‘තමන් බංකොලොත්’ යැයි කීම තරම් ලජ්ජා සහගත අවමානයක් තවත් නැත. එහෙත් 2500 වසරක අභිමානවත් ඉතිහාසයක් සහිත පෙරදිග ධාන්‍යාගාරය, ධර්මද්වීපය මෙන්ම ඉන්දීය සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලි ලත් නයන පිනවන මේ රන් දිවයින ‘අද බංකොලොත්’ යැයි මුළු ලෝකය හමුවේ පිළිගත්තේය.
නොඑසේ නම් එසේ පිළිගැනීමට සිදුවූ පරිසරයක් නිර්මාණය විය. ආර්ථික අර්බුදය කෙතරම් බලවත් ද යත් ‘අභිමානවත් නිදහස් සැමරුම පවා කිරීමට හැකි වූයේ දහසක් බාධක මැදය. අප රට වැටී තිබෙන තැන සම්බන්ධයෙන් කිසිදු පුරවැසියකුට සතුටක් ඇති කර ගත නොහැකිය.
අප රට මේ අඳුරු ප්‍රපාතයට වැටීමට හේතු වශයෙන් ජාත්‍යන්තරව ලැබෙන ආධාර අවශ්‍ය ව්‍යාපෘතිවලට යොමු කිරීම මෙන්ම අධික පොලියට ලබා ගන්නා ණය ඵලදායී නොවන සංවර්ධන ව්‍යාපෘතිවලට වැය කිරීම ද දක්වයි.
ඕනෑම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර එහි ඵලදායිතාව සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතුය. ඵලදායිතාව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන්නේ නම් පමණක් එය ක්‍රියාත්මක කළ යුතුය.
ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කරන්නේ ද යන්න නිරීක්ෂණය කළ යුතුය. සැබැවින්ම එය ඇමැතිවරයාගේ කාර්ය භාරයක් නොවේ. නිලධාරීන් සිටින්නේ එයටය. මෙම නිලධාරීහු වූ කලි අඟහරු ලොවෙන් පාදූර්බූත වුවෝ නොවෙති.
ඔවුහු මහජනයාගේ බදු මුදලින් ඉගෙන එම බදු මුදලෙන්ම වැටුප් හා අනෙකුත් වරප්‍රසාද ලබන්නෝ වෙති. එහෙයින් තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමේ අත්හළ නොහැකි වගකීමක් ඔවුන්ට තිබේ. එහෙත් එම වගකීම එයට හිමි බරින් ගෙන ක්‍රියාත්මක වන්නේ කීයෙන් කී දෙනාද යන්න ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නය යළිත් අපට නැගීමට සිදුව තිබෙන්නේ නවතම විගණන වාර්තාවක් හේතුවෙනි.
අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියකට අනුව නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 412ක් වැය කරමින් රට පුරා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති රැසක් නියමිත කාලසීමාවේදී අවසන් කිරීමට අසමත්ව ඇතැයි විගණන වාර්තාවකින් හෙළිවී තිබේ. මෙම ව්‍යාපෘති අතර රුපියල් කෝටි 212ක් වැය කරමින් අරඹන ලද නගර සංවර්ධන ව්‍යාපෘති 52ක් පවතින අතර එයින් 45ක් නිසි කලට නිමා කිරීමට අසමත්ව ඇති බව ද එම විගණන වාර්තාවේ සඳහන්ය. මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ මෙම ව්‍යාපෘති 52න් හතරක වැඩ අවසන්ව නැති නමුත් ඒවාට ගෙවි යුතු මුදලටත් වඩා වැඩියෙන් ගෙවා තිබීමය.
ඇමැතිවරු යති එති. එහෙත් නිලධාරීහු දිගටම සිටිති. අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් නිසි අවබෝධයක් සහිතව නිලධාරීන් කටයුතු කරන්නේ නම් ව්‍යාපෘතිවලට මෙම ඉරණම අත්වන්නේ නැත. ව්‍යාපෘති හතරක වැඩ අවසන් නැතත් ඒවාට ගෙවිය යුතු මුදලටත් වඩා වැඩියෙන් ගෙවා ඇත්නම් ඒ ඉහළින් ආ බලපෑමකට විය යුතුය. එහෙත් එවැනි බලපෑම්වලට යටත් නොවී සිටීමේ කශේරුකාව රාජ්‍ය නිලධාරීන්ට තිබිය යුතුය. සිස්ටම් චේන්ජ් කළ හැකි වන්නේ එබඳු කශේරුකාවක් සහිත නිලධාරීන්ට මිස චෞර වළල්ලේම අනුගාමිකයකු වී උකටලිව සිටින රාජ්‍ය නිලධාරීන්ට නොවේ.
අප පුවත්පත උපුටා දැක්වූ විගණන වාර්තාවට අනුව ව්‍යාපෘති හතක වැඩ අවසන් කර තිබුණද ඒවාට කිසිදු මුදලක් ගෙවා නැත. එමෙන්ම ව්‍යාපෘති තුනක වැඩ ආරම්භ කිරීමටවත් කටයුතු කර නැතැයි එම වාර්තාවේ සඳහන්ය. එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි දෙසීයක ප්‍රතිපාදන යටතේ ඉදි කිරීමට සැලසුම් කළ ඇවිදින මං තීරු තිහකින් විසි හයක ඉදිකිරීම් අවසන් කර නැතැයි ද එම වාර්තාවේ සඳහන්ය.
මෙහි විශේෂත්වය වන්නේ ව්‍යාපෘතිවලින් 27ක් 2021 දෙසැම්බර් 31 දිනට ද ඉතිරි ව්‍යාපෘති තුන 2022 ජූනි 30 දිනට ද අවසන් කළ යුතුව තිබීමය. එම වාර්තාවට අනුව ඇවිදින මං තීරු වෙනුවෙන් 2021 දෙසැම්බර් 31 දින වනවිට වෙන් කළ ප්‍රතිපාදනවලින් රුපියල් කෝටි 138ක් වැය කර ඇත. එහෙත් වැඩ අවසන් කර තිබෙන්නේ ව්‍යාපෘති හතක පමණක් බවත් සඳහන්ය.
රට මේ ප්‍රපාතයට වැටීමේ හේතු ඉතාම පැහැදිලිව පෙන්නුම් කිරීමට මෙම විගණන වාර්තා සමත් වේ. එමෙන්ම රාජ්‍ය මුදල් කාබාසිනියා කිරීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වා වැරැදිකරුවන්ට දඬුවම් දීමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක කළ යුතුය. නැතහොත් මෙම විගණන වාර්තා වේයන්ට, කාවුන්ට රස බොජුනක් බවට පමණක් පවත්වනු නියතය.
(***)