වත්මන් රජයේ දෙවැනි අයවැය විසර්ජන කෙටුම් පත හෙවත් 2022 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා නොවැම්බර් 12 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මුදල් අමාත්‍ය ධුරයේ කෝඩුකාරයකු වුව ද ශ්‍රී ලංකා දේශපාලනයේ අද වන විට ප්‍රබල චරිතයක් වන බැසිල් රාජපක්ෂ මීට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික කටයුතු මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා ද වේ.
මෙවර අයවැය ඉදිරිපත් කිරීමේ දී අභියෝග රැසක් ඉස්මතුව තිබුණි. කොරෝනා වසංගතය, විදේශ සංචිත අඩුකම, රුපියලේ අගය පහළ යාම, පොහොර අර්බුදය, ගුරු විදුහල්පති වැටුප් විෂමතාව, ගෑස්, සිමෙන්ති මෙන්ම ආහාර ද්‍රව්‍යවල මිල පාලනයෙන් ගිලිහීම ඒවා සමහරකි.
ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රජයක මුදල් පාලනය පිළිබඳ පූර්ව වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවටයි. 2022 වසර සඳහා ආදායම වියදම හා අයවැය හිඟය විසඳා ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම අයවැය කථාවේ මුඛ්‍ය පරමාර්ථයයි. මෙය කෙටුම් පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අයවැය කථා ලෙස ව්‍යවහාර වේ.
වෙනත් ඕනෑම කෙටුම්පතක් මෙන්ම මුදල් විසර්ජන පනත් කෙටුම්පත ද සම්මත කර ගැනීම සඳහා අවස්ථා 3 කට මුහුණ දිය යුතු වේ. ඒ පළමුවර කියවීම, දෙවැනි වර කියවීම හා තුන්වැනි වර කියවීම යනුවෙනි.
අයවැය ඉදිරිපත් කරන දින පාර්ලිමේන්තුව උත්සව විලාසයක් ගනී. විදේශීය තානාපතිවරු ද භාණ්ඩාගාර නිලධාරිහු ද අමාත්‍යාංශ ඉහළ නිලධාරිහු ද ආරාධනා ලබන අතර තේ පැන් සංග්‍රහයකට ද සහභාගි වෙති. වේත්‍රධාරිවරයා සුදු පැහැති උත්සව ඇඳුමක් පළඳින අතර අසිපත ද පැළඳීම ද සම්ප්‍රදායකි.
අයවැය සකස් කරන්නේ ඉතාම රහසිගතවය. බොහෝ මුදල් ඇමතිවරු අයවැය කථාව සකසා ගැනීමට නිලධාරීන් තම පෞද්ගලික නිවසට ගෙන්වීම සිදු කර ඇත. ජේ.ආර්. ජයවර්ධන වෝඩ් පෙදෙසේ දී ය, රොනී ද මැල් ගීකියනකන්ද නිවසේ දී ය, ආචාර්ය එන්.එම්. පෙරේරා කොටා රෝඩ් නිවසේදීත් මංගල සමරවීර බොල්ගොඩ නිවසේදීත් අයවැය සකස් කළ බව ප්‍රකට කරුණකි.
1972 වනතෙක්ම ලංකාවේ මුදල් වර්ෂය ලෙස සැලකුවේ අදාළ වර්ෂයේ ඔක්තෝබර් 01 සිට සැප්තැම්බර් 30 දක්වා කාලයයි. ආචාර්ය එන්.එම්. පෙරේරා විසින් එම දින වර්තමානයට ගැළපෙන අයුරින් ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා කාලය මුදල් වර්ෂය නම් කරන ලදී.
1948 පළමු මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධනගේ පටන් 1963 වනතෙක්ම අයවැය කථාව පවත්වන ලද්දේ ඉංග්‍රීසි භාෂාවෙනි. එයට ප්‍රබල හේතුව වී ඇත්තේ ආර්ථික ක්ෂේත්‍රයේ ඉංග්‍රීසි වදන්වල තිබූ ගාම්භීරතාවයි. එහෙත් 1963 අගෝස්තු 01 දින එවක මුදල් ඇමති ටී.බී. ඉලංගරත්න සිංහල භාෂාවෙන් තම අයවැය කථාව පැවැත්විය.
සාහිත්‍යවේදියකු වූ ටී.බී. ඉලංගරත්න ඉංග්‍රීසි පද ඉතා සරලව සිංහලට පරිවර්තනය කරගෙන තිබුණි. අද ද භාවිතාවන. උද්දමනය, අයවැය හිඟය, මුදලේ අගය බාල්දුවීම, වැය ශීර්ෂය, බදු සහන, මුදල් සංසරණය වැනි වචන එයට උදාහරණය.
දීර්ඝතම අයවැය කථාව පවත්වා ඇත්තේ 1982 දී රොනී ද මෙල් විසිනි. කාලය පැය 5 විනාඩි 30කි. කෙටිම අයවැය කථාව ඩී.බී. විජේතුංග විසින් විනාඩි 20 කදී 1991 කරනු ලැබ ඇත.
ජේ.ආර්. ජයවර්ධන එම්.ඩී.එච්. ජයවර්ධන, ස්ටැන්ලි ද සොයිසා, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, පී.බී.ජී. කලුගල්ල, ටී.බී. ඉලංගරත්න, ආචාර්ය එන්.එම්. පෙරේරා, රොනී ද මෙල්, මහාචාර්ය ජී.එල්. පීරිස්, කේ.එන්. චොක්සි, මහින්ද රාජපක්ෂ, සරත් අමුණුගම, මංගල සමරවීර, රවි කරුණානායක, ඩී.බී. විජේතුංග මීට පෙර අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමතිවරු වෙති. එක් වරක් නියෝජ්‍ය මුදල් ඇමතිවරයා වශයෙන් හැරල්ඩ් හේරත් ද අයවැය ඉදිරිපත් කර ඇත.
අයවැය යෝජනා රැගත් බෑගයද සුවිශේෂ වේ. එය සෙ.මී. 50 දිග සෙ.මී. 40 පහළ සෙ.මී. 15 ක් උස සමින් කරන ලද දුඹුරු රතු මිශ්‍ර පෙට්ටියක හැඩයකින් යුතු බෑගයකි. මෙම අය වැය බෑගය පටියකින් බැඳ තබා ගැනීම අපූර්ව කරුණකි. බොහෝවිට බැඳ තබා ගැනීම සඳහා යොදා ගන්නා රෙදි පටිය ඒ ඒ පාලක පක්ෂවල පාටින් යොදා ගැනීම ද සිරිතකි.
ආචාර්ය එන්.එම්. පෙරේරාගේ අයවැය දේශන මෙන්ම යෝජනා විශේෂත්වයක් උසුලා ඇත. මහජනතාව විසින් සඟවා ගෙන තිබූ මුදල් ගණනය කරගනු පිණිස සහ මුදල් සංසරණයට එකතු කරගනු පිණිස 1974 දී අයවැය මගින් පියවර ගත්තේය. මුදල් නෝට්ටු බැංකුවට ඉදිරිපත් කොට අලුතින් මුදල් නෝට්ටු ලබා ගැනීම සිදුවීමත් හෙළි නොකරන ලද මුදල් සම්භාරයක් සංසරණය වීමටත් ඒ හරහා ඉඩ ලබා ගත්තේය.
තවත් වසරකදී එතුමා ශ්‍රී බද්ද නම් වාහන බද්දක් පැනවිය. 1 ශ්‍රී 2 ශ්‍රී 3 ශ්‍රී 4 ශ්‍රී වාහන සඳහා පිළිවෙළින් රුපියල් 100, 200, 300, සහ 400 ලෙස බදු පැනවීය.
1974 දී සිගරට් මිල ඉහළ දමතැයි අනුමාන කළ වෙළෙන්දෝ සිගරට් සති කිහිපයක සිට සඟවා තිබුණි. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා සිගරට් මිල ඉහළ දමනවා වෙනුවට මිල පහළ දැමීය.
බොහෝ විට භාණ්ඩ මිල වෙනස් වන්නේ අයවැය යෝජනා මගිනි. එහෙත් මෑතක සිට ගැසට් මගින් භාණ්ඩ මිල වෙනස් කරන නිසා අයවැය ගැන ඇති මහජන උනන්දුව හීනවී ඇත.
1948 ජේ.ආර්. ජයවර්ධන අයවැය ඉදිරිපත් කරමින් පැවසුවේ පහනක ආලෝකය සේ සත්‍යයට ගරුකරන ලෙස හා අන්‍යයන්ගෙන් සරණ නොපතන ලෙසය. වරක් ආචාර්ය එන්.එම්. පෙරේරා පැවසුවේ අමාරු කාලයක් බැවින් පටි තදකර ගන්නා ලෙසය.
මෙවර අයවැය ඉදිරිපත් කළ බැසිල් රාජපක්ෂ වරෙක කීවේ මරණ 3 ක් දුටු මිනිසකු පැණි කෑ බවය.
1948 න් පසුව ඉතාම අසීරු ආර්ථික මගකට රට පිවිස ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය වේත්‍රධාරි මේජර් වී.බී. කරුණාරත්න.