මෙවර කතු වැකිය මෙරට පහළ වූ විශිෂ්ට ලංකා පුත්‍රයකු වෙනුවෙන් වෙන් කරමු. ඒ විශිෂ්ට ලංකා පුත්‍රයා, මෙරට සිඟිති, තුරුණු, වැඩිහිටි සෑම පරාසයකම සහෘද සිත් සතන් පිනවූ, අපමණ හැකියා සම්පත්තියකින් සහ දුලබ වාසනා ගුණ මහිමයකින් පිරිපුන් ‘පනා පුත්‍ර කුහුඹු පැනියා’ හෙවත් ජැක්සන් ඇන්තනී වෙයි. ඔහු කලාව, සාහිත්‍යය හා රසික ජනයාගේ උසස් රස වින්දනය වෙනුවෙන් සිදු කළ උපමා නැති මෙහෙවර වෙනුවෙන් මෙවන් සම්භාවනාවට රිස්සකු බව අවධාරණය විය යුතුය.
ජැක්සන් යනු කවරෙකු දැයි හැඳින්වීම තරම් දුෂ්කර හා අභියෝගාත්මක කාර්යයක් තව තිබේ දැයි සැක සහිතය. එහෙත්, එක් කරුණක් ඉතා පැහැදිලිය. එනම්, ‘ලොවෙන් එකකු එක් දෙයකට වෙයි සමත’ යන කියමන නිර්දය ලෙස අභියෝගයට ලක් කළ හා එම කියමන ඉක්මවා ගිය මෑත කාලයේ අපේ මිනිසා ඔහු බවය. සැබැවින්ම එය දුලබ වාසනා ගුණ මහිමයක් විනා අන් යමක් නොවේ.
ඔහු විශිෂ්ට රංගධරයෙකි. රංගනය ඔහුට අතැඹුලක් සේය. තුරුණු බවින් සපිරුණු ඔහුගේ ගැඹුරු කටහඬ, රොද බැඳගත් ජනී ජනයා නිරුත්සාහිකවම වසඟයට ගැනීමට සමත්ය. ඔහු ඉදිරිපත් කළ ‘මහා සිංහලේ වංශ කතාව’ හා ‘පාර දිගේ’ යන රූපවාහිනී ප්‍රසාංගික වාර්තාමය වැඩසටහන් එයට නිදසුන්ය.
ජැක්සන් ඇන්තනී ගායකයෙකි. ගායන විලාශය මෙන්ම පදරුත් උච්චාරණයේදී ඔහු පාන හපන්කම විශිෂ්ටය. ඔහු ගී පද රචකයෙකි. ටෙලිනාට්‍ය හා චිත්‍රපට තිර රචකයකු සේම අධ්‍යක්ෂවරයෙකි. වේදිකාව, පුංචි තිරය මෙන්ම චිත්‍රපටය යන ක්‍ෂේත්‍ර තුනම එකවර සියතට ගැනීමට සමත් වූ ජැක්සන් ඇන්තනී, ග්‍රන්ථ කර්තෘවරයකු මෙන්ම පුවත්පත් තීරු ලිපි රචකයකු ලෙස ද සිත්තරකු ලෙස ද තම ප්‍රතිභාව ප්‍රකට කළේය.
ශ්‍රී ලංකාව යනු කුඩා රටකි. එබඳු කුඩා රටක මහා මිනිසකු වීම කිසිසේත්ම පහසු නැත. එයට හේතුව, පහසුකම් අල්ප වීම හා වෙළෙඳපොළ කුඩා වීමය. මහා දැවැන්ත නිර්මාණ බිහි කිරීමට ඇති බාධා ඒවාය. එහෙත්, ජැක්සන් ඇන්තනීට මෙම කුඩා රටේ මහා මිනිසකු ලෙස රූපාන්තරණය විය හැකි විය. කලාවේ හා සාහිත්‍යයේ සෑම ඉසව්වකම පාහේ මහා පෞරුෂයක් ගොඩනගා ගැනීමට ඔහු සමත් විය. ඒ කෙසේ දැයි යන්න වටහා ගැනීම අංකුර කලාකරුවන්ට අතිශයින් වැදගත් අධ්‍යයනකි.
සතතාභ්‍යාසය යනු, රංගනයට අදාළ වචනයකි. නිතර නිතර පුරුදු පුහුණු විය යුතු බව එයින් කියැවේ. ස්වකීය කුසලතා නිවැරැදි රිද්මයට ගෙන ඔපමට්ටම් කරගත හැකි වන්නේ එවිටය. ජැක්සන් ඇන්තනීම කියා ඇති පරිදි, ඔහු නිර්මාණය වූයේ එසේය.
ජැක්සන් ඇන්තනී කලාකාරයකු මිස කලහාකාරයෙක් නොවීය. එයට හේතුව, දැමුණු මනසක්, සංයම මනසක් ඔහුට තිබීමය. එම තත්ත්වය ඔහු ගොඩනගා ගත්තේ අධ්‍යාපනයෙනි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂ ගෞරවවේදී උපාධිධරයෙකි. එමෙන්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධරයෙකි. ඔහුට පැසුණු බුද්ධියක් තිබිණි.
උපතින් කතෝලිකයකු වුව ද ඔහුට බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් ගැඹුරු කියැවීමක් තිබිණි. ලංකා ඉතිහාසය හා ලෝක ඉතිහාසය පිළිබඳව ද එසේමය. ඒ අනුව ජැක්සන් යනු, ඉගෙනීම හා කියවීම විසින් නිර්මාණය කරන ලද අපූරු සම්පතකි. ජැක්සන් නැති අඩුව පිරවීම පහසු නොවන්නේ එහෙයිනි. පහසු නොවන එබඳු අභියෝගයක් ඉතිරි කර තබා ජීවිත වේදිකාවෙන් බැස යාමට හැමෝටම බැරිය. ජැක්සන් විශිෂ්ටයකු වන්නේ ද එහෙයිනි.
ජැක්සන් ඇන්තනීගේ අකල් වියෝවෙන් සංවේගයට පත් බිරිඳ, පුතුන් දෙදෙනා හා දියණිය සමග ‘ලංකාදීප’ය ද මෙසේ එක්වන අතර, ජැක්සන් ඇන්තනී, අපි ඔබට මොක් සුව පතමු.
(***)