රට දැවැන්ත මූල්‍ය අර්බුදයක හිරවී ඇත. විදුලිබල ඇමැති හා බලශක්ති ඇමැති අතර ඇති වාග් සංග්‍රාමය ඇඟ ලොමුඩැහැගන්වන සුළුය. විදුලිබල ඇමැති බලශක්ති ඇමැතිගෙන් ඩීසල් ඉල්ලා සිටී. බලශක්ති ඇමැති කියන්නේ ඩීසල් දීමට නම් ඩොලර් අවශ්‍ය බවය. තමන් සතුව ඇති ඩීසල් තොග විදුලිබල ඇමැතිට ලබා දුනහොත් ඩීසල්වලින් දුවන වාහනවලට ඩීසල් නැතිවන බවය. පෙරළා විදුලිබල ඇමැති පවසන්නේ ඩීසල් නොලැබුණ හොත් විදුලිය කැපීමට සිදුවන බවය.
මෙම ප්‍රශ්නය කොවිඩ් මාරක වසංගතය බඳුය. එම මාරක වසංගතය පැමිණියේ වසර සියයකට පමණ පසුවය. ඩීසල් හා විදුලිය සම්බන්ධ ප්‍රශ්නය එයටත් වඩා වැඩි කලකට පසුව පැමිණියක් විය යුතුය. සාමාන්‍ය ජනයා නම් පවසන්නේ ‘අම්මා ඉන්න කාලෙදිවත් මෙහෙම දෙයක් අසා නැති’ බවය. ජනතාව කල්පනා කරන්නේ රටට වුණේ කුමක්ද යන්නය.
අපි හේතුඵලවාදය පිළිගන්නෙමු. එනම් හේතුවකින් තොරව ඵලයක් හට නොගන්නා බවය. රට නරකාදියට ඇද වැටී තිබෙන්නේ අහේතුකව නොවේ. මේ වූ කලී තාර්කික අන්තයකි. ඒ බව සනාථ කෙරෙන පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
අප පුවත්පත වාර්තා කළ පුවතෙන් කියැවුණේ මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය කිරි ගවයන් 15000 ක් ආනයනය කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකුට රුපියල් කෝටි 175 කට වැඩි මුදලක් ගෙවා තිබියදීත් එකම කිරි ගවයකු හෝ ආනයනය කර බාර දී නැති බවය. මේ බව ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කර ඇති බවය.
සිද්ධිය වී තිබෙන්නේ 2018 වසරේදීය. විදේශීය බැංකුවකින් ලබාගත් ණය මුදලකින් මෙම රුපියල් කෝටි 175 කට වැඩි මුදල කොන්ත්‍රාත්කරුට ගෙවා ඇත. රුපියල් කෝටි 175 ක් යනු සුළුපටු මුදලක් නොවේ. එහෙත් එම මුදල සොරා කා ඇත. එක්කෝ අදාළ කොන්ත්‍රාත්වරයා එම මුදල සාක්කුවේ දමාගෙන ගෙදර යන්නට ඇත. එසේ නොවේ නම් තවකෙකුගේ සාක්කුවට කොටසක් දමා ‘ඉතිරිය තමන්ගේ සාක්කුවට දමා ගන්නට ඇත. කිරි හරකුන් ආනයනය නොකරන්නට ඇත්තේ රටේ මුදල් මෙහෙම නාස්ති කරන, වංචා කරන හරක් සිටියදී තවත් හරකුන් ගෙන්විය යුතු නැති නිසා විය හැකිය.
මෙම කිරි ගව ව්‍යාපෘතිය 2010 – 2015 රජය සමයේ ක්‍රියාත්මක කළ එකකි. එහිදී පළමු අදියර වශයෙන් කිරි ගවයන් 5000 ක් ගෙන්වීම සිදුවිය. 2018 වසර වන විට අනාවරණය වී තිබුණේ එම ව්‍යාපෘතිය මුළුමනින්ම අසාර්ථක බවය. එසේ තිබියදී පාර්ලිමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව ඉතිරි කිරි ගවයන් ගෙන්වීමට මෙලෙස අත්තනෝමතික ලෙස මුදල් වියදම් කර තිබේ.
විගණන වාර්තාවේ එක් වැදගත් කරුණක් අවධාරණය විය යුතුය. එම විගණන වාර්තාවේ සඳහන් වන්නේ අදාළ බලධාරීන් රජයේ මුදල් මේ ආකාරයට වෙනත් පාර්ශ්වවලට අවභාවිත කිරීමට ඉඩදී ඇති බවත් අත්තිකාරම් මුදල් කොන්ත්‍රාත්කරුට ගෙවා තිබූ හෙයින් එම කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කිරීමට නීතිපතිවරයාට ද නොහැකි වූ බවය. එමෙන්ම එම රුපියල් කෝටි 175 කට වඩා වැඩි මුදලට අමතරව ණය මුදල් සඳහා වූ පොලිය මෙන්ම රුපියල අවප්‍රමාණය වීමේ අලාභය දැරීමට සිදුවී තිබෙන බව විගණන වාර්තාවේ සඳහන්ය.
ජනතාව මේ ගෙවමින් තිබෙන්නේ ජනතාව පෙර ආත්මයක හෝ කළ පාපකර්මයක් නොවේ. ජනතාවගේ මුදල් සිතූ සිතූ පරිදි කාබාසිනියා කළ චෞර දේශපාලනඥයන්ගේ, දූෂිත නිලධාරීන්ගේ හොරකම් හා වංචාවල වන්දිය වේ. ජනතා මුදල් මෙසේ හොරකම් කිරීමට තරමට බයක් ඇතිවූයේ කෙසේද යන්න ද විමසිය යුතුය. එක කිරි ගවයකු හෝ නොගෙන්වීමෙන් අදාළ චෞරයන්ගේ නිර්භය බව මනාව පැහැදිලි වේ. ඒ සඳහා අවශ්‍ය රැකවරණය දුන්නේ කවුරුන්ද යන්න විමසිය යුතුය.
අද අපා දුක් විඳින්නෝ ජනතාව වෙති. ධනය සොරා කෑ චෞර කප්පිත්තෝ ඒ මහ ධන නිධානයෙන් සුරසැප විඳිති. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා ප්‍රකාශ කර තිබුණේ ‘කිසිදු ආණ්ඩුවක් සොරුන්ට දඬුවම් නොකළ’ බවය. අදාළ කෝටි 175 කට වැඩි මුදලක් සොරා කෑ එම සිද්ධියට සම්බන්ධ කිසිදු පාර්ශ්වයකට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
ඉන්දියන් සාගරේ මුතු ඇටයට අත්වී ඇති ඉරණම එයය.