කොරෝනා මර්දනය, මැතිවරණය, සමගි ජනබලවේගයේ මැතිවරණ සූදානම, පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම ආදී කරුණු සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.
ප්‍රශ්නය:- ආණ්ඩුවට විපක්ෂයෙන් කුමන චෝදනා එල්ල වුවත් සාර්ථකව කොරෝනා මර්දනය කර ජය ලැබුවා නේද?
පිළිතුර:- ඒකට මම එකඟ නැහැ. ප්‍රශ්නයක් ඇති වූ පසු එය විසඳීම එකක්. ප්‍රශ්නයකින් වැළකී සිටීම තවත් එකක්. ප්‍රශ්නයක් ඇති වී එයට මුහුණදී සෑහෙන විසඳුමක් දී ඇති බව කිව්වත් එයට මුහුණ දිය යුතුව තිබුණේ නැහැ. කොරෝනා වසංගතය ඉක්මනින් පැතිරෙන නිසා කඩිනම් පියවර ගත යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පෙබරවාරි මුලදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කටුනායක ගුවන්තොට වසා දැමිය යුතු බව කිව්වා. රෝගීන් 28ක් සිටින රටක එවන් පියවර ගත යුතුදැයි සෞඛ්‍ය ඇමැතිනිය එදා ප්‍රශ්න කළා. මෙහි බැරෑරුම්කම තේරුම් නොගෙන මේ අය එදා අපට සිනා වුණා.
ලෝකයේ අනෙක් රටවල මරණ ගණන සමග මෙරට මරණ ගණන සසඳමින් ආණ්ඩුවේ අය කතා කරනවා. එකම මරණයක්වත් වාර්තා නොවූ දූපත් රටවල් ලෝකයේ තිබෙන බව මේ අය කියන්නේ නැහැ. කොහොම වුවත් කොරෝනා බලපෑම මීට වඩා අවම කරන්න තිබුණා. මෙතරම් ප්‍රශ්නයක් ඇති වුණේ අවශ්‍ය පියවර ගැනීමට ප්‍රමාද වූ නිසයි. වියට්නාමය ජනවාරි 21 වැනිදා කොරෝනා මර්දනයට පියවර ගත්තා. ඒ රටින් කොරෝනා රෝගියකු වාර්තා වුණේ ඉන් පසුවයි. රෝගය ඇතිවීම වළක්වා ගන්න ඔවුන් පියවර ගත්තා. ඒත් මේ රටේ එහෙම කළේ නැහැ. ජනතාව බරපතළ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටිනවා. රටේ ආර්ථිකයට ඇතිකර තිබෙන බරපතළ ප්‍රශ්නයේ ප්‍රතිවිපාක ඉදිරි මාස දෙක තුනේදී විඳින්න වේවි.
ප්‍රශ්නය:- ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව කලින් ගුවන් තොටුපොළ, පාසල් වසා නිරෝධායන කඳවුරු ඇතිකර ආණ්ඩුව අවශ්‍ය පියවර ගත්තා නේද? එනිසා ඔබ ගොඩනගන තර්කයේ සාධාරණත්වය මොකක්ද?
පිළිතුර:- ආණ්ඩුව කළ ලොකුම වරද තමයි මුලින්ම ක්‍රියාත්මක නොවීම. ප්‍රමාද වුණා. මාර්තු 18 වැනිදා දක්වා ආණ්ඩුව වැඩ කළේ මැතිවරණය ඉලක්ක කරගෙන. කොහොම හරි මැතිවරණය පවත්වන්න ආණ්ඩුවට ඕන වුණා. වියට්නාමය ජනවාරි 21 වැනිදා රට වසන විට ලංකාව වැසුවේ මාර්තු 18 වැනිදා. එනිසා මීට කලින් අවශ්‍ය පියවර ගත්තා නම් අපි මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ නැහැ. ප්‍රශ්නය ඇති වූ පසු යම් යම් පියවර අරගෙන තත්ත්වය පාලනය කළ බව කියනවා. පැහැදිලිවම මේ ප්‍රශ්නය වළක්වා ගන්න තිබුණා. ඒත් ආණ්ඩුව එහෙම කළේ නැහැ. මැතිවරණයට නාම යෝජනා බාරගත් පසුව රට වැසුවා. එහෙම කරලත් බැලුවේ මැතිවරණය ඉලක්ක කරගෙන බලය ලබාගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමයි. මිනිස් ජීවිතවලට ප්‍රමුඛත්වය දුන්නේ නැහැ. කොරෝනා පාලනයේදීත් ප්‍රමුඛත්වය දුන්නේ දේශපාලනයටයි.
ප්‍රශ්නය:- අල්ලපු රටේ පවා ශීඝ්‍රයෙන් කොරෝනා පැතිරෙද්දීත් මේ රටේ මරණ දහයකට සීමා කරගෙන රෝගය හොඳින් පාලනය කිරීම ආණ්ඩුවේ දක්ෂතාව පෙන්වීමක් නොවෙයිද?
පිළිතුර:- ආණ්ඩුවේ දක්ෂතාවක් නැහැ. කළමනාකරණය සම්පූර්ණයෙන් අසාර්ථකයි. ආණ්ඩුව වැඩකළේ ත්‍රස්තවාදයට පහර දෙනව වගේ. මුලින්ම වෛද්‍ය විශේෂඥයන් මූලික කරගෙන වැඩ කළේ නැහැ. පසුව හෝ මෙයට දායක වූ වෛද්‍ය විශේෂඥයන්ට වෘත්තීය සමිතිවලට මම ස්තුතිවන්ත වෙනවා. මේ අය ආණ්ඩුවට බලකළා. එහෙම කරල තමයි ආණ්ඩුවේ ක්‍රියාදාමය හරවා ගත්තේ. ආණ්ඩුව සිටියේ සියල්ලම හමුදාව ලවා කරන්න පුළුවන් කියන මතයෙයි. ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ, රජයේ නිලධාරීන් මේ කාර්යයේදී කළ කැපකිරීමට අපි ස්තුති කරනවා. මෙහි ගෞරවය යා යුත්තේ ඒ අංශවලටයි. එහෙත් ආණ්ඩුවේ කළමනාකරණය දුර්වලයි. මුලින් ගත් තීරණ දුර්වලයි. නිසි අවබෝධයක් නොතිබූ නිසා මුලින් වැරැදි තීරණ ගත්තා. ආසාදිත සංඛ්‍යාව මෙතරම් වැඩි වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. ඒ වගේම වැරැදි කළමනාකාරිත්වය නිසා රට විශාල ආර්ථික පරිහානියකට ලක්කර තිබෙනවා. සැසඳීමෙන් වැඩක් නැහැ.
ප්‍රශ්නය:- ආර්ථික ගැටලුවක් ගැන ඔබ කිව්වත් අග හිඟයක් නැතිව ජනතාවට ආහාර පාන සැපයීමට ආණ්ඩුව කටයුතු කළා. කුස ගින්නේ කිසිවකුත් මියගියේ නැහැ නේද?
පිළිතුර:- රුපියල් 1500 ක් ලබාගන්න ජීවිත හතරක් නැති වූ එකම රට ලංකාවයි. ඇතැම් ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය හිඟයක් තිබුණේ නැහැ. එහෙත් ඒවා ගන්න ජනතාව අත මුදල් තිබුණේ නැහැ. බහුතරයකට ස්ථිර ආදායම් නැහැ. ස්වයං රැකියා, කුඩා කර්මාන්ත, එදිනෙදා ආදායම් සොයාගෙන ජීවත්වන විශාල පිරිසක් සිටිනවා. දින හැත්තෑ ගණනක් රට වසා දැම්මාම මේ පිරිසට ආදායම් අහිමි වුණා. ඒ පිරිස අදටත් අසරණයි. මෙවන් පවුලකට මාසයකට රුපියල් 20,000ක් වත් දෙන්න කියා අපි ආණ්ඩුවට කිව්වා. හැබැයි ආණ්ඩුව දුන්නේ රුපියල් 5000යි. මේ කටයුත්තේදී දේශපාලනය ගාව ගන්න එපා කියා අපි කිව්වත් සම්පූර්ණයෙන් එය දේශපාලනීකරණය කළා. මේ සියලු තීරණ ගත්තේ මැතිවරණය ඉලක්ක කරගෙන, කොහොම හරි රුපියල් 5000 දීමෙන් පුංචි හෝ සහනයක් ජනතාවට ලැබුණා. හැබැයි ඒක ප්‍රමාණවත් නැහැ. රටේ නිෂ්පාදනය කඩා වැටී ඇති නිසා ඉදිරියේදී ප්‍රශ්නය තවත් උග්‍රවෙනවා. රැකියා ලක්ෂ ගණන් අහිමි වෙමින් තිබෙනවා. ආර්ථික ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුව ගන්නා පියවර තවම පැහැදිලි නැහැ. අද සැමන්, පරිප්පු, හාල් මිල සෑහෙන්න ඉහළ ගිහින්. මේවාට උත්තර නැහැ. හාල් මෝල් මාෆියාවට ආණ්ඩුව යටවෙලා. අද ආණ්ඩුවේ කටකාරයන්ගේ කටවල් වැහිලා. තෙල් මිල අඩුවීමේ වාසියවත් ජනතාවට නැහැ. මිල සූත්‍ර තිබුණා නම් එය ලැබෙනවා. ආණ්ඩුව විවිධ නාටක පෙන්වමින් ජනතාව රවට්ටනවා.
ප්‍රශ්නය:- මැතිවරණය කල්දා ගන්න විපක්ෂය නොගත් උත්සාහයක් නැති තරම්. ඒ තරමටම තිබූ වුවමනාව මොකක්ද? මැතිවරණයට බයද?
පිළිතුර:- ඇත්ත කතාව මේකයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අනිවාර්යයෙන් මැතිවරණ තියන්න ඕන. ඒකෙ දෙකක් නැහැ. වසර පහකට ජනතාව වරමක් දුන්නා. අවුරුදු හතර හමාරක් ගිය තැන පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාටත් බලය දී තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා තිබෙනවා. ඒ සමග හදිසි තත්ත්වයක් උදා වෙනවා. මේක බොහොම කලාතුරකින් ඇතිවන තත්ත්වයක්. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව පවත්වාගන යන්න පැරැණි පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතුව තිබුණා. ඒත් ජනාධිපතිතුමා ඒ පියවර ගත්තේ නැහැ. අලුත් අවුරුද්ද, වෙසක්, පොසොන් සමරන්න බැරි තත්ත්වයක් රටේ තිබුණා. අල්ලපු ගෙදරට යන්න බැරි පාරට බහින්න බැරි තත්ත්වයක් රටේ තිබුණා. පවුලේ අයටවත් එකට ගමනක් බිමනක් යන්න බැරි වුණා. මෙවන් වාතාවරණයක ඡන්ද පොළකට ගොස් ජනතාව සමග ගැවසී කටයුතු කරන්නේ කොහොමද? ඡන්දපොළ නිලධාරීන් ඒ වැඩ කරන්නේ කොහොමද? වසංගත රෝගයක් තිබෙන පසුබිමක ප්‍රමුඛ කාරණා ඒවාද? නැතිනම් ජීවිත බේරා ගැනීමද ප්‍රමුඛ?
පාර්ලිමේන්තුවේ නිල කාලය සැප්තැම්බර් 05 වැනිදා දක්වා තිබෙනවා. ඉන්පසු දිනයක් ඡන්දයට නියම කරන්න තිබුණා. එය එසේ නොවීම නිසා අධිකරණය දක්වා එය ගමන් කළා. දැන් තීරණයක් ලැබී තිබෙනවා. සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව මැතිවරණ දිනය තීරණය කරන්න දැන් මැතිවරණ කොමිසමට පුළුවන්. කොරෝනා රෝගීන් ඇති නොවන ආකාරයට ඒ කටයුතු විය යුතුයි. ඕනෑම වෙලාවක මැතිවරණයකට යන්න අපිනම් ලෑස්තියි. හැබැයි ජීවිත හානි අවම වන ආකාරයට මැතිවරණ දිනය තීරණය විය යුතුයි.
ප්‍රශ්නය:- හැබැයි මැතිවරණය කල්දාගන්න ඔබලා උත්සාහ කළේ පක්ෂයේ ඇති බෙදීම හේතුවෙන් පරාජය වන බව දන්නා නිසා නොවේද?
පිළිතුර:- ඇත්තටම අපට අවාසියක් නැහැ. ඒක ඡන්ද ප්‍රතිඵලයෙන් පෙනේවි. සමගි ජනබලවේගය කියන්නේ එජාපයට. තමන්ගේ පෞද්ගලික බලය නැතිවෙයි කියා සිතන හතර පස් දෙනෙක් නීතිමය පැත්තෙන් තර්ක හදමින් සිටිනවා. නායකතුමාවත් අල්ලගෙන තමන්ගේ කොටස නීතිමය පැත්තෙන් අල්ලගෙන සිටිනවා. පෙරමුණකින් ඡන්ද ඉල්ලන්න එජාප කෘත්‍යාධිකාරිය ජනවාරි මාසයේ යෝජනා සම්මත කර ගත්තා. ඒ පෙරමුණේ නායකයා සජිත් විය යුතු බවත් මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විය යුතු බවත් කෘත්‍යාධිකාරියම තීරණය කළා. එ.ජා. පෙරමුණේ සිටි මන්ත්‍රීවරුන්ගෙන් අසූවක් ඡන්දය ඉල්ලන්නේ සමගි ජනබල වේගයෙන්, කීප දෙනකු හැරුණු විට සියලු දෙනා මෙතන ඉන්නවා. එ.ජා.ප. සංවිධායකවරුන්ගෙන් සියයට අනූවක් ඉන්නේ සමගි ජනබලවේගයේ පළාත් පාලන ආයතනවල අති බහුතරයත් අප සමග සිටිනවා. එ.ජා.පය කියන්නේ සමගි ජනබලවේගය බව මෙයින් පේනවා.
අලියා ලකුණු නැති බව ඇතැම් අය කියනවා. එහෙම ලකුණු නැතිව ඡන්දවලට ඕන තරම් ඉදිරිපත් වී තිබෙනවා. ශ්‍රී.ල.නි.ප.ය අත ලකුණෙන් පසුගිය කාලයේ ඡන්දය ඉල්ලුවේ නැහැ. වෙනත් ලකුණුවලින් සන්ධාන ගතව ඡන්දය ඉල්ලා ඒ අය ජය ලැබුවා.
ප්‍රශ්නය:- ඔය තරම් බලයක් තිබේ නම් එ.ජා.පයේ එල්ලෙන්න උත්සාහ කරන්නේ ඇයිදැයි ඔවුන් ප්‍රශ්න කරනවා නේද?
පිළිතුර:- අපිට එල්ලෙන්න දෙයක් නැහැ. කාන්තාවක් විවාහ වුණාම සැමියාගේ වාසගම ගන්නවා. එහෙම වුණාම එයා වෙනස් වෙනවාද? නැහැ. ඒ කාන්තා චරිතය එලෙසම ඉන්නවා. සමගි ජනබලවේගය කියන්නේ පෙරමුණක නමක්. අපි සියලු දෙනා එ.ජා.පයේ. එ.ජා.පය කියන්නේ සාමාජිකයන් ඉන්න තැන. ඒ තැන එක පුද්ගලයකුට හෝ කුඩා කණ්ඩායමකට පෞද්ගලික ව්‍යාපාරයක් වගේ පාලනය කරන්න බැහැ. මේ කුඩා කණ්ඩායම පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට බය නිසයි ප්‍රශ්නය තිබෙන්නේ. නැත්නම් පක්ෂය ඇතුළේ ඡන්දයකින් ප්‍රශ්නය විසඳ ගන්න තිබුණා. දැන් ඒ ඡන්දය පක්ෂ සාමාජිකයන් අතට පත්වී තිබෙනවා.
ප්‍රශ්නය:- සමගි ජනබලවේගය ආණ්ඩුව සමග එක්වී එ.ජා.පය විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුවක් කරන බවට නැගෙන චෝදනාව ගැන කියන්නේ කුමක්ද?
පිළිතුර:- ඔවැනි චෝදනා ගැන අපට පුදුමයි. සිනාසෙනවා හැරෙන්න වෙන මොනව කරන්නද? ආණ්ඩුව සමග ඩීල් තිෙයන්නේ කාටද කියා මේ රටේ සියලු දෙනා දන්නවා. බැඳුම්කර වංචා ගැන ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා. පුළුවන් නම් බැඳුම්කර වංචාවට නඩු පවරන්න කියා මම ආණ්ඩුවට අභියෝග කරනවා. දැන් මාස හයක් ගත වුණා. නඩු නොදමන්නේ ඇයි? ඩීල් එක තිබෙන්නේ කාටද කියා හොඳටම පැහැදිලියි. ශක්තිමත් විපක්ෂය හැටියට අපි කටයුතු කරනවා. අපට අවශ්‍ය රාජපක්ෂලා සමග එක්වී ආණ්ඩු හදන්න නෙමෙයි. මේ මැතිවරණයෙන් පස්සේ අපි සමගි ජනබලවේගයේ ආණ්ඩුවක් පිහිටුවනවා.
ප්‍රශ්නය:- තවමත් ඔබලා එ.ජා.පයේ බව කිව්වා. හැබැයි සමගි ජනබලවේගයේ සිටින එ.ජා.ප. අනූවකට වැඩි පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය පසුගියදා අහෝසි කළා. එසේ නම් තවදුරටත් එ.ජා.ප ය හැටියට පෙනී ඉන්නේ කොහොමද?
පිළිතුර:- අපේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවූ බව මාධ්‍යයේ ප්‍රකාශ වෙනවා. හැබැයි අපට තවමත් එහෙම ලිපියක් වත් ලැබී නැහැ. ඔය වගේ කතා කියා සියල්ල පටලවන්න බලනවා. අපට ඕවා අදාළ නැහැ. ආණ්ඩුව පිහිටුවන්නේ කවුද කියා ඡන්දයේදී ජනතාව තීන්දු කරාවි. ජනතාවගේ තීරණයෙන් පසුව අපට ඉතිරි ටිකත් බලාගන්න පුළුවන්. සමගි ජනබලවේගයේ පිරිසක් එ.ජා.පයට යන බවත් ඇතැම් අය කියා තිබුණා. එහෙම කවුරුවත් මෙතන නැහැ. යම් යම් අවුල් හදන්න කුඩා කණ්ඩායමක් උත්සාහ කරනවා.
අපට වැඩ පිළිවෙළක් තිබෙනවා. ඉදිරි මැතිවරණයෙන් ආණ්ඩු බලය ලැබුණාම එය ක්‍රියාත්මක කිරීමට සූදානම්. ආණ්ඩුව දැන් අප්‍රසාදයට පත්වෙලා. 1970 ගණන්වල ශ්‍රී.ල.නි.ප.ය. දූපත් මානසිකත්වයකින් බතල ආර්ථිකයකින් රට හදන්න උත්සාහ කළා. වත්මන් ආණ්ඩුව කතා කරන්නෙත් ඒ වගේ වැඩ පිළිවෙළක්. ප්‍රශ්නය හරියට වටහාගෙන නැහැ. දකුණු ආසියාව ගත්තාම අපේ ජීවින තත්ත්වය ඉහළයි. හැබැයි අග්නිදිග ආසියාවේ ජීවන තත්ත්වය සමග අපි තරග කරන්න ඕන කියන දර්ශනයේ අපි ඉන්නවා. රටටම කොටුවී සිටීමෙන් ඒක කරන්න බැහැ. හැබැයි මේ ආණ්ඩුව රටටම සීමා වෙන්න හදනවා. රටේ වෙළඳපොළෙන් ඔබ්බට ගොස් ලෝක වෙළෙඳ පොළ අනුගමනය කරන්න වෙනවා. ඒකට වැඩ පිළිවෙළක් තියෙන්න ඕනැ. මේ අයට එහෙම වැඩ පිළිවෙළක් නැහැ. නිෂ්පාදනය නංවන්න, අපනයන නංවන්න අලුත් වෙළෙඳ පොළ සොයාගන්න අපට පුළුවන්. ඒ හරහා ස්ථාවරත්වය ඇති කළ හැකියි. තව බොහෝ කරුණු අවධානයට ගෙන තිබෙනවා. එහෙම නැතිව මේ අය යන ක්‍රමයට ගියොත් ඉදිරි මාස හයේදී රට විශාල ප්‍රශ්නයකට මුහුණ දේවි.
(*** සාකච්ඡා කළේ චමින්ද මුණසිංහ)