එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්


2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව 3600 ක් වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන වාර්තා කරයි. අවුරුදු 15 සහ 24 අතරේ පසුවන තරණයන් මෙකී වෛරසයට ගොදුරුවන සංඛ්‍යාව වැඩිවෙමින් පැවතීමත්, ඒ අතර පාසැල් සිසුන් හා විශ්වවිද්‍යාල සිසුන් සිටින්නේ යැයි වාර්තාවීමත් සෑහෙන තරම් සිත කම්පනයට පත්කරන පුවතකි. 

එච්.අයි.වී. (HIV – Human Immunodeficiency Virus) යනුවෙන් හැඳින්වෙන්නේ මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසයයි. මෙම වෛරසය වැළඳීම නිසා මිනිසුන් තුළ නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්‍ෂණය හෙවත් ඒඩ්ස් (AIDS – Acquired  Immune Deficiency) යන තත්ත්වය හටගනී. එච්.අයි.වී. ශරීරගත වූ කෙනෙකු ඒඩ්ස් තත්ත්වයට පත්වීමට ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.

නිසි ප්‍රතිකාර නොගතහොත් වසර 2-7 අතර කාලයක් තුළ එම තත්ත්වය වඩාත් දරුණු අතට හැරීමේ ඉඩකඩ පවතී. ශරීරය පාලනය කළ නොහැකි ඒඩ්ස් තත්ත්වයට පත්වූ කල ප්‍රතිශක්තිකරණය අහිමිවන නිසා වැළඳෙන වෙනත් රෝග හා ආසාදන නිසා රෝගීන් මිය යන ප්‍රවනතාව වැඩිවේ. 

මෙම නිසා ඒඩ්ස් තත්ත්වයට පත්වන එච්.අයි.වී. වෛරස පාලනය කිරීම දැඩි සමාජ අවශ්‍යතාවක් බව පෙනී යයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට එච්.අයි.වී. වෛරසය පැතිරීම, මෙන්ම එච්.අයි.වී. වෛරසය වැළඳෙන අය එවන් තත්ත්වයට පත් නොවී වළක්වා ගැනීමද දැඩි සමාජ අවශ්‍යතාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙම සමාජ උවදුර වළක්වාලීම සඳහා මහජනතාව දැනුවත්වීම අත්‍යවශ්‍ය කරුණක් බව ළඟ එන ලෝක ඒඩ්ස් දිනය අබිමුවේ (දෙසැ. 1 වැනිදා) අප සිහිපත් කරගත යුතුවේ. 

මෙම සමාජ උවදුර වෙනත් සමාජ විෂමාචාර සමග අත්වැල් බැඳගත් ස්වාභාවයක් පවතින නිසා එම සමාජ විෂමාචාර දුරලීම ඒ සඳහා පෙර සූදානමක් අවශ්‍ය වෙයි. මත්ද්‍රව්‍ය ශරීරයට විදගන්නට පුරුදු වූ පුද්ගලයන් එච්.අයි.වී. වෛරසය වැළඳීමේ අවදානම එසේ නොකරන සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයකුට වඩා තිස්පස් (35) ගුණයකින් වැඩි බව පර් යේෂණ මගින් සොයාගෙන ඇති බව වාර්තාවේ. 
එසේම කාන්තා ලිංගික ශ්‍රමිකයන් හට එච්.අයි.වී.

වෛරසය ආසාදනය වීමේ අවදානම අනෙක් කාන්තාවන්ට වඩා තිස් ගුණයකින් වැඩිය. මත්ද්‍රව්‍ය උවදුර දුරලීම ඔස්සේත්, කාන්තාවන් ලිංගික ශ්‍රමය අලෙවි කරන මට්ටමට වැටෙන්නට පෙරාතුව ඔවුන් මුදවා ගැනීමත් එච්.අයි.වී. ආසාදනය පැතිරීම වළක්වාලීමේ පූර්ව පියවරක් බව මෙයින් පෙනී යයි. මත්ද්‍රව්‍ය උවදුර දුරලීමේදී බිම් මට්ටමේ ඒවා බෙදා හරින්නන් අල්ලා ගැනීමට වඩා මහා පරිමාණයෙන් එම ව්‍යාපාරයේ යෙදෙන්නන් නීතියට හසුකර ගැනීම වඩා වැදගත් වේ.

කාන්තාව ජීවත්වීම උදෙසා සිය ලිංගික ශ්‍රමය අලෙවි කරන මට්ටමට වැටෙන්නට නොදී දරිද්‍රතාව දුරු කිරීම අනෙක් පියවරයි. දරිද්‍රතා මට්ටමේ පසුවන කාන්තාවන් හට සුබසාධන හා සමාජ ආරක්‍ෂාව ප්‍රතිලාභ ලබාදිය යුත්තේ එම නිසාය. දරුවන් තුරුණු වියට එළැඹෙන්නට පෙරම, ඔවුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ද එච්.අයි.වී. වෛරසය ආසාදනය වීම වැළැක්වීමේ පූර්ව පියවරක් වෙයි. 

එච්.අයි.වී. වෛරසය වැළඳුණු අය ඒඩ්ස් තත්ත්වයට පැමිණීම වළක්වාලීමේ පියවරද වඩාත් අවධාරණයෙන් ගත යුත්තකි. ආත්ම ගෞරවයෙන් යුතු මිනිසුන් ලෙස ඔවුන්ට ප්‍රතිකාර උදෙසා යොමුවීමේ හැකියාව ඇති අවකාශ පුළුල් කළ යුතුවේ. එය අතිශය මානුෂීය ක්‍රියාවක් වන්නේ ඒ මගින් ඔවුන් මරණයෙන් මුදවා ගත හැකිවීම නිසාම නොවේ.

එච්.අයි.වී. යනු තවදුරටත් මාරාන්තික වෛරසයක් නොවන නිසා ඔවුන්ට වෛද්‍ය විද්‍යාවේ උපකාරය හිමිවීමේ මානුෂීය අයිතියක්ද ඇති බැවිනි. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන එහිදී ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටු කරන අතර රටේ සියලුම අංශ එච්.අයි.වී. වෛරසය පිළිබඳ සියලු දුර්මත දුරලා ඒ පිළිබඳව දැනුවත් විය යුතුවේ.

(***)