වසරකට ගමන් වාර තුනක් හතරක් පමණක් ධාවනය කෙරෙන අනුරාධපුරය - මිහින්තලය අතර දුම්රිය මාර්ගය රුපියල් කෝටි 22ක වියදමක් දරා ඉදිකර තිබෙන බව විගණන වාර්තාවක් හෙළිකර තිබේ. අපේ රටේ දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප්‍රමුඛතා පටලවා ගැනීමේ තවත් උදාහරණයක් වශයෙන් මෙය පෙන්වා දිය හැක. එම මාර්ගයේම මිහින්තලය දක්වා දුම්රිය ධාවනය ප්‍රධාන මාර්ගය ඔස්සේ සිදුකිරීමට හැකියාව තිබියදී මෙතරම් මුදලක් යට කිරීම රටේ මුදල් මකර කටට යැවීමක් පමණක් බව අපේ රටේ නායකයන් කවදා තේරුම් ගනීදැයි සිතා ගැනීමත් අමාරු ය.
මේ සා මුදලක් යටකර තනා ඇති දුම්රිය මාර්ගය භාවිතයට ගැනෙන්නේ පොසොන් දිනවල දී අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා බැතිමතුන්ට ප්‍රවාහන පහසුකම් සලසා දීමට බව සඳහන් ය. බැතිමතුන්ට වන්දනාමාන සිදුකර ගැනීම සඳහා පහසුකම් සලසා දීමේ වරදක් අපි නොදකිමු.
එහෙත් එසේ පහසුකම් සලසාදීමේ දී එය අවස්ථාවේ හැටියට ප්‍රමුඛත්වය ලබාදිය යුතු කාර්යයක්දැයි බලධාරීන්ගේ කල්පනාවට ලක්විය යුතුව තිබිණි.
මේ තරම් කාලයක් පුරා මිහින්තලය වැඳපුදාගත් බැතිමතුන්ට දුම්රිය ගමන් මාර්ගයක් අලුතින් සකස් කර ගැනීමේ අවශ්‍යතාවක් තිබූ බවක් දැනගන්නට නොතිබිණි. එහෙත් පොසොන් දිනවල දී ඇතිවන අධික තදබදයක් සහිත ප්‍රවාහන අපහසුතා සම්බන්ධයෙන් නම් ඔවුන්ගේ මැසිවිලි තිබිණි. එහෙත් ඒ සඳහා එකම ප්‍රතිකර්මය රුපියල් කෝටි 22ක් වැය කරමින් අලුතින් දුම්රිය මාර්ගයක් ඉදිකිරීම යැයි අපි කිසිසේත් නොසිතමු. එය මගීන්ගේ අවශ්‍යතාවකට වඩා දේශපාලන අවශ්‍යතාවක් වශයෙන් සඳහන් කළ යුතු ය.
මේ රටේ දුම්රිය සේවය මගීන්ගේ දැඩි විවේචනයට ලක්වෙමින් තිබෙන රාජ්‍ය ආයතනයකි. එය අධික වශයෙන් පාඩු ලබන එහෙත් අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් සලකා දිගින් දිගටම රාජ්‍ය ආයතනයක් වශයෙන් පවත්වාගෙන යයි. තමන්ට දුම්රිය ගමන් කොතරම් පහසුවක් සැලැසුවත් එහි නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් එම සේවාව සම්බන්ධයෙන් මගීන් තුළ ඇත්තේ කලකිරීමකි.
සිගරට් කොටයකටත් වැඩ වර්ජනය කර රටේ දහස් සංඛ්‍යාත මගීන් අපහසුවට පත්කරන දුම්රිය සේවාවේ නිලධාරීන් සහ සේවකයන් එම සේවාව ලබාගන්නා මගීන්ගේ පහසුකම් වර්ධනය සම්බන්ධයෙන් දක්වන්නේ ඍණාත්මක සැලකිල්ලකි. තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමෙන් එහා කිසිදු අවශ්‍යතාවක් ඔවුන් තුළ ඇතැයි අපට පෙනෙන්නේ නැත.
එවැනි දැක්මක් ඔවුන්ට තිබුණා නම් කිලෝමීටර් කිහිපයකට සීමාවන කිසිදු ප්‍රමඛත්වයක් ලබා නොදිය යුතුව තිබූ මිහින්තලය දුම්රිය මාර්ගය ඉදිකිරීමට කෝටි 22ක් විනාශ කිරීමේ සිද්ධියට ඔවුන් මුලසිටම විරුද්ධ විය යුතුව තිබිණි. එහෙත් එවැනි අවස්ථාවලදී ඔවුන් ඊට එරෙහිව ක්‍රියාත්මක වන්නේ නැත. දේශපාලන අධිකාරියේ හොඳ හිත රැකගෙන තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ අරමුණින් කටයුතු කරන වෘත්තීය සමිතිවලින් ඊට වඩා දෙයක් අපේක්ෂා කිරීමත් ඵලක් නැත.
අනවශ්‍ය දුම්රිය මාර්ගයකට වැයකළ රුපියල් කෝටි 22ක මුදල් දැන් ආපසු ලබාගැනීමට හැකියාවක් නැත. එහෙත් එවැනි නාස්තිකාර ක්‍රියාවලට උල්පන්දම් දුන්නේ කවුදැයි සොයාබැලීමත් අවශ්‍ය බව අපගේ අදහස ය. එයින් අරමුණු කරන්නේ ඉදිරියට හෝ මෙවැනි නාස්තිකාර ක්‍රියා සිදුවීම වැළැක්වීම බව ද සඳහන් කළ යුතු ය.
නාස්තිකාර ක්‍රියා හේතුවෙන් රජයේ මුදල් මකර කටට ගිය පළමු අවස්ථාව මෙය නොවේ. එය අවසාන අවස්ථාව ද නොවන බවත් අපි දනිමු. රටේ මූලික අවශ්‍යතාවලට වඩා තමන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ලෝස් නැතුව රජයේ මුදල් වැයකරන දේශපාලනඥයන් සිටින තාක් මෙවැනි නිෂ්ඵල ක්‍රියා නවතින්නේ නැත. මෙවැනි නාස්තිකාර ක්‍රියාවලට සම්බන්ධ දේශපාලනඥයන් කවුදැයි අනාවරණය කිරීමත් සිදුවිය යුතු ය. අනාගතයේ දී හෝ එවැනි ක්‍රියා වළක්වා ගත හැකිවීමට එය මහෝපකාරී වනු ඇත.
(***)