කන්ද උඩරට ආක්‍රමණය: සුද්දාගේ ඇසින්


1815 දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන් විසින් අල්ලා ගැනීමේ ආන්දෝලනාත්මක සිද්ධියට හේතු භූත වූ සිද්ධිදාමය හා ඉන් අනතුරුව සිදු වූ දේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය දෘෂ්ටි කෝණයෙන් මෙන්ම බ්‍රිතාන්‍ය දෘෂ්ටි කෝණයෙන්ද බොහෝ දේ ලියැවී තිබේ. 1876 දී ලන්ඩනයේ චැප්මන් ඇන්ඩ් හෝල් ප්‍රකාශක සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ Ceylon Ancient and Modern නමැති ග්‍රන්ථයේ ඒ පිළිබඳ බ්‍රිතාන්‍ය දෘෂ්ටිය මැනවින් ප්‍රකට වේ. එය රචනාකර ඇත්තේ නම සඳහන් නොකරන (නිර්ණාමික) සිලෝන් රයිෆල්ස්හි සේවය කළ නිලධාරියෙකි.

1798 උඩරට රාජධානියේ පිළිමතලව්වේ මහ අදිකාරම උඩරට සිහසුනේ ශ්‍රී වික්‍රම රාජසිංහ හිඳවූයේය. එවකට 18 වැනි වියේ පසුවූ ඔහු ඉන් පෙර සිහසුනෙන් නෙරපා දැමූ රාජාධි රාජසිංහ රජුගේ බිසවගේ බෑණාය. රචකයා තම පොතේ පිළිමතලව්වේ හඳුන්වන්නේ පිළමේ නමිනි. නායක්කර් වංශිකයන්, රටේ සියලු ජනයාගේත් බ්‍රිතාන්‍යයන්ගේත් උදව්වෙන් සිහසුනෙන් නෙරපා හැර කන්ද උඩරට පාලනය සියතට ගන්නට පිළිමතලව්වේට වුවමනා වූයේය. සිරිලක බලය අල්ලාගෙන සිටි යුරෝපා ජාතික ඕලන්දකාරයන් පළවාහැර 1796 දී බ්‍රිතාන්‍යයෝ බලය අල්ලා ගත්හ.

පිළිමතලව්වේ තම සැළසුම ෆ්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරයාට සැළ කළ විට, කන්ද උඩරට බ්‍රිතාන්‍යයේ රැකවරණයට පත්වේය යන අපේක්ෂාවෙන්, ෆ්‍රෙඩ්‍ර්ක් නෝර්ත් උද්දාමයට පත් වූයේය. යුරෝපීය පාලනයට යටත්කර ගැනීමට හෝ ඊට ඈඳා ගැනීමට කරන ලද උත්සාහය කන්ද උඩරට දැඩිලෙස ප්‍රතික්ෂේප කරනු ලැබුවේය. එහෙත් උඩරට රාජධානියට ප්‍රහාර එල්ල කොට මුත්තුසාමි සිහසුනේ හිඳුවන්නට පිළිමතලව්වේ කළ යෝජනාව නෝර්ත් ආණ්ඩුකාරයා ප්‍රතික්ෂේප කළේය. පිළිමතලව්වේට ඕනෑ කළේ මුත්තුසාමි රජ කරවා තමාට අවශ්‍ය පදයට නටන පඹයකුසේ ඔහුව තබා ගැනීමටයි. පිළිමතලාවේ විසින්ම ශ්‍රී වික්‍රමරාජසිංහ නෙරපා හරින්නේ නම් තමා ඊට එරෙහි නොවන බවද නොර්ත් ආණ්ඩුකාරයා ඔහුට කීවේය. එහෙත් රජුට ආරක්ෂාව සපයන්නටද ඔහුට ඕනෑ කළේය.

‘‘කන්ද උඩරටට හමුදාව පැමිණිය යුත්තේ දුප්පත් ජනතාවගේ ජීවිතයත්, ගරුත්වයත් ආරක්ෂා කිරීම සඳහා පමණකි. එසේ නොකළහොත් මහ අදිකාරම්ගේ අභිප්‍රාය උදෙසා කැප වන්නට ඊට සිදුවේ’’ යනුවෙන් නෝර්ත් ලියුවේය.

බ්‍රිතාන්‍ය හමුදා විධිමත් ලෙස රඳවා තබා ගැනීම පිණිස ශ්‍රී වික්‍රම රාජසිංහ එකඟ කර ගැනීමටද නෝර්ත්ට අවශ්‍ය වූයේය. ඒ පිළිබඳ සාකච්ඡා කර ගැනීම සඳහා 2500 ක සේනාවක් සමග ඔහු මේජර් ජෙනරාල් හේ මැක්ඩෝවෙල් පිටත්කර හැරියේය. එහෙත් රජු හමුවීමට බොහෝ වේලා බලා සිටින්නටත්, රජු ඉදිරියේ දණ ගසන්නටත් මැක්ඩෝවෙල්ට සිදු වූයේය. ඊට උරණ වූ ජෙනරාල්වරයා පෙරළා කොළඹට පැමිණියේය. එහෙත් පිළිමතලව්වේ තම උත්සාහය අත් හැරියේ නැත.

1802 දී බ්‍රිතාන්‍යයන් ලවා රජුට දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ගයකට එළඹෙන්නට වෙරළබඩින් පැමිණි මුස්ලිම් ජාතික වෙළඳ පිරිසකගේ බඩු කොල්ලකා ඔහු එම වරද රජු පිට පැටවූයේය. දඬුවම් දීමේ හමුදා මෙහෙවර උදෙසා ජෙනරල් මැක්ඩෝවෙල් මහනුවර බලා පිටත් වූයේය. ශ්‍රී වික්‍රම රාජසිංහ පළා ගියේය. එහෙත් ඊට පෙර මහනුවර ගිනි ඇවිළී ගියේය. පිළිමතලව්වේ මේ අතර මුත්තුසාමි සිහසුනේ හිඳවූයේය. මේජර් ඩේවි යටතේ කුඩා බළකායක් මහනුවර රඳවා මැක්වෝවෙල් කොළඹ බලා ගියේය. එහෙත් නිර්භීත කන්ද උඩරට වැසියෝ ශ්‍රී වික්‍රමරාජසිංහ නැවත සිහසුනේ හිඳ වූවෝය.

දුර්භාග්‍යය

තමාගේ සැළසුම අසාර්ථක වූ පිළිමතලාවේ, දඹදෙනියේදී සාකච්ඡා කරන අතරවාරයේදී ආණ්ඩුකාර නොර්ත්ව පැහැරගෙන යාමටත්, රඳවා තැබූ බ්‍රිතාන්‍ය හමුදා ඛණ්ඩයට ප්‍රහාර එල්ල කිරීමටත් සැළසුම් කළේය. ඔහුගේ සැළසුම්වලට වන්දි ගෙව්වේ ඒ වන විට පැමිණ සිටි මැලේ ජාතික හමුදාවන්ය. ඒ වන විට බෙහෙවින් හෙම්බත්ව, ලෙඩ ගානේ හිඳිමින් සටන් කර ගත නොහැකිව දුර්වලව සිටි බ්‍රිතාන්‍ය හමුදාවන්ට උඩරැටියෝ ප්‍රහාර එල්ල කළෝය. මේජර් ඩේවි මුත්තුසාමිව යටත් කොටගෙන ඔහුගේ ආයුධ අල්ලාගෙන සිටියේය. උඩරැටියෝ සියලු භට පිරිස් සමූල ඝාතනය කළෝය. එහෙත් ඩේවි සහ කෝප්‍රල් බාර්න්ස්ලෝ පමණක් පණ බේරාගෙන පළා ගියහ. සිදු කළ සංහාරයට පළිගන්නා අටියෙන් මෙරට බ්‍රිතාන්‍ය පාලකයෝ කෝපාවිෂ්ඨව පසුවූවෝය. එහෙත් කන්ද උඩරටට හමුදා එවන්නට නොර්ත් කළ සැළසුම් ව්‍යර්ථව ගියේ, ඔහු බලාපොරොත්තු වූ 3000 ක භට පිරිස් එවන්නට මදුරාසියේ ආණ්ඩුකාරයාට නොහැකි වූ නිසාය.

මෙම අභාග්‍යය ගැන තම අදහස් පළ කරන රචකයා මෙසේ කියයි. ‘‘අතිශය දෝෂ සහගත ලෙස පොට වරද්දා ගනිමින් මහනුවර සිදුවූ සිද්ධියට සම්බන්ධ වූවන් කළ ලොකුම වරද නම් ආසියාතිකයකුගේ වචනය කෙරෙහි කුමන හෝ විශ්වාසයක් තැබීම, නැතහොත් ඔහුත් සමග සාකච්ඡාවට එළඹීම හෝ සම්මුතියකට එළඹීමය. එහිදී සහතික වශයෙන්ම ඔවුන්ගේ (ආසියාතිකයන්ගේ) විශිෂ්ට උපායශීලී බවෙන් සහ විශ්වාසය තැබීමේ අවශ්‍යතාවෙන් යුරෝපීයයෝ රවටනු ලැබුවෝය. එම ජනයා හා කටයුතු කිරීමේදී එක්තරා ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුවේ. එය ඍජු එඩිතර ක්‍රියාමාර්ගයක් විය යුතුය. එහිදී යමකු තම සුරත කෙරෙහිත්, ශාරීරික ශක්තිය හොඳින් ප්‍රදර්ශනය කිරීම කෙරෙහිත් දැඩි විශ්වාසය තබා කටයුතු කළ යුතුය. ඔවුන් වටහාගන්නා එකම තර්කය එයයි. අවම වශයෙන් ඔවුන් ඊට අනුගත වන්නට හෝ පෙළඹේ.’’

නෝර්ත් ආණ්ඩුකාරයා මෙම සංහාරය ගැන ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් විමසන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඊට දෝෂාරෝපණය කළේ පිළිමතලව්වේ හටය. තමා පිළිමතලව්වේ කෙරෙහි විශ්වාසය තැබීම අතහැර බොහෝ කල් යයි හෙතෙම කියා සිටියේය. රජු එය නොසලකා හරිමින් කෛරාටික කම් දොඩවන්නේ යයි නෝර්ත් සැක කළේය. රජු එසේ කරනුයේ ප්‍රංශ අද්මිරාල් ඇලෙක්සැන්ඩර් ඩුරාන්ඩ් ලිනොස්ගේ සහයෝගය බලාපොරොත්තුවෙන් බවද නෝර්ත් සැක කළේය. ඒ වනවිට එම ප්‍රංශ අද්මිරාල්වරයා ඉන්දියානු සාගරයේ බ්‍රිතාන්‍ය නාවුක ගමන්වලට බාධා පමුණුවමින් සිටියේය.
තම ප්‍රධානීන් විසින් නිරන්තරයෙන් මෙහෙයවනු ලැබූ කුමන්ත්‍රණ සහ කැරළි ගැසීම්වලින් හෙම්බත්ව සිටි ශ්‍රී වික්‍රමරාජසිංහ රජු ලේ පිපාසයෙන් වියරු වැටී මුරණ්ඩුභාවයට පත්ව සිටියේය.

සටකපට ලෙස රජු ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කොට අසුවුණු පිළිමතලව්වේ 1812 දී රජු විසින් හිස ගසා දමන ලදී. පිළිමතලව්වේ සිටි මහාදිකාරම නිලයට පත්වූයේ ඔහුගේ බෑණා වූයේ ඇහැළේපොලය. එහෙත් ඇහැළේපොලද තම මාමාව අනුගමනය කරමින් රජු නෙරපා හරින්නට රහසේ කුමන්ත්‍රණය කළේය. ආණ්ඩුකාර රොබර්ට් බ්‍රවුන්රිග්ගේ උදව් රහසේ ලබාගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ සිහසුනෙන් නෙරපා හරින්නටත්, ඉන්පසු බලයට එන්නටත් ඇහැළේපොල උත්සහ කළේය. බ්‍රවුන්රිග් ඔහුට උපකාර කිරීම ප්‍රතික්ෂේප කළේය.

ඒ අතරතුර ඇහැළපොලගේ රහස් කුමන්ත්‍රණය ගැන තතු රජු සොයා ගත්තේය. ඇහැළේපොල කොළඹට පළා ගියේය. එහෙත් කුරිරු ශ්‍රී වික්‍රම රාජසිංහ තම කෲර කෝපය ඇහැළපොලගේ බිරිඳ, පවුලේ අය සහ තමාට අසුවෙන සැමදෙනා වෙතම මුදා හැරියේය. මහනුවර ඔවුන් ඝාතනයට ලක්වූ භූමිය වැගිරී ගිය ලෙයින් තෙත්ව ගිය අතර ඝාතනයට ලක්වූවන්ගේ මරහඬ එම ප්‍රදේශය පුරා රැව් පිළිරැව් දුන්නේය. ඇහැළේපොලගෙ බිරිඳත්, දරුවන් සිව් දෙනාත්, ඔහුගේ සොයුරා සහ සොයුරාගේ බිරිඳත් එක්කෝ හිස ගසා දැමීමට ලක්විය නැතහොත් දියෙහි ගිල්වා මරා දමනු ලැබීය. කඳෙන් වෙන් කරනු ලැබූ තම දරුවන්ගේ ඔලුගෙඩි වංගෙඩිට දා මෝල්ගසෙන් කොටන්නට මවුවරුනට බල කෙරිණි.’’

මේ සාහසික වියරුවේ ප්‍රතිඵලයක් ලෙස 1815 ජනවාරි මාසයේ ශ්‍රී වික්‍රම රාජසිංහට එරෙහිව යුද නිවේදනය කෙරිණි.
සති කිහිපයක් ඇතුලත නැවත වරක් කන්ද උඩරට බ්‍රිතාන්‍යයන් අතට පත් වූයේ රජුගේ ප්‍රධානියකු වූ මොල්ලිගොඩ නිළමේවරයාගේ සහ රජුට එරෙහි ප්‍රධානීන් කල්ලියකගේ වරදට පින්සිදුවන්නටය. සැඟවී සිටි රජු ඇහැළේපොලගේ මිනිසුන් පිරිසක් විසින් අල්ලාගනු ලැබ බ්‍රිතාන්‍යයන්ට භාර දෙන ලදී. අල්ලාගනු ලැබූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පශ්චාත්තාපයට පත්ව බ්‍රිතාන්‍යයන්ට මෙසේ කීවේය.

‘‘ඉංග්‍රීසි පාලකයන් වූ ඔබ හට, රජවරුන් වූ අපට වඩා එක් වාසියක් ඇත. ඔවුන් කිසිදු උමතු ක්‍රියාවකට යොමු නොකරන උපදේශකයෝ ඔවුන් ළඟ සිටිති. එහෙත් අපේ අවාසනාවකට අපගේ විරෝධය තුනී වන්නට කලියෙන් වරදකරුවා මියයයි!’’ බ්‍රිතාන්‍යයන්ගේ දෑසට පෙනුණු ශ්‍රී වික්‍රම රාජසිංහ, කෝපාවිෂ්ඨව උද්වේගයට පත්ව, ඔහුගේ දෑස් රකුසකු මෙන් ගිනිගෙන දිලිසෙන මට්ටමට එන තෙක්, පෙනුමෙන් සිත් ඇද නොගන්නා අයකු නොවේ.

පුරාණ වරප්‍රසාද සහතික කිරීම

1815 මාර්තු මාසයේ නිළමේවරුන් විසින් උඩරට ගිවිසුමට අත්සන් තබා රාජධානිය බ්‍රිතාන්‍යයන් හට පවරා දෙන ලදී. නිළමේවරුන්ගේ පුරාණ සම්ප්‍රදායික වරප්‍රසාද හා බලතල ලබාදෙන බවට ඉන් සහතික කෙරිණි. එසේම අපක්ෂපාතී ලෙස නීතිමය පාලනයත්, බුද්ධාගමට ආරක්ෂාවත් සළසමින් කටයුතු පවත්වාගෙන යන බවටද එම ගිවිසුමෙන් සහතික වූයේය. ආචාර්ය මාර්ෂල්ගේ දෑසින් දුටු සාක්ෂියට අනුව ‘‘ප්‍රධානීන් මෙන්ම ජනතාවද කන්දඋඩරටෙන් බ්‍රිතාන්‍යයන් පිටව යනු දකින්නට ඇති කැමැත්ත නොවලහා පළ කරමින් නොඉවසිල්ලේ ගති ලක්ෂණ පෙන්නුම් කළෝය. කවදා රටෙන් පිටව යන්නට සිතා ඉන්නේදැයි, ඔවුහු බ්‍රිතාන්‍යයන්ගෙන් නිරතුරුව විමසුවෝය’’ එක් උඩරැටියෙක් මාර්ෂල් හට මෙසේ කීවේය. ‘‘උඹල රජ්ජුරුවන්ව එළෙව්වනෙ දැන් තව මුකුත් ඕන නෑ. උඹල දැන් මෙහෙන් ගියොත් තමා හොඳ’’

‘‘ඔවුහු තනි තනිව අප ඉදිරියේ නොකමැත්ත පළ නොකළෝය. එහෙත් ජාතියක් ලෙස ඔවුහු අප පිළිකුල් කළෝය. අප දෝෂ සහගත ලෙස පාලනය කරන බවට හෝ අප ඔවුන් පීඩාවට පත්කරන බවට ඔවුහු පැමිණිලි නොකළහ. එහෙත් අප රටින් පිටව යා යුතු බව ඔවුහු සිතුවෝය.’’ යනුවෙන් මාර්ෂල් තව දුරටත් කියයි.

මෙම හැඟීම් 1817 දී විවෘතව පුපුරා ගියේය. ඒවා ඇහැළේපොල විසින් රහසේ අවුස්සාලනු ලැබුවේය. ‘‘ඇහැළේපොල යනු එංගලන්තය වෙත ආරූඪ කරගත් මිත්‍රත්වයක් පෑ අයෙකි.’’ 1818 වන විට බුර බුරා නැගෙන ලැව් ගින්නක් මෙන් කැරැල්ල පැතිර ගියේය. උඩරට සිහසුනට භික්ෂුවක් හිමිකම කී අතර දන්ත ධාතුව මහනුවර දළදා මාළිගාවෙන් ඉවත ගෙන, ඔවුන්ගේ උමතු උද්‍යෝගය අවුස්සාලනු සඳහා මහජනයා හට ප්‍රදර්ශනය කෙරිණි.’’

1880 දී දසමසක් පුරා නිරන්තරව පැවති යුද්ධයෙන් බ්‍රිතාන්‍ය හමුදාවේ සටන් වැදුණු ඉන්දියානු යුධ භටයෝ 1000 ක් මළෝය. එය යුද්ධයට පෙළ ගැස්වූ සමස්ත හමුදාවෙන් පහෙන් එකකි. ‘‘උඩරැටියන් තම සතුරන් විවෘතව මුහුණට මුහුණ හමු නොවෙති. ඔවුන්ගේ අතට හසුවන අයට ඔවුහු කිසිදු අනුකම්පාවක් නොදක්වති. ඒ අතර තමන් රටෙන් නික්මයාමට බැඳී ඇතැයි හමුදාව සිතුවේය. ඔවුන් සටන් කළේ දැඩි නොකැමැත්තෙනි’’ නිරීක්ෂකයෙක් කීවේය.

මේ අතර උඩරැටියන්ගේ ගම් බිම් වැනසී යන්නට ගත්තේය. බව භෝග විනාශ වී ගව සම්පත් වැනසී ගොස් දස දහසක් ජනතාව සාගින්නටත්, උණටත්, යුද්ධයටත් ගොදුරු වූවෝය. ඒ අතර කැරළිකාර ප්‍රධානීන් අතර මතභේද පැන නගින්නට ගත්තේය. ඇතැම් අය යටත් වූහ. අනෙක් අයගේ හිස් ගසා දැමිණි. දන්ත ධාතුව අහම්බෙන් සොයා ගැනීමෙන් අනතුරුව නැවත සාමය ස්ථාපිත කෙරිණි. දන්ත ධාතුව ඊට නියමිත දළදා මාළිගාවේ නැවත තැන්පත් කරන ලදී.

Daily Mirror පුවත්පතේ පළවූ SAGA OF THE TAKE OVER ලිපියේ පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ

පී.කේ. බාලචන්ද්‍රන් විසිනි