අනුපාප්තක ජනාධිතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත්වී මාසයකට අධික කාලක් මේ වනවිටත් ගතවී ඇත. ඔහු ජනාධිපති තනතුරට පත්වීමෙන් පසු මුලින්ම කළේ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමය. ඒ සමගින් අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර මීළඟ මාස 04 සඳහා අන්තර්වාර අයවැයක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හරය වන්නේ 2019 වර්ෂයේ 69 ලක්ෂයක් ජනතාව අනුමැතිය දුන් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සහ පනස්දෙලක්ෂයක් ඡන්දය දුන් සජිත් ප්‍රේමදාස ප්‍රතිපත්ති ප්‍රකාශය වලංගු නැති බව ප්‍රකාශ කිරීමය.
දැන් රටට වලංගු ප්‍රතිපත්තිය වන්නේ පසුගිය මහ මැතිවරණයේදී ජනතාවගෙන් එතරම් පිළිගැනීමක් නොලැබූ එ.ජා.පයේ මැතිවරණ පොරොන්දු පත්‍රය දැයි මා දන්නේ නැත. රටේ ජනමතය සහ රට කරවන ප්‍රතිපත්ති මාලාව අතර අහසට - පොළෙව තරම් පරස්පරයක් ඇති බව නම් ඉතාමත් පැහැදිලිය.
මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ මේ එක ප්‍රතිපත්ති ප්‍රකාශයක් වත් ගැන නොවේ. එවායේ හොඳ - නරක කවරේදැයි විමර්ශනය කිරීමටත් නොවේ. මෙවර මා සාකච්ඡා කරන්නේ වර්තමාන රාජ්‍ය පාලනයේ තිබෙන ‘‘එකක් කියා තව එකක් කිරීමේ ’’ තත්ත්වය පිළිබඳවය. වෙනත් ලෙසකින් පැවසුවහොත් කතාවෙන් කියන දේ සහ ක්‍රියාවෙන් කරන දේ අතර තිබෙන වෙනස පිළිබඳවය.
පැරණි සිංහල කියමනකින් පැවසෙන පරිදි ආණ්ඩුවේ තිබෙන ‘කතාව දෝලාවෙන් - ගමන පයින්’ ප්‍රතිපත්තිය පිළිබඳවය. මේ පිළිබඳව සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත් කාරණයක් වන්නේ වත්මන් ආණ්ඩුව යනු යම් ආකාරයක විකෘති ව්‍යාපෘතියක් වන නිසාය. එය විකෘතියක් යැයි කියන්නේ වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයා පමණක් නොව සම්පූර්ණ ආණ්ඩුවම පදනම් වන්නේ 2020 මහ මැතිවරණ ජනවරම මත නිසාය.
2019 ජනාධිපතිවරණ ජනවරම ඉවතට විසිකරන්නට සිදුවී ඇති අතර 2020 මහ මැතිවරණ ජනවරමින් ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් පත් කරන්නට සිදුවී ඇති බව ඉතාමත් පැහැදිලිය. ජනතාව පාරට ආවේ 2019 ජනාධිපතිවරණ ජනවරමට එරෙහිව බැව් පිළිගන්නා ගමන් 2020 මහ මැතිවරණයේ ජනවරමට කිසිදු බලපෑමක් සිදුවී නැතැයි සිතන්නට සමහරුන් උත්සාහ ගන්නා බව පෙනී යන කාරණයකි. මේ සිතීමට පදනමක් ඇතැයි මා සිතන්නේ නැත.
කටින් බලතකොළ හිටවන ආර්ථිකය
ආර්ථිකය පිළිබඳව සමහර නායකයන් කතා කරන්නේ කටින් බතල හිටවන ආකාරයටය. ජනාධිපතිවරයාගෙන් පටන් ගතහොත් ඔහු ඇතුළු ආණ්ඩුවේ සමහරුන් මුලින් කීවේ ආර්ථිකය ගොඩ ගන්නට‘‘ හොඳ ප්ලෑන් එකක්’’ ඔවුන් ළඟ තිබෙන බවය. ජපානය, ඇමරිකාව ඇතුළු සමහර රටවල් බලා සිටින්නේ තමන් යටතේ ඇති ආණ්ඩුවක් පත්වෙනතුරු යැයි ඉඟි කළ අවස්ථා ද බොහෝ විය.
එහෙත් පසුගිය ජුනි මාසයේ සිට මේ දක්වාම ආර්ථික ක්ෂේත්‍රයේ බරපතළ අලුත්වීමක් පෙන්නුම් කළේ නැති බව මගේ අදහසය. අප මුහුණ දෙමින් සිටින්නේ ඉතාමත් අපහසු හා සංකීර්ණ ආර්ථික ගැටලුවකට බව ඉතාමත් පැහැදිලිය. එහෙත් ඒ ගැටලු සහගත තත්ත්වයෙන් ගැලවීමට ශක්තිමත් පියවර ගනිමින් සිටින බවක් පෙනෙන්නේ නැත. කියන තරම් ශක්තිමත් එකතු කිරීමක් ආර්ථික ක්ෂේත්‍රයේ සිදුවන්නේ නැති බව මාගේ අදහසයි.
ආර්ථික වර්ධනය බරපතළ අකාරයෙන් සංකෝචනය වන බව ඉතාමත් පැහැදිලිය. ලංකාවට ආධාර දෙන රැස්වීමක් ජපානය විසින් පවත්වනවා යැයි මාධ්‍යවල වාර්තා වුණ ප්‍රවෘත්තියක් සත්‍යයෙන් තොර එකක් බව ඒ රට විසින් නිවේදනය කරනු ලැබ ඇත. වෙනත් ද්විපාක්ෂික ආර්ථික එකඟතා ගොඩ නැගෙන බවක් පෙනෙන්නේ ද නැත. චිනය සහ ඉන්දියාව සමග අපේ රටේ සම්බන්ධතාව ද තිබුණට වඩා අඩු වුණා මිස වැඩි දියුණුවක් ලබා නැති බව මගේ අදහසය.
ඒ නිසා ආර්ථික ක්ෂේත්‍රයේ වර්ධනය ගැන ආණ්ඩුවේ ප්‍රධානීන් සිදුකරන කතා සහ රටේ සිදුවෙමින් පවතින දේවල් අතර බරපතළ වෙනසක් ඇති බව ඉතාමත් පැහැදිලිය.
පුංචි ඇමති මණ්ඩල මිථ්‍යාව
මීළඟ වැදගත්ම කාරණාවක් වන්නේ ඇමති මණ්ඩලය සම්බන්ධව ආණ්ඩුව කියන දේ සහ කරන දේ අතර තිබෙන වෙනසය. මුලින්ම ජනාධිපතිතුමා කීවේ මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කරන බවය. ඊළඟට කිවේ සර්ව පාක්ෂික ඇමැති මණ්ඩලයක් ඇති කරන බවය. ඊළඟට කිවේ බහුපාක්ෂික ඇමැති මණ්ඩලයක් හදන බවය. එහෙත් දැන් සිදුවෙමින් පවතින්නේ මේ එකක්වත් නොවේ. හතළිහකට ආසන්න රාජ්‍ය ඇමති මණ්ඩලයක් පත් කරන්නේ ඉහතින් කී සර්ව පාක්ෂික සහ බහු පාක්ෂික පදනම් වලින් ඉවත් වීමෙන් පසුවය.
මේ රාජ්‍ය ඇමති මණ්ඩලය මූලික වශයෙන්ම පොහොට්ටුවේ ඈයන්ගෙන් පිරුණු එකක්ය. ඒ කණ්ඩායමට ඇමැතිකම් ලබාදීම පසුගිය පාර්ලිමේන්තු ජනාධිපතිවරණයේ දී ලබාදුන් පොරොන්දුවක් දැයි මා දන්නේ නැත. එහෙත් මේ වැනි බරපතළ ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවක රාජ්‍ය ඇමතිවරුන් හතළිහකට කිට්ටු ගණනක් පත් කිරීම කිසිම ආකාරයකින් සාධාරණීකරණය කරන්නට හැකියාවක් නැත.
රටේ මිනිසුන් ඉල්ලන්නේ වැඩි වැඩියෙන් ඩොලර් ගෙන එන ලෙසය. එහෙත් ආණ්ඩුව කරන්නේ වැඩි වශයෙන් ඇමතිවරු පත් කිරීමය.‘‘කියන කොට එකක්. කරන කොට තව එකක්’’යැයි කියමනක් ද පැරැන්නන් අතර තිබේ. මේ කරන්නේත් ඒ වගේ එකක් නොවේදැයි ඇසිමේ කිසිදු වරදක් නැත. මේ මොහොතේ රට මුහුණ දෙන ආර්ථික අර්බුදය නොසලකා හරිමින් ඇමැති මණ්ඩලය පිරවීමෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව කියන්නේ එකක් සහ කරන්නේ තව එකක් මිස වෙන දෙයක් නොවේය.
IMF ගිවිසුම
මා කියන මේ දෙබිඩි ක්‍රියා කලාපයට තවත් එක් නිදර්ශනයක් වන්නේ IMF සංවිධානය සමගින් එකඟවී ඇති ගිවිසුම පිළිබඳව රටට සත්‍ය කරුණු නොකියවීමය. මේ මොහොතේ රටේ ආර්ථික අර්බුදය පියවීමටIMF සහාය අත්‍යවශ්‍ය බව සැබෑවක්ය. විශේෂයෙන් නිසි අවස්ථාවේ IMF සහය ලබා ගන්නට කටයුතු නොකිරීම පසුගිය ආණ්ඩුවේ තිබු ගැටලුකාරිත්වයක් බවද පැහැදිලිය. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තුන්වැනි ආණ්ඩුවIMF සහාය ගැනීමට තීරණය කිරීම වැදගත් කාරණයක්ය.
වත්මන් ආණ්ඩුව ගිවිසුම්ගත වෙන්නේ ඒ වෙලාවේ ආරම්භ කළ IMF සම්බන්ධතාවයමය. මෙවර පෙන්නුම් කරන බරපතළ කාරණයක් වන්නේ, රජය සහ IMF අතර අත්සන් කරපු එකඟතාවේ මූලික කරුණුවත් රට හමුවේ හෝ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් නොකිරීමය.
IMF සමග සාකච්ඡාවල මීළඟ පියවර සඳහා මේ ගිවිසුම පදනම් වෙන නිසා එහි කරුණු සමාජගත නොකළ යුතු බව සමහරුන්ගේ මතයයි. එය නිවැරැදි අදහසක් නොවේ. 2018-22 කාලයේ ආර්ථිකයේ සමහර තීරණ ගත්තේ මේ ආකාරයටය. ඒ තීරණ පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් කළේ නැත.
එක් අවස්ථාවක වර්තමාන ජනාධිපති වික්‍රමසිංහ මහතා එවකට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගෙන් IMF සමඟ හුවමාරු කළ නිල නිවේදන ප්‍රසිද්ධියේම ඉල්ලා සිටි බව සමහරුන්ට මතකය. එදා වික්‍රමසිංහ මහතා ගත් ස්ථාවරය නිවැරැදිය. එහෙත් වර්තමානයේ රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයා ලෙසින් IMF සමග ගිවිසුම් ගත වූ දේවල්වල සාරංශයක්වත් රට හමුවේ නොතබන්නේ මන්දැයි ඇසිය යුතුය. කතාව තරම් ක්‍රියාකාරිත්වය ප්‍රගතිශීලි නැතැයි සමහරුන් කියන්නේ මේ නිසා විය යුතුය.
පාර්ලිමේන්තු කමිටු පත් කිරීම
පාර්ලිමේන්තුවේ තිබෙන පසු විපරම් කාරක සභා අතරින් ප්‍රධාන දෙකක් වන කෝප් (COPE) සහ කෝපා (COPA) කමිටු තවමත් පත් කොට නැත. ඒ කමිටුවලින් සිදුවන්නේ විධායකයේ කටයුතු හෙවත් රාජ්‍ය පාලනයේ කටයුතු පසු විපරම් කිරීම්ය.
පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසයක් නොමැති ජනතාව යම් ආකාරයකට හෝ පාර්ලිමේන්තුවේ ධනාත්මක දෙයක් ලෙසින් දුටුවේ මේ පසු විපරම් කමිටුවල කාර්යභාරය යැයි පැවසීමේ වැරැද්දක් නැත. එවැනි තත්ත්වයක දී මෙම පසු විපරම් කමිටු පතිකිරීම පමා කරන්නේ මන්දැයි විමසීම ඉතාමත් අවශ්‍යය.
මෙහිදීද මතුවී පෙනෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කතාවෙන් කියන දේ ක්‍රියාවෙන් පෙන්වීමට නොහැකි වී තිබෙන බවය. සමහරුන් කෝප් හා කෝපා කමිටුවලට බිය වන්නේ රාජ්‍ය මුදල් අයාථා ලෙසින් පරිහරනය කළ අයවලුන් ඒ මගින් හෙළි දරව් වෙන නිසාය. තවත් සමහරුන් මේවාට බිය වන්නේ වර්තමානයේ රාජ්‍ය ව්‍යාපාරවලින් විශාල වශයෙන් වැරදි ගනුදෙනු කිරීමට අවශ්‍යතාව තිබෙන නිසාය.
මෙරට රාජ්‍ය ව්‍යාපාර විශාල ප්‍රමාණයක් මේ වනවිට ඉතාමත් පාඩු සහගත තත්ත්වයකට පත්වී තිබෙන්නේ මේ ආයතන සම්බන්ධයෙන් නිවැරැදි පසුවිපරමක් පාර්ලිමේන්තුව තුළින්ද සිදු නොවු නිසාය. එවැනි තත්ත්වයක කමිටු පත් කිරීම ‘‘අද නෙමේ හෙට’’ ආකාරයෙන් කල් දැමීම ඉතාමත් ගැටලු සහගත බව මගේ අදහසය.
මෙවර කිවිදා දැක්මෙන් මා ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වන්නේ වත්මන් ජනාධිපතිතුමා සහ රජය විධායකය මෙහෙයවීමේ දී ඔවුන් කතාවෙන් කියන ප්‍රජාතන්ත්‍රිය අවකාශය ක්‍රියාවෙන් පෙන්නුම් කළ යුතු බවයි. එසේ නොවුණහොත් කතාව දෝලාවෙන් ගමන පයින් ප්‍රකාශය යළිත් වරක් ඔප්පු වනු නියතය.
මහාචාර්ය චරිත හේරත්
(***)