කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ල රෝගීන්ගෙන් පිරීගොස් දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉක්මවා ගොස් තිබෙන බව එම රෝහල් ආරංචි මාර්ග පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. කොළඹ ජාතික රෝහලේ කොරෝනා රෝගීන් සඳහා වාට්ටු අටක් වෙන්කර ඇති අතර ඒවායේ රෝගීන් 250 දෙනෙකු පමණ පෙරේදා වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටිය බවත් කොරෝනා රෝගීන් සඳහාම වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක තුනම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවත් එම ප්‍රවෘත්තියේ වැඩි දුරටත් සඳහන්ය.
‘‘පහු පහු වන විට කොහු කොහුවන’’ බවට කියමනක් අපේ ජන වහරෙයි එයි. කොරෝනා මාරාන්තික වයිරසයට අදාළව ජනයාගේ අවධානයට අත් වී ඇත්තේද එම ඉරණමමය. දැනට රට පුරා ගම්මාන කිහිපයක් හැරුණු විට සෙසු නගර හා ගම්මාන විවෘතව පවතී. දැනට ක්‍රියාත්මකවන්නේ පළාත් අතර සංචරණ සීමා පමණි. මෙම පරිසරය තුළ ‘‘සියල්ල යහපත්’’ යැයි ඇතැමකු සිතා සිටින සෙයකි. කොරෝනාව බඳු මාරාන්තික වයිරසයකට මුහුණ දීමේදී අවශ්‍යයෙන්ම පවත්වාගත යුතු වත් පිළිවෙත් ඔවුනතින් ගිලිහී ගොස් තිබෙන්නේ එහෙයිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම අනතුරු ඇඟවීම ඉකුත් දා ප්‍රකාශයට පත් විය. එම සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ දැනට රටවල් 124ක් පුරා වේගයෙන් පැතිරී ඇති ඩෙල්ටා වයිරස් ප්‍රබේදය ඉදිරි මාස කිහිපයකදී ලොව පුරාම වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බවය. මෙම අනතුරු ඇඟවීම් කිසිවිටෙකත් සැහැල්ලුවෙන් නොගත යුතුය. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේද මෙම ලෝකය තුළම හෙයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම අනතුරු ඇඟවීම අප රටටද වළංගුය. එහෙත් ඇතැම් පුරවැසියන් එසේ නොසිතන බව පෙනෙන්නේ ඔවුන්ගේ හැසිරීම් දෙස බලන විටය.
කොරෝනා වයිරසය පැතිරීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අප පුවත්පතට ඉකුත් දා ප්‍රකාශ කර තිබුණේ මංගල උත්සව පැවැත්වීම සඳහා ලබා දී ඇති අවසරය අවභාවිත කරන බවක් පෙනෙන්ට තිබෙන බවත් මෙලෙස වගකීම් විරහිත ලෙස කටයුතු කළහොත් මගුල් පොකුරු ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බවත්ය. ලැබෙන අවස්ථා අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා තැනැත්තා අවස්ථාවාදියකු වේ. අවස්ථාවාදීකම අප සමාජයේ ඉමහත් ගර්හාවට, පිළිකුළට ලක්වන්නකි. මිනිසා කසළ මෙන් සලකා බැහැර කරන්නකි. එහෙත් අප සමාජයේ ඇතැමෙක් මෙම අවස්ථාවාදීකම සාඩම්බර පදක්කමක් සේ ප්‍රදර්ශනය කරති. මෙය වූ කලී දැන දැනම කරන තක්කඩිකමකි. ප්‍රශ්නය වන්නේ මෙම තක්කඩියන්ට මෙම රට විශාලා මහනුවරක් දක්වා ඇදගෙන යාමේ අවස්ථාව හිමිවීමය.
කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ කෙසේ කටයුතු කළ යුතු දැයි නොදන්නා අයකු සිටිය නොහැක. නොදන්නා අයකු වේ නම් හෙතෙම සිහිමද ගතියෙන් පෙළෙන්නකු විය යුතුය. කොරෝනා මාරක වසංගතය මෙරට ආක්‍රමණය කර වසර එක හමාරක් කල් ඉක්මගොස් තිබේ. මෙම පරිසරය තුළ තම ජීවන විලාශය, ජීවන විලාසිතාව කෙසේ පවත්වාගෙන යා යුතු දැයි කවරකුට වුවද පහසුවෙන් වටහා ගත හැකිය.
තමා ආසාදිතයකු නොවී සිටීමේ මාර්ගයත් තමන් වාහකයකු නොවී සිටීමේ මගත් තේරුම් ගැනීමේ හැකියාව තිබිය යුතුය. එයට අමුතු නුවණක් ඇවැසි නොවේ. ප්‍රවෘත්ති බැලීම හා කියවීම වූවත් ප්‍රමාණවත්ය. එහෙත් සාමූහික විචාර බුද්ධියෙන් පිරිහුණු ජනයා අයිතිවාසිකම් පිළිබඳව පමණක් කතා කරති. යුතුකම් පිළිබඳව කතා නොකරති. මෙම අශිෂ්ට දුර්ජනයන් නිසා කොරෝනා මාරාන්තික උවදුර මැඩලීමේ මෙහෙයුම් පවා අකර්මන්‍ය වන තත්ත්වයට පත්ව තිබේ.
කොළඹ ජාතික රෝහලට අදාළ අප ප්‍රවෘත්තිය රටේ හෙට දවස සම්බන්ධයෙන් සිදුකරන බරපතළ සංඥාවකි. ඉඟියකි අනතුරු ඇඟවීමකි. අප රටේ ඉතා පළල් මානුෂීය හා ප්‍රශස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයක් තිබේ. මේ මොහොතේ රට මේ මට්ටමින් පවත්වාගෙන යාමේ හැකියාව ලැබී තිබෙන්නේ ඔවුන්ගේ උපමා නැති අලංකාර මැදිහත්වීමේ මහිමයෙනි.
එහෙත් අප සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරා ගත හැකි උසුලාගත හැකි සීමාවක් තිබේ. එම ධාරිතාව බිඳ යාමෙන් පසුව උද්ගත වන්නේ පාලනය කරගත නොහැකි, අයාලේ යන තත්ත්වයකි. කොරෝනා මර්දන මෙහෙයුම එබඳු ඉරණමකට ලක්වීම යනු රට සොහොන් බිමක් කරා ගමන් කරවීමකි. කොළඹ ජාතික රෝහලට සම්බන්ධ අප ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ රට සෙමින් නමුත් එදෙසට යොමුවෙමින් පවතින බවය.
ඉහත ඉරණම වළක්වාලීමේ හැකියාව ඇත්තේ පුරවැසියාටමය. පුරවැසියා මේ මොහොතේ තම යුතුකම නිසි පරිදි ඉටු කළ යුතු පැය එළැඹ තිබේ. මෙම පැය තීරණාත්මකය. මෙම තීරණාත්මක පැයේදී කළ යුතු දෑ නොකිරීම යනු යක්‍ෂයාගේ හෝරාවට පාවඩ එළීමකි.
(***)