ඔන්ලයින් ඔස්සේ යාමෙන් වල්මත් වූ දරුවෝ


අපේ රටේ පාසල් දරුවෝ මේ වනවිට මාස 15 ක් තිස්සේ පාසල් ගොස් නැත. එය දීර්ඝ කාලයකි. වසරකට පසු පසුගිය අප්‍රේල් මාසයේ පාසල් යලි ආරම්භ කළත් ඒ සමගම හමා ගිය තුන්වන කොවිඩ් රැල්ල විසින් යළිත් වතාවක් පාසල් වසා දමන ලදි. එතැන් සිට යළි මාස දෙකක් ගතවී හමාරය.

මේ  වසරකුත් මාස තුනක් පමණ වු කාලයේ දරුවෝ ඉගෙන ගත්තේ තාක්ෂණය ඔස්සේය. සැබැවින්ම සියලු පාසල් දරුවන් ඉගෙන ගත්තේ ද? ඔවුන්ට ඒ  සඳහා පහසුකම් තිබුණේද?

දිවයිනේ බොහෝ  පළාත්වලින් ඇසෙන්නේ කොළඹට කිරි අපට කැකිරි කතාය. දරිද්‍රතාව, පහසුකම් නොමැතිවීම තාක්ෂණයේ නොදැනුවත් බව මේ දරුවන්ට බලපා තිබේ.

හැම දරුවන්ටම ස්මාට් දුරකතන නැත. කෙසේ හෝ ණයක් තුරහක් වී දුරකතනයක් අරන් දුන්නත් ඉන් අනතුරුව දුරකතන සංඥා නැතිකම හරස්වෙයි. එතැනින් නොනැවතී දුරකතනයයට ඩේටා දමා දෙන්නට මව්පියන්ට මුදල් නැත. මෙකී නොකී බාධක මැද දරුවෝ කීයෙන් කී දෙනෙක් නිසි පරිදි අධ්‍යාපනය ලැබුවේ දැයි නිශ්චිත පරිදි සොයාගත යුතුය.

මේ තත්ත්වය පිළිබඳව මුල සිට විමර්ශනයක යෙදෙන ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සමනිර්මාතෘ ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය ඔන්ලයින් අධ්‍යාපනය ගැන මෙසේ කීවාය.

විදුලි සංදේශ නියාමන කොමිසමේ වාර්තා අනුව 2018 වනවිට මෙරට ජනගනයෙන් 48 % කට ස්මාට් දුරකතන තිබිණි. ඒත් අන්තර්ජාල සම්බන්ධතා ගැනිමේ හැකියාව තිබුණේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 34% කට පමණයි. කොවිඩ් ව්‍යසනය පටන් ගත් මුල් කාලයේ පාසල් තුල ඔන් ලයින් අධ්‍යාපනය ගැන කතාව ආරම්භ වෙද්දීම මේ දත්ත අප අධ්‍යාපන බලධාරින්ට දුන්නා.

ඔන්ලයින් අධ්‍යාපනය වර්ග තුනක් තියෙනවා. එකක් පන්ති කාමර අත්දැකීම්. මෘදුකාංග භාවිතය. ඒ අය තමයි සූම් තාක්ෂණයෙන් එහෙමත් නැතිනම් වට්ස් ඇප් හරහා ඉගෙන ගන්නේ. එයට අද හැකියාව  ඇත්තේ පාසල් දරුවන් අතරින් 5% කට පමණයි.

ඊළඟ කණ්ඩායම නිවසේ සිට අධ්‍යාපනය ලබන ළමයි. මේ පාසල් දරුවන් අතරින් 45% ක් සමාජ මාධ්‍ය හරහා පැවරුම් ලැබෙනවා.

තුන්වන කණ්ඩායම, එනම් ඉතිරි 50% තමයි මේ ඔන්ලයින් පාඩම් ඉගෙන ගැනීමට නියම අවස්ථාවක් නැති පිරිස. ඒ විදිහට ක්‍රමයෙන් ඉගෙන ගනිද්දි විශාල පිරිසක් හැලෙනවා. එයාල ගැන බලන්න ඕන.

නවීන තාක්ෂණය ඇත්තේ 10% කට පමණයි. නවීන තාක්ෂණය තිබුණත්, ළමයින්ට ඊට අදාළ මෙවලම් දෙන්න ඕන. නමුත් මධ්‍යම රජයට එය තීරණය කරන්න බැහැ. තාක්ෂණයට යන්න කලින් එක පෑන් පහරකින් කළ හැකි දේවල් තිබෙනවා. බලධාරින් අන්න ඒවා කළ යුතුයි.

රජයේ පාසල් පද්ධතියෙන් 50% ම සම්පූර්ණ සිසුන් සංඛ්‍යාව 200 ට අඩුපාසල්. පාසල් පද්ධතිය එකවර අරින වහන එක වැරදියි. පහුගියමාස 15 දි ඒ ඒ පළාත්වල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කමිටුව ග්‍රාම නිලධාරි කමිටු සමග තීරණ අරන් ජෛව බුබුලක් ලෙස දරුවන් පාසල්වලට ගෙන්වා ගන්න පියවර ගන්න  තිබුණා. එය සිදුවුණේ නැහැ.

ගුරුවරයා හා සිසුවා අතර අඛණ්ඩ සබඳතාවක් තිබිය යුතුයි. හැම නිවසකම පාහේ ස්මාර්ට් දුරකතන නැතත් කවර හෝ ජංගම දුරකතනයක් තිබෙනවා. ගණන් බලා ඇති අන්දමට මෙරට නිවාසවලින් 96% ක..ම කවර හෝ දුරකතනයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිසුන් 16 කට ගුරුවරුන් එක් අයෙක් බැගින් සිටිනවා. එසේ නම් ගුරු ‍ගෝල කතාබහක් සතියකට වරක් හෝ පැවැත්වීම කළ හැකියි. එහිදී සිසුවාගේ ශාරිරික හා මානසික තොරතුරු විමසිය හැකියි. 

අධ්‍යාපන අමාත්‍යංශ්‍යට ඇයි විධානයක් අරින්න බැරිවුණේ ග්‍රාම නිලධාරි කමිටු සක්‍රිය කර ළමයි ගැන ‍සොයා බලන්න කියා. ඒ වගේම අමාත්‍යංශයට තිබුණා හැම ගුරුවරයෙකුටම ළඟම ඇති පාසලට වාර්තාකරන්න කියා නියෝග කරන්න. එවිට ළඟම ඇති පාසලත් සමග හැම  ගුරුවරයෙකුටම ක්‍රියාකාරි වෙන්න තිබුණා. හැම දරුවෙකුම සතුටින් ඉන්නවාද, කෑම කෑවද, පාඩමක් කරන්න කැමතිද, මොනවද තියෙන ප්‍රශ්න  වගේ දේවල් අහන්න තිබුණා.

මධ්‍යම රජය පාසල් පාදකව කටයුතු කළ යුතුයි. පාසල් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සෞඛ්‍ය‍ වෛද්‍ය නිලධාරි කාර්යාල එක්ව ගුරුවරුන් ද ළඟම පිහිටි පාසලේ සේවය කරන්නට වැඩ පිළිවෙලක් හදා ගත්තා නම් කොයිතරම් අගේද?

අපේ රටේ විෂය මාලාවන් පුදුම තරම් කරුණුපටවලා තියෙන්නේ. හැම එකක්ම විභාග. ගුරුවරු උගන්වන්නෙත් විභාගවලට, නමුත් මේ වෙලාවේ අත්‍යවශ්‍ය කරුණු පමණක් ඉගැන්විය යුතුයි අමාත්‍යංශ්‍යට තිබුණා අත්‍යවශ්‍ය විෂයයන් ලකුණු කරල එවන්න. එහෙම කරල ගුරුවරුන්ට හැකියාව ඇති පරිදි අත්‍යවශ්‍යම විෂ්‍යයන් පමණක් උගන්වන්නට කටයුතු කරන්න තිබුණා.

මේ වෙලාවේ අධ්‍යාපන අමාත්‍යංශය ගුරුවරුන්ගෙන් විෂය මාලාව ආවරණය කළාද කියා ඇසීම වැරදියි. සාමාන්‍ය කාලයකදීත් ආවරණය කර අවසන් කරන්නට අමාරු විෂය මාලාව මේ වගේ කාලෙක අවසන් කරන්නේ කොහොම ද ? ඒවා අඩු කරන එකත් එක පෑන් පහරකින් කළ හැකි දෙයක්.

දැනට සිදුවන කේන්ද්‍රිය කළමණාකරණය අනවශ්‍ය එකක්. සිදුවිය යුතු කුඩා ඒකවලින් කළමණාකරණය කිරිමයි.

ඒ ව‍ගේම සූම් තාක්ෂණය ඔස්සේ හෝ වට්ස්ඇප් ඔස්සේ උගන්වද්දි පන්තිකාමරයේ දුන්නා වගේ විශාල සටහන් ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. පෙ‍ළපොත් ඇසුරින් ක්‍රියාකාරකම්, නැත්නම් මෘදුකාංග ඇසුරින් ක්‍රියාකාරකම් ඒ වගේම ගුවන් විදුලිය හෝ රූපවාහිනියේ සහාය ලබාගෙන ක්‍රියාකාරකම් කළ හැකියි.

සමහර විෂයයන්වලට අවධානය යොමු කිරීමත් අවශ්‍යයි. මේවා ගැන සිතා නොබලා එක පෑන් පහරකින් ගත හැකි තීරණ අමතක කරල, අධ්‍යාපන බලධාරින් හිටි ගමන් නින්දෙන් ඇහැරිලා වගේ අපි මෙවලම් දෙනව කිව්වට තාක්ෂණය සමග යන්නේ 10% පමණ පිරිසක් බව  අමතක නොකල යුතුයි.

ඒ නිසා මේ ප්‍රශ්නයට පිළිතුරු සොයද්දී තාක්ෂණයෙන් තොර විසඳුම් (Offline answers) සෙවිය යුතුයි. සාමාන්‍ය ඇනලොග් දුරකතනයකින් කළ හැකි වැඩ එහෙම නැත්නම් ප්‍රජාමූල විසඳුම් සොයා ගත යුතුයි. අධ්‍යාපන බලධාරින් පාසල් වයසේ සිටින හැම දරුවෙකුටම වගවිය යුතුයි.

මධ්‍යගත කරල ලොකු ව්‍යාපෘති කළාම ලාබ බඩු එන්න තියෙන අවස්ථා වැඩියි. විමධ්‍යගත කරල කලාප මට්ටමින් කරන ව්‍යාපෘති සාර්ථකයි. කවර අධ්‍යාපන ව්‍යාපෘතියක දී වුවත් ළමයින්ට යවන තොරතුරු ඉතා වැදගත් ඒවා විය යුතුයි.

දෙමව්පියන්ගේ පැත්තෙන් සිදුවිය යුතු යුතුකම් ටිකක් තියෙනවා. ඒකත් මතක් කළ යුතුයි.

සමවයස් දරුවන් අතර කෙළි දෙලෙන් හිටි දරුවන් ‍දැන් ගෙදරටම කොටු වෙලා. දරුවන්ගේ මානසික සුවයට, ශාරීරික ව්‍යායාමවලට මුල් තැනක් දෙන්න. දෙවනුව මව් බසට ගණීතයට අවධානය යොමු කරවන්න. හැකියාවක් ඇත්නම් විනෝදාංශයක් ලෙස කියවන්න හුරු කරන්න. 

ඒ වගේම ඉංග්‍රිසි දෙමළ දියුණු කර ගන්න උනන්දු කරන්න. ඒ භාෂාවලින් පොත් පත් වීඩියෝ බලන්න දෙන්න. සින්දු අහන්න දෙන්න. ගෙදර දොරේ වගකීම් බාර දෙන්න. පොතේ දැනුමට වඩා ඒ අත්දැකිම් වටිනවා. අනෙක් විෂයයන් අල්ලා ගන්න පුළුවන්.”

මේ අධ්‍යාපනය පිළිබඳ හසල පර්යේෂනාත්මක දැනුමක් ඇති වියතුන්ගේ හඬය. ඒ හඬටත් සවන් යොමු කරන්නැයි අප අධයාපන බලධාරින් ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. ඒ මේ රටේ හෙට දවස බාරගන්නට සි‍ටින දරු පරපුර වෙනුවෙනි.

ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම නිර්මාතෘ ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය සදහන් කළ කරුණු ඇසුරින් සකස් කළේ

විනීතා එම් ගමගේ