එදා පවුලේ හොරකම් අද හවුලේ හොරකම්


(සංවාද සටහන:- බිඟුන් මේනක ගමගේ)

යහපාලන ආණ්ඩුවේ දෙවර්ෂ පූර්ණය, සිවිල් සංවිධානවල විරෝධය, ඇමැති ධූර මාරුව, විජයදාස රාජපක්ෂගේ ඉරණම, වෙනම අධිකරණ පිහිටුවීම, මනුෂ්‍ය ඝාතන පරීක්ෂණ, පොලිස්පතිගේ විනය, විපක්ෂ නායකගේ පැමිණිල්ල හා ජනතාවට ලැබුණු බදු සහන ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතායි.

හැමදාම අලුත් ඇමැති කෙනෙක් ආවම ජනප්‍රිය වෙන්න පොඩි පොඩි සිල්ලර වැඩ ටිකක් කරනවා. හැබැයි ටික දවසක් යද්දී ආපහු ගේම ගහන්න පටන්ගන්නවා.

රවි කරුණානායකත් ආපු ගමන් දාපු බජට් එක ඔයිට සමාන එකක්. එදත් පොඩි පොඩි දේවල් අඩු කළා. පස්සේ තමයි දෙන්න පටන්ගත්තේ හොම්බෙන් යන්න. දැන් මංගල ඇමැතිවරයාත් පොඩි පොඩි දේවල් ටිකක් දීලා අලුත් බදු පනතක් ගේන්න යනවා.

ප්‍රශ්නය:- යහපාලන දීගයට අදට හරියටම වසර දෙකයි. ආණ්ඩුව කියන්නේ එකිනෙකා හතුරන් හැටියට දකින සම්ප්‍රදාය වෙනුවට මෙය නව දේශපාලන සංස්කෘතියකට පාර කැපුවා කියලයි. ජවිපෙ එවැන්නක් දකිනවාද?
පිළිතුර:- එහෙම නව දේශපාලන සංස්කෘතියක් හැදුණේ නෑ. එදා පවුලෙ හොරකම්. අද හවුලෙ හොරකම්. දැන් අවුරුදු දෙකහමාරකට පස්සෙ ආණ්ඩුවෙම අධිකරණ ඇමැතිවරයා යහපාලනය සාර්ථක වුණේ නෑ කියලා පිළිගන්නවා. යහපාලන ආණ්ඩුවෙ ඇමැතිවරුන්ට වැඩ බෑ කියලා පිළිගන්නවා. අර ඇමැති වැඩ කළේ නෑ... මේ ඇමැති වැඩ කළේ නෑ කියලා ඇමැතිවරු එකිනෙකාට චෝදනා කරගන්නවා. අවසාන ප්‍රතිපලය රටට වැඩක් නෑ.

ජනතාව තුළ තිබූ බලාපොරොත්තු බිඳවැටිලා. හොරකම, දූෂණය, නාස්තිය එහෙමමයි. අලුත් දේශපාලන සංස්කෘතියක් ජනතාව බලාපොරොත්තු වුණා. හැබැයි ඇත්තටම එහෙම දෙයක් වුණේ නෑ.


ප්‍රශ්නය:- හැබැයි පැවැති පාලනයට එරෙහිව හඬ නැගූ සිවිල් සමාජ සංවිධාන නම් කියන්නේ හැට දෙලක්ෂයක ජනතා පරමාධිපත්‍ය හරි පීල්ලට ගැනීමට ජනතාව පෙරට ආ යුතුයි කියලයි. ඒ යෝජනාව පිළිගන්නවද?
පිළිතුර:- දැන් කවුද එතැන ඇවිල්ලා කතා කරන්නේ.. එතැනට ආපු රාජිත සේනාරත්නලා හිටියෙත් පරණ ආණ්ඩුවෙ හොරු එක්කම තමයි. මෝදර වරාය කුණු කොල්ලයට බදු දීම ගැන ඔහුටත් චෝදනා තිබෙනවා.

ඉතින් ඒ කට්ටිය එක්ක එකට ඇවිල්ලා හොරුන්ට දඬුවම් දෙන්න කතා කරනවා. හැට දෙලක්ෂයෙ ඡන්ද ගැන කතා කරනවා. අවුරුදු දෙකක් ආණ්ඩු බලය තිබුණා. තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය තිබුණා. විධායක බලය තිබුණා. ඒ සියලු බලතල තිබිලා මුකුත් නොකර දැන් ඇවිත් අපට හොරු අල්ලන්න බැරි වුණා, ජනතා අපේක්ෂා ඉටුකරන්න බැරිවුණා කියලා රැලි තියලා මේ කතා කියන්නේ කාටද? ජනතාවට ද? ජනතාව බලය දුන්නෙ ඒකට තමයි. අවුරුදු දෙකකට පස්සෙ නැවත ජනතාව හමුවට ඇවිත් විරෝධතා කරනවා නම් මේක මහ විහිඵවක්. විගඩමක්.


ප්‍රශ්නය:- එක් ඇමැතිවරයෙක් ඉල්ලා අස්වෙද්දී කලින් ඉල්ලා අස් වූ ඇමැතිවරයෙක් පුරප්පාඩු ඇමැති ධූරයේ දිවුරුම් දෙනවා. ආණ්ඩුව දේශපාලන පරමාදර්ශ කීවත් දේශපාලන විචාරකයන් එය විවේචනය කරනවා. රවි කරුණානායකගේ අස්වීම හා තිලක් මාරපනගේ පත්වීම ගැන යමක් කිවහැකිද?
පිළිතුර:- පරමාදර්ශ නම් හොරකම් නොකර ඉන්න ඕනේ. හොරකම් කරනවා කියන්නෙ පරමාදර්ශ නෙවෙයි. යහපාලනයත් නෙවෙයි. හොරකම් කරලා හොරු ආරක්ෂා කරලා අනෙක් පැත්තට අල්ලස් අරගෙන ඒවා අතේ පත්තුවෙලා ඒකට ජනතාවිරෝධය ඇවිත් බිත්තියටම හේත්තු වුණාට පස්සේ ඉල්ලා අස්වුණා. තිලක් මාරපනත් එදා ඇවන්ගාඞ් සිද්ධියේදී නිකන්ම ඉල්ලා අස්වුණේ නෑ. අපේ බලපෑමටයි ඔහුට ඉල්ලා අස්වීමට සිදුවුණේ. රවි කරුණානායකටත් ඒකමයි වුණේ. හැබැයි දැන් වෙලාතියෙන්නේ මොකද්ද? එදා චෝදනාවට ලක්වෙච්ච මාරපන අද විදේශ ඇමැතිකමට එනවා. හෙට අනිද්දා රවි කරුණානායක වෙන ඇමැතිකමක වැඩ බාරගන්න එක අරුමයක් නෙවෙයි. මේවාට පරමාදර්ශ කියනවා නම් ඒවා අපේ චූන් අපිට චූන් කියන පන්නයේ කතන්දර විතරයි.


ප්‍රශ්නය:- මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මන්දගාමී බවටත් අධිකරණ ඇමැති හැටියට විජයදාස රාජපක්ෂ එහි වගකීම ගත යුතු බව ජවිපෙ කිව්වා. ඒකම අද එ.ජා.පය කියද්දී ජවිපෙ මොකද දැන් කියන්නේ?
පිළිතුර:- වංචා දූෂණ නඩු කඩිනම් කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවන බවට මැතිවරණ පොරොන්දුවක් තිබුණා. අඩුම තරමින් විශේෂ අධිකරණ කෙසේ වෙතත් වෙනම අධිකරණයක්වත් පිහිටෙව්වේ නෑ. ඒ සඳහා වෙන් වූ අධිකරණ පිහිටුවලා මේවා කඩිනමින් ඉවර කරන්න යැයි අපි දිගින් දිගටම කිව්වා. ෆීලික්ස් ඩයස් අධිකරණ ඇමැති කාලේ ඉයන් වික්‍රමනායක නීතිපති දෙපාර්තමේන්තුවේ සිටිද්දී වෙනම අධිකරණ දෙකක් පිහිටෙව්වා. මනෝහර හා වික්‍රමසූරිය නමැති විනිසුරුවරුන් දෙදෙනා යටතේ අල්ලස් නඩු ඉක්මණින් ඇහුවා.

ඉතිහාසයෙත් මේවා කරලා තිබෙනවා. මේ ආණ්ඩුවටත් ඒක කරන්න තිබුණා. හැබැයි ආණ්ඩුව කළේ නෑ. දැන් අවුරුදු දෙකහමාරකට පස්සේ තමයි අධිකරණ ඇමැති මේ වැඬේ කළේ නෑ කියන එකත් මතක් වෙලා තියෙන්නේ. ඒක එහෙම වුණේ රවි කරුණානායකට චෝදනා එල්ලවුණාට පස්සේ. රවි හිරවෙනකොට තමයි ආණ්ඩුව හීනෙන් බයවෙලා තියෙන්නේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම මේ ක්‍රියාවලිය නිවැරැදිව සිදු නොවන බව කියමින් ආණ්ඩුව හැටියට මැදිහත් වන්නැයි කිව්වා. දැන් මේක විජයදාස පිටින් යවලා ආණ්ඩුවට ඇඟ බේරාගන්න බෑ.


ප්‍රශ්නය:- නමුත් විෂය බාරකරු හැටියට මූලික වගකීම අධිකරණ ඇමැතිවරයාට නේද?
පිළිතුර:- නැහැ. කැබිනට් මණ්ඩලයට තීන්දු තීරණ ගන්න තිබුණා. එක ඇමැති කෙනෙක් වැඬේ කළේ නෑ කියලා ආණ්ඩුවකට නිකන් ඉන්න බෑ. මොකද අනෙක් දේවල් ආණ්ඩුව එහෙම කරනවනෙ. වරාය විකුණන්න ඕනෑ වුණාම ඇමැතිගෙන් අහන්නේ නෑ. කැබිනට් මණ්ඩලය තීරණ ගන්නවා. ආණ්ඩුව තමන් අතින් වෙච්ච වැරැද්ද විජයදාසගෙ පිටින් යවලා අත පිහිදාගන්න හදනවා. අපට ඒක අනුමත කරන්න බෑ.


ප්‍රශ්නය:- එවැනි විශේෂ අධිකරණයකට ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන නැති බව අධිකරණ ඇමැතිවරයා පවසද්දී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාත් ඊට සමාන තර්කයක් ඉදිරිපත් කරනවා. මෙහි නෛතික පසුබිම ගැන ජවිපෙ දැනුම්වත් ද?
පිළිතුර:- ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්න වෙන්නේ විශේෂ අධිකරණයක් පිහිටුවනවා නම් තමයි. එහෙම නම් වෙනම අධිකරණයක් පිහිටුවන්න. ඒ කියන්නෙ දැන් තිබෙන අධිකරණවලින්. උදාහරණයකට කොළඹ මහාධිකරණ අටක් තිබෙනවා. මේ අල්ලස් දූෂණ වංචා පිළිබඳ නඩු අහන්න ඒ අටෙන් දෙකක් වෙන්කරන්න පු`ඵවන්. උදේ සවස වරු දෙකම නඩු ඇහුවොත් ඉක්මණින් ඉවර කරන්න පු`ඵවන්. නැත්නම් මේවා අවුරුදු ගණන් ඇදෙනවා. එතකොට මේවා අහුවෙන්නේ නෑ කියලා හොරු දන්නවා. හොරුන්ගෙ බය නැතිවෙන්නෙ ඒකනෙ. ඊටපස්සෙ මේ ආණ්ඩුවෙ කට්ටියත් හොරකම් කරනවා. ඒක චක්‍රයක් වගේ දිගටම යනවා. ඒ නිසා හොරකමට බය ඇතිකරන්න නම් වෙනම අධිකරණ පිහිටුවා නඩු ඇසීම කඩිනම් කළ යුතුයි. එය කවුරුවත් විශේෂයෙන් ඉලක්ක කරගත් එකක් නෙවෙයි. ගිය ආණ්ඩුවෙ වගේම මේ ආණ්ඩුවෙ අයගෙ නඩුත් අහන්න පුඵවන් අධිකරණයක්.


ප්‍රශ්නය:- ශිරන්ති රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සී.අයි.ඩීයට යෑම සමඟ නැවතත් ඒකාබද්ධ විපක්ෂ පාක්ෂිකයන් ඒකරාශි කරගත් යම් අඬෝවැඩියාවක් මතුවෙනවා. දේශපාලන පලිගැනීම් සිදුවන්නේය යන සටන් පාඨය මතුවෙනවා. නෛතික ක්‍රියාවලි සමඟ පැටලෙන මේ දේශපාලනය මිනිස්සු තේරුම්ගන්නෙ කොහොමද?
පිළිතුර:- මේ රටේ ඉතාම දක්ෂ දීප්තිමත් රගර් ක්‍රීඩකයකු වූ වසීම් තාජුඩීන් ඉතා පැහැදිලි ලෙසම ඝාතනය කළා. අධිකරණයෙන්ම එය ඝාතනයක් බව හෙළි වුණා. එය මේ රටේ කුප්‍රකට රහසක්. පැහැදිලි ලෙසම මිනීමරුවන් හොයන්න ඕනෑ. ඉතින් පරීක්ෂණයට අදාළව ප්‍රශ්න කරද්දී ඒවාට දේශපාලන පලිගැනීම් කියන්න බෑ. එහෙම වුණොත් කිසිම පරීක්ෂණයක් කරන්න වෙන්නේ නෑනෙ. ඇත්තටම ඔය රජ ගෙදර රජ කුමාරවරුන්ට එදා තිබුණේ තාජුඩීන් සමඟ ඊර්ෂ්‍යාවක්. මෙතැන ඉතාම සාහසික මිනී මැරුමක් සිදුව තිබෙනවා. ඒ මිනීමරුවා හොයද්දී දේශපාලන පලිගැනීම් සටන් පාඨ ඉස්සහරට දාගෙන කෑ ගැහුවාට ඒකට නම් ඉඩදෙන්න බෑ. මේ දේශපාලනය සාමාන්‍ය ජනතාව දැන් දන්නවා.


ප්‍රශ්නය:- පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුට පහරදීමට උත්සාහ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමග පොලිස්පතිවරයාගේ විනය සම්බන්ධයෙන් විශාල විවාදයක් හටගෙන තිබෙනවා. මෙය බරපතලව ගත යුතු කරුණක් නොවේද?
පිළිතුර:- ඊනියා යහපාලනයෙන් සියල්ල කඩාවැටෙද්දී එක ආයතනයක් විතරක් හොඳ වෙන්නේ නෑ. ආණ්ඩුව පරාභවයට යද්දී ඒ යටතේ ඇති දෙපාර්තමේන්තු විතරක් ඉතිරි වෙන්නේ නෑ.


ප්‍රශ්නය:- එහෙත් එතැනින් ඔබ්බට ඇති පියවර ගැන අසද්දී ව්‍යවස්ථා සභාව කියන්නේ එය පොලිස් කොමිසමට බාර බවයි. පොලිස් කොමිසම කියන්නේ එවැන්නකට බලයක් නැති බවයි. එතකොට මේ සිද්ධියෙන් එළියට පනින්නේ 19 වැනි සංශෝධනයේ අවුලක් ද?
පිළිතුර:- ව්‍යවස්ථා සභාවට තිබෙන්නේ පත්කිරීමේ බලය විතරයි. විනය පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ඊට බලයක් නෑ. ඒක 19 වැනි සංශෝධනය අනුව ගත්තත් ඊට පෙර පැවැති 17 වැනි සංශෝධනය අනුව ගත්තත් එහෙමයි. විනය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය තිබෙන්නේ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ටයි.

දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ විනය කඩවෙද්දී පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙනැල්ලා ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තිබෙනවා.  භාවනා වැඩීමට වෙනම චක්‍රලේඛයක් නිකුත් කිරීම මේ සියල්ලට හේතු වී තිබෙනවා. ආගමික කරුණක් අරභයා මෙවැනි චක්‍රලේඛ නිකුත් කළ හැකිද? ඇත්තවශයෙන්ම මේවා ආගමික නායකයන්ගේ වැඩකටයුතු මිස රජයේ දෙපාර්තමේන්තුවල වගකීම් නෙවෙයි.


ප්‍රශ්නය:- නව මුදල් ඇමැතිවරයා පැමිණි විගස අන්තර්ජාල හා රථවාහන බදු අඩු කර තිබෙනවා. ඇමැති මාරුව සමඟ ජනතාවට යහපතක් වෙලා යැයි ජවිපෙ පිළිගන්නවාද?
පිළිතුර:- හැමදාම අලුත් ඇමැති කෙනෙක් ආවම ජනප්‍රිය වෙන්න පොඩි පොඩි සිල්ලර වැඩ ටිකක් කරනවා. හැබැයි ටික දවසක් යද්දී ආපහු ගේම ගහන්න පටන්ගන්නවා. රවි කරුණානායකත් ආපු ගමන් දාපු බජට් එක ඔයිට සමාන එකක්. එදත් පොඩි පොඩි දේවල් අඩු කළා. පස්සේ තමයි දෙන්න පටන්ගත්තේ හොම්බෙන් යන්න. දැන් මංගල ඇමැතිවරයාත් පොඩි පොඩි දේවල් ටිකක් දීලා අලුත් බදු පනතක් ගේන්න යනවා. ඒකෙන් මෙච්චර කල් බදු ගහපු නැති අයටත් බදු ගහනවා. පුණ්‍යායතනවලටත් බදු ගහනවා. විදෙස්ගත ශ්‍රමිකයන්ටත් බදු ගහනවා. මෙච්චර කල් එහෙම තිබුණේ නෑ. මේ යටතේ හැමෝටම බදු අංකයක් තිබෙනවා. මේක මහ බරක් පටවන පනතක්. සිල්ලරට දීලා තොගේට හොයන්නයි හදන්නේ.


ප්‍රශ්නය:- විදෙස්ගත ශ්‍රමිකයන් මත බදු පැනවීමක් නොවන බවට මුදල් රාජ්‍ය ඇමැතිවරයා සහතික වුණා නේද?
පිළිතුර:- නමුත් දැනට ඉදිරිපත් කර ඇති කෙටුම්පතේ වගන්ති තිබෙනවනෙ. ඔහු කියනවා නම් පාර්ලිමේන්තුවට ගෙනෙද්දි ඒක අයින් කරගනීවිද කියලා අපි බලමු.


ප්‍රශ්නය:- පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය ඔක්තෝබර් නොවැම්බර්වල නිකුත් වෙන බව මහින්ද අමරවීර ඇමැතිවරයා කිව්වත් රාජිත සේනාරත්න ඇමැතිවරයා කියන්නේ සියල්ලට පෙර එන්නේ ජනමත විචාරණයක් බවයි. විශ්වාස කළ හැක්කේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ද? එ.ජ.නි.ස ලේකම් ද?
පිළිතුර:- කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හැටියට රාජිත කියන කතා සත පහකට විශ්වාස කරන්න බෑ. ඇට නැති දිව එහාට හරවනවා. මෙහාට හරවනවා. අද කියන එක හෙට එහෙම නෙවෙයි කියනවා. සරත් ෆොන්සේකා මොකද්ද බළකායක ප්‍රධානියා කරනවා යැයි රාජිත කිව්වා. මම එහෙම කිව්වේ නැතැයි ජනාධිපති හැරෙන තැපෑලෙන් කිව්වා. ඔහු කියන දේවල් නම් වලංගු ප්‍රකාශ නෙවෙයි. අපි දන්න හැටියට නම් පළාත් පාලන මැතිවරණයක් තමයි එන්නේ. ජනමත විචාරණයක් ගැන වටපිටාවක් පේන්න නෑ. ඒ සඳහා වූ ව්‍යවස්ථා කෙටුම්පතක් තවම හදලත් නෑ. ජවිපෙට අනුව නම් රාජිතගේ ප්‍රකාශ නිකන් හිස් කතා විතරයි.


ප්‍රශ්නය:- විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව ඉටු නොකර සද්ද නැතිවව සිටීමට ජනාධිපතිවරයාට අයිතියක් නැතැයි ජවිපෙ කියනවා. මේ ගැන ශ්‍රීලනිපයෙන් කටයුතු කරන කමිටුවේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා කියන්නේ වෙන කතාවක් නේද?
පිළිතුර:- විධායක ක්‍රමය අනිවාර්යෙන් අහෝසි කරනවා කියලා පොදු අපේක්ෂකයා හැටියට පොරොන්දු වුණේ මෛත්‍රිපාල සිරිසේන මහතායි. ආපහු සැරයක් විධායක ජනාධිපතිවරණයකට එන්නෙත් නෑ කිව්වා. ඒ නිසා අපිට නිමල් සිරිපාලගේ කතා වැඩක් නෑ. මොකද ජනතාවට පොරොන්දු දුන්නේ එයා නෙවෙයි. ජනවරම ලැබුණේ මෛත්‍රීටයි. විධායක ජනාධිපති ධූරය අහෝසියට ජනවරමක් තිබෙනවා. තෝල්කයෝ පැත්තකට දාලා මේකට උත්තර බඳින එක ජනාධිපතිගේ වගකීමයි. සෝභිත හාමුදුරුවන්ගේ දේහය ඉදිරිපිට සපථ කරලා පොරොන්දු වුණේ ඔහුයි. නිමල් සිරිපාලලා, එස්.බී දිසානායකලා, ජෝන් සෙනෙවිරත්නලා දැන් මේ වෙන වෙන පාරවල්වල යන්න හදනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වෙන එකක් යැයි කියන්න හදනවා. ජන වරම දුන්නේ ජනතාව පක්ෂයක් බලලා නෙවෙයි. පොදු අපේක්ෂකයාටයි. ඒකට සිරිපාල උත්තර දීලා වැඩක් නෑ. මේක කරනවාද නැද්ද කියන එක ජනතාවට කෙළින් කිවයුත්තේ පොදු අපේක්ෂක සිරිසේන මහතායි.