එදා අද ආණ්ඩු නැටවූ සහල් ප්‍රශ්නය


සහල් පිළිබඳව මතුවී ඇති බැරෑරුම් තත්ත්වය ගැන කථා කිරීමට ජනතාවට විශේෂ අයිතියක් තිබේ. ඒ ලාංකීය ජනතාවගේ ප්‍රධාන ආහාරය බත් වන නිසාය. අපේ රටේ හාල් වලට ඇත්තේ දීර්ඝ දේශපාලන ඉතිහාසයකි. ඒ ඉතිහාසය වර්තමානයේ දී ද රඟ දැක්වීමට පටන් ගෙන තිබේ. රජ කාලයෙන් පසුව, බත සකස් කිරීමට අවශ්‍ය වී නිෂ්පාදනය වේගවත් කිරීම සඳහා ප්‍රථම අගමැති ඩී.ඇස්. සේනානායක මහතා වැව් අමුණු සංවර්ධනය කරමින් ගොවි ජනපද ආරම්භ කළේය.

 ඊට වසර ගණනාවකට පසුව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගාමිණී දිසානායක සමග එක්ව මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය කෙටි කාලයක දී අවසන් කළේ ජනතාවට බත සකස් කර දෙන සහල් අත්‍යාවශ්‍ය ආහාරයක් බව දැනගෙන සිටි නිසාය. ඒ දේශීය හාල් නිෂ්පාදනයේ එක් පැතිකඩකි.

සහල් නම් වූ අපේ ප්‍රධාන ආහාරය දේශපාලන පෙරළිවලට ද මූලික වී ඇති බව ඉතිහාසයේ සඳහන් වී තිබේ. ඩඩ්ලි සේනානායක මහතාට අගමැතිකමින් ඉල්ලා අස්වී යාමට පවා මූලික වූ 1953 හර්තාලය ආරම්භ වූයේ ආණ්ඩුව විසින් හාල් මිල වැඩි කරනු ලැබීම පසුබිම් කරගෙනය. හර්තාලයේ උණුසුම නිසාම 1956 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ආසන අටකට සීමාකර දැමීමට එදා ඡන්දදායකයෝ තීරණය කළහ. 

රටට බත සපයන ගොවියාගේ ආරක්‍ෂාව සහ පහසුව වෙනුවෙන් 1958 දී පිලිප් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කුඹුරු පනත නිසා ඔහුට කෘෂිකර්ම ඇමති තනතුරෙන් ඉවත්වීමට ද සිදුවිය. ඉන්පසුව ඩඩ්ලි සේනානායක මහතාගේ ආණ්ඩුව නොමිලයේ සහල් සේරුවක් ජනතාවට ලබා දීම නිසා ඩඩ්ලි බත්දුන් පියා බවට පත්විය. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව කාලයේ දී ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාට මුදල් ඇමතිධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූයේ ද හාල් සලාකය කපා දැමීමට කළ යෝජනාවට එරෙහිව මතු වූ මහජන උද්ඝෝෂණ හේතුවෙනි.

එම ආණ්ඩුව කාලයේ දීම හාල් සේරුවක් ගැනීමට පෝලිම් වල ලැගීමට සිදුවීම නිසාත්, ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට හාල් සේරුවක් හෝ ප්‍රවාහනය කිරීම තහනම් කිරීම නිසාත්, අඟහරුවාදා සහ සිකුරාදා යන දිනවල දී බත් කෑම තහනම් කිරීම නිසාත් 1977 පැවති මහ මැතිවරණයේ දී සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ තුන්හවුල් ආණ්ඩුවද, ආසන අටකට සීමා කරමින් ජනතාව විසින් අන්ත පරාජයකට පත් කරන ලදී. ඒ හාල් නිසා ඇතිවූ දේශපාලන විපර්යාසවලින් ස්වල්පයකි. කෙසේ හෝ වේවා හාල් යනු මහා බලවේගයක් බව එම සිදුවීම් වලින් පැහැදිලිවේ. 

වර්තමාන ආණ්ඩුවද දැන් හාල් ප්‍රශ්නය හමුවේ අතරමං වී සිටි. සහල්වල මිල වැඩිවීම සහ හිඟවීම නිසා ජනතාව අතරේ ද මතු වූයේ ආණ්ඩු විරෝධී රැල්ලකි. කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම්, සීනි පෝලිම් වලට දැන් හාල් පෝලිම් ද නිර්මාණය වීම නිසා ජනතාවට සිදු වූයේ 1970 සේම නැවතත් පෝලිම් යුගයකට පා තැබීමටය. 

හාල් වෙනුවෙන් මේ ආණ්ඩුව තරම් ගැසට් නිවේදන නිකුත් කළ තවත් ආණ්ඩුවක් නැති තරම්ය.  ඒ ගසන ගැසට් සියල්ලක්ම ඉවත්කර ගැනීමට ආණ්ඩුවට සිදුවීම නිසා ගැසට් පත්‍රය ද විහිළුවක් බවට පත්වී ඇත. අනාදිමත් කාලයක් තිස්සේ ගැසට් නිවේදන තුළ ගොනුවී තිබු නීතිමය හා ගෞරවණීය තත්ත්වය සහල් ගැසට් නිසා දැන් කෙලෙසී තිබෙන බවක් ද පෙනෙන්නට තිබේ. 
රටතුළ සහල් මාෆියාවක් ක්‍රියාත්මක වන බව පවසමින් ආණ්ඩුව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ හදිසි නීතිය ද උපයෝගී කර ගනිමින්ය. සහල් විකිණිය හැකි උපරීම සිල්ලර මිල එම ගැසට් නිවේදනය මගින් නීතිගත කරනු ලැබීය. 

එපමණක් ද නොව හදිසි නීතිය අනුව හාල් මෝල් වැටලීම සඳහා හමුදා ප්‍රධානියකුද පත්කර හමුදාව සහ විශේෂ කාර්ය බලකාය ද එක්කර ගනිමින් හාල් මෝල් සහ අනවසර වී ගබඩාවල රැස්කර තිබු වී සහ සහල් තොග අත්අඩංගුවට ගන්නා අයුරුද ඒවා ලොරිවල පටවාගෙන යන ආකාරය ද විශේෂ ප්‍රවෘත්ති යටතේ දැක ගැනීමට ලැබුණි.

එම වී සහ සහල් තොග රජය විසින් මෝල් හිමියන්ගෙන් මිල දී ගනු ලැබ සතොස ට ලබා දුන් බවද එම විශේෂ ප්‍රවෘත්ති වලින් නිවේදනය කරනු ලැබීය. එහෙත් සිදුවූයේ ආණ්ඩුව නොසිතූ අයුරින් හාල් හිඟයක් ඇති වී හාල් මිල ඉහළ යාමය.  මහාපරිමාණයේ හාල්මෝල් හිමියන් සහ රජය අතරේ පැවති සීතල යුද්ධයෙන් රජය පරාජය වී තිබේ. අද සහල් මිල යළිත් අහස උසට යමින් තිබේ.

ආණ්ඩුව නිකුත් කළ සහල් විකිණිය හැකි උපරීම සිල්ලර මිල ඇතුළත් ගැසට් නිවේදනය ද සුපුරුදු පරිදිම අවලංගු කර දැම්මේය. අනවසරයෙන් ගබඩාවල රෑස්කර තිබු වී සහ සහල් තොග අත්අඩංගුවට ගැනීම ද නතරකර දැම්මේය. 

මෙම සිදුවීම් තුළ දකින්නට ලැබුණු විශේෂ කරුණක් වූයේ සමස්ත ආණ්ඩුවටත් ගැසට් නිවේදනයටත් කිරීමට නොහැකි වූ මිල පාලනය පැය කිහිපයක් තුළදී වී මෝල් හිමියන්ට කරන්නට හැකි වීමය. එපමණක් ද නොවේ. ඔවුන් රජය කළ යුතු රාජකාරියක් ද ප්‍රසිද්ධියේම ක්‍රියාත්මක කළේය. පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මහා පරිමාණ වී මෝල් හිමියෝ රට තුළ ක්‍රියාත්මක කළ යුතු සහල් මිල ද ප්‍රකාශයට පත් කළහ. 

හාල් ප්‍රශ්නය රජය සහ මහාපරිමාණ වී මෝල් හිමියන්ගේද, සුළු පරිමාණ හාල් මෝල් හිමියන්ගේ ද ත්‍රිකෝණ සටනක් බවට පත්ව තිබේ. 

ඒ අතර තුර ආණ්ඩුව හාල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් මෙරටට ගෙන්වීමට තීරණය කර ඇත. එයට කැබිනට් අනුමැතිය ද ලැබී තිබේ. එලෙස ලංකාවට ගෙන්වනු ලබන්නේ ආණ්ඩුව නිතරම කියන කාබනික පොහොරවලින්ම වගා කොට නිපදවූ හාල් ද යන ප්‍රශ්නය සමාජගත වෙමින් පවතී. 

මෙවැනි අර්බුධකාරී තත්ත්වයක් මතු වූ අවස්ථාවල දී අපේ ජනතාව කියන්නේ උන්ට දෙවියන්ගේ හාල් කැවිලා යනුවෙනි. දැන් දෙවියන්ගේ හාල් කැවී ඇත්තේ ආණ්ඩුවට ද? හාල් මෝල් හිමියන්ට ද ? එසේත් නැතිනම් බත් කන ජනතාවට ද? යන ප්‍රශ්නය විමසීමට සුදුසු කාලය පැමිණ තිබේ.

ගාමිණී පරණයාපා