කර්මාන්ත යුගයකින් පෙරළියක්


අගහිඟකම් දැනෙන සමාජයක් රට තුළ නිර්මාණය වී තිබේ. ආර්ථික අර්බුදයෙහි ප්‍රතිඵලයක් වන අතර සෑම දරු පවුලක්ම අවුරුද්දකට කලින් සිටි තත්ත්වයෙන් තරමක් පහතට වැටී ඇත. ප්‍රතිසංස්කරණයකට පසු ස්ථාවරභාවක් ඇති කිරීම සඳහා ආණ්ඩුව කැපවීමකින් කටයුතු කරමින් සිටින බව පෙනේ. තාවකාලික ස්ථාවරභාවය වෙනුවට පුනර්ජීවණය කරා ගමන් කිරීමේ දී උත්පාදනය යන සංකල්පය වැදගත්ය. කර්මාන්ත, කෘෂිකර්මාන්ත, සංචාරක සහ සේවා අංශවල ක්‍රියාකාරීභාවයක් සඳහා කටයුතු කළ යුතුය.

නිෂ්පාදන වර්ධනය තුළ ධනය නිපදවන අතර එම ධනය රටටත් සමාජයටත් ප්‍රගමනයක් ඇති කරයි. නිෂ්පාදන අංශ ක්‍රියාශීලී නොකළහොත් රජයේ යාන්ත්‍රණය සඳහා අවශ්‍යවන මුදල් සමාජයෙන් ලබාගන්නට සිදුවේ.

දැනට සිදුවන බදු එහි ප්‍රතිඵලයකි. තවත් බදු වැඩි කර, අධික බදු ප්‍රතිශතයකින් අයකරගැනෙන සමාජ ක්‍රමයකින් පුනරුදයක් අපේක්ෂා කළ නොහැක. 

රජයට අයත් හා පෞද්ගලික අංශය වශයෙන් ව්‍යාපාර කොටස් දෙකකි. රජයේ ආයතන පද්ධතිය තුළ ඇති කළමනාකරණ දෝෂ ගැන අපට සැමටම අවබෝධයක් ඇත. දූෂණ තුරන්කර රාජ්‍ය ආයතන කාර්යක්ෂමව කරගෙන යන බවට පොරොන්දු දී  බලයට පත් ආණ්ඩු අවසානයේ දී ආර්ථිකයට කරන ලද විනාශය ඉතාම දරුණු බව සඳහන් කළ යුතුය.

දශක හතකට වැඩි ඉතිහාසය තුළ අනුගමනය කළ ප්‍රතිපත්ති අවසානයේ අද පවතින තත්ත්වය උදා වී ඇත. ශ්‍රී ලංකාවේ සම්පත් සහ තරුණ ශ්‍රමය ලෝකයේ පවතින අලුත් දැනුම හා නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ඉදිරි සියවසට ගැළපෙන කර්මාන්ත හා ව්‍යාපාර යුගයකට ප්‍රවේශ විය යුතුය.
නොකළ යුතු දේ ගැන අධිරාජ්‍යවාදී පාලනයක අනාවරණය 

අපනයනය ඉලක්ක කරගෙන කටයුතු ආරම්භ කිරීමේ ඉතිහාසය යටත් විජිත කාලය දක්වා ඈතට විහිදේ. කුළුබඩු, මුතු සහ මැණික් ඇතුළු දේ ලබා ගැනීම අරමුණු කරගෙන ලංකාව යටත්කරගත් අධිරාජ්‍යවාදී පාලකයෝ පළමුවෙන් කෝපි වගා කළහ. කෝපි වගාව විනාශ වූ පසු ඔවුහු තේ වගාවට ආරම්භ කළෝය.

ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම තේ වැඩිම නිෂ්පාදනයක් කරන රට බවට පත්ව තිබුණි. අද එතැන නැත. විශාල ඉඩම් ප්‍රමාණයක වගාකර, අඩු විනිමය ප්‍රමාණයක් උපයන තේ වගාවෙන් ආර්ථික වාසියක් නැත. තේ කර්මාන්තයේ නිරත පිරිස ලක්ෂ ගණනකි. කුඩා තේවතු වගාවෙන් සියයට හැටකට වඩා දායක වේ. තේ වගාව නිසි ආදායමක් නොලබන බව කුඩා තේවතු හිමියෝ ප්‍රකාශ කරති. 

තේ වගාවට පසු, විනිමය උපයන ප්‍රධාන අංශයක් වශයෙන් සංවර්ධනය වූයේ ඇඟලුම් කර්මාන්තය පමණකි. තොරතුරු තාක්ෂණ අංශය මෑතක සිට ඇමරිකානු ඩොලර් බිලියනයක් අපනයන ආදායම උපයන තැනට පැමිණ තිබේ. තව වසර තුනකින් ඇඟලුම් කර්මාන්තයට වසර පනහක් සපිරේ.

රට පුරා තිබුණ කම්හල්වලින් කොටසක් වැසී ඇත. තවත් කොටසක් ඉතා අපහසුවෙන් පවත්වාගෙන යන බව වාර්තා වේ. ප්‍රධාන කම්හල් තරඟකාරිව ව්‍යාපාර මෙහෙයවන නමුත් ඉතාම සංකීර්ණ ගැටලු එම කම්හල්වලට ද ඇත. කෝටා ක්‍රමයෙන් ලැබුණ වාසිය භාවිත කර ආරම්භ කරන ලද ඇඟලුම් කර්මාන්තයේ අනාගතය පැහැදිලි නැත. නිදහසට පසු ගත වූ දශක හතහමාර තුළ කර්මාන්ත හා ව්‍යාපාරවල ගමන්මග ආර්ථිකයට විශාල බලපෑමක් කරන්නට අසමත්වීම සැලකිය යුතු තත්ත්වයකි. 

සංවර්ධනයට යා කරගත නොහැකි තරුණ පරපුර

කෘෂිකර්මය, කර්මාන්ත සේවා අංශවල කැපී පෙනෙන වෙනසක් ඇති කරන තීන්දු නොගැනීම හේතුවෙන් රජයේ බදු ආදායම පිරිහී තිබේ. රැකියා හිඟයක් ඇතිකරන අතර අධ්‍යාපනය අවසන් කර වෘත්තීය අවස්ථා සොයන තරුණ පිරිසට රැකියා නැත. නිදහස් අධ්‍යාපනය උගත්, දක්ෂ තරුණ පිරිසක් බිහිකරන ලද නමුත් නිරතවන්නට අවස්ථා හිඟවීම ප්‍රශ්නයකි.

දෙමව්පියන්ගේ උරුමය දරුවන් අතර බෙදෙන පසු සාමාන්‍ය පවුල්වල දරුවන්ගේ වත්කම කුඩා ඉඩම් කැබැල්ලක් පමණකි. ඉඩම් හිමි පරම්පරාව පවා වත්කම් බෙදී ගිය පසු රැකියා සොයන තැනට එකතු වේ. කෘෂිකර්මය යැපෙන තැනට පත්කර ඇති අතර කෘෂි අපනයන ආදායම රහිතව රටට විනිමය සපුරාගත නොහැක. 

සංවර්ධනයට එකතු කරගත නොහැකි වී ඇති ධෛර්යවන්ත තරුණ කොටස ගැන දයාවෙන් බලන්නට පවතින වැඩ පිළිවෙළ කුමක් ද? දක්ෂතා සහිත තරුණ පරපුරට තාක්ෂණ දැනුම දෙන ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාලවලට ඉඩ දී නවීන අධ්‍යාපනය හදාරන අවස්ථා ලබාදිය යුතු අතර එය පුහුණු ශ්‍රමය ඇති කරන මාර්ගයකි. 

ත්‍රස්තවාදය අවසන් වන තුරු ඉවසන ලෙස තරුණන් ඇතුළු පිරිසට කියා සිටි නමුත් ගැටුම් අවසානයේ දී උත්තරයක් නැත. පවතින ව්‍යුහය වෙනස්කර අලුත් ප්‍රතිපත්ති තුළින් නිර්භීත තීරණ ගැනීමට ආණ්ඩු සමත් වූයේ නැත. බලයට පත් ආණ්ඩු පුරුදු ක්‍රමය තුළ ආකෘතිගත වූ අතර ලෝකය ඉදිරියට ගමන් කරන අතරතුර ශ්‍රී ලංකාව එයට අනුගත නොවීම ඉදිරියේ විශාල අනතුරක් නිර්මාණය කර තිබේ.

දේශපාලන මතිමතාන්තර අනුව පටු ආකල්ප උසුලාගෙන සිටින සමාජයේ ඇතැම් කොටස්, ආර්ථික හානියට වඩා බලවත් අනතුරක් ඇති කරමින් සිටී. ඊළඟ ආණ්ඩුවකට බලය ඉල්ලන්නට කලින් සිස්ටම් එනම් මෙම ගතානුගතික ක්‍රමය වෙනස් නොකළහොත් නැවත වතාවක් පාඩමක් ඉගෙන ගන්නට රටට සිදුවිය හැකිය. 

පැති පහක බලවේගයක් හා ජාතික සම්පත්

ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමේ දැවැන්ත මතවාදයක් රට තුළ තිබේ. පිටරටින් තෙල් ගෙන්වා විකිණීමේ ඛනිජ තෙල් කර්මාන්තය, අකාර්යක්ෂම ක්‍රම හේතුවෙන් අධික මිලකට විදුලිය සැපයෙන මණ්ඩලය, තරඟකාරීව කරගෙන යා නොහැකිවීමෙන් අධික පාඩු ලබන ශ්‍රී ලංකන්, පරිවර්තනයකට ලක් නොවු බැංකු, මුල්‍ය හා රක්ෂණ අංශ හෝ ආයෝජනයක් කළ නොහැකි වරාය රටට අයත් ජාතික සම්පත් නොවේ.

රටටත්, ජනතාවටත්, මෙහෙවරක් වන පරිදි ජාතික සම්පත් හැසිරවීම බලවත් වගකීමකි. අධික පාඩු හේතු කොටගෙන බැංකුවලට ණය ගෙවමින් එම බර ජනතාවට පටවන අංශ ආරක්ෂා කළ යුතු ඇයි ? මෙම ව්‍යවසාය නිසි පරිදි මෙහෙයවන්නට ඉඩ දී එයින් ලැබෙන ජවය, ජනතාවට දැනෙන්ට සැලැස්විය යුතුය. උත්පාදන ක්‍රමෝපායකට ප්‍රතිපත්ති හැදීම වෙනුවට, අසාර්ථක ජාතික සම්පත් ආරක්ෂා කරන මතවාද ඇවිළවීම සාර්ථකත්වයට හේතුවක් නොවේ. 

වරාය, ගුවන් සේවා, විදුලිය, ඛනිජ තෙල් හා තොරතුරු සන්නිවේදනය යන පැති පහක මූලික වත්කම් රටට ඇත. මේවා ශ්‍රී ලංකාවට පමණක් හුදෙකලා කිරීම ඵලදායී ව්‍යාපාර නොවේ. 

සුළං හා සූර්ය විදුලිය උත්පාදනය කළ හැකි දේශගුණයක් ශ්‍රී ලංකාවට ඇත. මෙරට සම්පූර්ණ විදුලිය උත්පාදනය මෙන් හය ගුණයක් මන්නාරම හා අවට පවතින සුළං බලයෙන් නිපදවිය හැකි අතර නිෂ්පාදන වියදම රුපියලකටත් අඩුය. අතිරික්ත විදුලිය අපනයනය කළ හැකිවේ. ලෝකයේ එවැනි ව්‍යාපාර සිදුවේ.

භූතානය හා නේපාලය නිපදවන විදුලිය ඉන්දියාව මිල දී ගනිමින් සිටී. සවුදි අරාබිය සමග විදුලිය බෙදාගැනීමේ ආයෝජනයකට ඉන්දියාව සූදානම්ය. මන්නාරම සුළං විදුලිය උත්පාදනයට ආයෝජනය කළහොත් එම විදුලිය අනාගතයේ දී සවුදි අරාබිය දක්වා සැපැයීමට හැකි වනු ඇත. ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලට කරන ආයෝජනය තවත් අංශයකි. කලාපයේ තෙල් සංචිතයක් හා පිරිපහදුවක් සඳහා පසුබිමක් ඇත. නළ මාර්ග ඉදිකර මෙම ආයෝජන රාමුව නිසි පරිදි යෙදවුවහොත් ඉදිරි දශකය තුළ ඛනිජ තෙල් වෙළඳාමේ නායකත්වය ලබාගත හැක.

ගුවන් සේවා දියුණු කිරීම සංචාරක ව්‍යාපාරයට

ගුවන් යානා කිහිපයක් සහිතව ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගණනාවක් මහජන මුදලින් නඩත්තු කිරීම සීමිත ව්‍යාපාරයකි. එහි අලාභ හා අකාර්යක්ෂමතාව ජනතාවට පැටවී ඇත. මෙම කර්මාන්තය දියුණුවන පසු ලෝකයේ ඇතිවන අවස්ථා සඳහා උපයෝගී කරගනිමින් අත්දැකීම් සහිත දක්ෂ පිරිස් රට හැර යන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා අංශය තරඟකාරීකර කාර්ය බහුල ගුවන් තොටුපොළ ඇති කළ නොහැකි ඇයි? ඉන්දියාවේ ජාතික ගුවන් සේවය 2022 වසරේ දී සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කළේය. ගුවන් තොටුපොළ ගණනාවක් පෞද්ගලික ආයෝජකයන්ට පැවැරීය. එයාර් ඉන්දියා මිල දී ගත් සමාගම ලෝක වාර්තාවක් තබමින් ගුවන් යානා පන්සියයකට වඩා එකවර ඇණවුම් කර තිබේ. ඉන්දීය ආණ්ඩුවට කළ නොහැකි ආයෝජනයක් කළ පෞද්ගලික සමාගම ඇති කළ ජවය ඉන්දියාවට ශක්තියක් වී ඇත. 

2018 වසරේ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරක පිරිසක් පැමිණි වසර වශයෙන් සඳහන්ව තිබේ. තේ කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන එකකට මදක් වැඩි ප්‍රමාණයක් උපයනවිට සංචාරක කර්මාන්තයෙන් එම වසරේ උපයාගත් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන හතරක් බව දැක්විය යුතුය.

ආගන්තුක සත්කාරය, ඓතිහාසික ස්ථාන, පරිසර පද්ධති සහ මුහුද සංචාරක කටයුතු සඳහා ප්‍රවර්ධනය කිරීම සුදුසුය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර රාමායනය හා බුදු දහම පදනම් කරගත් අලුත් සංචාරක සැලැස්ම ප්‍රකාශයට පත් කළහොත් ඉන්දියාවෙන් එන පිරිස වැඩි කරගත හැකිවේ.

අමතක කරන ලද සම්පත් කර්මාන්තවලට

ලෝකයේ අනෙක් රටවලට නැති සම්පත් ආකරයක් ශ්‍රී ලංකාවට ඇත. එහෙත් නිසි පරිදි ආයෝජනය කරන, සැලැස්මක් නැත. දැනට ඇති කර්මාන්ත කරගෙන යා නොහැකි රටට අලුත් ව්‍යාපාර ආරම්භ කළ නොහැක. ඛනිජ වැලි සම්බන්ධ ඉහළ සැපයුමක් රටට කළ හැකිය. ඉල්මනයිට්, රූටයිල් වැනි ඛනිජ සම්පත් අමුද්‍රව්‍ය වශයෙන් යැවේ. ටයිටේනියම් ඔක්සයිඩ් බවට හරවා අපනයනය කරන කර්මාන්තවලට අනුමැතිය දිය යුතුය. විශාල පොස්පේට් නිධියක් ඇත. පොස්පේට් ඉවත් කර ගන්නා අතර පරිසරයට හානියක් නොවන පරිදි නැවත මහපොළව ආරක්ෂා කරන තාක්ෂණය අද තිබේ.

එකිනෙකට සම්බන්ධ නැති ආයතන ගණනාවක අනුමැතිය, නිලධාරීන්ගේ හා ජනතා සංවිධානවල විරෝධතා රට ණය ගැතිභාවයට තල්ලු කර තිබේ. පුද්ගලයකුට ඉඩමක් ගන්නට හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අවසර හා අනුමැතිය ගන්නට සිදුවන තරම දන්නා හෙයින් කර්මාන්ත ආරම්භ කිරීම දුෂ්කර බව පැහැදිලිය. නීති ලිහිල් කළ යුතු නැති අතර ක්‍රමවේදය සරල කළ යුතුය. පටු අරමුණු සහිත ඇතැම් මතධාරීහු පවතින ස්වභාවයෙන් යැපෙන අතර ක්‍රමය වෙනස් කිරීමට විරුද්ධ වේ. එහි විපාක අද අප හමුවේ ඇත.

ලෝකයේ හොඳම මිනිරන් ශ්‍රී ලංකාවේ ඇත. සූර්ය කෝෂ හා ජංගම දුරකතන උපාංග සඳහා මිනිරන් වලින් නිපදවන ග්‍රැෆින් භාවිත කෙරෙන හෙයින් හොඳ ඉල්ලුමක් ලබාගත හැක. දෙවැනි ලෝක යුද්ධය කාලයේ ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍ය මිනිරන් හා රබර්වලින් විශාල ආදායමක් ඉපැයීය. පැරණි තාක්ෂණය සහ නිසි වෙළඳ පොළ ග්‍රහණය කර නොගැනීම රටට අවාසියක් වී තිබේ. කෘෂිකාර්මික අංශයෙන් සලකන පසු ලෝකයේ හොඳම කුරුඳු නිපදවන්නේ ලංකාවේ වන අතර අපනයනය ඉලක්ක කරගෙන එළවළු හා පලතුරු මහා පරිමාණයෙන් වගා කළ හැක.

කෘෂිකර්මයෙහි නිරතවන තරුණ පිරිසට ඉඩම් නැත. ප්‍රාග්ධනය සපයා ගැනීමේ දූෂ්කරතා තිබේ. ආණ්ඩුවේ සිටින නිලධාරී විශාල පිරිස මෙවැනි අංශවලට යොදවා අලුත් වෘත්තිකත්වයක් ඇති කිරීම ආණ්ඩුවක වගකීමකි. ධීවර කර්මාන්තය ද එවැනි තවත් අංශයකි. මුහුදු කූඩැල්ලන්, ඉස්සන් හා මුහුදු ප්ලාවංගවලට ලෝකයේ ඉහළම ඉල්ලුමක් ඇත. මෙරට හෝ පිටරට ආයෝජන යෙදවුවහොත් කෙටි කාලයකින් ඉහළ ආදායමක් ලබාගත හැකි අතර රැකියා සැපයුම ද නැංවීමට හැකියාව ලැබේ.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය දක්ෂ බව ලෝකයම පිළිගෙන තිබේ. ලක්ෂ ගණනින් පිරිස් සෑම රටකම නොයෙක් ක්ෂේත්‍රවල සේවය කරති. ඔවුන් උපයා රටට එවන ධනය මෙරට විනිමය උපයන ප්‍රධානම මාර්ගය වී ඇත. දක්ෂතම පිරිස වෙනත් රටක සංවර්ධනයට යවා එතැනින් ලැබෙන වැටුප ශ්‍රී ලංකාවේ විනිමය ආදායම බවට පත් කරගැනීම වාසියක් නොවේ. අලුත් කර්මාන්ත, ඒ සඳහා කරන ආයෝජන ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සාක්ෂාත් කරනු ඇත.

රටට ආදායමක් ලැබෙන අතර උත්පාදනය වැඩිවන විට ආදායම හා වියදම ගළපා ගැනීමට හැකිවේ. තාවකාලිකව අර්බුදයකට පත්ව ඇති අවස්ථාවක බදු වැඩිකර රට ගොඩනැගීම වෙනුවට අභියෝගය භාර ගැනීම වැදගත්ය. බදු වැඩිකරන විට උත්පාදනය, නිෂ්පාදනය කෙරෙහි උන්නදුව පහත වැටෙන අතර දක්ෂ පිරිස් උපයනවිට බදු අඩු රටවල් කරා සංක්‍රමණය වෙති. තීරණ ගැනීමේ දී මෙම අංශ සලකා බැලීම වැදගත්ය.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට යොමු කරන්නේ නම් කෘතඥවෙමි.

මිලින්ද මොරගොඩ