කෘෂිකර්මයට බැටදෙන ගෝලීය උණුසුම


බොහෝ දිනවලදී මාධ්‍ය ඔස්සේ ඇසෙන කාලගුණ නිවේදනය ඔබ අසා ඇතැයි සිතමි. මේ එවැන්නකි. “බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතීයි” යන ප්‍රකාශනයයි. සමහර අවස්ථාවක එහි දිගුවක් ලෙස “මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිවේ.” යනුවෙන් ද පැවසේ.

මේ අනුව පැහැදිලි වන්නේ සාමාන්‍ය වියළි කාලගුණයක් රට තුළ පවතින බවයි. මාස කිහිපයක සිට මෙවැනි ආකාරයේ තත්ත්වයක් සෑම ප්‍රදේශයකම උදාවී ඇති ආකාරය අසන්නට දකින්නට ලැබේ.

සමකයට ආසන්නයේ පිහිටි රටක් බැවින්  මාර්තු සිට මැයි දක්වාද  අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා ද ශ්‍රී ලංකාව තුළ සාමාන්‍යයෙන් උණුසුම් කාලගුණික තත්ත්වයක් බලපැවැත්වේ. මෙරට වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.5 ක් පමණ වේ.

බොහෝ දිස්ත්‍රික්කවල මෙම වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා දෛනික උෂ්ණත්වය සෙල්සියස් අංශක 31-35 අතර අගයක් පෙන්නුම් කරයි. දැනටමත් දකුණු පළාතේ නියඟයක ලක්ෂණ පෙන්නුම්කර තිබේ. එහි ප්‍රතිවිපාක ලෙස ගංගා, වැව් හා කෘත්‍රිම ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටීම දකින්නට ලැබේ. එමෙන්ම මේ වනවිට  බොහෝ ප්‍රදේශවල පවතින උණුසුම මිනිස් හා සත්ව ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සහ ආහාර බෝග වගා කටයුතු රැසක් අකර්මණ්‍ය කිරීමට ද හේතුකාරකවී තිබේ. 

එමෙන්ම ගොඩබිම උෂ්ණත්වය, මුහුදු ජලයේ උෂ්ණත්වය හා මුහුදු ජල මට්ටම ඉහළ යන විට එහි ප්‍රතිඵල ලෙසින් තාප තරංග, සුළි සුළං, ලැව්ගිනි, නියඟ සහ ක්ෂණික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වය ඇතිවන ආකාරය ලෝකයේ මහාද්වීප පහ තුළ දී දැකගත හැකිවේ. මෙතෙක් සිදුකර ඇති විද්‍යාත්මක අධ්‍යයනවලින් පෙනී යන්නේ මිනිසා විසින් පරිසරය කෙරෙහි ඇති කරන බලපෑම් මත සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් නිතර නිතර හෝ වඩාත් තීව්‍ර ලෙස ආන්තික කාලගුණික වෙනස්වීම් සිදුවන බවයි. මේ ආකාරයෙන්ම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අවබෝධකර ගැනීම එතරම් අසීරු නොවේ.

එමෙන්ම වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු සාන්ද්‍රණය සෘජුවම සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වයට බලපාන බව සනාථ කරගෙන තිබේ. ඒ අනුව උෂ්ණත්වයේ කුඩා වැඩිවීමක් වුවද කාලගුණය සහ දේශගුණික පද්ධති කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන බව තහවුරු වේ. ගෝලීය උෂ්ණත්වය ඉහළයාම යන්නෙන් අදහස් කරන්නේ සෑමතැනකම සෑම අවස්ථාවකම සමාකාරයකින් උෂ්ණත්වය ඉහළ යාමක් ගැන නොවේ. එක් කලාපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 කින් ඉහළ යා හැකි අතර තවත් කලාපයක සෙල්සියස් අංශක 2 කින් එය පහත වැටීමට ඉඩකඩ තිබේ.

විශේෂයෙන්ම 2016 අගෝස්තු මාසයේ පැවැති සෙල්සියස් අංශක 16.92 ක ගෝලීය සාමාන්‍ය  උෂ්ණත්වය මෙම වසරේ ජූලි 3 හා 6 දින අතර සෙල්සියස් අංශක 17.01 දක්වා ඉහළ ගොස් තිබේ. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ දත්තවලට අනුව 2023 ජූලි මාසයේ පළමු සතිය උණුසුමින් වැඩිම සතිය ලෙස  වාර්තා කෙරිණි. මේ අතර ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආහාර තත්ත්ව විශ්ලේෂණ වාර්තාවට අනුව 2023 දෙවැනි කාර්තුවේදී එල් නිනෝ තත්ත්වය බොහෝ කලාපවලට බලපෑම් එල්ලකර ඇති බව දැක්වේ.

පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ කොටසක් තාවකාලික සහ ඉඳහිට ස්වභාවිකව උණුසුම්වීමෙන් නිර්මාණයවන එල් නිනෝ තත්ත්වය ගෝලීය කාලගුණ රටා වෙනස් කිරීමට ප්‍රබල හේතුකාරකයකි. මෙම තත්ත්වය වර්ධනයවී ප්‍රසාරණයවීමට කාලයක් ගතවුවද එය කෘෂිකර්මාන්තයට එතරම් සුබදායක නොවේ. විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ සහ මධ්‍යම ඇමරිකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන සහ ආහාර සුරක්ෂිතතා අවදානම් වැඩි කිරීමට එම තත්ත්වය සමත්වී තිබේ.

මෙම දේශගුණික අර්බුදය ප්‍රජාවට වඩාත් හානි කරන අතර ගොඩනැගෙන උණුසුම් කාලගුණයත් සමඟ තම සේවා ස්ථාන සහ නිවාස සිසිල් කිරීම සඳහා ලෝක ප්‍රජාව වැඩිවැඩියෙන් බලශක්තිය භාවිත කරනු ඇත. ඒ උදෙසා ගල් අඟු‍රු, ඉන්ධන, ස්වාභාවික වායු හා න්‍යෂ්ටික බලශක්තිය විදුලිය නිපදවීමට සැලකිය යුතු මට්ටමකින් වැය කිරීමට සිදුවනු ඇත.

මේ අනුව දේශගුණික විපර්යාස තීව්‍ර කිරීමට මග පාදන හරිතාගාර වායුවල විමෝචනය වැඩිවීම වළකාගතහැකි ද යන ගැටලුව උද්ගතවේ. එය ස්වභාවිකවම කාබන් විමෝචනය කපා හැරීම උදෙසා වසර ගණනාවක සිටම කාර්මීකරණයට නතුවූ රටවල් වෙතින් කරන ඉල්ලීම කෙරෙහි වඩාත් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

නරකම දෙය නම් ඉහළ උෂ්ණත්වය සහ නියඟයේ දිගුකාලීන බලපෑම කෘෂි හා වැවිලි බෝග, සත්ව නිෂ්පාදන කෙරෙහි මෙන්ම ආහාර සුරක්ෂිතතාවට අසාමාන්‍ය ලෙස ඇතිකරන තර්ජනයයි. උදාරණයක් ලෙස දකුණු පළාතේ උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් පාංශු තෙතමනය නැතිවීම වේගවත්කර ඇත.

වී සහ එළවළු බෝග නිෂ්පාදනය තීරණාත්මක කාල පරිච්ඡේදයකට යොමුකර තිබේ. මීට අමතරව අධික උෂ්ණත්වය සහ නියඟ වැනි තත්ත්වය බීජ හා පැලවල වර්ධනයට බලපාන අතර නිවැරදි පියවර නොගතහොත් ඉදිරි කන්නයේදී සමස්ත රට තුළම ආහාර බෝග නිෂ්පාදනය අනතුරට පත්වනු ඇත. 

අධික උෂ්ණත්වය සහ වියළි කාලගුණය එළවළු නිෂ්පාදනය, ප්‍රවාහනය සහ අලෙවිකරණයට ද අභියෝගයක් වේ. ආහාර බෝග නිෂ්පාදනය අඩුවීම සහ ඉහළ ආහාර මිල නිසා ඒ ආශ්‍රිත ආංශික නිෂ්පාදන (පශු සම්පත් සඳහා වූ ආහාර නිෂ්පාදනයට මෙන්ම පශු සම්පත් සංවර්ධනයට ද බලපානු ඇත).

වෙළඳපොළ දත්ත දැනටමත් පෙන්නුම් කරන්නේ මෙරට තුළම නිපදවන සහල් හා එළවළු මෙන්ම කිරි, බිත්තර, මස්, මාළු ආදී බොහොමයක් ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පාරිභෝගිකයන්ට දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් ඇති බවයි.  ලෝකයේ පවතින ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා පාංශු ජෛව විවිධත්වය විනාශ කිරීම වළක්වා ගැනීම ද මෙහිදී වැදගත්වේ.

මක්නිසාදයත් පසෙහි කාබනික ද්‍රව්‍යවල ගතිකත්වය නියාමනය කිරීම, පසේ කාබන් තිරකිරීම, පසේ පෝෂක චක්‍රය පවත්වාගෙන යාම සහ හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීම සඳහා පාංශු ජීවීන්ගේ දායකත්වය වැදගත් වන බැවිනි. එමගින් දේශගුණික ස්ථායීකරණය සහ ආහාර සුරක්ෂිතතාව ඔස්සේ ලෝකයේ මිනිස් හා සත්ව ප්‍රජාවගේ පැවැත්ම තවදුරටත් සහතික කළහැකි වනු ඇත.  

අධික උෂ්ණත්වය සහ නියඟ ගෝලීය ආහාර සුරක්ෂිතතාවට ද තර්ජනයක් වී ඇත. ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර් යේෂණ ආයතනය පවසන ආකාරයට ලෝකයේ වී වගාවෙන් සියයට 90 ක් ආවරණය කරන හා අනුභවකරන ආසියාවේ නිෂ්පාදනයේ හිඟකම හේතුවෙන් සහල් මිල තවදුරටත් ඉහළ යනු ඇත. උදාහරණයක් ලෙස තායිලන්ත රජයේ කැබිනට් මණ්ඩලය එරට ආහාර සහ පාරිභෝගික භාණ්ඩ 46 ක සහ සේවා 05 ක මිල ලබන වසරේ ජුනි මාසය දක්වා අඛණ්ඩව පාලනය කිරීමට තීරණයකර තිබේ. ප්‍රධාන සහල් අපනයනකරුවකු වන පකිස්ථානයේ විනාශකාරී ගංවතුර හේතුවෙන් පසුගිය වසරේ සිට ධාන්‍ය නිෂ්පාදනය පහත වැටී ඇත. 

එමෙන්ම රුසියාව හා යුක්රේනය අතර යුද්ධය හේතුවෙන් පොහොර සපයාගැනීමේ ගැටලුව මත මියන්මාරය, කාම්බෝජය සහ නේපාලය අවදානමට ලක්ව ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 2022 වසරේ බලාපොරොත්තු වූවාට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීමත්, පසුගිය ජුනි මස අගවන විට ඉන්දියාව පුරා මෝසම් වර්ෂාව වෙනදාට වඩා අඩුවීමත් හේතුවෙන් තිරිඟු‍ වගා විනාශවීයාම නිසා ඉන්දියාව සහල් අපනයනය සීමා කිරීමට ගත් තීරණයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූයේ ඉන්දුනීසියාවයි. රුසියාව හා යුක්රේනය අතර ධාන්‍ය ගනුදෙනුව අවසන් කිරීමෙන් පසු ගෝලීය ආහාර මිල ඉහළ ගොස් තිබේ. සැපයුම් පිළිබඳ වූ අවිනිශ්චිතතා හේතුවෙන් සූරියකාන්ත තෙල් මිල සියයට 15 කින් වැඩිවීමක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙයි. 

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ වාර්තා අනුව මෙම වසරේ ජුනි මාසයේ සාමාන්‍යයෙන් තායිලන්තය, මියන්මාරය සහ ලාඕසය තුළ උණුසුම් කාලගුණයක් නිර්මාණයවී ඇති අතර ඉන්දුනීසියාව, පිලිපීනය, දකුණු වියට්නාමය, කාම්බෝජය සහ මැලේසියාව එම තත්ත්වයට මුහුණ දී තිබේ. මෙම ගැටලුව හමුවේ පීඩාකාරී කාලගුණික තත්ත්වයට එරෙහිව පියවර ගැනීම ඔස්සේ ආන්තික කාලගුණික උපද්‍රව අවම කර ගැනීමට යම්තරමකට හෝ හැකිවන බව අවබෝධකරගත යුතුවේ. ඒ උදෙසා අව්‍යාජ ලෙසින් දිගුකාලීනව ලෝකයේ දියුණු යැයි සම්මත රාජ්‍ය සක්‍රීයව කටයුතු කිරීම ඉතා අත්‍යවශ්‍ය වේ.

රසායනික පොහොර වගා කටයුතු උදෙසා තවත් තීරණාත්මක විචල්‍යයකි. යුක්රේනය ආක්‍රමණය කිරීම මත රුසියාවට එරෙහිව පැනවූ සම්බාධක හේතුවෙන් පොටෑෂ්, පොස්පරස් සහ නයිට්‍රජන් යන ප්‍රධාන රසායනික පොහොර තුන නැව්ගත කිරීමට බාධා පැමිණ තිබේ. මෙම තත්ත්වය ද ආහාර බෝග නිෂ්පාදනය කෙරෙහි අහිතකර ලෙස බහුතරයක් රටවලට බලපා තිබේ.

දේශගුණික විපර්යාස සහ ආහාර බෝග විනාශවීම හේතුවෙන් 2019 දී ලෝක ජනගහනයෙන් සියයට 7.9  ක්ද 2022 දී සියයට 9.2 ආසන්න වශයෙන් සාගින්නට මුහුණදුන් බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වාර්තා කරයි. 2022 දී ගෝලීය ජනගහනයෙන් සියයට 29.6 ක්ද (බිලියන 2.4 ජනතාව) මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිතභාවයට මුහුණපා ඇති අතර සියයට 11.3 ක්ද දැඩි ලෙස ආහාර අනාරක්ෂිතභාවයට මුහුණපා තිබේ.

මෙම තත්ත්වය හමුවේ ආහාර අනාරක්ෂිතභාවය ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ට සහ මිනිසුන්ට අසමාන ලෙස බලපා ඇති අතර ලොව පුරා බිලියන 3.1 කට වැඩි පිරිසකට 2021 දී සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගැනීමට නොහැකි වූ බවද වාර්තා කරයි. මෙම සංඛ්‍යාලේඛනවලින් ප්‍රකාශ වන්නේ ආහාර නිෂ්පාදන ක්‍රමෝපාය වඩාත් ප්‍රත්‍යස්ථ කිරීමට ලොව පුරා සෑම රටක්ම තම උපාය මාර්ගික සැළසුම් කඩිනමින් සකස් කිරීමට කාලය එළඹ ඇති බවයි. 

දේශීය වශයෙන් ඒ උදෙසා පළමුව අධික උෂ්ණත්වයට හා නියඟයට මුහුණ දීමේ හැකියාව ඇති බෝග ප්‍රභේද වැඩි දියුණු කිරීමට හා දිගුකාලීන ආහාර සැපයුම් සුරක්ෂිතභාවය සහතික කිරීමට ආයෝජන වැඩි කළ යුතුය. යටිතල පහසුකම් යටතේ වැව් හා ඇළමාර්ග සංවර්ධනය කිරීම හා ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණයට කඩිනමින් පියවර ගත යුතුවේ. බීජ හා රෝපණද්‍රව්‍ය සංරක්ෂණය කිරීම, නියඟයට ඔරොත්තු දෙන බෝග වර්ග ප්‍රවර්ධනය කිරීම හා පාංශු සංරක්ෂණ බෝග වගා ක්‍රම අනුගමනය කිරීමට යොමුවිය යුතු වේ.

කෙසේ වුවද එළවළු හා අනෙකුත් බෝග අස්වැන්න කෙරෙහි වූ දේශගුණික බලපෑමට අමතරව පැවති කෝවිඩ්-19 වසංගත  ගැටලුව, ජාතීන් අතර පවතින යුද ගැටුම්, වෙළඳ මතවාද ගැටලු, නාවික ප්‍රවාහන කටයුතු හා බහාලු‍ම් ප්‍රවාහනයට ඇති ගැටලු, ගෝලීය ආහාර නිෂ්පාදනයට හා ආහාර සැපයුම් දාමයට බාධා කිරීම් තීව්‍රකරන බව නොරහසකි. එවැනි තත්ත්වයක් හමුවේ යම් තරමකට හෝ ආහාර නිෂ්පාදනය කිරීම හා සංචිත රැස්කර ගැනීමට යොමු නොවුණහොත් ශ්‍රී ලංකාව හා සමාන ආර්ථික තත්ත්වයක් පවතින රටවල ජනගහනයෙන් යම් කොටසක් සාගින්නට ගොදුරුවීම වළකාගත නොහැකිවනු ඇත.


එම්.එම්.පාලිත මහින්ද මුණසිංහ