කෝටි හතරක ජල තත්ත්ව පරීක්ෂණ රථය එපා වෙලාද?


රටට වී ඇති හදිය සම්බන්ධයෙන් කෙස් පැලෙන තර්ක විතර්ක අපමණය. එම තර්ක විතර්කවල මුලත් මැදත් අවසානයේත් සිටින්නේ දේශපාලනඥයාය. මේ සියලු නස්පැත්තින් හි පළමු වගඋත්තරකරුවා බවට පත්ව සිටින්නේ දේශපාලනඥයාය. දේශපාලනඥයාගේ සොරාකෑම වංචා දූෂණ තක්කඩිකම් නිසා කෝටි දෙකකට වැඩි ජනතාවක් අපාදුක් විඳින බවට බරපතළ චෝදනාවකි.

මේ ලියන්නේ එය එසේ නොවේ යැයි නොවේ. එම චෝදනාව අර්ධ සත්‍යයකි. මේ මහා විනාශයට වගකිවයුතු නිලධාරී පංතියක් ද සිටී. මහජනයාගේ බදු මුදලින් ඉගෙන ඉහළ වගකීම් කරා පිවිස තමන්ගේ යුතුකම් හා වගකීම් නිසි පරිදි ඉටු නොකරන හෘදය සාක්ෂිය අමතක කර වංචනික ලෙස කටයුතු කරන නිලධාරීහු ද මේ මහා විනාශයේ පංගුකාරයෝ වෙති. ජනතාව ද ඉන් හරි අඩකට වගකිව යුතුය.

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වීය යුතුය. එම වාර්තාවේ සඳහන් වන්නේ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන  අමාත්‍යාංශයට චීන රජයෙන් ප්‍රදානයක් වශයෙන් ලැබුණු රුපියල් කෝටි හතරක් පමණ වටිනා ජංගම ජල තත්ත්ව පරීක්ෂණ රථය කිසිදු පරීක්ෂණ කටයුත්තක් සඳහා නොගෙන අමාත්‍යාංශ පරිශ්‍රයේ ගාල්කර ඇති බවය.

යමක් නොමිලේ ලැබීම යමකුට එහි වටිනාකම නොදැනෙන්නට හේතුවක් විය හැකිය. එහෙත් රටේ ජනතාව වෙනුවෙන් ලැබුණු පරිත්‍යාගයක් සම්බන්ධයෙන් එහි වටිනාකම ගැන හැඟීමක් ඇති නොවන්නේ නම්, ඒ සම්බන්ධයෙන් අපට ලිවීමට සිදු වන්නේ එය රටේත් පොදු මහජනතාවගේත් අවාසනාව බවය.

කලට වැසි වසින රිදී දහරා බඳු දිය ඇලිවලින් සමන්විත ගංගා ඇළදොළෙන් පිරුණු රටක් වුව ද වර්තමානය වනවිට පුරවැසියාට බීමට පිරිසුදු වතුර පොදක් සොයා ගැනීම ද අසීරු වී තිබේ. දිස්ත්‍රික්ක ගණනාවක් පුරා ගංවතුරක් මෙන් ගලා ගොස් ඇති වකුගඩු රෝගය තුරන් කිරීම අයිතිව තිබෙන්නේ ‘සිහින’ ලැයිස්තුවටය.

එපමණටම එම රෝගය ජන ජීවිතය ආක්‍රමණය කර තිබේ. රෝගයට එක් ප්‍රධාන හේතුවක් ලෙස බීමට ඇති ජලය හඳුනාගෙන තිබේ. එබඳු පරිසරයක බීමට ඇති ජලය තත්ත්ව පරීක්ෂාවට ලක් කරන්නේ නම් එය වකුගඩු රෝගයෙන් ගැලවීමට මහත් උපකාරයකි.

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එම වාර්තාවෙන් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍යංශයේ ‘කෙරුවාවල්’ රැසක් අනාවරණය වේ. අමාත්‍යාංශය වාහන තුනක් එහි කටයුතු සඳහා යොදා නොගෙන අමාත්‍යාංශ පරිශ්‍රයෙහි ගාල්කර තිබෙන බව එක් කරුණකි. එමෙන්ම ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් වාහන හතරක් පසුගිය වසරේ දී ජලසම්පාදන සහ වතුයටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය කාර්ය මණ්ඩලයේ පරිහරණයට මුදල් අමාත්‍යාංශයේ  අවසරයකින් තොරව යොදාගෙන ඇතැයි ද එම විගණන වාර්තාවේ සඳහන්ය.

මෙය අමාත්‍යාංශයක් ද කුමක්ද කියා සිතා ගැනීමටත් අසීරුය. රාජ්‍ය ව්‍යවසාය අරමුදල්වලින් මිලදී ගත් වාහන අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා අනෙත් ආයතන පාවිච්චි කරන්නේනම් ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය තබිය යුතුය. චක්‍ර ලේඛවල එසේ සඳහන් වුව ද ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයට එම චක්‍රලේඛ වලංගු නැති සෙයකි.

එම විගණන වාර්තාවේ සඳහන් තවත් කරුනක් වන්නේ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වරයාට ලබාදී තිබූ රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා වාහනයක් රාජ්‍ය අමාත්‍යංශය අහෝසි වීමෙන් පසු අමාත්‍යංශයට බාරදී තිබූ මොහොතේ අනතුරකට ලක්ව ඇති බවත් අනතුර පිළිබඳව පොලිසිය දැනුවත් නොකිරීම නිසා එම අලුත්වැඩියා වියදම වූ රුපියල් පන් ලක්ෂ හැත්තෑ දෙදහසක මුදල් ගෙවීම රක්ෂණ ආයතනය ප්‍රතික්ෂේප කර ඇති බවය. එමෙන්ම රජයට සිදුවූ පාඩුවට වගකිව යුතු අය හඳුනාගෙන ඔවුන්ගෙන් එම මුදල් අයකර ගැනීමක් සිදුවී නැති බවද විගණන වාර්තාවේ සඳහන්ය.

මේ කරුණු අනාවරණය වන විට රට පත්ව ඇති විනාශයට මුළුමනින්ම වගකිව යුත්තේ දේශපාලනඥයන් පමණක් නොවන බවත් වගකීම් විරහිත නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ද එයට හේතුවී ඇති බවත් පැහැදිලිය. රට ගොඩගන්න පටන් ගත යුත්තේ කොතැනින් ද යන්න ඒ අනුව පැහැදිලිය.

(***)