කෘෂි අංශයෙන් ආර්ථිකයට දායකත්වය විමසුම් ඇසින්


මිල පාලන රෙගුලාසි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. වෙළෙඳපොළට ගැළපෙන තීරණයකි. මෙතෙක් භාණ්ඩ වර්ග දහ හතකට උපරිම සිල්ලර මිලක් නියම කර තිබුණි. අලුත් නියෝගය අනුව පාලන මිල තවදුරටත් වලංගු නැත. ආහාර ද්‍රව්‍ය විකිණිය හැකි මිලක් ගැසට් කරන ලද නමුත් පාරිභෝගිකයන්ට එම මිලට ලැබුණේ නැති බව ද පෙන්වා දිය යුතුය.

පාරිභෝගිකයෝ ආණ්ඩුවටත්, වෙළෙඳුන්ටත් දොස් තැබූහ. එය සාධාරණ නැත. ඉල්ලුම පාලනය කිරීම සඳහා මිල නියම කරන්නට ආණ්ඩුවට සිදු වූ නමුත් වෙළෙන්දන් මිල තීරණය කළේ ලැබෙන සැපැයුම අනුවය. භාණ්ඩ හිඟ වන විට මිල ඉහළ නැගීම සාමාන්‍යයෙන් සිදු වෙයි.

තවත් සඳහන් කළ යුතු වැදගත් කරුණක් ඇත. පාරිභෝගිකයන්ට වාසි සැලසෙන ක්‍රමයක් උදෙසා තරගකාරීත්වය අවශ්‍යය. රාජ්‍ය හා පෞද්ගලික අංශය අතර පමණක් නොව පෞද්ගලික අංශයේ සේවා හා ව්‍යාපාර අතර ද තියුණු තරගයක් තිබිය යුතුය. එක හා සමාන භාණ්ඩ හෝ සේවා සැපැයුම්කරුවන් ගණනාවක් සිටින අවස්ථාවක තමන්ට කැමැති දේ තෝරා ගැනීමට නිදහසක් ලැබේ.

වෙළෙඳපොළට යන පාරිභෝගිකයෝ මිල, තත්ත්වය ඇතුළු ගුණාංග කෙරෙහි සැලකිලිමත් වෙති. විශ්වාසදායක තැන කෙරෙහි අවධානය යොමු වෙයි. මිල පාලනයේ දී මෙම ඇතුළාන්තය මග හැරේ. වෙළෙන්දා දෙන දෙයක් ආණ්ඩුවේ මිලට ගැනීමට හැර අනෙක් විසඳුමක් නැත. හොඳම දේ, පාරිභෝගිකයාට රිසි පරිදි මිල දී ගැනීමට අවශ්‍ය පහසුව සකස් කිරීම යහපත් කළමනාකරණයක් සහිත ආණ්ඩුවක ක්‍රමයයි.

කොවිඩ් වසංගත තත්ත්වය සමග ගැටලු ගණනාවක් හට ගැනිණ. අවශ්‍ය තරමට භාණ්ඩ හා සේවා සැපැයුමක් නොතිබීම එහි එක පැත්තකි. සාමාන්‍ය ජනතාවගේ ආදායම සීමා සහිත විය. වෙළෙඳපොළට සැපැයෙන දේ සීමා වන අතර, එහි මිල වැඩි වීම අත මිට හිඟ ජනතාවට තදින් දැනෙන කාරණයකි. එම ආවරණය දිගටම පවත්වාගෙන යා යුතු නැත. වෙළෙඳපොළ සක්‍රීය කර ආර්ථික දියුණුව සඳහා බලගැන්විය යුතුය. මිල පාලනය ඉවත් කර තරගය ඇති කිරීම එහි ප්‍රාථමික පියවරක් වනු ඇත.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, විශේෂයෙන් ආහාර පානවල මිල හා තොග සැපැයුම ගැන නියාමන අංශවල අවධානය යොමු විය යුතුය. නියාමනය ගැන අවබෝධයක් සහිත දක්ෂ කළමනාකරුවකුගේ සේවය රටට අවශ්‍යව තිබේ. වෙළෙඳපොළ හැසිරීම අනුව ඉක්මන් හා දූරදර්ශී තීරණ ගැනීමට එයින් හැකියාව ඇත. සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා පරිහරණයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැන විශේෂ අවධානයකින් ක්‍රියා කිරීම ලෝකයේ නොයෙක් රටවල සිදු වෙයි. එය විශාල සහනයකි. නැති බැරි ජන කොටසගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුය. පහසු මිලට සැපැයීමට විවිධ ක්‍රම තිබේ. රටට අවශ්‍ය හැම දෙයක්ම රට තුළ නිපදවීමට දරන උත්සාහය බලවත් ඉතාම සාර්ථක දෙයක් නොවේ.

ඉන්දියාවේ ලොකු ලූනු කිලෝවක් රුපියල් දහයකි. අර්තාපල් කිලෝවක් රුපියල් තිහක් වන අතර, පරිප්පු කිලෝවක මිල රුපියල් සියයක සිට ඉහළටය. එළවළු මිල ඉතාම අඩුය. අප රටේ ඉහළම මිලට විකිණෙන දෙළුම් කිලෝවක් රුපියල් දෙසීයකට අඩු බව දැක්විය යුතුය. විනිමය අනුපාතය අනුව ඉන්දීය රුපියලක් ලංකාවේ රුපියල් දෙකයි ශත හැටක් පමණ වෙයි. නිතිපතා මිල දී ගන්නා ආහාරවල මිල අඩුය. සාධාරණ ක්‍රමයකට ආනයනය කළහොත් පාරිභෝගිකයාට ඉමහත් වාසියකි. රට තුළ නිපදවන ක්‍රමයෙන් පාරිභෝගිකයන්ට විශාල වන්දියක් ගෙවන්නට සිදු වී තිබේ.

ශ්‍රී ලංකාවේ කළ හැකි දක්ෂතම කර්මාන්ත හා ව්‍යාපාරවලට ඉඩ දෙන අතර, කරන්නට අපහසු දේ අත්හැරිය යුතුය. ඒවායෙන් අසරණ වන පිරිසට විකල්ප ක්‍රම යෝජනා කිරීම වැදගත්ය. ඇඟලුම් නිෂ්පාදනය රටට ලැබුණ අවස්ථාවකි. එය ඉතාම වාසිදායකය. වෙළෙඳපොළ ප්‍රවණතා අනුව නිෂ්පාදනය කළ නොහැකි දේ අත්හැර වෙනත් සහ වැඩිම ආදායමක් ලැබෙන අංශ වෙත නැඹුරු කිරීම සුදුසුය. කෙසේ නමුත් අවසානයේ දී පාරිභෝගිකයාට වාසි ලැබෙන පරිදි වෙළෙඳපොළ සකස් කිරීම වැඩදායකය.

ලබන වසර සඳහා ඉදිරිපත් කරන ලද අය වැය යෝජනා අවධානයට ලක් වන කාල වකවානුවකි. කෘෂි අංශය ගැන කරුණු ඇතුළත්ය. ශ්‍රම බලකායෙන් සියයට අසූවක් කෘෂි අංශයෙහි බව දක්වයි. කෘෂි අංශය, දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සියයට දහයකටත් අඩු බව මතක් කළ යුතුය. විශාල ශ්‍රම බලකායක් යෙදවෙන නමුත් එයින් අත්පත්කරගත හැකි ආර්ථික වාසිය ගැන සොයා බැලීම සුදුසුය. 

පාරිභෝගිකයන්ගේ පැත්තෙන් අවධානය යොමු කළ යුතු කාලයකි. නිෂ්පාදන, සේවා හෝ කාර්මික අංශවල නිරත වන බවට වෙන්කළ හැකි නමුත් සියලුම දෙනා පාරිභෝගිකයෝය. එළවළු වගා කරන ගොවියා නිෂ්පාදකයකු වශයෙන් ආරක්ෂා කරගත යුතු නමුත් වෙළඳ පොළට පැමිණි පසු ඔහු ද අනෙක් පිරිස සමග පවතින මිල විපර්යාසයෙහි ගොදුරකි. 

ඉන්දියාවේ සිල්ලර මිල අනුව ලොකු ලූනු කිලෝ එකක් රුපියල් දහයකි. ශ්‍රී ලංකාවේ මුදලින් සලකන විට රුපියල් විසි හයකට ආසන්නය. තොග මිල තවත් අඩු බව සැකයක් නැත. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වෙළඳ ගිවිසුමක් තිබේ.

දෙරට අතර භාණ්ඩ ප්‍රවාහනයට විශාල පිරිවැයක් නැත. අස්වනු හිඟ කාලයේ ලංකාවේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් තුන්සියය ඉක්මවයි. 

මාතලේ, දඹුල්ල, ගලේවෙල, ලග්ගල ඇතුළු ප්‍රදේශවල මහා පරිමාණයෙන් ලොකු ලූනු වගා කෙරේ. උතුරු නැගෙනහිර පළාත්වල ද සුළු ගොවියෝ සිටිති. ලොකු ලූනු අස්වැන්න ලැබෙන කාලයේ දී පවා ඉන්දියාවේ මිලට  අපට ලැබෙන්නේ නැත. පාරිභෝගිකයන් විඳින අවාසිය බරපතළය. පවතින සම්ප්‍රදායික රාමුව වෙනස් කළහොත් ජීවන වියදම සම්බන්ධ අලුත් අත්දැකීමකට යා හැකිය. මෙහි සඳහන් කළේ එක පාරිභෝජන ද්‍රව්‍යයක් ගැන පමණකි. අනෙක් කෘෂි නිෂ්පාදනවල ද අභ්‍යන්තරයෙහි වෙනස මේ හා සමානය.

ලොකු ලූනු වගාවට අවශ්‍ය බීජ වලින් වැඩි කොටසක් ආනයනය කෙරේ. පොහොර පිටතින් ගෙන්වයි. ගොවියන්ට සහනාධාර ක්‍රම වෙනුවෙන් රජය වැය කරන ධනය ද සුළු පටු නැත. ඉඩම හා ශ්‍රමය පමණක් මෙරටින්ය. වගා බිම් සෑහෙන කොටසකට ඔප්පු නැත. වගා කරන්නෝ අඳ ගොවීහුය. අස්වැන්න විකිණීමෙන් පසු ණය ගෙවීම හැර ආදායමක් ගොවියන්ට නැති බව ඉතාම පැහැදිලි කරුණකි. ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරීම කෙරෙහි ප්‍රතිපත්ති සම්පාදකයන් අවධානය යොමු කළ යුතුය. 

ලොකු ලූනු වෙනුවට වෙනත් දෙයක් වගා කළ හැකිය. අපනයනයෙන් වැඩි ආදායමක් ලබා ගත හැකි බෝග ප්‍රබේද තිබේ. කෘෂි ව්‍යාප්ති අංශ මේවා ගැන අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කළ යුතුය. ලොකු ලූනු වගා කරන ගොවියන්ගේ ඉරණම වෙනස් කරන තීරණ අවශ්‍යය. එය පාරිභෝගිකයන් ගේ ද ඉරණම වෙනස් කිරීමකි. මුලින් ගැටලු ඇතිවෙයි. විරෝධතා එල්ල වෙනු ඇත. ඒවා සමනය කළ හැක. ලූනු ගොවියන් තෝරාගෙන ඔවුන්ට කෙළින්ම ආධාර සැපයිය යුතුය.

ආනයනික ලොකු ලූනුවලට විශේෂ බද්දක් පනවා එයින් ලැබෙන ආදායම අනෙක් වගාවකින් ස්ථාවර වන තෙක් ගොවි ජනතාවට ගෙවිය හැකිය. අවුරුදු දෙක තුනකින් අලුත් යමක් සිදුවෙයි. පාරිභෝගිකයන්ට අඩු මිලට ලොකු ලූනු මිල දී ගත හැකිවනු ඇත. වෙළඳ පොළ මිල ස්ථාවරව තබා ගැනීම සඳහා, විදේශීය සැපයුම්කරුවන් සමග ඉදිරි මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කරන්නට හැකියාව ඇත. 

ගොවි ජනතාව ඉකුත් පරම්පරා ගණනක, මහ පොළව සමග හැපී, ගැටී එයින්ම පෝෂණය වී ඇත. අලුත් පරපුර මෙහි විෂම පැත්ත ගැන අවබෝධයක් සහිතය. දරුවෝ ගොවිපොළට එහා ඇති අවස්ථා දකිති. නගරයට හෝ නගරයෙන් පැන වෙනත් රටකට හෝ යන්නට සූදානම්ය. වෙළඳ පොළ සඳහා ගොවි තැනෙහි නිරත වන පිරිස ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. ඵලදායීත්වයක් නැති අකාර්යක්ෂම ක්‍රමවලින් ගැලවෙන සූදානම වැදගත්ය.

වෙනස් ක්ෂේත්‍ර තෝරා විධිමත් අධ්‍යයනයක් කළ හැකිය. අර්බුදකාරී පැතිවලින් ගැලවීමට පර්යේෂණ කළ යුතුය. මෙරට කෘෂිකර්මය හා ගොවිතැන ගැන විශ්වවිද්‍යාල මට්ටමින් වැදගත් සොයාගැනීම් කර තිබේ. ඒවා ප්‍රායෝගිකව භාවිතයට නොගැනීම අඩුවකි. මෙහි ලා සඳහන් කළේ එක වගාවක් ගැන පමණකි. ආසන්න රටක අත්දැකීමක් වන අතර අනෙක් අංශ ගැන ද පරීක්ෂාකාරීව සොයා බැලීමෙන් පාරිභෝගික උන්නතිය ඇති කළ හැකිවනු ඇත. 

- මිලින්ද මොරගොඩ        
www.milindaprashna.wordpress.com