කොන්ත්‍රාත්කරුගේ බොරලුවලින් ගම්වැසියෝ පාර හදති


සටහන සේයාරූ - ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ

ආණමඩුව 10 කනුව මහකුඹුක්කඩවල මාර්ගය කාපට් කිරීම සදහා ලබා දි ඇති  කොන්ත්‍රාත් සමාගම දිගින් දිගටම වැඩ ප්‍රමාද කිරීම නිසා  කුපිත වූ ගම්මාන 15 ක පමණ ජනතාව අද (4) දින කොන්ත්‍රාත්කරු කැඳවාගෙනවිත් ගොඩ ගසා තිබු බොරළු යොදා ගනිමින් තාවකාලිකව මාර්ගය සකස් කර ගැනිමට කටයුතු කළහ.

10 කණුව වඩත්ත මහ කුඹුක්කඩවල මාර්ගය වසර ගනනාවක සිට ගමන් කිරීමට නොහැකි විම නිසා එය කාපට් අසුරා අලුත් වැඩියා කිරිමට 2016 වසරේ පුද්ගලික සමාගමකට ලබා දි ඇත්තේ එය ජනතාව පත්ව ඇති අසිරුතාවය  හේතුවෙන් කඩිනමින් මාර්ගය සකස් කරදිමේ ගිවිසුම් මතය .

නමුත් 2016 වසරේ සිට මේ දක්වා මාර්ගයේ වැඩ කටයුතු ඉතා මන්දගාමි ලෙස සිදුවන බවත් දැනට කර ඇත්තේ බොරළු එක් රැස් කර ගැනිම පමණක් බව ජනතාව චෝදනා කරති.

 මේ පිළිබදව අදහස් දක්වමින් ඒ.එච්. රංබංඩා මහතා මෙසේ කීවේය.  

 “අද ගම්මාන 20 ක විතර ජනතාව එකතුවෙලා මේ ආකාරයට මේ පාර හදන්න උවමනා නැහැ. කොන්ත්‍රාත් කරු මේ පාර හදලා තිබුනානම් ඒ නිසා කොන්ත්‍රාත්කරු ගොඩ ගහලා තිබුණ බොරළු වලින් තමා මේ පාරේ තියෙන වලවල් වහන්න කටයුතු කළේ මේ පාර කිසිම දවසක සංවර්ධනය නොවීම නිසා 2016 වසරේ මාර්ගය ඉදි කරන්න කියලා සමාගමට දීලා තිබුණා. ඒ යන්ත්‍ර සුත්‍ර වැඩි ප්‍රමාණයක් නවතා තිබුනේ මගේ ඉඩමේ. නමුත් මුල ඉදලාම ඔය කොන්ත්‍රාත් සමාගම වැඩ කලේ උවමනාවකින් නොවේ. ඒ එක්කම පාරේ වැඩ කරපු අයට පඩි  දුන්නෙත් නැහැ. පස්සේ රණ්ඩු කරලා තමා පඩි ගත්තේ. සමහරුන්ට තවමත් පඩි දෙන්න තියනවාද මන්දා. ඒ තරමට මේ කොන්ත්‍රාත් කාරයා දුර්වලයි. දැන් පාරේ යන්න ම බැහැ“ යැයි ඔහු පැවසිය.

 තමන් මුහුණ දී ඇති තත්වය පිළිබදව අදහස් දැක්වු  ඩබ්ලියු .එම් . ස්වර්ණකාන්ති මහත්මිය පවසා සිටියේ.

“ අද උදේ සැතපුම් ගනනාවක් පයින් ඇවිත් තමා මේ වැඩ කරන්නේ . පාරේ යන්න කොටින්ම බැ . පාරේ බයිසිකලයක්වත් තල්ලු කරගෙන යන්න බැරි වෙලා . දරුවෝ පාසල් යවා ගන්න විදින දුක දන්නේ අපි විතරයි ඡන්දෙට කලින් පාර හදලා දුන්නේ නැත්නම් කිසිම පක්ෂයකට අපි මේ පාර කුඹුක්කඩවල ගම්මාන 20 කින් ජන්දය දෙන්නේ නෑ. ඒක අනිවාර්යෙන්ම කියන්න ඕනා“ යයි පැවසුවාය.  

ටී.එම්. ධම්මිකා මහත්මිය පවසා සිටියේ

“මම මේ වැඩ කරන්න අවේ කුඹුක්කඩවල ඉඳලා. එ කියන්නේ සැතැපුම් 11 දුරක් ඇවිත් පාරේ වැඩ කරන්නේ .සල්ලි වලට නොවේ දරුවන්ට පාසල් යන්න තියෙන බස් එක නවතනවා කියලා තියෙන නිසා බයට . මොකද දරුවන් පාසල් යවා ගන්න බැරිව ගියොත් අපි ලොකු අමාරුවක වැටෙන නිසයි . මේ වැඩ කරන්නේ කොන්ත්‍රාත් කාරයා පාරේ වැඩ කරන්නේ නැති නිසා කියලා අනිවාර්යෙන් ලියන්න ...

කොන්ත්‍රාත් භාරව සිටින වී.වී . කරුණාරත්න සමාගමේ වැඩබිම් ඉංජිනේරු යැයි පවසන සංජය ප්‍රනාන්දු මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමේදී මෙසේ කීවේය.

“ අපිට තවමත් කොන්ත්‍රාත්තුව අවසන් වෙන්න කාලය තියෙනවා මොකද 2016 පටන් ගත්තේ 2018 අගොස්තු වෙනකම් ගිවිසුම් අවසන් විමට කාලය තියෙනවා . අපිට තවත් මාර්ග කිපයක කිලෝ මිටර් 74 ක්  හදන්න තියෙන නිසා අපි ක්‍රමානුකුලව වැඩ කරගෙන යනවා . තව කාලය තියෙන නිසා තවම අපිට චෝදනා එල්ල කරන්න බැහැ යැයි  පැවසිය.

 මෙහිදි අදහස් දැක්වු වඩත්ත ඒ.එච්.එම්. වීරසිංහ මහතා.

“ ඔය පාර හදන්න ආපු කොන්ත්‍රාත් සමාගම හිගන එකක් මොකද පාර දෙපැත්තට බොරළු දාල වතුර දැම්මේ මල් බාල්දියෙන්. අපි කවදාවත් දැකලා නැහැ  පාර වල් හදද්දි  මල් බාල්දියෙන් වතුර දාන කොන්ත්‍රාත් කරුවන්. ඒ විතරක් නොවේ. මෙයාලාගේ වැඩ ගැන කිසිම ආකාරයකින් අපිට සතුටු වෙන්න බැහැ. යැයි ඔහු පැවසීය.

මේ පිළිබඳව ආණමඩුව සංවිධායක හා වාරි මාර්ග හා ජල කළමාණාකරණ රාජ්‍ය  ඇමති පාලිත රංගේ බංඩාර මහතාගෙන් මෙම කොන්ත්‍රාත් සමාගමේ ප්‍රමාදය පිළිබදව  විමසිමේදී ඔහු මෙසේ කීවේය.

“ ඔය සමාගම මුල ඉඳලාම මන්ද ගාමි ලෙසයි පාරවල් ඉදි කිරීම් පටන් ගත්තේ. මේ පිළිබඳව මම දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්විම් වල සේම ප්‍රදේශීය සම්බන්ධිකරණ රුස්විම් වලදි අවස්ථා ගනනාවක කථා කරලා තියෙනවා. මේ මාර්ගය ඉදි විම ප්‍රමාදයි කියන්නේ ජනතාව බරපතල ලෙස අසරණව සිටිනවා මේ ප්‍රශ්ණයේදි මමත් ඉන්නේ ජනතාවගේ පැත්තේ මොකද .කොන්ත්‍රාත් කරුවන්ට කාලය තියනවා කියන එක නොවෙයි උත්තරය. මේ කොන්ත්‍රාත් කරුවන් නුසුදුසුයි කියලයි මමත් කියන්නේ.“ යැයි ඇමතිවරයා පැවසිය.