරතුංග මුනිදාස ශූරීන් ප්‍රකාශ කළ ප්‍රකට අදහසකි. ‘අලුත් දෑ කිරීම, අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදකි’. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කළ පදවලට විශාරද නන්දා මාලනිය ගායනා කරන්නීය. මෙම අන්ත දෙක අතර පරතරයක් ඇත. අලුතින් හිතන්නට, අපට අවශ්‍ය නොවීම අපගේ සංස්කෘතික ප්‍රශ්නයකි. පැරැණි වහල්භාවයට අපගේ පුදුමාකාර ළැදියාවක් තිබේ. ගතානුගතිකත්වය අත්හැර දමන්නට කැමැති නැත.
නිර්මාණශීලී අදහසක් පළ කළහොත් එයට එරෙහිව විශාල මතවාදයක් නැගේ. චක්‍රලේඛයේ සඳහන් නැත්නම් රාමුවෙන් පිට තීරණයක් නොගැනේ. නිදහසට පසු ගත වූ දශක හත ලාංකිකයන් නාස්ති කරන්නේ දැනගෙන කරන මෙවැනි අනුවණකම්වලින්ය. තරුණ පෙළ මෙකී ක්‍රමය එනම්, සිස්ටම් වෙනස් කරන අධිෂ්ඨානයක පසු වේ.
ආවේගයෙන් ක්‍රියාත්මක වන ඔවුන්ට පැහැදිලි දර්ශනයක් අවශ්‍යය. රට ගොඩනැගීම සඳහා අවශ්‍ය කෙරෙන සමාජ ආර්ථික වෙනස්කම් කාලානුරූපව ගත යුතු බව අවබෝධ කරගත යුතුව ඇත.
පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි පරිදි ජාත්‍යන්තරයේ සිදුවන පරිවර්තන ගැන සමාජයට කිසියම් අවබෝධයක් ඇත. තාක්ෂණ හා සන්නිවේදන අංශ කෙරෙහි අලුත් පරම්පරාව නැඹුරුය. ආර්ථික ප්‍රතිලාබ උදෙසා ක්‍රියාත්මක වීමට උත්සාහ දරමින් පසු වේ. දේශපාලනඥයන් හා නිලධාරීන් අතරින් බහුතරයක් පසුගාමී තැනක පසු වෙති. ආර්ථික ජවය අරමුණු කරගෙන ජාත්‍යන්තර ප්‍රජාව බලශක්ති ක්ෂේත්‍රයෙහි පරිවර්තනයක් සඳහා ක්‍රියා කරමින් සිටින අතර, රටට මගහැරී ගිය අවස්ථා යළි දිනා ගැනීමට එය ප්‍රබල ශක්තියක් කරගත හැක.
ඛනිජ තෙල් ගෙන්වා බෙදාහැරීමේ අර්බුදය
ශ්‍රී ලංකාව බලශක්ති අවශ්‍යතා සඳහා ඛනිජ තෙල් ආනයනය කරයි. ගෙන්වන ඉන්ධනවලින් සියයට හැටක ප්‍රතිශතයක් ප්‍රවාහනයටය. මෙරට ආනයන වියදම්වලින් සියයට විසි පහක් පමණ ඉන්ධන ගෙන්වීම සඳහා බව දැක්වේ. ශ්‍රී ලංකාවේ විදුලිය නිෂ්පාදනය සඳහා ද ආනයනය කරන ඛනිජ තෙල්වලින් කොටසක් යෙදවේ. ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවා රුපියල්වලින් රට තුළ වෙළෙඳාම් කරන කර්මාන්තයකි.
ඩොලර් උත්පාදනය නොකරන තෙල් සංස්ථාව රුපියල් වෙළෙඳාමේදී ද අධික පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයකි. ජාත්‍යන්තරයේ වරින් වර සිදුවන සිද්ධි පදනම් කරගෙන තෙල් මිල අඩු වැඩි වන අතර, එම උච්ඡාවචනයට ගැළපෙන පරිදි තීරණ ගැනීමට සමත් විය යුතුය. රුසියාව හා යුක්රේනය අතර ගැටුම හේතුවෙන් බොර තෙල් මිල වැඩි වී තිබේ. කොවිඩ් වසංගත තත්ත්වයට පසු ආර්ථිකය ක්‍රියාශීලී වීමේදී එය බාධාවක් වී ඇත. ශ්‍රී ලංකාවට එය උග්‍ර ගැටලුවකි. විදේශ වත්කම් හිඟ සහ විදේශ ණය ගෙවා ගැනීමට පවා නොහැකි කාලවකවානුවකි. ඛනිජ තෙල් ආනයනයට බාධා සිදු වීමෙන් පසු උද්ගත වූ තත්ත්වය අමතක නොකළ යුතුය. තවමත් එහි සංකීර්ණභාවය පහව නැත.
යටත් විජිතයක්ව පැවැති කාලයේ අධිරාජ්‍යවාදීහු තීරණ ගැනීම ආර්ථිකයේ මර්මස්ථාන සේ සැලකූහ. වැවිලි කර්මාන්තය, ඛනිජ තෙල් හෝ ගෑස් සැපැයීම වෙනම සමාගම්වලට පවරා තිබුණ වගකීමකි. නිදහසට පසු බලයට පත් ආණ්ඩු ඒවා රජයට පවරාගෙන ජාතිය සතු සම්පත් සේ හුවා දැක්වූහ. සෑම ආණ්ඩුවක්ම ඔවුන්ට අනන්‍ය ක්‍රමවලින් ආයතන පාලනය කරන්නට උත්සාහ කළ අතර, ආයතනවලට දරාගත නොහැකි තරමට සේවක සංඛ්‍යාවක් බඳවා ගත්හ.
රජයේ අවිධිමත් තීරණ, සේවක වැටුප්, අකාර්යක්ෂමතාව හා දූෂණය රට තුළ විකිණෙන ඉන්ධන මිලට ඇතුළත්ය. ඛනිජ තෙල් වෙළෙඳාමේ තුනෙන් එකක කොටසක් හා ලිහිසි තෙල් අංශයේ යම් ප්‍රතිශතයක් රජයේ පාලනයෙන් බැහැරය. ගුවන් යානා ඉන්ධන සැපැයීම රජයේ ඒකාධිකාරයක් වන අතර, වරායට එන නැව්වලට තෙල් සැපැයීම තරගකාරීව සිදු වේ. තෙල් හිඟ වන විට ගුවන් ගමන් නතර වූ අතර, නාවික කටයුතු බාධාවකින් තොරව සිදු විය. රජයට කළ නොහැකි, කළ යුතු නැති අංශ පසෙක තබා ආර්ථිකය හසුරු වන තීරණ ගැනීමට කල්පනා කිරීම රටට ගැළපේ.
අත්හැර දැමිය යුතු මොහොත ගැන තීන්දුවක්
දීර්ඝ කාලයක් තිස්සේ මන්නාරම ද්‍රෝණියේ මුහුදු පත්ලේ ඇති ඛනිජ තෙල් හා ගෑස් සම්පත් ගැන සාකච්ඡා වී තිබේ. තෙල් කැනීම් සඳහා විශාල පරිශ්‍රමයක් දරා ඇත. සමාගම් කිහිපයක් එහි නිරත වූ අතර, ආර්ථික ඵලදායීතාවක් රහිත බව මූලික පරීක්ෂණවලදී පෙනී යාම හේතුවෙන් අත්හැර දමා ඇත. තෙල් නිධිවලින් බොර තෙල් ලබාගෙන සපුගස්කන්දේ පිරිපහදුවෙන් පෙරා රටට විශාල අවස්ථාවක් ලබාගත හැකි බවට සිහිනයක් තිබේ. මෙකී නිද්‍රාවෙන් අවදි විය යුතුය. 1969 ඉදි වූ පැරැණි තෙල් පිරිපහදුව තාක්ෂණය අතින් වර්තමානයට අදට කිසිම ගැළපීමක් නැත. දිනකට බැරල් තිස් අට දහසක් පිරිපහදු කිරීමට තනන ලද එහි අද දවසකට බැරල් දස දහසක් පවිත්‍ර කළ නොහැකි තරමට යන්ත්‍ර අබලන්ය. එය නවීකරණය පවා ප්‍රයෝජනයක් රහිත බව ඉරාන විශේෂඥ පිරිසක් කළ ආයෝජන ශඛ්‍යතා අධ්‍යයනයකදී තහවුරු කර තිබේ.
ඛනිජ තෙල් ගෙන්වීම, මන්නාරමේ තෙල් සෙවීම හා සපුගස්කන්ද පිරිපහදුව යන අංශ තුන කිසිසේත් අද පවතින නවීන ආර්ථිකයට ගැළපෙන්නේ නැත. බලහත්කාරයෙන් ආරක්ෂා කරන, ජාතික සම්පත් සේ සලකා තීන්දු ගැනෙන ව්‍යුහය තුළ විශාල අවාසි තිබේ. එය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව බරපතළ වන්දියක් ගෙවමින් සිටී. ධනය උත්පාදනය නොකරන, මහජනතාවගේ බදු මුදල් නාස්ති කරන, නවෝත්පාදනයක් රහිත අංශ ජාතික සම්පත් සේ තැබිය යුතු ද?
අදට ගැළපෙන පරිදි කර්මාන්ත, බලශක්ති, මූල්‍ය හා වෙළෙඳ අංශවලට අලුත් රාමුවක් අවශ්‍යය. එකී අවශ්‍යතාව කෙරෙහි සංවේදී නොවන පාලකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කෑලි අලවමින් එය විකෘති කරමින් ජනතාව සතුටු කිරීමේ වෑයමක නිරතය. මැතිවරණයකින් බලය හිමි කාලය තුළ ආර්ථිකය නිවැරැදි කරන තීරණ ගතහොත් සමාජයට එහි ප්‍රතිලාබ ලැබේ. අලුත් රැකියා, අලුත් ආදායම් මාර්ග බිහි වේ. මෙම ඒකාකාරී නීරස ව්‍යුහයෙන් ගැලවීම අරමුණු කරගෙන වෙනස්ම ක්‍රියාමාර්ග කෙරෙහි නැඹුරුවක් අවශ්‍යය. එහිලා තීරණ ගත හැකි මහජන නියෝජිතයන් තෝරා ගැනීම ජනතාවගේ වගකීමකි. පොරොන්දු දෙන, ප්‍රායෝගික නැති තීරණවලින් අනාගත පරම්පරාව ද ණයගැති කරන අදූරදර්ශී දේශපාලනයෙන් බැහැර වීම අවශ්‍යය.
නිදහස ලැබීමෙන් පසු ගත වූ කාලය තුළ නිවැරැදි තීරණ නොගැනීම හේතුවෙන් සිදු වූ හානිය තක්සේරු කළ නොහැක. කාලානුරූපව වෙනස් නොවන ආර්ථික ප්‍රතිපත්ති සමාජයට බරකි. පටු අදහස් ඇති දේශපාලනඥයන්, වෘත්තීය සමිති, අන්තවාදී පිරිස් පමණක් නොව ආගමික නායකයන් පවා තීරණ ගැනීම අවහිර කර ඇත.
අන්තිම මොහොත කරා රට පැමිණ තිබේ. ආදායම අඩුය. වියදම පාලනය කරගත නොහැක. අලුත් ආයෝජන සඳහා ධනය නැත. ණය ලබාගත හැකි මාර්ග ද අවහිර වෙමින් පවතී. ඛනිජ තෙල් අංශයේ ප්‍රතිසංස්කරණ නොකළහොත් දුප්පත් ජනතාව තවත් අමාරුවකට පත්වනු නොඅනුමානය.
නිර්යාත ආර්ථිකයක් සඳහා ඛනිජ තෙල් වෙළෙඳාම
පවතින ආර්ථිකයට වඩා විශාල ව්‍යුහයක් සකස් කළහොත් ප්‍රතිලාබ ලැබේ. ඛනිජ තෙල් ගෙන්වා ජීවත් වීම වෙනුවට තෙල් නිෂ්පාදන අපනයනය කරන ක්‍රම ගැන අවධානය යොමු කිරීම සුදුසුය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳ කේන්ද්‍රස්ථානයකි. කොළඹ, හම්බන්තොට හා ත්‍රිකුණාමලය ජාත්‍යන්තර නාවික මාර්ගවලට ආසන්නයේ පිහිටා තිබේ. බෙංගාල බොක්ක ආශ්‍රිත රටවලට බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත්විය හැකි අවස්ථාවක් රටට ඇත.
වරාය ආශ්‍රිතව තෙල් ගබඩා කිරීම, පිරිපහදුව හා බෙදාහැරීම රටට කළ හැකි කර්මාන්තයකි. ත්‍රිකුණාමලය මෙයට ඉතාම සුදුසුය. පොසිල ඉන්ධන භාවිත කිරීම අඩු විය හැකි බව ජාත්‍යන්තර නිගමනය වී තිබේ. සූර්ය තාපය, සුළං බලාගාර, ද්‍රව හයිඩ්‍රජන් වැනි හරිත උත්පාදනයට නැඹුරු වෙමින් සිටී. එහෙත්, පොසිල ඉන්ධන සම්පූර්ණයෙන්ම අත් නොහැරෙනු ඇත.
දැනට සලකා බලන ආකාරයට ඉන්දියාවේ තෙල් පිරිපහදු අවශ්‍යතාවෙහි හිඟය සියයට තිහක ප්‍රතිශතයක් වන අතර වසර 2040 වන විට එය දෙගුණ වෙතැයි දැක්වේ. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් සමග අලුත් සාකච්ඡා අරඹන ඉන්දියාව එම රටවල්වලින් තෙල් මිලදී ගැනීමටත් අනාගත අවශ්‍යතා සලකා අලුත් පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකිරීමටත් සැලසුම් කරයි.
රටවල් දෙක අතර අන්‍යොන්‍ය ගැළපීමක් සාකච්ඡා කරගතහොත්, ඉන්දියාවට තෙල් සැපැයීම කළ හැක. ලෝකයේ තෙල් වැඩිපුරම භාවිත කරන රටවල් ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයෙහි ඉනදියාව සිටී. ජාත්‍යන්තර වර්ගීකරණ අනුව ශ්‍රී ලංකාව හැත්තෑ එක් වැනි තැන පසු වෙන බව සඳහන් කළ යුතුය.
2021 මූල්‍ය වසරේ ඉන්දියාවේ බොර තෙල් ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන සියයකි. අවශ්‍යතාවෙන් සියයට 14.9ක් පමණ රට තුළ නිපදවන බව දැක්වේ. අවශ්‍යතාව සලකා තීරණ ගන්නට ඉන්දියාව සූදානම්ය. විදුලිබල අංශයේ වෙළෙඳපොළ පුළුල් කරමින් නේපාලය, බංගලිදේශය, භූතානය හා මැලේසියාව සමග ගිවිසුම් අත්සන් කරන්නට ඉන්දියාව සමත්ව ඇත. තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට තැබීම වාසිදායකය.
ඉන්දියාව මිලදී ගන්නා බොර තෙල් ශ්‍රී ලංකාවේදී පිරිපහදු කිරීම හා නළ මාර්ගයෙන් ඉන්දියාවට යැවීම කළ හැකි දෙයකි. පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කළ අතර, ඔපෙක් රටවල තෙල් බැරල් මිලියන හයක සංචිතයක් බැංගලෝර්හි ගබඩා කරන්නට අවසර දී තිබේ.
කලාපීය රටවලට ස්ථාවර මිලකට ඛනිජ තෙල් සැපැයීම සඳහා අනුගමනය කරන පූර්ව උපායමාර්ගයක කොටසක් සේ සැලකිය හැකි එහි අවස්ථා ශ්‍රී ලංකාවට ද ලබාගත හැක. මෙම බොර තෙල් තොග නැවත පරිහරණය කරන විට පිරිපහදු කළ යුතු අතර, පිරිපහදුව හා ගබඩා පහසුව ශ්‍රී ලංකාවේදී සැපැයීමෙන් අලුත් කර්මාන්තයක් සඳහා අවකාශ සැලසේ. එය මෙතෙක් ආනයනයට පමණක් සීමා වී තිබුණ ඛනිජ තෙල් ආශ්‍රිත අංශය අපනයනයට ද සූදානම් කිරීමක් වනු ඇත. අපනයන ආදායම රටට විනිමය උත්පාදනය කරයි.
තෙල් කැනීම හා ගෑස් අපනයනය තවත් ඉලක්කයකි
මන්නාරම ද්‍රෝණියෙන් තෙල් හා ගෑස් කැනීමේ අවස්ථාව සඳහා පියවර ගණනාවක් ඇත. බෙංගාල බොක්ක කලාපයේ ඛනිජ තෙල් කේන්ද්‍රයක් වශයෙන් ත්‍රිකුණාමලය දියුණු කිරීම සඳහා ඉන්දියානු ආර්ථිකය ඈඳා ගතහොත් තෙල් හා ගෑස් කැනීම දෙවැනි පියවරකි. පිරිපහදුව, නළ මාර්ග, වරාය පහසුකම් දියුණු කළහොත්, මන්නාරමෙන් තෙල් හා ගෑස් ලබා ගැනීමට ආයෝජකයන්ට උනන්දුවක් ඇති වේ. එවැනි විශාල ආයෝජන සඳහා රටවල් අතර විශ්වාසය වැදගත්ය.
ප්‍රතිපත්ති වශයෙන් එකඟ වෙන හා ආරක්ෂාව සම්බන්ධව එකට ක්‍රියා කළ හැකි අවස්ථාවල රටවල් අතර සබඳතා තහවුරු වේ. ත්‍රෛපාර්ශ්වීය සම්බන්ධතා මෑත කාලය තුළ අලුතින් මතු වූ රාමුවකි. තෝරාගත් අංශයක් සඳහා රටවල් තුනක් එකතු වේ. ඉන්දියාව, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර දැනට මෙවැනි ත්‍රෛපාර්ශ්වීය සහයෝගිතා ගොඩනැගී තිබේ.
අනාගතයේදී තවත් රටවල් එකතු වනු ඇත. ඉන්දියාවේ විශාල ජනගහනයක් සහිත වෙළෙඳපොළ හා තරගකාරීව වර්ධනය වන ආර්ථිකයේ අවස්ථා අත්පත් කරගැනීමට රටවල් වෑයම් කරමින් සිටී. ආසන්නයේ පිහිටි අපට එහි වැදගත්කම හා ලබාගත හැකි අවස්ථා ගැන අධ්‍යයනයක් නොකිරීම ගැටලුවකි.
ශ්‍රී ලංකාවට දක්ෂ මානව සම්පතක් ඇත. ඉතාම හොඳ සෞඛ්‍ය පහසුකම් තිබේ. නිදහස් අධ්‍යාපනයේ හා නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියේ ප්‍රතිලාබ වශයෙන් පෙන්වා දිය හැක. දශක ගණනක් කරන ලද ආයෝජනයෙන් ලබාගත් නිරෝගී දක්ෂ ශ්‍රම බළකාය රට හැරගොස් වෙනත් රටවලින් අවස්ථා සොයමින් සිටී. මැද පෙරදිග ඇතුළු රටවල සේවය කර එයින් උපයා එවන ධනය ශ්‍රී ලංකාවේ වැඩිම විනිමය උත්පාදනය බවට පත්ව ඇත. මෙම රාමුව වෙනස් කරන අතර, රැකියා ලැබෙන, රටට ආදායම උත්පාදනය කළ හැකි සක්‍රීය අංශ දේශපාලන මතිමතාන්තර හේතුවෙන් අතපසු කොට තිබේ.
රටවල් සමග සාකච්ඡා, ආයෝජන හෝ ගිවිසුම්; රට විකුණන, රටේ සම්පත් විජාතික කරන බවට මතයක් නිර්මාණය කර ඇත. ජාතික සම්පත් ආරක්ෂා කරන බව පෙන්වන නමුත්, කිසිම ප්‍රයෝජනයක් නොගෙන අත්හැර දමා තිබීම අභාග්‍යයකි. අවස්ථා උදා කරගත හැකිව තිබියදී ශ්‍රම බළකාය වෙනත් රටවලට ඇදී යන අතර, එයින් සමාජ, සංස්කෘතික ප්‍රශ්න ඇති කර තිබේ. මේවා එකිනෙක ගෙන සාකච්ඡා කරන්නට බුද්ධිමත් සමාජය පවා නිර්භීත නැත.
වැවිලි කර්මාන්තය, ඇඟලුම් ඇතුළු අංශවලට ව්‍යාප්ත විය හැකි සීමාවක් තිබේ. එකී අංශ අතීතයට අයත්ය. බලශක්ති අංශයේ විශාල වෙනස්කම් ලෝකයේ සිදු වෙමින් පවතී. අනාගතයේ ඇති වන අවස්ථා සලකා ආයෝජන විසිරෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ පිහිටීම, ශ්‍රමය ඉදිරියේ අනෙක් රටවලට කලින් තීරණ ගැනීමේ හැකියාව ඇතොත් අලුත් කර්මාන්ත, ව්‍යවසාය බිහි කළ හැක. අලුත් සංවර්ධනයක් ඇති වේ. උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පවතින කාලාන්තරයක් තිස්සේ නොවිසඳුණ සංකීර්ණ ගැටලුවලට මෙම මුහුණුවර තුළ උත්තර ලැබේ.
දෙමළ දේශපාලනඥයන් බල කරන ඇතැම් ඉටු කළ නොහැකි කොන්දේසි ඉදිරියේ ජනතාව දිනා ගැනීමට ද අත්හැර දමා ඇති ආර්ථික කටයුතු බලගැන්වීම ඉතාම වැදගත් පියවරක් වනු ඇත. උතුරේ සහ දකුණේ ව්‍යවසායකයන්ට ආයෝජන අවස්ථා ලැබේ. පළාත් සභාවලට ආදායම් මාර්ගයක් වනු ඇති අතර, එය අවධානය නොතිබුණ ප්‍රදේශයකට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් වනු ඇත.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට යොමු කරන්නේ නම් කෘතඥ වෙමි.
මිලින්ද මොරගොඩ