ගාසා තීරයම දැන් ඛේදවාචකයක්


(විජය දිසානායක)

විදෙස් රටවලට අයත් භූමි ප්‍රදේශ ආක්‍රමණය කිරීමේ අරමුණින් සිදු කෙරුණු ජනවාර්ගික සහ ආගමික සංග්‍රාමයන්හි දී සතුරා ගර්හාවට ලක් කිරීම අනාදිමත් කාලයක පටන් පැවත එන උපක්‍රමයකි. 11 වැනි සියවසේ පටන් 14 වැනි සියවස දක්වා පැවති කුරුස යුද්ධ ඉතිහාසඥයන් විසින් බොහෝ විට අර්ථ ගැන්වූයේ “තුර්කි මිථ්‍යා දෘෂ්ටිකයන්ගෙන් ශුද්ධ වූ භූමිය මුදා ගැනීමේ උතුම් අරමුණින් යුරෝපයේ ක්‍රිස්තියානි පුරවැසියන් විසින් සිදු කළ ආගමික යුද ව්‍යාපාර ගණනාවක් ලෙසය.

කෙසේ වෙතත්, මෙම කුරුස යුද්ධ හා බැඳුණු ආගමික අරමුණක් නොතිබූ තරම් ය. පෙරදිග වෙළෙඳ මාර්ගවල පාලනය හිමිකරගෙන සිටි මුස්ලිම් වෙළෙඳ සමාජයන්හි බලයට අභියෝග කරමින් යුදමය ක්‍රියාමාර්ගයකට එළඹීමේ යටි අරමුණු එහි ගැබ්ව තිබිණ. 

ලෝක ජන මතය හමුවේ සංග්‍රාමයක් සාධාරණීකරණය කිරීමට නම් ඒ සඳහා “සාධාරණ හේතුවක්” සොයා ගත යුතු ය. අමෙරිකා එක්සත් ජනපදය මධ්‍යම ආසියාවේ සහ මැද පෙරදිග කලාපයේ “ත්‍රස්තවාදයට එරෙහි සංග්‍රාමය” නමින් සංග්‍රාම ව්‍යාපාරයක් ඇති කරන ලද්දේ ද අමෙරිකානු මාතෘ භූමිය සහ “ශිෂ්ඨ සම්පන්න ලෝකයා” ආරක්ෂා කර ගැනීමේ ප්‍රකාශිත අරමුණ පසු පස සැඟ වූ අරමුණ නම් මධ්‍යම ආසියාවේ සහ මැද පෙරදිග කලාපයේ තෙල් සම්පතෙහි පාලනය සමාගම් හිමිකාරීත්වය යටතට පවරා ගැනීම ය.

“ආගමික යුද්ධය”, “ශිෂ්ඨාචාර අතර ගැටුමක්” යනා දී දුහුල් සළුපිලි දවටන ලද මෙම සංග්‍රාම ව්‍යාපාර යටතේ අන්තර් ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ අධීක්ෂණය යටතේ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කොට රටවල ආර්ථික වත්කම් විදේශ ප්‍රාග්ධන වෙළෙඳපොළ යටතට පත් කර ගැනීමේ දුෂ්ට අරමුණු ගැබ්ව තිබිණ.

1987 වසරේ First Intifada යනුවෙන් හඳුන්වනු ලබන ඊශ්‍රායලයට එරෙහිව පලස්තීන ජනතාව මුල්වරට ක්‍රියාත්මක කළ කැරැල්ලෙන් අනතුරුව පිහිටුවා ගන්නා ලද හමාස් සංවිධානය දිගු කලක් මුළුල්ලේ යුදෙව්වන්ට එරෙහිව වෛරය වැපිරවීමේ ප්‍රයත්නයක නිරතව සිටී.

1988 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද එහි පළමු ප්‍රඥප්තිය මගින් පලස්තීනය යළි අත්පත් කර ගැනීම සඳහා ශුද්ධ වූ යුද්ධයක් ප්‍රකාශයට පත් ‍කරන ලදි. “මුස්ලිම්වරු යුදෙව්වන් හා සටන් කොට ඔවුන් ඝාතනය කරන තෙක් විනිශ්චයේ දිනය නොපැමිණෙනු ඇත”, යනුවෙන් එහි දැක්වේ. “එවිට, යුදෙව්වන් ගල් කුළු සහ වෘක්ෂයන් පිටුපස සැඟවෙනු ඇති අතර එම ගල් කුළු සහ වෘක්ෂ මෙලෙස කියනු ඇත: මුස්ලිම්වරුනි, මාගේ පිටුපස යුදෙව්වකු සැඟව සිටී, පැමිණ ඔහු මරා දමන්න”.

සෑම මනුෂ්‍ය ජීවිතයක්ම එක හා සමාන ගරුත්වයක් සහ වටිනාකමක් ඇති ය, යන විශ්වව්‍යාපීත්වය පිළිබඳ සිද්ධාන්තයට ගාසා තීරයේ ගැටුමෙන් මාරාන්තික ප්‍රහාරයක් එල්ලවී තිබේ.

2017 වසරේ දී හමාස් සංවිධානය සිය ප්‍රඥප්තිය සංශෝධනය කරමින් තමන් යුදෙව් ජනයාට එරෙහිව නොව යුදෙව්වාදය එරෙහි සටනක නිරතව සිටින බැව් ප්‍රකාශ කළේ ය. එහෙත්, ඔක්තෝබර් මස 7 වැනිදා හමාස් සටන්කාමීහු ඊශ්‍රායල වැසියන් 1,400 කට වැඩි පිරිසක් ඝාතනය කළ අතර තවත් 200 ක පමණ පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගියහ. පැහැරගෙන යන ලද පිරිස අතර ළමයින් 30 දෙනෙක් සහ වයස අවුරුදු 60 වැඩි 20 දෙනෙක් ද සිටිති. මෙය හමාස් ප්‍රඥප්තිය මුළුමනින්ම පාහේ උල්ලංඝනය කිරීමකි. ඊශ්‍රායලය විනාශ කිරීමේ තම අරමුණ තවමත් අත්හැර නොමැති හමාස් සටන්කාමීහු ඊශ්‍රායල වැසියන්ට සහ යුදෙව්වන්ට හානි කිරීමට මුස්ලිම්වරුන්ට ආරාධනා කරමින් ඔක්තෝබර් 13 වැනි දිනට ලොව පුරා “වියරුවේ දිනයක්” ප්‍රකාශයට පත්කොට ඇත.

ඊශ්‍රායල අගමැති බිබි නෙතන්යාහුගේ වත්මන් දක්ෂිණාංශික රජය ද ඊට නොදෙවෙනි කෘරත්වයක් ප්‍රදර්ශනය කරමින් සිටී. ගාසා තීරය මුළුමනින්ම වටලන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගලාන්ට් ඔක්තෝබර් මස 9 වැනිදා නියෝග කළේ ය. “ගාසා තීරයට විදුලිය, ආහාර, ඉන්ධන සහ අන් සියල්ලක්ම නතර කරනු ඇත”, ගලාන්ට් පැවසීය. “අප සටන් කරන්නේ මිනිස් තිරිසනුන් පිරිසක් සමඟ වන අතර ඔවුනට එ‍පරිදිම සළකමු”.

“මෙම ඝාතනයට එහි සිටින සමස්ත ජාතිය ම වග කිව යුතුයි”, ඊශ්‍රායල ජනාධිපති ඉසාක් හර්සොග් එක්ස් ඔස්සේ ඔක්තෝබර් 13 වැනිදා දින කියා සිටියේ ගාසා තීරයට එරෙහි බාධක පැනවීම සහ ඉවක් බවක් නොමැතිව එල්ල කෙරෙන රජයේ ගුවන් ප්‍රහාර සාධාරණීකරණය කරමිනි.

මානව වර්ගයාගේ ඉතිහාසය හෝමෝ සේපියන්වරුන්ගේ මනුෂ්‍යත්වය සාක්ෂාත් කර ගැනීමේ අඛණ්ඩ, ස්ථාවර සහ සමුච්චිත ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. හෝමෝ සේපියන්ස් මිහිතලය මත අනෙකුත් ජීවීන්ගෙන් වෙනස් කරන අත්‍යවශ්‍ය ලක්ෂණය වන්නේ ඔහුගේ චිත්ත බලයයි. විශේෂයෙන්ම, අදින් වසර 10,000 කට  පමණ පෙර නව ශිලා අවදියේ සිට ක්‍රමක්‍රමයෙන් නමුත් අඛණ්ඩවම තම අවශ්‍යතාවන්ගෙන් සහ ස්වභාවික බලවේගයන්ගේ වහල්භාවයෙන් නිදහස් වීමට ඔහුට හැකියාව ලබා දුන්නේ එම චිත්ත බලයයි.

යුරෝපා ජාතීහු යටත් විජිත යුගයේ ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ ජනතාව තමන්ට වඩා පහත් ජාතීන් හෝ අර්ධ මානවයන් ලෙස සැලකූ අතර, ඒ නිසාම ඔවුන්ට ස්වයං පාලන හෝ ස්වයං නිර්ණය යන සංකල්පය අදාළ නොවන බවට කල්පනා කළහ. බටහිර රටවල මානව හිමිකම් ව්‍යාපාරය වර්ධනය වෙමින් තිබිය දී, ලොව සෙසු රටවලට එවැනි අයිතිවාසිකම් සඳහා හිමිකම් පෑමක් ඇති බවක් ඔවුනට නොපෙණින. මේ නිසාම ගෝලීය දකුණේ අනෙකුත් රටවලට තම අයිතිවාසිකම් ලබා ගැනීමට අරගල කිරීමට සිදු විය. නිදහස සඳහා තමන්ට ඇති අයිතිය, පිළිගැනීම සහ සමානාත්මතාවය සඳහා අරගල කිරීමට ඔවුනට සිදුවිය.

විශ්වීයත්වයේ පරමාදර්ශය මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (Universal Declaration of Human Rights) පිටුපස ඇති සජීවිකරණ මූල ධර්මයයි. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් යුරෝපයට සහ ආසියාවට අත් වූ අතිමහත් විනාශය පසුබිම් කොට ගනිමින් 1948 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගන්නා ලද මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ලොව පුරා සැමගේ අයිතිවාසිකම් ගෙනහැර දක්වමින් වගන්ති හෝ උපවගන්ති 30 කට බෙදා දක්වා ඇත.

මේවා මානව හිමිකම් හා බැඳුණු පුළුල් වපසරියක් පුරාවට විහිද පවතින අතර, වධහිංසාවලින් මිදීමට සහ සරණාගතභාවය පැතීමට ඇති අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, අධ්‍යාපනය, ආර්ථික සුරක්ෂිතතාව, සෞඛ්‍ය සේවා, නිවාස, පෞද්ගලිකත්වය, සංචරණය සහ නීතිය ඉදිරියේ සැමට සමානාත්මතාවය යන අයිතිවාසිකම් ඇතුළත් වේ.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය අභිලාෂකාමී ලියවිල්ලක් පමණක් වුවද, එය 1966 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය; 1976 ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය; 1984 වධහිංසාවන්ට එරෙහි සම්මුතිය; සහ 1989 ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය යනා දී ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම් සහ ප්‍රකාශන 80 කට වැඩි ගණනක සැලසුම් සහ අන්තර්ගතයන්‍ට ආභාෂය ලබා දී ඇත.

නෙදර්ලන්තයේ හේග් නගරය කේන්ද්‍ර කරගනිමින් 2002 දී ස්ථාපනය කරන ලද ජාත්‍යන්තර අපරාධ අධිකරණය (International Criminal Court) පිහිටුවීමට තුඩු දුන් 1998 රෝම ප්‍රඥප්තිය කෙටුම්පත් කිරීමට ද මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ආභාෂය ලබා දුන්නේය.

ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ සාමාන්‍ය වැසියන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකිමින්, සහ වටලනු ලැබ ඇති පලස්තීනයට ආධාර යැවිය හැකි පරිදි “මානුෂවාදී විරාමයක්” ඉල්ලා සිටිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉකුත් සතියේ බදාදා ඉදිරිපත් වූ යෝජනාවලියක් අමෙරිකා එක්සත් ජනපදය විසින් නිශේධනය කෙරිණ.

ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15 න් දොළහක් බ්‍රසීලයේ සත්කාරත්වයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියට සහාය පළ කළ අතර ඊට ප්‍රංශය, ජපානය, ස්විට්සර්ලන්තය, චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඇතුළත් විය. එක්සත් රාජධානිය සහ රුසියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර, යෝජනාවලියට එරෙහි වූ එකම රට බවට අමෙරිකාව පත් විය. වොෂිංටනයේ මේ තීරණය හියුමන් රයිට්ස් වොච් ආයතනය විසින් ද දැඩිව විවේචනයට ලක් කළේ ය.

ජන සංහාර ප්‍රඥප්තිය යටතේ දඬුවම් ලැබිය හැකි අපරාධ අතරට ජන සංහාරය, ජන සංහාරයක් කිරීමට කුමන්ත්‍රණය කිරීම, ජන සංහාරයක් කිරීමට පෙළඹවීම, ජන සංහාරයක් කිරීමට උත්සාහ කිරීම සහ ජන සංහාරයට හවුල් වීම යනාදිය ඇතුළත් වේ. ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ද ජන සංහාර සම්මුතියේ පාර්ශ්වකරුවන් වන බැවින් ජන සංහාරය වැළැක්වීමට සහ ඊට එරෙහිව දඬුවම් කිරීමට එම රටවල් ද බැඳී සිටී.

එපමණක් නොව, ජන සංහාර සම්මුතියේ දැක්වෙන ආකාරයටම එවැනි අපරාධ නිර්වචනය කර ඇති, ජන සංහාර අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අදාළ (ICC) රෝම ප්‍රඥප්තිය ද භාවිත කළ හැකිය. රෝම ප්‍රඥප්තිය යටතේ අන්තර් ජාතික අපරාධ අධිකරණයේ තීන්දුවලට ගරු කරමින් ලොව පුරා රටවල් 123 ක් මේ වන විට රෝම ප්‍රඥප්තියේ පාර්ශවකරුවන්ව සිටි ජන සංහාරය සිදුකිරීමට අනුබල දුන් පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට ද රෝම ප්‍රඥප්තිය ප්‍රතිපාදන සපයයි.

ඊශ්‍රායලය හෝ එක්සත් ජනපදය රෝම ප්‍රඥප්තියේ පාර්ශ්වකරුවන් නොවූවත්, ගාසා තීරය ද ඇතුළු පලස්තීන භූමිය තුළ සිදු කරන අපරාධ සම්බන්ධයෙන් තමන්ට අධිකරණ බලය ඇති බව අන්තර්ජාතික අපරාධ අධිකරණය තීන්දු කර ඇත.

ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයට අඛණ්ඩව බෝම්බ ප්‍රහාර එල්ල කරයි. ලොව වඩාත් ජනාකීර්ණතම ප්‍රදේශයක් වන ගාසා තීරයට මේ දක්වා බෝම්බ 6,000 කට වැඩි සංඛ්‍යාවක් හෙළා ඇති අතර, එය අමෙරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයට වසරක් තුළ එල්ල කළ බෝම්බවලට වඩා වැඩි සංඛ්‍යාවකි. ඊශ්‍රායල මෙලෙස ප්‍රහාර සඳහා යොදා ගන්නා බෝම්බවල සුදු ෆොස්ෆරස් අඩංගුවන අතර, එයින් අස්ථි දැවී යන අතර ජලයෙන් නිවා දැමිය නොහැකි ය. සාම්ප්‍රදායික අවි පිළිබඳ සම්මුතියේ තුන්වැනි ප්‍රඥප්තිය මගින් සුදු ෆොස්ෆරස් යොදා ගැනීම තහනම් කොට ඇත.

එමෙන්ම, පසුගිය ඔක්තෝබර් 17 වැනිදා, සරණාගතයන්ගෙන් පිරී ඉතිරී ගිය ගාසා තීරයේ අල්-අහ්ලි බැප්ටිස්ට් රෝහලට එල්ල වූ ප්‍රහාරයකින් පලස්තීන්‍ සාමාන්‍ය වැසියෝ 500 ක් පමණ මරණයට පත් වූහ. මෙම ලිපිය ලියන මොහොතට පෙර, එනම් ඉකුත් පැය විසි හතර තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ සාමාන්‍ය වැසියන් 700 ක් මරණයට පත්ව ඇති අතර, සති දෙකක් තුළ ළමයින් දෙදහස් හාරසිය දෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.