තම කාරිය නිමවා වේලාසන ඔහු පිටත්ව ගියේය. ඒ පසුගිය වසරේ පෙබරවාරි විසිහතර වැනිදාය. තම කාරිය නිමවා, මතකය රඳවා යන්නම යන්න ගිය මාධ්‍ය සගයන් අතරට ඔහු ද එක් විය.
ඒ බන්දුල පද්ම කුමාරය...!
බන්දුල මල් පත්තරකාරයකු ලෙසින් හැඳින්වූවෝ ඔහු මාධ්‍ය තුළ කළ නිහඬ පෙරළි දැක නිහඬ වූහ. මේ මල් පත්තරකාරයා ලේක් හවුසියේ මුල් පුටුවට ගියේය. වැඩ දන්නා අයගෙන් වැඩ ගැනීමේ හිතාදර උපාය මාර්ග ඔහු ළඟ තිබිණි. සිනාවකින් සියල්ල බාරගත් බන්දුල විද්‍යුත් මාධ්‍යයක, මාධ්‍ය ප්‍රකාශකයකු වූයේ දවසේ පත්තර පළ කළ විස්තර රටට කියන්නටය. මුල් පිටුවට ඇස ගියේ හිත ගියේ දේශපාලකයන්, වෘත්තිකයන්, කලාකරුවන්ගේ පමණක් නොව සාමාන්‍ය ජනයාද බන්දුල ‘මුල් පුටුවෙන්’ කළ මෙහෙවර සමග එක්විය.
පාසල් වියේදීම සිනමාව ගැන ඇල්මක් උනන්දුවක් ඇතිව සිටි බන්දුල සිනමාව, වේදිකාව නළු නිළියන්, ගායක ගායිකාවන් වෙනුවෙන්ම පුවත්පතක් සැකසුවේය. සිනමාවට ගීතයට ආදරය කළ බන්දුල පද්ම කුමාර ඒ ක්ෂේත්‍රවල ආරක්ෂකයකු ලෙසත් පෙනී සිටියේය.
මාධ්‍යකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසියම් දෙයක් කිරීමේ ඕනෑකම ඔහුට තිබිණි. මාධ්‍යකරුවන්ගේ එකමුතුවක් ගොඩනගා එහි ක්‍රියාකාරි සාමාජිකයෙක්ද වූයේය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කර්තෘ සංසදය පිහිටුවීමේලා පුරෝගාමියෙක් වූයේය.
සිනමාවට ගීතයට ආදරය කළ බන්දුල පද්මකුමාර එම ක්ෂේත්‍රවල ආරක්ෂකයකු ලෙසින් පෙනී සිටියා පමණක් නොව එම ක්ෂේත්‍රවල නියැළුණු කලාකරුවන්ගේ ගැටලු ගැනද අවධානය යොමු කළේය. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් ඈත් වූ බන්දුල දේශපාලන පුවත්පතකට ද අත ගැසුවේය.
වැඩකිරීමෙන් වෙහෙසට පත් නොවන හේතුව බන්දුල තුළ තිබූ ඕනෑකමයි. ඒ ඕනෑකම ඔහුගේ පවුලේ කටයුතු අතපසු කිරීමට අවසර දුන්නේ නැත. බිරිඳ සමන්මලී ඔහුගේ පිළිවෙත් හොඳින් දැන සිටියාය. ඔවුනගේ මුතු දියණියත් හිරු පුතණුවනුත් ඔහුගේ මව මෙන්ම තම පියා හොඳින් හඳුනාගෙන සිටියහ.
පාන්දර තුනේ සිට අලුත් දවසේ වැඩ ආරම්භ කරන බන්දුල ශාරීරික වෙහෙසක් සමග ඇයි හොඳයියක් පැවැත්වූයේ නැත. වැඩ කිරීමම ඔහුගේ ජීවිතය විය. ජීවිතයේ සතුට විය. සියල්ල අතහැර නිදහස් මිනිසකු ලෙස පිටත්ව යාමට ඔහුට ශක්තිය දුන්නේ වැඩෙහි යෙදීමෙන් ඔහු ලැබූ සතුටයි.... තෘප්තියයි.
ඔහුගේ ඇසුරෙන්, ඔහුගේ සේවයෙන් ආස්වාදයක් ලැබූ හදවත්වල ඔහු පිළිබඳ මතකය ඔහු නික්ම ගොස් වසරක් පිරෙන දා යළි අලුත් වනු ඇත ! අපිත් ඔබ සිටින තැනට කවදා හෝ එන්නෙමු. නැත්නම් අපි ඔබ එන තෙක් බලා සිටින්නෙමු.
කරුණා පෙරේරා