බැසිල් රාජපක්ෂ මහතාගේ කැබිනට් සම්ප්‍රාප්තියත් සමඟ පසුගියදා මේ රටේ දේශපාලනයේ සුවිශේෂී කතාබහක් ඇති වුණි. ඔහු මේ වනවිට මුදල් අමාත්‍ය ධුරය හොබවමින් ආණ්ඩුවේ තුන් වැනියා බවට පත්ව සිටී. ඊට හේතුව ජනාධිපති හා අගමැති තනතුරුවලට අමතරව කැබිනට් මණ්ඩලයේ ප්‍රබලතම අමාත්‍ය ධුරය වන මුදල් අමාත්‍ය ධුරය ඔහුට හිමිවීමයි. ඒ අනුව, අණ්ඩුවේ පාලන ධූරාවලියේ ප්‍රබලතම තනතුරු තුනම රාජපක්ෂවරුන් සතුය.
දකුණු ආසියානු පවුල් දේශපාලනය තුළ මෙය අරුමයක් නොවුණත් ලංකාවේ තත්ත්වය නම් සුවිශේෂීය. මේ රටේ දේශපාලනය තුළ රාජපක්ෂ පවුල මේ තරම් ප්‍රබල තැනකට පත් වූයේ මහින්ද රාජපක්ෂ වත්මන් අගමැතිවරයාගේ නායකත්වයෙන් ලැබූ යුද ජයග්‍රහණය නිසයි. මේ නිසා පාක්ෂිකයන්ට අමතරව රාජපක්ෂ බැතිමත්හු පිරිසක් ද බිහි වී සිටිති. දේශපාලනයේදී ගඳ, සුවඳ හා කළු සුදු චරිත පොදුය.
එහෙත් බැතිමතුන් යනු මේ කිසිවක් ගණන් නොගන්නා පක්ෂපාතීත්වය ඉක්මවා ගිය මානව විශේෂයකි. සාමාන්‍යයෙන් රජපක්ෂවරු අතරින් බැසිල් රාජපක්ෂ සුවිශේෂී චරිතයකි. එය ඔහුගේ විරුද්ධවාදීන් වුව ද පිළිගන්නා සත්‍යයකි. අද දක්වාම මේ රටේ දේශපාලනය දෝලනය වූයේ ප්‍රධාන ධාරා දෙකක් තුළයි. (එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) ඊට අමතරව එවැනි තුන් වැනි බලවේගයක් ගොඩනඟා වසර 5ක් ඇතුළත රාජ්‍ය බලය ලබාගැනීම මෙහිදී පහසු කාර්යයක් නොවේ. එය සුවිශේෂී දේශපාලන සංසිද්ධියකි. එහි නිර්මාතෘවරයා හා සංවිධායකයා බැසිල්ය.
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයේ ප්‍රධාන පදනම පොහොට්ටු පක්ෂයේ සංවිධාන ශක්තියයි. එහෙත් මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ පාලනය අසාර්ථක වෙමින් පවතී. මෙහි ද ‘සර් ෆෙල් වුණා ද, සර් ෆෙල් කළා ද’ යැයි කියන්න තාමත් කල් වැඩිය. ඉදිරියේදී මේ දෙකම විය හැකිය.
අද ජනාධිපතිවරයා බලයට පත්කළ බලවේග විසින්ම ඔහු යම් දුරකට දේශපාලන සිරකරුවකු බවට පත් කර ඇත. ඊට හේතුව ඔහු බලයට පත් කළ බොරු දේශප්‍රේමී බලවේග සමඟ මේ අණ්ඩුව ඉදිරියට ගෙන යාමට නොහැකි වීමයි. උදාහරණයක් ලෙස නැගෙනහිර ජැටිය වසර ගණනාවකට හෝ සියයට 51ක් සියයට 49ක් (සියයට 49කට අඩුවෙන් ඉන්දියාවට) පදනමින් ඉන්දියාවට පැවරීම හකුළා ගැනීමට ජනාධිපතිවරයාට සිදු වූයේ ඉහත සඳහන් බලවේග නිසාය. එය සිදු වූයේ නම් ඉන්දියාවේ නෝක්කාඩුව මේ තරම් දුර දිග නොයනු ඇත. අප රටේ දේශපාලනයට චීනය බරපතළ ලෙස සම්බන්ධ කරගනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්ෂගේ සමයේය. මේ නිසා මේ රට අනවශ්‍ය ලෙස මහ බලවතුන්ගේ දේශපාලන පොරපිටියක් බවට පත්වීය.
වත්මන් ජනාධිපතිවරයාට එය යම් ප්‍රමාණයකට සමනයක් කරගැනීමට තිබූ අවස්ථා වැළකී ගියේය. එහෙත් බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා වැනි කෙනකුට මේවා ප්‍රශ්න නොවේ. දැනට ඔහුගේ භාවිතයට අනුව නම් මේ බොරු දේශප්‍රේමය එළිපත්තෙන් මෙහාට වැද්දාගන්නේ නැත. දේශපාලනය කරන ස්වාමීන්වහන්සේලා සමඟ වුව ද වැඩි ඇසුරක් නැත.
එසේ නම් මේ අණ්ඩුවේ කාර්යසාධක බළකාවල අසුන් ගනිමින්, පාලනයට සම්බන්ධ වෙමින්, ඔහු අහවල් කෙන්ගෙඩියක් කළා දැයි සමහරු ප්‍රශ්න කරති. සාමාන්‍යයෙන් කැබිනට් අමාත්‍ය ධුරයක්වත් නොමැති කෙනකුගේ නියෝග පිළිපැදීමට මේ රටේ බහුතර නිලධාරීහු සූදානම් නොවෙති. ඒ තරමටම ඔවුහු උද්දච්චය. ජනාධිපතිවරයාටත් අද මේ නිලධාරීන් අභියස පින්සෙණ්ඩු වීමට සිදුවී තිබේ. ගම සමඟ පිළිසඳර වැඩසටහන්වලදී එය පැහැදිලි වේ.
එසේම මේ බළකායන්ට වැඩිපුර නිලධාරීන් පැමිණෙන්නේ කියන දේ අසාගෙන සිටිමින් තේ කොප්පයක් බී මාරුවීමටය. එනිසා බැසිල් රාජපක්ෂ අණ්ඩුවේ පිටත සිටිනවාට වඩා ඇතුළට පැමිණීම වැදගත්ය. ඔහු අනෙක් රාජපක්ෂවරුන් තම මතයට අවනත කරගැනීමට දක්ෂය. එසේ නොවන තැන රෙදි බෑගය ගෙන ඇමෙරිකාව බලා යෑම ඔහුගේ සාමාන්‍ය සිරිතය.
බැසිල් ඉන්දියාව සමඟ මෙන්ම ඇමෙරිකාව සමඟ ද හිතමිතුරුය. මේ මොන ප්‍රශ්න පැවැතිය ද ඉදිරියේ දිගින් දිගටම පවතින්නේ රාජපක්ෂ ආණ්ඩු නම්, විපක්ෂයේ සර්ලා ද ෆේල් නම් අද මේ ආණ්ඩුවට එරෙහි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාත්‍යන්තරය අනෙක් රාජපක්ෂලාට වඩා බැසිල් වැනි කෙනකුට බලය මාරු වෙනවාට කැමැතිය. ජාත්‍යන්තරේ සහයෝගය නොමැතිව අද දවසේ කිසිම ආණ්ඩුවකට පැවැත්මක් නොමැත. ඒ අතින් බලන කල බැසිල්ගේ සම්ප්‍රාප්තිය විපක්ෂයට සරල කාරණයක් නොවේ.
බැසිල් දේශපාලන සත්වයෙකි. ඔහු මේ වනවිට අව වරප්‍රසාද සහිත, කිසිවෙක් ගණන් නොගන්නා චරිත පක්ෂ සංවිධානය තුළට ගෙන ග්‍රාමීය නායකයන් ලෙස පත්කරගනු ලැබ සිටිති. ඔවුන් සමඟ නිතර කතාබහ කරති. ඔවුන්ගේ ආර්ථිකය ශක්තීමත් කරති. එය සිදුවන්නේ කෙසේදැයි කවුරුත් දනිති. අවසානයේ මේ පිරිස බැසිල් වෙනුවෙන් ගමේ ඡන්ද මැෂිම බවට පත්වෙති. වත්මන් ප්‍රාදේශීය සභා නියෝජනය කරන අය අතර මේ පිරිස බහුලය. එසේම ඔහු ආර්ථික සංවර්ධන ඇමැති සමයේ සමෘද්ධිලාභීහු සුළු ව්‍යාපාරිකයන් බවට පත්කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නඟනු අපි දැක ඇත්තෙමු.
මෙතැන් සිට විපක්ෂය ඉදිරියේ තිබෙන කාර්යභාරය ලේසි පහසු නොවේ. ඔවුනට බැසිල් නිසා ගෙදර වැඩ වැඩි වෙලාය. උදාහරණයක් වශයෙන් ඔවුන් මේ රටේ අවිධිමත් රැකියාවල යෙදෙන 60 ලක්ෂයක් පමණ වන ජනයා සම්බන්ධයෙන් තවමත් සුවිශේෂී අවධානයක් නොදක්වන බව පෙනේ. මේවා ඊළඟ ආණ්ඩුව වෙනස් අාණ්ඩුවක් ලෙස පෙන්වීමේ හොඳ සාධකයි. සත්‍ය වශයෙන්ම ඊළඟ අණ්ඩුව මේ රටේ දැවෙන ප්‍රශ්නවලට විද්‍යාත්මකව හා ප්‍රායෝගිකව ආමන්ත්‍රණය නොකරන මීට වඩා සැලසුම්සහගත වෙනස් ආණ්ඩුවක් නොවන්නේ නම් මේ බම්බු දේශපාලනයෙන් පලක් නොවේ.
බැසිල් මෙන්ම දක්ෂ අය විපක්ෂයේ ද සිටිති. දොස්තර රාජිත සේනාරත්න, චම්පික රණවක, කබීර් හෂිම්, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න අාදීහු ඉන් ප්‍රධාන වෙති. එසේම මේ රටේ යුද ජයග්‍රහණයේ වැදගත් කොටසක් හිමි සැබෑ දේශප්‍රේමී නායකයකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිටින්නේ ද විපක්ෂයේ සමගි ජන බලවේගය සමඟය. අපේකමක් සහිත විපක්ෂයේ ජනප්‍රියතම නායකයා බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්ව සිටී. ඔහු තමන් ළඟ සිටින දක්ෂයන්ට බිය නොවී ඔවුන්ගෙන් වැඩ ගෙන ඉදිරියට යෑම අභියස අනාගතයේ බැසිල් සමඟ සටනින් විපක්ෂයේ ජයග්‍රහණය තීරණය වනු ඇත.
බැසිල්ගේ සම්ප්‍රාප්තියට විරුද්ධ කොටසක් ආණ්ඩුව තුළම සිටී. මේ අය අතුරින් වඩාත්ම විරෝධය දක්වන පිරිස සාමාන්‍යයෙන් රාජපක්ෂලා වෙනුවෙන් කඩේ පිලේ ගිය අයයි. හෙටත් ඔවුනට තවත් රාජපක්ෂ කෙනෙක් වෙනුවෙන් කඩේ යෑම ඒ තරම් ප්‍රශ්නයක් නොවේ. මුලදී ගෝඨා විරෝධියකු වූ වාසුදේව නානායක්කාර පසුව ගෝඨා ළඟට වැටුණා සේ මේ බැසිල් විරෝධීන්ට හෙට දවසේ ඔහු සමඟ එකට සිට ගැනීම ප්‍රශ්නයක් නොවේ. නැති නම් බැසිල් විසින්ම එම පක්ෂවල සිටින අය තමන් ළඟට ගෙන එහි නායකකාරකාදීන් සුළු පිරිසක් බවට පත් කරනු ඇත. අද මේ අණ්ඩුවේ පොහොට්ටුව නියෝජනය කරන අතිබහුතරය සිටින්නේ බැසිල් සමඟය. බැසිල්ට අකැමැති අය ද මේ අය අතර සිටිති. සාමාන්‍යයෙන් බැසිල් ඡන්ද ගණන් හිලව් හා මනාප සමඟ රිසි සේ සෙල්ලම් කරන නායකයෙකි. ඒ නිසා සමහර අය ඊළඟ මැතිවරණයේදී මනාප පොරයෙන් ගොඩ ගැනීම හා පරාජය කිරීමේ යතුර තිබෙන්නේ ඔහු අතය. එය සිදුවන්නේ ග්‍රාමීය මැතිවරණ යාන්ත්‍රණය හරහාය. ගමට නොයන ගමේ ජනතාව සමඟ නොගැටෙන දේශපාලනඥයන්ට වෙන විකල්පයක් නොමැත.
මේ වනවිට රට බාරදිය හැකි නායකකාරකාදීන්ගේ හිඟයක් පවතී. ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක වැනි නායකයෝ එල්.ටී.ටී.ඊ.ය නිසා අපට අහිමි වූහ. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාට සිදු වූයේ ද එම ඉරණමයි. මෙවැනි රටවල පවතින පවුල් දේශපාලන කුඩය යටින් අලුත් නායකයෝ බිහි නොවෙති. මේ නිසා යම් යම් දුර්වල හා අඩුපාඩු මධ්‍යයේ වුව ද සිටින නායකයන් සමඟ ගමන් කිරීමට ජනතාවට සිදු වේ.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ වළල්ලෙන් පිට පැන්න එක් නායකයෙකි. ඔහු ජාත්‍යන්තරය පවා දිනා ගැනීමට සමත් විය. එහෙත් ඔහුට මේ රටේ වරප්‍රසාදලත් පන්තියෙන් එල්ල වූ දේශපාලන ප්‍රහාර එමටය. බොහෝවිට ඔහු පාවිච්චි කිරීමට බැලුවේ ජනාධිපතිවරණයක් ජය ගැනීමේ අතරමැදි සාධකයක් ලෙසිනි. එය නොහැකි වූ තැන ගැටුමක් නිර්මාණය විය. එ් නිසාම ජනතාවට යහපාලනය තිත්ත වුණි. අදත් ඔහු දේශපාලනයේ රැඳී සිටින්නේ ඔහුගේම ශක්තිය මතය.
සාමන්‍යයෙන් මේ රටේ බිහිවන ඕනෑම ආණ්ඩුවකට ගමන් කිරීමට සිදු වී තිබෙන්නේ හතරවැනි කාර්මික විප්ලවය අභියස ධනේශ්වර මාවතේය. බැසිල් එය හොඳට තේරුම්ගත් නායකයෙකි. මෛත්‍රීත් එසේමය. අද මේ දෙදෙනාම එකම ආණ්ඩුවක් නියෝජනය කරති. රටේ ජනතාව ද බොරුවට සමාජවාදය කතා කළත් මනසින් ධනවාදීහුය. කොපමණ හොඳ සැලසුම් ඉදිරිපත් කරත් ජ.වි.පෙ.ට බලය නොදෙන්නේ ඒ නිසාය. කවදත් යූ.එන්.පී. විරෝධී ආණ්ඩු (විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව) ව්‍යාජ දේශප්‍රේමය හා ජාතිවාදය පටලවා ඡන්දදායකයා මෝහනයට පත් කර බලය ලබාගැනීමට දක්ෂය. අවසානයේ ධනේශ්වර ප්‍රතිසංස්කරණවලට යෑමට තිබෙන බිය හා බාධාව නිසා අසාර්ථක වේ. රාජපක්ෂවරුන් අතර බැසිල්ට එය ප්‍රශ්නයක් වූ බවක් මෙතෙක් නොපෙනේ. එහෙත් හෙට ගැන කියන්න දන්නේ නැත. ඔහුත් හෙට දවසේ සහෝදරයන් මෙන් හිර වුණොත් මේ සියල්ල විසිවන්නේ රොත්ත පිටින්ය.
බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාගේ වත්මන් සම්ප්‍රාප්තියත් සමඟ මේ අණ්ඩුවේ මේ වනතෙක් සිදුවෙමින් පවතින කඩා වැටීම නතර කළ හැකි ද යන්න ප්‍රශ්නයකි. එවන් දැවැන්ත වෙනසක් කළ හැකි නම් ඔහු මේ යුගයේ සුවිශේෂී නායකයාය. එසේ වුව ද මේ ආණ්ඩුවේ ශීඝ්‍ර කඩා වැටීම නතර කිරීම, පොදුවේ මේ රටේ ජනතාවට අවශ්‍යය. නැති නම් හෙට දවසේ කාටවත් දේශපාලනය කිරීමට රටක් ඉතිරි නොවේ. මෙය අඩුම ගානේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතවත් අවශ්‍ය වේලාවට හරි හැටි කළමනාකරණය කරගැනීමට නොහැකි වූ අණ්ඩුවකි. මේ සියල්ල සිදුවන්නේ මේ රජය තුළ වුව ද දක්ෂයන් හා වැඩකාරයන් සිටියදීය. මේ සියලු තත්ත්වයන් යටතේ වුව ද මේ අණ්ඩුවේ පසුබෑම මෙතැනින් නතර කරගැනීමේ හැකියාව නම් බැසිල්ට ඇත.
වසන්තප්‍රිය රාමනායක
(***)