ග්‍රාමීය ආර්ථිකයෙන් රට පෙරට


(සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ)

ලංකාව මේ නින්දෙන් නැගිටිය යුතු ය. ඊට පෙර තමා නින්දකට දමා තිබෙන බව අවබෝධ කරගත යුතු ය. මෙරට අනාගතය ගැන අලු‍ත් පරිකල්පනයකට මෙරට පුරවැසියන් අවදි විය යුතු ය. අප දමා තිබෙන නින්ද අනෙකක් නොව, පවතින තත්ත්වය (status quo) අපගේ අනාගතය ලෙස පිළිගැනීම පිළිබඳ නින්දයි. මෙය උගුලකි. අපට එසේ සිතන ලෙස අප වසාගෙන නැගෙන දෙස් විදෙස් තොරතුරු වරුසාව විසින් නිරන්තරව බලකරමින් තිබේ. අප නිෂ්පාදකයන් නොකර, පාරිභෝගිකයන් ලෙස තබා ගැනීමේ ගෝලීය ව්‍යාපෘතිය මෙහි සැඟව තිබේ.

මේ උගුල නිල වශයෙන් ලංකාවේ ක්‍රියාත්මක වීම පටන් ගත්තේ 2015 වසරේ සිට ය. පැහැදිලිව කිවහොත් 2015 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සමග ය. එම මැතිවරණ ව්‍යාපාරය යටින් දුවන ලද මානසික මෙහෙයුමක් තිබුණි. ඒ නම්, “සංවර්ධනය යන්න දූෂිත එකකි. සංවර්ධනය අවශ්‍ය නොවේ. සංවර්ධනය කරන අය හොරු ය.

එසේ හෙයින් සංවර්ධනයෙන් තොරව අප සංවර්ධනය විය යුතුය” වැනි කතන්දරයක් එහි ගැබ් විය. බොහෝ අය මේ කතන්දරය ඉතා ආශාවෙන් වැළඳ ගත්තෝය. එය තමාගේ සතුරා ලෙස සිතීමට පටන් ගත්තේ ය. එහි උත්ප්‍රාසය නම්, එකී දූෂිත සංවර්ධනයේ ප්‍රතිලාභ ලබන අතරතුරම ඒ ගැන එසේ සිතීම ය. එම සංවර්ධන විරෝධී මානසික මෙහෙයුම ගැන නැවත මතක් කර ගැනීම අපට රටක් ලෙස විශාල පාඩම් උගත හැකි අවස්ථාවකි.

2015 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ ගොඩනැගූ සංවර්ධන විරෝධී වැඩපිළිවෙළ යහපාලන ආණ්ඩුව බලයට පැමිණි විගස ක්‍රියාවට නැංවීමට කටයුතු කළේ ය. ජවිපෙ ආදි පක්ෂවල නොමද සහාය ඊට ලැබුණි. එම ආණ්ඩුව සංවර්ධන විරෝධි මාර්ගයේ කොතරම් දුර ගියේ දැයි කිවහොත්, ඉදිරියට යමින් තිබූ සංවර්ධන ව්‍යාපෘති සියල්ලම පාහේ අත්හිටුවීමට කටයුතු කළේය.

ලංකාවට එක සතයක් වියදම් නොවූ කොළඹ වරයා නගරය වහා නවතා දැම්මේ ය. මෙගාවෝට් 500ක ධාරිතාවෙන් යුතුව ඉදිකිරීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබූ සාම්පූර් බලාගාරය නවතා දැම්මේ ය. මෙගාවොට් 150ක විදුලි ධාරිතාවක් රටට ජනනය කිරීමට හා හම්බන්තොට ප්‍රදේශයේ කුඹුරු අක්කර දහස් ගණනකට ජලය දීම ඉලක්ක කළ උමා ඔය ව්‍යපෘතිය නවතා දැම්මේ ය. මත්තල ගුවන්තොටුපොළ අවසන් කර තිබූ හෙයින් එය නැවැත්විය නොහැකි නිසා එය අක්‍රිය කිරීම සඳහා එහි ගොඩනැගිලිවල වී ගබඩා කළේය.

හම්බන්තොට වරාය වැඩකට නැති දෙයක් බව කියමින් එය කුණුකොල්ලයට චීනයට බදු දුන්නේ ය. ඒ මතු ද නොවේ, එමිරේට්ස් විසින් මිලට ගත් දින සිට අපගේ ලාභදායි ගමනාන්ත සූරාකෑවා මිස එකතු කළ එකදු නව ගුවන් යානාවක් හෝ ගමනාන්තයක් නැති ශ්‍රී ලංකන් ගුවන් සේවය නවීකරණය කිරීම සඳහා ඇණවුම් කර තිබූ නවීන හා කලට ඔබින ගුවන් යානා හතර අවලංගු කිරීමට කටයුතු කළේ ය. මධ්‍යම අධිවේගී මාර්ගය පවා නවතා දැම්මේ ය. 

සංවර්ධන විරෝධී මානසිකත්වයේ ඍජු ප්‍රතිඵලය නම් වරාය නගරය අත්හිටුවීම වෙනුවෙන් ඩොලර් මිලියන 143ක් පමණ දඩ ගෙවීමට ලංකාවට සිදුවීම ය. මෙම දඩය මුදලින් නොගෙවූ හෙයින්, චීනය කටයුතු කළේ ඒ වෙනුවෙන් වරාය නගරය තුළ ලංකා රජයට හිමිවිය යුතු ඉඩම් ප්‍රමාණයෙන් එය හිලව් කර ගැනීම ය. ගුවන් යානා ගිවිසුම අවලංගු කිරීම නිසා ප්‍රංශයේ එයාර්බස් සමාගමට ඩොලර් මිලියන 93ක් ගෙවූ බව වාර්තා විය.

උමා ඔය ප්‍රමාද කිරීමේ මිල වූයේ විශාල ජලකාන්දුවක් සිදුවී බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළිං සිඳී යාමයි. උමගක් තනන විට එය හාරන ප්‍රමාණය වහා කොන්ක්‍රිට් දමා ආවරණය කළ යුතු අතර, එය ප්‍රමාද කිරීම තුළ සිදුවන්නේ ඉහළ ජල තට්ටුවේ පවතින ජලය පහතට කාන්දු වී උමග තුළට කඩා වැටීමයි. එය එසේ ම සිදුවිය. ශ්‍රී ලංකන් නවීකරණ උත්සාහය අතහැර දැමීම හා ප්‍රංශ සමාගමට දඩ ගෙවීම නිසා සිදු වූයේ එම සමාගමේ අලාභය තව තවත් ගැඹුරු වීමයි.

මේ සමස්ත සංවර්ධන විරෝධී ක්‍රියාදාමය ගැන අපට තව බොහෝ කරුණු කිවහැකි වුව ද මේ හරහා අප ඉගෙනගත යුතු පාඩමට මේ ප්‍රමාණවත් ය. සාම්පූර් අවලංගු කිරීම නිසා අප අද ද විදුලි අර්බුදයක සිටින අතර ඉන් සිදුව ඇති ඍජු මූල්‍යමය පාඩුව ඩොලර් බිලියන 7 ඉක්මවා ඇත.

ඉහත බොහෝ කඩාකප්පල්කාරි වැඩවලට වගකිය යුත්තේ එවක ජනාධිපති සිරිසේන ය. ඔහු රාජපක්ෂ විරෝධය ක්‍රියාවට නැංවූයේ රටේ සංවර්ධන ව්‍යාපෘති නවතා රුපියල් හා ඩොලර් බිලියන ගණනින් රටට පාඩු කරමින් ය. මෙරට එක්තරා රූපවාහිනි නාලිකාවක් ඔහුට මේ සඳහා නොමද සහාය ලබා දුන්නේ ය. වරයා නරගයට එරෙහි වෛරී මාධ්‍ය ව්‍යාපාරයක් එම නාලිකාව විසින් ගෙන යනු ලැබීය. 

ඉහත දක්වන ලද මහාපාරිමාණ ව්‍යාපෘතිවලට අමතරව තවත් විනාශයක් සිදුවිය. ඒ ගම් මට්ටමෙන් ආරම්භ වී ක්‍රියාත්මක වෙමින් තිබූ කුඩා පරිමාණ ජීවිනෝපාය හා ව්‍යවසාය ව්‍යාපෘති අතහැර දැමීමයි. විශේෂයෙන් ම දිවිනැගුම හා ගම නැගුම වැනි ක්ෂද්‍ර සංවර්ධන ව්‍යපෘති නවතා දැමීම නිසා ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ආදායම් තත්ත්වය බෙහෙවින් අනතුරට ලක්විය.

රටේ ජීවනාලිය බඳු ගම සම්පූර්ණයේම අමතකර කර දැම්මේය. ඒ වෙනුවට මාධ්‍ය හා තොරතුරු වපසරිය තුළ ප්‍රමුඛ ආඛ්‍යානය (Narrative) වූයේ නාගරික හා ලිබරල් යනුවෙන් හැඳින් වූ මහපොළොවට සම්බන්ධ නැති අරුමැසියකි. මංගල සමරවීර වැනි අය මීට දේශපාලන නායකත්වය ලබා දුන්නේය. 

ග්‍රාමීය සංවර්ධනය හා එම සංවර්ධනය සඳහා යටිතල පහසුකම් සැපයූ මහා සංවර්ධන ව්‍යාපෘති එක්වරම අත්හිටුවීම හා ඒවාට එරෙහි මනසක් රට තුළ කෘතීමව ඇති කිරීමේ ප්‍රතිඵලය, අපට 2015 වසරින් පසු එළැඹි සෑම වසරකටම දැකගත හැකි ය. එන්න එන්නම ආර්ථික වර්ධනය කඩා වැටුණු අතර, 2014 වන විට සියයට 6කට ආසන්නව වර්ධනය වෙමින් තිබූ එය, 2019 වසරේ දී එය සියයට2කට පහළ බැස්සේ ය.

මේ මතට පාස්කු ප්‍රහාරය කඩා වැටී සංචාරක ව්‍යාපාරය බිංදුවට වැටුණු අයුර අපි දුටුවෙමු. අහිමි වූ ඩොලර් ආදායම් පිරිමසින්නට යහපාලන ආණ්ඩුව ‌ඩොලර් බිලියන 13ක් පමණ මුදල් වශයෙන් අධික පොලියට ණයට ගත් අතර, ඒ සියලු‍ ක්‍රියාවල තාර්කික අන්තය ලෙස 2020 කෝවිඩ් වසංගතය පැමිණීමත් සමග විනිමය අර්බුදයක අපි සිර වූයෙමු.

මේ රට නින්දෙන් පුබුදුවා සංවර්ධන මාවතට යළි ගෙන යාම සඳහා ඉලක්කගත වැඩපිළිවෙළක් සහිත දැක්මක් අවශ්‍ය බව ඉහත පෙළ ගැස් වූ සිදුවීමෙන් ආශ්‍රයෙන් අපට පෙනී යා යුතුය.

එය හුදු තිබෙන තත්ත්වය පවත්වාගෙන යාම සඳහා වන උත්සාහයක් නොවේ. අප රට ගොඩගත හැකිය. මහින්ද රාජපක්ෂ යුගයේ දී එය මනාව පෙන්වා ඇස් ඉදිරියේ ඔප්පු කර තිබේ. අද අප අත්විඳින යම් ජීවන මට්ටමක් හෝ පහසුකමක් වේ නම් ඒ සියල්ල එම වසර නමය තුළ අත්කරගත් ඒවා ය. අප සියල්ල වරදවා ගත්තේ, මේ සරල සත්‍ය තේරුම් නොගැනීමෙනි. ඉන් අදහස් වන්නේ, එම යුගයම නැවත ක්‍රියාත්මක කරන බව නොවේ. එහෙත් දැක්මක් සහිත වත්මන් යුගයට ගැළපෙන වැඩපිළිවෙළක අවශ්‍යතාව තිබේ.

මීට විසඳුම සමාජවාදය දෙසට යාම නොවන බව අප අවබෝධ කරගත යුතු ය. චීනය පවා සමාජවා දී ආර්ථික ගමන අද අතහැර දමා ඇත. කියුබාව වැනි රටවල දිළිඳුකම ඉහවහා ගොස්ය. ගොඩ ඒමක් නැති තරම්ය. කොතරම් තෙල් සම්පත තිබුණ ද වෙනිසුයුලාව පවා සමාජවාදය නිසා අද අන්ත දුගී තත්ත්වයට පත්ව ඇත. මේ නිසා වත්මනෙහි බලය ඉල්ලා සිටින ඇතැම් මාර්ක්ස්වා දී පක්ෂවල සුන්දර වදන්වලට අප නොරැවටිය යුතුය. ඔවුන් විසින් අතීතයේ කරන ලද කැරලි හා ත්‍රස්තවාදී ක්‍රියාවල ප්‍රතිඵල මෙරට සමාජ දේශපාලන හා ආර්ථික අර්බුදවල තිඹිරි ගෙය විය. එවන් විනාශයක් කළ අයට රටක් ගොඩනැගිය නොහැකිය.

මේ රට නැවත ගොඩ නැගීමට නම් මෙරට ග්‍රාමීය ආර්ථිකය ගැන විශ්වාසය ඇති නායකයකු බිහිකරගත යුතු ය. ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීමෙන් පවුල ගොඩ නගා, පෙරළා එය නගරයේ හා රටේ සංවර්ධනයේ පදනම කර ගැනීම නව පෙරළියක ආරම්භ විය යුතු ය. අන් සියලු‍ සංවර්ධන උත්සාහයන් මුළුගැන්විය යුත්තේ ගම වඩනු පිණිස ය. අද වන විට ගමේ හැකියාව නිකරුණේ අපතේ යමින් තිබීම කනගාටුදායක තත්ත්වයකි.

ගම තුළ ආර්ථික අවස්ථා අහිමි වන විට තරුණ තරුණියන් අඩු පඩියට නගරයට සේන්දු වීම හෝ ආර්ථිකයට දායකත්වයක් නොදක්වන ත්‍රිරෝද වැනි සේවාවලට යොමු වීම පසුගිය කාලයේ අප නිරීක්ෂණය කළ පොදු කරුණයකි. මෙම ක්‍රමය නවතා ගමට අපනයන නිෂ්පාදන ක්‍රමවේද හා තාක්ෂණය හඳුන්වාදීමෙන් අපගේ තරුණයන් ව්‍යවසායකයන් හා නිෂ්පාදකයන් කළ හැකි ය.

මහින්ද රාජපක්ෂ යුගයේ දී බැසිල් රාජපක්ෂ විසින් ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස ආර්ථික වශයෙන් ගම සවිබල ගැන්වීමේ ක්‍රියාදාමය යහමින් කරගෙන ගිය අතර, එම ව්‍යපෘති නිසා ව්‍යවසායකයන් බවට පත් වූ සුවහසක් පිරිස් මෙරට දැනුදු මෙරට ආර්ථික දේහයට නොමද දායකත්වය සපයති.

සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග තොරතුරු බෙදාහැරීම හා සම්බන්ධිකරණය අද වන විට වඩාත් පුළුල් වී ඇති පසුබිමක ඉලක්කගත ග්‍රාමීය සංවර්ධන හා නිෂ්පාදන වැඩපිළිවෙළක් පෙරටත් වඩා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමේ හැකියාව මේ වන විට මුදුන් වී තිබේ. අප මේ අවස්ථාව මග නොහැරිය යුතු එකකි.

ඒ සඳහා මුල්ම පියවර වන්නේ, අප මේ වන විටත් ප්‍රමාද වී ඇති බව තේරුම් ගැනීම ය. දෙවැන්න නම්, අපගේ “උරුමය මේ පමණකියි” යන මානසිකත්වය ජය ගැනීම ය. තෙවැන්න නම්, ලංකාවේ ගම හා එහි අපමණ ශක්තීන් ගැන විස්වාසය ඇති අයකු මෙරට නායකත්වයට ගෙන ඒම ය.

(***)