කොල්ලකෑම් නතර කිරීමට බලවත් යාන්ත්‍රණයක් ඕනෑ


එක් අතකින් මහමග අරගල නව වටයකින් පණ ගැන්වී තිබේ. බුරුතු පිටින් අත්අඩංගුවට ගැනීම් පෙර පුවතට පසුපසින් එන පුවතය. රටේ තත්ත්වය පිළිබඳව වගේ වගක් නැතිව ෆේස්බුක් සාදවල මත්ද්‍රව්‍ය පාවිච්චි කර සිය ගණන් තරුණ තරුණියන් සිහිමඳ ගතියෙන් තැන තැන වැටී සිටිය බව දැක්වෙන පුවත ගම්පොළෙනි. මේ අතරවාරයේ කප්පම්කරුවෝ ද කුඩ්ඩෝ ද චෞර කප්පිත්තෝ ද පාතාලයෝ ද රැයක් දහවලක් නොමැතිව රට භීතියට පත් කරමින් සිටිති.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ පුවතකින් කියැවුණේ මහනුවර හන්තාන කන්දේ සවිකර ඇති පෞද්ගලික දුරකථන සමාගමක සම්ප්‍රේෂණ කුලුනේ විදුලි ජනන යන්ත්‍ර සඳහා රැගෙන යමින් තිබූ ඩීසල් බවුසරයක් මග හරස්කර නවතා රියැදුරුට සහ සහායකට පහර දී රථය පැහැර ගෙන යාමට කප්පම්කරුවන් පිරිසක් සමත් වූ බවය. සිද්ධිය වන විට ඉන්ධන බවුසරයේ ඩීසල් ලීටර් 6600 තිබී ඇත.

 ඉකුත් 24 වැනිදා හන්තාන තපෝදාරාම ප්‍රදේශයේ දී මෙම මංකොල්ලය අලුයම 2 ට පමණ සිදුවී ඇති අතර කොළඹ සිට සම්ප්‍රේෂණ කුලුන බලා ගමන් කරමින් තිබූ ඉන්ධන බවුසරය මග හරස් කර මංකොල්ල කා හන්තාන සුළං කපොල්ල ප්‍රදේශය දෙසට රැගෙන ගොස් තිබේ. කෙසේ වෙතත් පොලිසිය සිදුකළ ක්ෂණික මෙහෙයුමකින් පසු ඉන්ධන බවුසරය පැහැර ගෙන යාම වළක්වා කොල්ලකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් සමත් වූ බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

මේ මංකොල්ලකා තිබෙන්නේ ගිනි පෙට්ටියක්, මුදල් පසුම්බියක් නොවේ. ඉන්ධන බවුසරයකි. මහමගදී එවැන්නක් පැහැර ගැනීමට සැකයකින් හා බියකින් තොරව ඉදිරිපත් වීමෙන් මෙම මංකොල්ලකරුවන් සංවිධානාත්මක හා වෘත්තීය මංකොල්ලකරුවන් බව පැහැදිලිය. තෙල් බවුසරය සඟවා තබාගෙන එය මුදාහැරීමට කප්පම් ගැනීම මංකොල්ලකරුවන්ගේ අරමුණ බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි. තවත් තැනකින් වාර්තා වන්නේ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් විවිධ පුද්ගලයන්ගෙන් කප්පම් ගන්නා බවය. පොලිසි ගානේ රස්තියාදු වීමට ඇති අකමැත්ත නිසා ඇතැමෙක් ඉල්ලූ කප්පම් දී නිහඬ වෙති.

අතීතයේ කප්පම්කරුවෝ ඒ ඒ පළාත්වල සිටි චණ්ඩි වූහ. ගමේ සිල්ලර කඩයක් පවත්වාගෙන යාමට මෙන්ම හොර අරක්කු නිෂ්පාදනයට ද කප්පම් ගෙවිය යුතු විය. පසු කාලයේ දී මෙම කප්පම් ගැනීම පාතාලයන් අතට පත්විය. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වූයේ සම්භාහන මධ්‍යස්ථාන, ගණිකා නිවාස, අවන්හල් ආදිය විය. ප්‍රදේශයේ ඇති මහා පරිමාණ ව්‍යාපාරික ස්ථානවලින් ද කප්පම් ගැනීම බහුල විය. දරුවන් පැහැරගෙන ගොස් එම දරුවා මුදා හැරීමට නම් කප්පම් ඉල්ලීමේ සිද්ධින් ද වේ.

නිෂ්චල කප්පම් ගැනීම දැන් චංචල කප්පම් ගැනීම් දක්වා වර්ධනය වී ඇති සෙයකි. කුමන ආකාරයක හෝ කප්පම් ගැනීම එම සමාජයේ පැවැත්මට මාරාන්තිකය. බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට මිනිසාට අයිතියක් තිබේ. කප්පම්කරුවන්ගේ පාතාලයන්ගේ හා කුඩ්ඩන්ගේ පාරාදීසියක් බවට රට පත්වුවහොත් එහි දී කිසිවකුගේ පැවැත්ම තහවුරු නොවේ.

 රටේ අපරාධ බහුල වෙමින් තිබේ. එය එක් අතකින් ආර්ථික අර්බුදයේම එක් තාර්කික ප්‍රතිඵලයකි. ආර්ථික අමාරුකම් එන්න එන්නම මතුවන විට ජීවත්වීම සඳහා පහසු මාර්ගවලට ඇතැමකු යොමු විය හැකිය. ඒවා බලාපොරොත්තු විය යුතුය. එහෙයින් මේ එළැඹ තිබෙන්නේ තමන්ටම තමන් විනිශ්චය කරගත හැකි හෝරාවකි. කෙතරම් දුෂ්කරතා මතු වුව ද වැරැදි දෙයට නොපෙළඹී සිටීමේ ආත්ම ශක්තිය වර්ධනය කරගත යුතුය. එක් පුරවැසි වගකීමක් වන්නේ ද එයය.

එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක් මහතා සඳහන් කරන්නේ ලෝකයේ දුර්වල මුදල් ඒකක සහිත රටවල ආහාර උද්ධමනයක් ඇති වී තිබෙන බවය. මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 91 ක් බවත් ලෝකයේ ආහාර උද්ධමන අර්බුදයකට මුහුණ දී සිටින රටවල් අතරින් හතරවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන බවත්ය. එම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමුවැනි ස්ථානය සිම්බාබ්වේටත්, දෙවැනි ස්ථානය ලෙබනනයටත්, තුන්වැනි ස්ථානය වෙනිසියුලාවටත් හිමි වී තිබේ. අප රට වැටී ඇති තැන ඒ අනුව ඉඳුරාම ප්‍රත්‍යක්ෂය.

රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා ක්ෂණික ක්‍රියා මාර්ග ඇවැසිව තිබේ. ජනතාව මේ පීඩනයෙන් මුදාගත යුතුය. එමෙන්ම මෙම පීඩනයෙන් මිරිකෙන පීඩිත ජනකැළ නීතිය මගින්ම දමනය කළ නොහැකිය. එසේම මෙම තත්ත්වයට මුවා වී මංකොල්ලකෑමට, හොරකම් කිරීමට, මිනීමැරීමට කිසිවකුට ඉඩ දිය නොහැක. ඔවුන් ආම්බාන් කිරීමට නියත වශයෙන් නීතියේ ආධිපත්‍ය බලගැන්විය යුතුය. එසේ නොවුණහොත් පෙරදිග ධාන්‍යාගාරය, ධර්මද්වීපය ලෙස අනේක විධ සම්භාවනාවන්ට පාත්‍ර වූ අපේ රට චිකාගෝවක් වීම වැළැක්විය නොහැක.

(***)